ඔබ දකින තුරා – 26

සෙනසුරාදා රාත්‍රියේ වට මහ වැස්ස ඉරිදා උදයේත් හීන් වැස්සක් ව පැවතිණි. මුළු රැයක් පුරා පොළොව විසින් බී ගන්නා ලද මහ වතුර කඳ නිසා ගස් කොළන් වල වූයේ දරා ගත නො හැකි වතුර බරකි. ඇතැම් ගස් මැදින් නැවී බර වී තිබුණේ බඩට නො අල්ලනා තරම් කෑම ගත් අයෙකු ගේ පිටතට නෙරූ බඩ ගෙඩිය සිහිපත් කරවමිනි. 

පාළුව මුසු චමත්කාරයක් අමාරසී විඳිමින් සිටියා ය. විටෙක ඇයට දැනුණේ ගෙදර ඉන්නට බැරි විදිහේ නො සන්සුන් කමකි. මහත් උමතුවකින් හිත යමක් හොයමින් සිටියේ ය. කිසිවක් දකින්නට නො ඉවසිලිමත් අපේෂාවකින් දෑස් පෙළුණේ ය.

සති අන්තය මේ විදිහට වන්නට පටන් ගෙන ඇති බව ඇය ට දැනිණ.

එදා කේෂි ඇවිත් දොස් නගා ගියායින් පසු දිසත් මෙහි ආවේ නැත!

පොලීසියේ වූ සිදුවීමෙන් පසු අජිත් ද අමාරසී ගේ කාර්යාලය ළඟට යන එක නතර කළේ ය. ඇය ආවේ පුරුදු පරිදි තනි ව බස් එකේ ය. ඇතැම් දිනෙක ඇය දිලිනි ගේ සැමියා එන තුරු මඳ වෙලාවක් දිලිනි සමගින් පෙත් මග රැඳේ. ඒ වෙලාවට දිසත් ගේ රිය ඔවුන් පසු කර ගෙන යන්නේ ය. එතකොට ඇය දෙතොල් තද කර ගෙන වීදුරු කවුළුව තුළින් පෙනෙනා ඔහු එක්ක ඇස් වලින් සිනහ වෙයි. සමහර විට ඔහු යන්නේ ඇය පෙත් මගෙහි ඇවිද යත්දී ය. එතකොට ඇගේ පපුවේ හිර වීමක් වෙයි. 

ලෝකය බෙහෙවින් ශීලාචාර ය. ශුද්ධවන්ත ය. හැම තැන ම ඉන්නේ සිල්වත්, නිවැරදි මිනිසුන් ය. ආදරය කියන්නේ පාප කර්මයකි. ශුද්ධවන්ත වූ විවාහකයෙක් ප්‍රේමයක බැඳීම වූ කලී ලෝකයේ වන පවුකාර ම දැවැන්ත ම වරද වන්නේ ය. එවැන්නෙකු දෙස ප්‍රේමය තැවරි නෙතකින් බලන්නට හදනා ගැහැනිය හෝ පිරිමියා නඩු ඇසීමකින් තොර ව ගල් ගසා මරා දමන්නට නියමිත ය. අනිත් මිනිසුන් එතරම් ම ශුද්ධවන්ත ය!

දිසත් ගේ රිය අමාරසී වෙනුවෙන් නතර නොවන්නට හේතුව ඒ ය. දැනටමත් ඇය කේෂි ගේ චෝදනාවට ලක් ව තිබේ. දිනක් දෙකක් අජිත් ද සමගින් දිසත් ගේ රියෙහි යනු දුටු නිසා දැනටමත් කාර්යාලයේ ගැහැනුන් පිරිමින් දිසත් හා අමාරසී දෙස බලන්නේ සැකයකින් යුතුව ය. අනුන්ගේ ජීවිත ගැන තීන්දු තීරණ ගන්නටත්, ඔවුන් වැරදි කරුවන් ද නිවැරදි කරුවන් ද යනුවෙන් ලේබල් අලවන්නටත් කාර්යාලයේ මිනිස්සු අති දක්ෂයෝ වෙති. ඔවුහු ශුද්ධාත්ම දරන්නෝ වෙති!

අමාරසී මිදුලේ කුඩා සිමෙන්ති බංකුව මත ට වී අලස කල්පනාවක නිමග්න ව සිටියා ය. වැස්ස තුරල් ව තිබුණා ට වැහි බීරුම තව දුරටත් ඉතිරි ව තිබේ. ඊයේ පබසරා ඇවිත් ගියා ය. 

“යොහාන් අරයත් එක්ක තිබුණ ආස්සරේත් නවත්තල පොලීසියෙ සිද්දියෙං පස්සෙ. තාත්තා කොච්චර වැරදි කතාවක් ද කියල තියෙන්නෙ. කොලේක ලියල බඳින්න පොරොන්දු වුන්නැති වුණාට පොරොන්දුවක් කියන්නෙ පොරොන්දුවක්නෙ. අපි නිකං සවුත්තු වුණා විතරයි. දැන්නෙ තාත්ත ගෙදර වීරයා වෙලා තියෙන්නෙ. අම්ම ඇයි එයා වගේ බේබද්දෙක්ව පොලීසියට යැව්වෙ…අමමට යන්න තිබුණා අක්ක එක්ක. නැත්තං මට කතා කරන්න තිබුණා”

ඇය කුස්සියට වී තාත්තා ට නෑහෙන සේ කුටු කුටු ගාමින් හොඳට ම දොස් කීවා ය. 

“මේව හොඳ පාඩං අපිට. අපේ දෙයක් බලා ගෙන ඉන්නෙ නැතුවට”

ඇය නික්ම ගියේ අමාරසී ට ඇසෙන්නට ඒ ඇනුම් පදය ද කියා ගෙන ය.

අජිත් ගේ මත් වීමේ පුරුද්ද ද යොහාන් ගේ සිදුවීම නිසා වෙනස් විය. ඔහු දැන් හැන්දෑවට හිතුණොත් විතරක් මී විතක් තොල ගායි. තනිව, කතා කරන්නට කෙනෙකු නැතිව එසේ කරන්නට කම්මැලි හිතුණොත් නිර්මලා ට කරදර කරමින් තුන් හතර වතාවක් තේ හදවා ගෙන බොමින් හිඳ රෑ කෑම කා නිදයි. මේ ජීවිතයේ ද යම් මිහිරක් වන බව, කාටවත් නො කීවාට ඔහු ට දැනෙන්නට පටන් ගෙන තිබේ. 

හැන්දෑකරේ නිර්මලා ඔහු ව අල්ලා ගෙන මල් පාත්තියක් කොටා ගන්නා හැටි බංකුව මත හිඳ අමාරසී බලා ගෙන ය. මුළු මිදුල පුරා ම මල් වවන්නට හදිසි ආශාවක් ඈ තුළ ද ඇති විය. නමුත් කාර්යාලයට යනවා මිස අමා ගෙදර වැඩ ගැන කවදත් උනන්දු වූ ගෑනු ළමයෙකු නොවේ. ගෙදර ඉන්නා වෙලාවට ඇගේ විනෝදාංශය වූයේ නිදා ගැනීම ය. අන්තර්ජාලයෙන් බලා ගෙන රසවත් අතුරු පසක් හදනන්නට හදිසි අදහසක් ඇය තුළ පහළ විය. අමාරසී කෑම ගැන වන යූ ටියුබ් නාලිකාවක කෑම වට්ටෝරු අතරේ සරන්නට වූවා ය.

“මොකෝ…පොතේ හැටියටම කෑමක් හදන්නද යන්නෙ..අපිට ඉස්පිරිතාලෙ නතර වෙන්න වෙන විදිහට…”

එසේ අසමින් අජිත් විත් බංකුවේ අනිත් කොන වාඩි වූයේ ය. දහදිය දමා ගෙන සිටිනා ඔහු දෙස අමා හිස හරවා බැලුවා ය.

“ඇයි…අපි හැදුවොත් හැදෙන්නැති වෙයිද…මෙයා හිතං ඉන්නෙ එයාගෙ නෝනට විතරයි ඒව පුළුවන් කියල”

අජිත් හඬ නගා හිනැහුණේ ය. අමාරසී ගේ හිතේ දිසත් ගේ සිනහව ඇඳී මැකී ගියේ ය.

“ඉරිදා වෙලාවත් නිකං ඉන්න දෙන්නෑ නේ නෝනා…අද දවසෙම පාත්ති කොටනව”

“උඹලගෙ අම්ම කවදද බං මනුස්සයෙක්ට නිදහසේ නිකං ඉන්න දුන්නෙ…පාරෙ හාමුදුරුවො කෙනෙක් ගියත්..”

“වැඩියත් වැඩියත්…”

“මොකක් හරි..කතා කරල අනේ හාමුදුරුවනේ මට මෙන්න මේ වැඩේ කරල දීල යන්නකො කියයි”

අජිත් ගේ උස් සිනා හඬින් හැරී බැලූ නිර්මලා ඔහු ට කතා කළා ය.

“අජී…අනේ මේක ඉවර කරල යන්නකො අනේ. නැත්තං ලබන සතිය වෙනකලුත් මෙහෙම තියෙයි”

“ඔය…”

අමාරසී ගේ දුරකතනය ට පණිවිඩයක් ආවේ එතකොට ම ය. තාත්තා ද එදෙස බැලුවෙන් අමා ට එය විවර නො කර බැරි විය. 

“කිරි හොදි හදන හැටි කියනවද..”

ඇය තාත්තා ගේ මූණ බැලුවා ය.

“මිස්ට දිසත් එවල තියෙන්නෙ…කිරි හොදි හදන හැටි අහල”

“ඔය කොළේ!…මාර එක්කෙනාගෙන් කිරි හොද්දක් හදන හැටි අහන්නෙ”

අජිත් ගේ සිනහවට අමාරසී මූණ හකුළා ගත්තා ය.

“කිරි හොද්දක් එහෙම හදන්න බෑ.  ඒක ඇවිල්ල මේ දරුවෙක් හදනව වගේ ළඟින් ඉඳන් අත ගගා හැඳි ගගා කරන්න ඕන දෙයක්. අනිත් එක කවදාවත් කිරි හොද්දක් හදල නැති එකෙක්ට පුළුවන් ද ඒකට ලුනු ඇඹුල් දාන පදම කියන්න…කියයි කියල තමයි බය. කෝ මට කෝල් එකක් අරං දෙන්න”

“මිස්ට දිසත්ටද…”

“නැතුව ඉතිං කිරි හොදි ඕනෙ වෙන කාටවත් යැ…”

අමාරසී දෙගිඩියාවෙන් වාගේ ඇමතුම ගත්තා ය.

“අමා”

“තාත්තට කතා කරන්න ඕනලු”

දුරකතනය ඈ අතින් අජිත් අතට මාරු විය”

“අපේ එකී නිර්මලා අසනීප වුණ දාක උයපු හැටි මං කියල තියෙද්දිත් පුතා මේකිගෙං කිරි හොද්දකට රෙසිපි අහනවනෙ…”

“අනේ…”

අමාරසී තාත්තා ගේ දහදිය පිරුණ අතක එල්ලුණා ය. දිසත් ගේ සිනහව ඇගේ හිතේ මැවෙමින් තිබිණි.

“මොකෝ හදිස්සියෙ කිරි හොදි…දැං ගෙදර උයාගන්නවද…”

“නෑ අංකල්. ඒ වුණාට පොඩි ආසාවක් ආව. කිරි හොදි එක්ක පාන් කන්න”

“ඒක මාර දොලදුකක්නෙ..මං කියන්නද…මෙහෙ එමු. මං නිර්මලාට කියන්නං කිරි හොද්දක් හරි අල කිරි හොද්දක් හරි හදන්නයි කියල. මං බේකරියෙං උණු පාන් අරං එන්නං. හීනියට වැස්සකුත් යන එකේ…ඔය මොනාහරි කරන්න බැරියැ…”

“ඒ වුණත් අංකල්…”

“අපි ජීවත් වෙන්න ඕනෙ අපේ පපුවට දැනෙන විදිහටයි පුතා…ලෝකෙ මිනිස්සුන්ට ඕන හැටියට ජීවත් වෙන්න යන එක හරි වෙහෙසක්. මේ ඉන්න ඩිංගෙ ජීවිතේ එපා කර ගන්නෙ ඇයි අපි…ආස විදිහකට ජීවිතේට ගෙවෙන්න අරින්නෙ නැතුව..”

අමාරසී තාත්තා දෙස බලා උන්නේ අයා ගත් නෙතිනි. හදවත තුළ සමනලුන් දහස් ගණනක් තටු සලමින් සිටියහ. 

“එහෙනං එන්න ඕනෙ හරිද..මං රසීට දෙන්නං”

කියමින් අජිත් අමා අතට දුරකතනය පත් කළේ,

“අර වැඩේ ඉවර නොකළොත් කිරි හොද්දට ලුණු වැඩි වෙයි”

කියමිනි.

“මිස්ට දිසත්…”

නමුත් එහා ඉමෙන් දුරකතන සම්බන්ධය විසන්ධි වී තිබිණ.

දිසත් ආවේ බීර බෝතල දෙකක් ද ෆිශ් ඩෙවල් එකක් ද අයිස් ක්‍රීම් එකක් ද ගෙන ය. අයිස් ක්‍රීම් එක අමා අතට දුන් ඔහු ඒ ඇස් වල යම් ගැඹුරකට කිමිදුණේ ය.

“තරුෂි දෙනව කියපු අයිස්ක්‍රීම් එක”

ඇය තරවටු බැල්මක් හෙළුවා ය. පිටත පොද වැස්සක් ඉහිරෙමින් තිබිණ. හැන්දෑකරේ අමාරසී ගේ හිතේ වූ පාළුව වැස්සට දිය ව ගියා සේ ය. එහි තැන් තැන් හි, මිදුණු හිම පියළි පලා ගෙන මල් කැකුළු පූදිමින් තිබිණ. 

නිර්මලා ගේ අල කිරි හොද්දේ සුවඳ හාත්පස පා ව ගියේ ය. බේකරියෙන් උණු පාන් ගෙන පොද වැස්සට යටින් අජිත් ගෙට ගොඩ වූවේ ය.

“කොහොමද ඉලන්දාරිය…කාලෙකින්නෙ හම්බ වුණේ…”

කියමින් අජිත් පාන් බෑග් එක අමා අතට පත් කළේ ය.

ඒ හැන්දෑව වාගේ ජීවිතයේ හැම දවසක් ම මිහිරෙන් පිරෙනවා නම් කෙතරම් හොඳ දැයි අමාරසී ට සිතිණ. දිසත් ගේ ඉල්ලීමට අජිත් මිල්ටන් පෙරේරා ගේ ‘ඔබ කවුද ප්‍රියේ’ ගැයුවේ ය.

“ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ

රන් රස සේ එන්නෙ බැඳී

ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ…හුරු වූ දේකි මේ සුදූ…”

නිර්මලා ගේ මූණේ තිබුණේ ආඩම්බරකාර සතුටකි. දැන් මේ මොහොත තුළ නොව ඇය සිටියේ ඔහු මේ ගීය ගැයු අතීතයේ මොහොතක ය.

“ඔබ මා වෙනුවෙන් ම ද ලොව දිනුවේ…මට මේ සෙනෙහස නෑ ඈ පිදුවේ..මගෙ ගීත නිධානය ඔබ ම තමා..පෙරලා දෙනු මැන මුව ගලන අමා..”

තාත්තා කොයි තරම් වාර ගණනක් මේ ගීය ගයා තිබිණි ද අමාරසී ට එහි වචන වල අරුත් දැනුණේ අද ය.

“අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී..සැනසුම් සුව සහනය රැගෙන එමී…ඔබ අමතන විට මම සිනාසෙමී..ගෙමිදුල ළඟ වැටි වැටි හිඟා කමී..”

මන්දාරම් අහසේ නොව අකුණු පුපුරා ගියේ අමාරසී ගේ හදවත මැද්දේ ය. වෙන කවදාටත් වඩා මේ සියල්ල හදවතට දැනෙන්නට පටන් ගෙන ඇති සැටියෙකි. දැනෙන දේවල් නොදැනෙනවා සේ සිටීමේ මිහිරක් නොවනවා නොවේ. නමුත් එය කරදරකාර මිහිරකි. ඇතුළාන්තයේ සුළි සුළං හමත්දී මඳ සුළඟක් හෝ නො දැනෙනවා සේ සිටීම කළ හැක්කේ ප්‍රේමයෙන්  පිරුණ හදවතක් ඇත්තෙකුට පමණකි.

කෑම මේසය කතා වලින් පිරී තිබිණ. අජිත් ඉපැරණි සිදුවීම් මතක කරමින් දිසත් සමගින් ඒවා කියවූයේ ය. දිසත් ඔහු ගේ වර්තමානය අතැර අතීතයේ ගමේ තතු කීවේ ය. රෑ වෙන එක ගැන රහසිගත දුකක් අමාරසී තුළ ලියලා වැඩිණ.  ඔහු නොයා ඉන්නවා නම් හොඳ ය වාගේ සිතිවිල්ලක් ඈ තුළ ද ඈ වටා ද සංසරණය වෙමින් තිබිණි. නමුත් ඒ වාගේ සිතිවිලි වලට තටු දෙන්නට කොහොමවත් පුළුවන් කමක් ඇති සමාජ රාමුවක් මෙහි නොවේ. මේ රටේ නොවේ. මේ වාගේ පෙරදිග සංස්කෘතික රට වල නොවේ. නමුත් ඒ සංස්කෘතික රාමුවට ද මේ වාගේ වෙලා වල ආදරේ කළ හැකි විදිහේ හිතක් අමාරසී ට තිබිණි.

“මට ගොඩක් කතා කරන්න ඕනෙ…”

රිය තෙක් පසු ගමන් ගිය ඇය ට, රියට නැගෙමින් දිසත් කීවේ ය. ඒ වචන ටික කියත්දී, තවත් පස් මහ බැලුම් බලන්නට බැරි වීම ගැන පසු තැවීමක් ඔහු වෙත නො වී ය. අමාරසී ඒ සීතල තුළ හිම පියල්ලක් වෙමින් සිටියා ය. 

“පරිස්සමෙන් යන්න..ගිහිං මැසේජ් එකක් තියන්න”

ඇය කවුළුව ළඟ පහත් වී කොඳුළා ය. 

“ඔයාව ඉඹින්නත් ඕන”

අමාට දැනුනේ සිය හෘද ස්ඵන්දනය එහෙම ම නතර වූවා මෙනි. ඇස් හතරක් ඒ නිමේශයේ එක ආත්මයක රිද්මයට අවනත වී තිබිණි. ඔහු නික්ම ගියේ ය. කොයි තරම් ලේසියෙන් එය කියා දමා කොයි තරම් ලේසියෙන් ඔහු  නික්ම ගියා දැයි ඇය ට සිතිණ.

ගෙට එන විට යථා තත්වයට පත් වනු කෙසේ වී ද මුහුණෙන් හිතේ වන තිගැස්ම ප්‍රකාශ නොවී තබා ගන්නට අමාරසී උත්සාහයක යෙදුණා ය. 

 කෝටි ප්‍රකෝටි වාරයක් ඔහු  සිය සිත සිඹි බවක් අමාරසී වටහා ගනිමින් සිටියා ය. හැඟීම් එහි උත්කර්ෂයට පත් වෙත්දී පලා යා නො හැකි ය. ඒ මුළු රාත්‍රිය ඇය ගෙවාලූයේ නින්දත් නො නින්දත් අතරේ ය. පසු දා උදේ කාර්යාලයට ගොඩ වන විට සිය හෘද ස්ඵන්දනය ගැන කිසිදු විශ්වාසයක් අමා ට නොවී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles