මා හද මට නැති විට – 04

දෛවය ඇතැම් දේ සිදු කරන්නේ සිතා මතා ය. සමහර දේ ඉතා අහම්බයන් ය. ලාවන්‍යා ඇඳ පැළඳගෙන පිටතට එද්දී තේජගේ රිය ගේට්ටුවෙන් පිටතට පැමිණියේ ය. ලාවන්‍යා මිතුරියට ඔහුව පෙන්වූයේ දෑසිනි. සෙනුරි වඩාත් උනන්දුවකින් බලා සිටියා ය. කොලුවෙකු දෙස බැලීම පහසු ය. ඔහුට සර්වසම්පූර්ණ ලෙස මතක තබාගෙන පාරමීටත් අනුත්තරාටත් විස්තර කිරීම ඊටත් වඩා අපහසු ය.

තේජ වාහනයේ වීදුරුව පහතට කළේ යුවතියන්ව දුටු හන්දා ය. ඉනි ක්‍රමයේ ගේට්ටුවෙන් ඔවුන්ව පිටතට පෙනෙයි. ලා නිල් පැහැ මල් වැටුණු ගවොමක් හැඳ කොණ්ඩය නිදහසේ පිට මත වැටෙන්නට ඉඩ හැර ඇති ලාවන්‍යා ලා පැහැති තොල් ආලේපනයක් තවරා තිබේ. ඇගේ දෙකනේ ඇති තෝඩුවලට කියන නම කල්පනා කරන්නට ගොස් තේජ කෙල්ලන්ගේ “හායි” ගෑමට පිළිතුරු දුන්නේ ද ප්‍රමාද වී ය.

“අම්මට දැන් කොහොමද?”

කතාවේ පහසුම ප්‍රවේශය එය වේ. අම්මා දැන් සුවෙන් බවත් ඇය ඇඳ විවේකයෙහිම තබන බවත් ලාවන්‍යා පැවසී ය. ඇගේ කටහඬට ඔහු සිත ඇදී යයි. නමුත් එවගක් පෙන්වීම නරක ය.

“නංගි ගමනක් යන්නද?”

රැකියාවට යන බව ලාවන්‍යා පැවසී ය. මේ හවස්‍ යාමයේ යන රැකියාව කුමක්දැයි තේජ කල්පනා කළේ ය. ඔහුට නරක කතන්දර සිතන්නට සිතෙන්නේ නැත. ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙකු වන්නට ඇතැයි ඔහු සිතා ගත්තේ ය. රෑ වැඩ මුර ඇත්තේ ඔවුන් ය.  අනෙක් අතට ඔහු ද මේ කාර්යාලයට යන ගමනකි.

“මමත් ඔෆිස් එකට යන ගමන්. මේල් කරන්න බැරි හදිසි ඩොකියුමන්ට්ස් වගයක් තියේ. ඒ නිසා යන්න වුණා.”

රැකියාවට යන්නට නොලැබුණේ තමන් හන්දාදැයි අසන්නට ලාවන්‍යාට සිතිණ. ඇගේ කරදර බැල්ම ඔහු ද ග්‍රහණය කර ගත්තේ ය. එහෙම හිතන්නට ඕනෑ නැත.

“අද උදේ පුතා ස්කූල් යන්න බෑ කිව්වා. ඒ නිසා එයා එක්ක නැවතුණා. දැන් මෙහෙම ඉඳලා එයා එක්කම ඔෆිස් දුවලා ආවම හරි.”

දැන් කරන්නට ඕනෑ ලාවන්‍යාට රියට ගොඩ වෙන්නට ආරාධනා කිරීම ය. නමුත් එය කළ යුතුදැයි ඔහු සිතී ය.තේජ ඕනෑ නැති කරදර පටලවා ගන්නට අකමැති ය. මිනිසුන් අතක දුරින් බැරිනම් වියතක දුරින් හෝ තබා ගන්නට ද ඔහු මනාප ය. නමුත් ඒ සෑම හැඟීමක් ම මේ යුවතිය ඉදිරිපිට කඩා වැටෙන බව ඔහු දනියි.

 “අයිය යන්න අයියේ.”

ලාවන්‍යා එහෙම කියන්නේ පෙම්වතා ඇය රැගෙන යන්නට එන හන්දාදැයි තේජ සිතී ය. ඊයේ අර තරම් කරදරයකදී එන්නට නොහැකි වූ එකෙකුගෙන් පලක් නැති බව මේ කෙල්ලට නොතේරේදැයි ඔහු සිතුවේ ය.

“මට ඔෆිස් ට්‍රාන්ස්පෝට් ලැබෙනවා අයියේ.”

ඒ කතාවට අමුතු සැනසීමක් දැනෙන්නේ ඇයිදැයි සිතමින් තේජ යන්නට ගියේ ය.

“අනේ මේ! ඇපෘවල් දෙන්න බෑ.”

සෙනුරි කන ළඟටම වී කියන්නේ තේජ යන්නට ගිය සැනිණ. ලාවන්‍යා මුහුණ හතරැස් කරගෙන මිතුරිය දෙස බැලුවා ය. සමහරවෙලාවට සෙනුරි ඕනෑවට වැඩි ය.

“දුල්කර් සල්මන් වගේ කොල්ලෙක් බලාපොරොත්තු වෙච්ච මං විජේ සේතුපති වගේ නාකි පාට මිනිහෙක් ඕයි දැක්කේ. අනේ එපා.”

ෂාරුක් ඛාන් ද දැන් සෑහෙන්න වයස බව කියන්නට සිතුණත් දුලන්‍යා කිසිවක්ම නොපැවසුවා ය. නමුත් භවන්ත කියන්නේ ද මිතුරියන් අතින් අනුමැතිය නොලැබුණු කොල්ලෙකි. භවන්ත ජීවිතය මත ඇවිද ගිය රළු ආකාරය සිතෙද්දී ලාවන්‍යාට දැනෙන්නේ දුකකි. ඇගේ මුහුණ වෙනස් වන්නට ගද්දී සෙනුරි එය වරදවා වටහා ගත්තා ය.

“විහිළුවක් කරේ මැණිකේ. උඹ කැමතිනම් අපි හෙමින් හිතලා බලමු. කොහොමත් මේ වෙලාවේ උඹේ ජීවිතේ කෙනෙක් ඉන්නම ඕන. අපි තුන් දෙනා තුන් පැත්තක ඉඳන් පච පච ගාලා වැඩක් නෑ.”

ඊළඟ කාරණාව සෙනුරි පැවසුවේ ඊටත් වඩා මන්ද ස්වරයකිනි.

“ඒ වුණාට මගෙ නම් ඇත්තටම කැමැත්ත නිර්වාන්ට”

නිර්වාන්ගේ පිපී එන සිනාව ලාවන්‍යා සිහි කළා ය. ඇත්තකි. ඔහු හොඳ කොලුවෙකි. ලාවන්‍යාට වඩා ඔහු අවුරුදු එකහමාරක්ම බාල බව අමතක කරන්නට හැකි වුවත් ඔහුව දික්කසාද කෙල්ලකට අයිති විය යුතු නැතැයි ලාවන්‍යා සිතුවා ය. ඔහුගේ ජීවිතය ඊට වඩා උස්තැනක රැඳෙන්නට ඕනෑ ය. එයට මිතුරියන් කියන හැරී මේගන් උදාහරණ ගැළපෙන්නේ නැත.

“අර බූරු උදිත නැතුව ඕනෑ කෙනෙක්.”

ඊටත් පසු සෙනුරි කියන්නී ය. හැඟීම්බර වෙමින් තිබූ ලාවන්‍යාගේ මුහුණ හාස්‍යජනක පැහැයට හැරිණ. අනතුරුව ඇගේ දෙතොලින් හිචිස් ගා සිනාවක් පැන්නේ ය.

“මටයි අනූටයි ගෘප් චැට් එකේ කියන්නත් අමතක වුණා අනේ. මිනිහා මේ ඊයේ පෙරේදා දවසකත් අපි දෙන්නටම එකම කවිය එවලා.”

මේ ලෝකයේ හිඳින්නේ එවැනි යස පිරිමි ය. ඔහුගේ ප්‍රේමාරධානා කෙල්ලන්ට විශාල විහිළුවක් වග උදිතට සැබෑවටම වැටහීමක් නැතිදැයි යුවතියෝ කතා වෙන්නට පටන් ගත් හ.

“බලන් ගියාම උදිත කියන එකානම් භවන්තටත් වඩා නරක මිනිහෙක්. භවන්තයා එහෙම විහිළුවක් වෙන්න ගෑනු ටෝක් කරන් නෑනෙ.හීන් නූල් වැඩ මිසක්කා.”

ප්‍රේමය විහිළුවට ගන්නා ඒ වචනයේ බරක් නොදන්නා සෑම මිනිසෙකුම පහත් වර්ගයේ මිනිසෙක් බව දුලන්‍යා සිතන්නී ය. ගැහැනියක හා රාගයෙන් බැඳෙන්නට පමණක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සෘජුව පවසන්නට පිරිමියෙකුට ශක්තියක් තිබිය යුතු වේ. එසේ නොමැතිව ප්‍රේමය ඉදිරියට දමාගෙන පැමිණ ගැහැනුන්ගේ සරාගය අවුස්සන්නට උත්සාහ කරන පිරිමින් ගැන ඇයට දැනෙන්නේ අප්‍රසන්න හැඟීමකි.

“භවන්තලා, උදිතලා එක්ක බලනකොට නිර්වාන් කියන්නේ සෑහෙන හොඳ කොල්ලෙක්. ඒ වුණාට පව්. මාව එයාට හරියන් නෑ.”

එහෙනම් තේජව දැනෙන්නේ කොහොමදැයි දැන ගන්නට සෙනුරිට ඕනෑ විය. ඒ මේ මොහොතේ දැන ගත යුතුම කතාවකි. එහෙත් එයට පිළිතුරු දෙන්නට පෙර ලාවන්‍යාගේ කාර්යාල වෑන් රථය ගේට්ටුව ඉදිරිපිට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles