කදෝකිමි ඇස් -35

0
3386
කදෝකිමි ඇස්

මේකලා නිදන්නට ගියේ ජාලිය නින්දට යන්නට පෙර ය.ඔහු ඔහුගේ ලෝකයේත් ඈ ඇගේ ලෝකයේත් ජීවත් වීම මේ විවාහය ඇරඹුණු දා පටන්ම අඩු නැතිව සිදු වන්නකි.ජාලිය ප්‍රේමයක් වූවාට වඩා හිත නිවා ගන්නා මාර්ගයක් වූ බව මේකලා දන්නී ය.ඔහු ඇයට අසීමාන්තිකව ප්‍රේම කළ බව සැබෑවකි.නමුත් ඇගේ ප්‍රේමය තවමත් මහේන් නොවේදැයි මේකලා සිතුවා ය.

“මට සුදු මැණික ගැන කතාවක් තියනවා කියන්න.

ඇය එසේ කියමින් ජාලිය දෙස බැලී ය.ජාලිය දෑස් හැර මේකලාට සවන් දෙන්නට සැරසිණ.ආරණ්‍යාගේ පසුම්බිය නැති වීමේ තැන සිට ඒ තරුණයා සහ ආරණ්‍යා අතර මිත්‍රත්වයක් වර්ධනය වෙමින් පවතින බව දක්වා කතාව මේකලා හෙළි කළා ය.

“මගේ තමා වරද කියලද ඔයා කියන්නේ? මං ඒ ළමයගෙ නම්බර් එක දූට දුන්නනෙ..”

සාමාන්‍යයෙන් මේකලා ජාලියට ඉක්මනින් වරද පටවන්නට නොපැකිලෙන බව දන්නා ජාලිය ඇසුවේ සන්සුන් ස්වරයකිනි. මේකලා හිනැහුණා ය.

“එහෙම නෙමෙයි අනේ මං කියන්න හැදුවේ ඒ දෙන්න අතර හිතවත්කමක් තියෙනවා..”

මේකලා දියණිය ආදර සම්බන්ධයක පැටලීම ගැන බියෙන් පසුවන බව ජාලිය නොදන්නවා නොවේ.ආදරය සම්බන්ධයෙන් ඇය විඳි අනේක වේදනා එයට හේතුව විය හැකි බවද ඔහු දනී.නමුත් ආරණ්‍යා ට ඇගේම කියා ජීවිතයක් ඇති බව මේකලා තේරුම් ගත යුතු යැයි ජාලිය සිතී ය.

“මට එදා මුණගැහුණු ළමයා නම් වැදගත් පාට පිරිමි ළමයෙක්.”

ජාලිය එපමණක් පැවසීය.මේකලා සිටින්නේ තරහකින් ම නොවන බව ඔහුට හැඟෙයි.ඇය දියණිය ගැන කතා කරන්නේ මෙවැනි මාතෘකාවක් දැන් මේ නිවස තුළ සාමාන්‍ය විය යුතු බව හැඟවෙන තරමේ ස්වරයකිනි.

“ඒ වැදගත් පාට පිරිමි ළමයා කාගේ කවුද කියලා ඔයා දන්නවද?”

මේකලා කුලගොත් සම්බන්ධයෙන් කිසිම සොයා බැලීමක් නොකරන ගැහැනියක බව ජාලිය දනී.ඒවා ඈට නීරස මාතෘකා ය.

“අපිට හොයලා බලන්න පුළුවන්නේ?”

දියණිය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇත්නම් ඒ තරුණයා ගැන කොහොමටත් සොයා බැලිය යුතු බව දන්නා ජාලිය එසේ කියද්දී මේකලා උස් හඬින් හිනැහුණා ය.

“හොයල බලන දෙයක් නෑ ජාලිය,ඒ ළමයා කාගේ කවුද කියලා මම දන්නවා.”

ඒ මහේන් සේනාධීරගේ එකම පුතු බව පවසන මේකලාගේ ස්වරය මෙතරම් සන්සුන් වූයේ කෙසේදැයි ජාලිය පුදුමයෙන් සිතී ය.ඇය දන්නා දවසේ පටන් මහේන් සම්බන්ධයෙන් ඇති කරගත් වෛරය ජාලියට රහසක් නොවේ.ආදරය සහ වෛරය අතර ඇත්තේ ඉතා සියුම් දුරක් බව ඔහු ඉගෙන ගත්තේ ම මේකලා ගෙනි.ඇය මහේන් ට උමතුවෙන් ආදරය කරන අතරම වියරුවකින් වෛර කළා ය.එහෙත් දැන් ආරණ්‍යාගේ ආදරය දෙස ඇය බලන්නේ සන්සුන් දෑසකිනි.

“ඒ දෙන්න අතර එහෙම අතර එහෙම සම්බන්ධයක් නැති නිසා ඒක ඇතිවෙන්න නොදී ඉන්න එක හොඳ නැද්ද?”

ජාලිය එසේ අසද්දී ලක්ෂි තමන්ට තර්ජනය කළ අන්දම මේකලා පවසන්නේ සිනාමුසු මුහුණකිනි. ජීවිතයේ හරි අඩක්ම ලක්ෂිට වෛර කරමින් ගත කළ කාලය අවසන්ව ඇතැයි මේකලා සතුටින්දැයි ජාලිය සැක කළේ ය.මේ කලා මේ හිඳින්නේ ලක්ෂිට රිදවීමේ අරමුණින් නම් ඒ රිදවීම අවසන් වන්නේ ආරණ්‍යාගෙනි.පියෙකුට දියණියක වේදනා විඳීම දරන්නට අපහසු බව ජාලිය සිතී ය.ප්‍රේමයක වේදනාවකින් ආරණ්‍යා හඬන අන්දම ඉවසන්නට තරම් ශක්තියක් තමන්ට නැති බව ඔහු සිතී ය.

“ඔය මිනිස්සුන්ට රිද්දන්න අපේ දුවගේ පාවිච්චි කරන්න අපට බෑ මැණිකේ..”

මේකලා ඒ වචන අසා කෝපයෙන් නළල රැළි කර ගත්තා ය.ඉනික්බිතිව ජාලියට නිතරම කරන චෝදනාව එල්ල කළා ය.

“ඔයා කිසිම දවසක මාව හරියට තේරුම් ගන්නේ නෑ..”

දුර නෑකමක් ඇති ඥාති සහෝදරිය ප්‍රේමයක වේදනාවෙන් උමතු වන්නට ආසන්නයේ සිටියදී ඈ විවාහ කර ගන්නට ඉල්ලා සිටි තරුණයෙකු දෑස් මත ඇදී මැකී යද්දී ජාලියට සිනා ඉපදිණ.ඇය ගැන එදා ද ඔහුට තේරුම් ගැනීමක් තිබිණ.ඇගේ ආදරයක් අපේක්ෂා නොකරම ඇයට ආදරය දෙමින් ඇවිද ආ දශක ගණන ඔහු සිහි කළේ ය.

“පරණ කිසි දෙයක් වැඩක් නෑ ජාලිය.දූගෙ ජීවිතේ තීරණවල අයිතිය තියෙන්නේ එයාට.මේඝගේ තීරණවල අයිතිය එයාට.ලක්ෂිගෙයි මගෙයි ප්‍රශ්න මෙතනට වැඩක් නෑ.”

මේකලා තවමත් මහේන් සම්බන්ධයෙන් අහිතක් නැතැයි ජාලියට වැටහිණ.ඇය තවමත් වෛර කරන්නේ උදුරා ගත් ගැහැනියට ය.ඒ උදුරා ගැනීම ගැන ලක්ෂි සතුටින්දැයි ඔහුට සිතිණ.මහේන් අත හැරී තමන් හිමිවීම ගැන මේකලා සතුටින් නොවන බව ඔහු දනියි.ඒ නිසාම මේකලාගේ කොට්ටය මත ඇති තෙත පැල්ලම් ගැන කිසිම දවසක නොවිමසන්නට ඔහු ප්‍රවේසම් ය.

“ඔයා හරි මැණිකේ.මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ එයාලා ආදරේ කරන අය.නැත්තම් එයාලා අයිති වුණු මිනිස්සු තමයි හැමදාම දුක් විඳින අය වෙන්නේ.”

ජාලිය එසේ පැවසුවේ තමන් ගැන උපන් වේදනාවෙනි.මේකලා මහේන්ට දුන් ආදරයෙන් හරි අඩක්වත් තමන්ට නොදෙන බව ඔහු දනියි.එය විඳදරාගෙන ජීවත් වීම තෝරා ගත්ත ද ඔහු ආත්මානුකම්පාවකින් දැවී යන තැන් ද නැතුවා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here