රසම රස බ්‍රවුනීස් ගෙදරදීම ලේසියෙන් හදමු 

පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට, අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම විශේෂ අවස්ථාවකට වුනත් බය නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෙටි ආහාරයක් හදන විදිහ ඔබට කියන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනම්, නිවසේදී ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිත කරල චොකලට් බ්‍රවුනීස් හදන්නෙ කොහොමද කියල අපි අද බලමු. 

මුලින්ම මේ සඳහා අපිව අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමුකො. 

අවශ්‍ය ද්‍රව්‍ය

දිය කරගත් බටර් හෝ තෙල් කෝප්ප ¾ ක් 

සීනි කෝප්ප ¾ ක් හෝ කෝප්ප 01 ක් 

වැනිලා රසකාරක තේ හැඳි 01 ½ ක් 

බිත්තර 03 ක් 

පාන් පිටි කෝප්ප ¾ ක් 

චොකලට් කුඩු කෝප්ප ⅓ ක් සහ මේස හැඳි 02 ½ ක් 

බේකින් පවුඩර් තේ හැඳි ½ ක් 

ලුණු කුඩු තේ හැඳි ¼ ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම බේකින් තැටියක් ගෙන එයට තෙල් කඩදාසියක් අතුරා තෙල් කඩදාසිය මත බටර් ස්වල්පයක් ආලේප කර සූදානම් කරගන්න. 

අවන් එක ෆැරන්හයිඩ් 350 උෂ්ණත්වයේ රත්වීමට තබන්න. 

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බටර්, සීනි සහ වැනිලා රසකාරක එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට බිත්තරය බැගින් එකතු කර සීනි දියවෙන තුරු හොඳින් කලවම් කරගන්න. / බීට් කරගන්න. 

දැන් වෙනම භාජනයක් ගෙන එයට පිටි, චොකලට් කුඩු, බේකින් පවුඩර් සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ පිටි මිශ්‍රණයෙන් ටිකෙන් ටික බිත්තර මිශ්‍රණයට එකතු කරමින් හොඳින් කලවම් කරගන්න. 

දැන් අපි බ්‍රවුනීස් මිශ්‍රණය සාදාගෙන අවසන්. 

කලින් සූදානම් කරගත් තැටියට බ්‍රවුනීස් මිශ්‍රණය දමා සමාන ලෙස තැටිය පුරා අතුරා ගන්න. 

රත්වීමට තැබූ අවන් එකේ ෆැරන්හයිට් 350 උෂ්ණත්වයේම විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න. 

ඉරටු කැබැල්ලක් හෝ ටූත් පික් එකක් බේක් කරගත් බ්‍රවුනීස් තුළට ඇතුළු කර නැවත ඉවතට ගත් විට එහි බ්‍රවුනීස් මිශ්‍රණය නොඇලී තිබෙනවා නම් බ්‍රවුනීස් නිසි පරිදි බේක් වී ඇති බව ඔබට වටහා ගන්න පුළුවන්. 

එහෙනම් මේ විදිහට බ්‍රවුනීස් හදල අපිත් එක්ක රස බෙදාගන්නකෝ. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles