නිලැසි -13

“ආරංචි වුණාම?”

විනුදි ඇසුවේ පුදුමයෙනි.නිලැසි නොකියා සිටියාට තිසරුට ද වෙනත් සම්බන්ධයක් පවතින්නේදැයි ඇයට සැක ඉපදිණ.නමුත් එසේ වීමට ඉඩ නැති බව විනුදි සිතුවා ය.තිසරු නිලැසිට බොහෝ ආදරය කරන බව ඇය හොඳින්ම දන්නා කාරණයකි.

“ඩිවෝස් එකකට අනියම් සම්බන්ධයක් කියන්නෙ හොඳ හේතුවක්..”

විනුදි නිලැසිගේ ඒ කතාව අසා දෑස් නළලට ගත්තා ය.අනියම් සම්බන්ධයක් හන්දා ඈ දික්කසාද වීම රාජේන්ද්‍රගේ පමණක් නොව නිම්නගේ ද ජීවිතයට කැළැල් ඇති කරන්නට සමත් වන බව කියන්නට විනුදි බොහෝ වෙලාවක් ගත කළා ය.එහෙත් නිලැසි නිවී සැනසිල්ලේ හිනැහෙන්නී ය.

“නිලූ..මං හරී සාම්ප්‍රදායික නෑ.මං ගිහන්ට කොච්චර ආදරේ වුණත් අපිට අපි මඟ ඇරෙන දවසක් එනව කියලා තේරුණොත් මං එයාගෙන් අයින් වෙයි.ආයේ මැරි කරයි..ඒ වුණාට මං එහෙම කරන්නේ එයාගෙන් අයින් වෙල.මම කියන්නේ ඒකයි වෙන්න ඕන.තිසරු අයියව ඔයාට ගැළපෙන් නෑ කියල හිතනව නම් අයින් වෙන්න.මේක හරි පුංචි ජීවිතයක්නෙ.විඳවන්න ඕන නෑ.හැබැයි තව මනුස්සයෙක්ට වේදනාවක් දෙන්නත් එපා.විඳවන්න ඉඩ අරින්නත් එපා..”

විනුදි පැවසුවේ ඒ මොහොතේ ඇයට දැනෙන පැහැදිලි සත්‍යය ය.ආදරයට සම්මත සහ අසම්මත යැයි බැමි තිබෙන බව විනුදි තරයේ විශ්වාස කළා ය.වෙනත් මිනිසෙකුගේ නීත්‍යානුකූල බිරිඳව හිඳිමින් තව කෙනෙකුට ආදරය කරන්නට අවශ්‍ය නොවේ.දික්කසාදයට බිය විය යුතු නැති මුත් රැවටීමට බියක් තිබිය යුතු බව විනුදිට සිතෙයි.ඇයට නිලැසිට ඒ ගැන කියන්නට ඕනෑ විය.

“ඔයා ඉක්මනින් ඩිවෝස් වෙන්න නිලූ..ඉන්පස්සෙ එරන්දව මැරි කරන්න.තිසරු අයියා එක්ක ජීවත් වෙන එක අපහසුයි කියලා ඔයා එයාට තේරුම් කරන්න.ඒ නැතුව ඒ මනුස්සයට හොරා එරන්ද එක්ක රස්තියාදු ගහන්න එපා.”

විනුදි එසේ කියද්දී නිලැසි හුන්නේ කල්පනා බරව ය.සිගරට්‍ටුවක් දල්වා ගන්නා ගමන් ගීයක් ගයමින් දෑසට එබෙන එරන්ද ඉන්පසු මුමුණන වචන ඈ සිහි කළා ය.හදවත උමතු කරවන්නට සමත් ඒ දෑස ඈ සිහි කළේ ආනන්දයකිනි.

“මං ඩිවෝස් නොවී ඉන්නේ එරන්ද නිසා.මටත් එයා වගේ හිතන්න ඕන නිසා.එයා කියන්නේ ආදරේ කියන්නේ අයිති කරගැනීම නෙවෙයි කියලා.ආදරේ කියන්නේ නිදහස් බැම්මකට කියලා.මං තිසරු එක්ක ජීවත් වීම,තිසරුගේ වයිෆ් වෙලා ඒ මනුස්සයගෙ ගෙදර ඉන්නෙක එරන්දට ප්‍රශ්නයක් නෙවෙයි.වෙන එකක් තියා බබාලට ආස නම් තිසරුගෙ බබෙක්ට අම්මා වෙන්න කියලත් එරන්ද කියනවා.ඒ මනුස්සයට තියෙන්නෙ එච්චර විශාල හිතක්.මං මේ පවතින හැටියටම මට ආදරේ කරන්න එරන්ද ලෑස්ති..”

නිලැසි හැඟීම්බරව මිමිණී ය.එරන්දගේ ඒ විශාල දැක්මට විනුදි පැහැදීමක් ඇති කර ගන්නා බවට ඇයට තද විශ්වාසයක් තිබිණ.නමුත් විනුදි උස් හඬින් හිනැහුණා ය.

“ඒ විශාල හිතක් නෙවේ නිලූ..කපටි හිතක්..”

නිලැසි කෝපයෙන් මුහුණ රත් පැහැ කර ගනිද්දී පවා දිගින් දිගටම කතා කරන්නට විනුදි සිතුවා ය.

“ලෙස්බියන් හරි ගේ හරි කපල් එකකට අසම්මතයි ගගා මිනිස්සු ගල් ගහනවා.හොඳටම දන්න කපල්ස් ඉන්නවනෙ නිලූ හස්බන්ඩ් ගොඩක් වයසින් බාල,ඒ මිනිස්සුන්ටත් අසම්මත ආදර කතා කියනවා.ඒ එකක්වත් අසම්මත නෑ.අසම්මත උඹ වගේ වැඩ කරන මිනිස්සු විතරයි..”

නිලැසි ඒ වචන වලින් හිත රිදවා ගත්තී,මිතුරියට ඇහුම්කන් නොදී දුරකථනය ඔහේ ඔබන්නට ගත්තා ය.එහෙත් විනුදි නොනවත්වාම කතා කරමින් සිටියා ය.

“තමන්ගේ ශාරීරික අවශ්‍යතා හරි ආර්ථික අවශ්‍යතාවයක් හරි සම්පූර්ණ කරන්න ඔය කොල්ලා උඹව යූස් කරන්නේ.ඔයත් කරුණාකරලා ඔයාගේ මානසික කායික අවශ්‍යතා වලට ඔය ආදරේ යූස් කරන එක නවත්තන්න.ඔයාට ආදරේ,සෙක්ස් ඕන දෙයක් තිසරු අයියගෙන් ඉෂ්ට වෙන් නැත්නම් ඒ මනුස්සයා එක්ක කතා කරන්න.ෆැමිලි කවුන්සිලින් තියෙන්නේ ඒවට.නොගැළපෙනවා නම් වෙන් වෙන්න.ඊට පස්සෙ ඔයාට ඇත්තටම වටිනාකමක් දෙන කොල්ලෙක්ට ළං වෙන්න නිලූ.ඒ නැතුව එක එක රස්තියාදුකාර කොල්ලන්ගේ අනියම් භාර්යාව වෙන්න ඕන එකියක් නෙවේනෙ ඔයා..”

විනුදි එසේ පැවසුව ද ජීවිතය සරලව සහ සැහැල්ලුවෙන් ගෙවා දැමීම සම්බන්ධයෙන් එරන්ද පවසන කාරණා උමතුවෙන් මෙන් විශ්වාස කරන නිලැසිට එරන්දගේ වරදක් කිසිසේත්ම පෙනෙන්නේ නැත.

“ඕෂෝ මේ කාලේ හිටියනම් ආදරේට උඹලා දෙන අර්ථකතන උහුලා ගන්න බැරුව හාට් ඇටෑක් ඇවිල්ලා..”

නිලැසි අත් බෑගය ද රැගෙන නැගී සිටියේ යන්නට ය.එයට පෙර ජීවිතය දෙස පටු දෑසකින් බලන මිතුරියට එසේ පවසන්නට ඈ සිතුවා ය.එහෙත් විනුදි දෙතොල මත සිනා අතුරා ගත්තේ මිතුරිය ගැන උපන් අනුකම්පාව ද ඇතිව ය.

“ඕෂෝට හාට් ඇටෑක් හැදෙන්නෙ ඒ මනුස්සයගෙ දර්ශනේ දූෂනේ කර කර තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ට කර ගන්න එරන්ද වගේ උන් දැක්කනම් නිලූ..”

මිතුරියට වැළඳ ගැන්මකින් පවා තොරව සමු දෙන අතර විනුදි පැවසුවා ය.නිලැසි යන්නට යන්නේ අමනාපයෙන් බව විනුදි දන්නී ය.අහස මෙන් වෙනස් වන සුළු මිතුරියට අනෝරා වැහි වී නින්දා අපහාස ඇද හැලෙන දින වැඩි ඈතක බව සිතීම පවා විනුදිට ගෙනාවේ වේදනාවකි.

“සුමාල් රස්සාවටම කැපවුණු අමුතු මනුස්සයෙක්නෙ.නිලූ අන්තිම මොහොතේ ඔහොම විකාරයක් කරන්න ඇත්තේ සුමාල්ගේ හොයා නොබලන ගතිය දරා ගන්න බැරුව..”

විවාහය කට උඩ තිබිය දී සුමාල්ගේම මිතුරෙකු සමඟ තරු හෝටලයක රැය පහන් කරන්නට යාමෙන් විවාහය නැති කරගත් මිතුරිය ගැන විනුදි එවකට කතා කළේ අනුකම්පාවෙනි.ඇය එකල ඇගේ පෙම්වතාව සිටි ගිහාන් සමඟ ඒ තොරතුර බෙදා ගත්තේ ද ජීවිතයේ බරපතල හිස්තැනක් මකා ගන්නට ගිය මිතුරිය ගැන අනුකම්පාවෙනි.

“සුමාල්ගේ යාළුවා නිලූව මාර නරක විදියට රවට්ටලා නාස්ති කරාට පස්සෙත් ෆැෂන් මිෂන් එකේ අයිතිකාරයා වගේ සල්ලිකාරයෙක් නිලූට ළං වුණු එක කොච්චර දෙයක් ද?”

විනුදි එසේ පැවසුවේ සැමියා පදවිය උසස් වී හුන් ගිහාන්‍ට ය.වෙනත් ගැහැනුන් විනිශ්චයට කොහොමටත් අකමැති ගිහාන් තිසරු සමඟ විවාහ වන්නට නියමිත නිලැසි ගැන ආරංචිය ද එදා අසා සිටියේ ය.

“මට අඩුම තරමේ මේ විකාර වැඩේ ගිහාන්ටවත් කියන්න බෑ නිලු.ඉක්මනින් ඩිවෝස් එක ගන්න බලන්න..”..

නික්ම ගිය මිතුරියට විනුදි එසේ ලියා යැවුවා ය.එනමුත් තම මිතුරිය පහසුවෙන් මේ ගැටය ලිහා නොගන්නා බව ද ඇය දැන සිටියා ය.ජීවිතය එතරම් පඹ ගාලක පටලවා ගන්නට උත්සාහ ගන්නා නිලැසි ගැන ඇයට සැබෑ අනුකම්පාවක් ද දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles