සුහදිනි -54

“තාත්තා ඉතුරු ටිකත් බලන්නකෝ.මට කියන්න කතාවක් තියෙනවා.”

තරගය තව වැඩි වේලාවක් පවත්වාගෙන යන්නට අහස් හන්දා ඉඩ නොලැබෙන බව සකි තේරුම් ගත්තා ය.ඔහු පුදුමාකාර ආධිපත්‍යය ක්‍රීඩා පිටිය පුරාම පතුරවමින් සිටී.කිසිම දෙයක් කරන්නට නොහැකිව ඉංග්‍රීසි කතා කරන්නට නොහැකි නොහැකි ක්‍රීඩකයන්ගේ නියෝජිතයා වීම සඳහා ද ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය කණ්ඩායමට ලබා ගැනීම සඳහා ද තබාගෙන සිටින නිරූපණ ශිල්පියා ද බව කියන තරුණයා තමන් මොන තරමට සමතෙකුදැයි ඔප්පු කරමින් හිඳින අන්දම සකීට නරඹන්නට ඕනෑ විය.තාත්තාගේ තේ කෝප්පය රැගෙන ආ අම්මා කණ්ඩායම් සගයන්ට සරදම් කරමින් කෙළිලොල් හැසිරෙන තරුණයාගේ සමීප දර්ශනයට රවා බලන අන්දම දුටු සකීට සිනාවක් ඉපදිණ.

“සල්ලි තියෙන එක විතරක් මිනිහෙක්ව කසාද බඳින්න තෝරාගන්න හේතුවක් නෙමෙයි.”

අම්මා එසේ පවසා මිනිත්තු කිහිපයකි.නමුත් ඇය මීට පෙර පැවසුවේ වෙනත් කතාවක් බව සකීට මතක ය.

“ආදරේ විතරක් තිබිලා ලුණුයි බතුයි කාල නම් ජීවත් වෙන්න බෑ පුතේ.කවදහරි කෙනෙක් තෝර ගන්නකොට අපි ළඟ හිටියට වඩා හොඳට ඔයාව බලාගන්න පුළුවන් කෙනෙක් තෝරා ගන්න.ආදරය වගේම ආර්ථික තත්වෙත් ඒකට වැදගත් කියන එක නම් අමතක කරන්න එපා.”

අහස් ගේ ආර්ථික තත්ත්වය ඕනෑවටත් වඩා යහපත් ය.ආදරය ගැන අම්මා නොසිතන්නේ ඔහු වැනි ජනප්‍රිය තරුණයෙකු ආදරය නොහඳුනන සෙල්ලක්කාරයෙකු බව විශ්වාස කරන්නට ඇති කැමැත්තෙනි.දැන් අම්මාගේ ලෝකයේ හිඳින හොඳම හතුරා අහස් ය.නමුත් එළිපිට ඔහුට දොසක් කියන්නට නොහැකි හන්දා ඇය අහස්ට ද සකීට ද රවමින් ගෙතුළට යන්නට ගියා ය.

“අහස් ගැන තමයි මට කියන්න තියෙන්නේ තාත්තේ.”

සකී පමා වන්නට නොසිතුවා ය.ඇතැම් විට තාත්ත රූපවාහිනිය නරඹමින් සිටීමත් අහස්ව වර්ණනා කිරීමත් ගැන කෝප වී අම්මා අහස් ගැන කතාව මෙතන කියන්නට ඉඩ තිබේ.එය අම්මගේ ආකාරයට නොව තමන්ගේ ආකාරයට හෙළි කළ යුතු බව  සකී තීරණය කළා ය.තාත්තා සිතන්නේ මේ අහස් ගැන ඕපාදූපයක් බව ය.ඔහු සකීව අසා සිටියේ තරගයට සම්පූර්ණ අවධානය දෙන අතර ය.

අහස් තාත්තාගේ සැත්කම වෙනුවෙන් මුදල් වියදම් කළ අන්දම ද එසේ කරන්නට ඔහුට තිබූ හේතුව ද ආශ්‍රයට වැඩි කාලයක් ගෙවී නොගියද සකීගේ ආත්ම ගෞරවය සහ අනාගතය ගැන ඔහු සැලකිලිමත් වන අන්දම ද කිසිම ඕපාදූපයක් ඇය වෙත එල්ල වන්නට ඉඩ නොදී ඇයව රැක ගන්නා අන්දම ද සකී කියාගෙන ගියේ හුස්මක් ගන්නටවත් වෙලාව වෙන් නොකර ය.සමහර ප්‍රශ්න දියණියකට කතා කළ හැක්කේ අම්මා සමග පමණක් බව පැවසුව ද අසීරුම කාරණා එක හුස්මට තාත්තාට හෙළි කිරීම ඉතා පහසු බව සකී සිතුවේ තාත්තාගේ මුහුණේ ඉරියව්වක්වත් වෙනස් නොවූ හන්දා ය.

“එයා සන් ෆල්වර් කියන්නෙ මට තාත්තේ.පහුගිය කාලෙම තිබුණු ප්‍රහ්න සේරම නැති වුණේ මාව මුණ ගැහුණු නිසා කියලා එයා විශ්වාස කරනවා.”

සකීගේ දිගු කතාව අතර ක්‍රිකට් තරගය නිම වී තිබිණ.සකී තාත්තාට රිසි දෙයක් කියන්නට හැර රූපවාහිනි තිරය වෙතටම නෙත් ඇලවූවා ය.

“මෑන් ඔෆ් ද මැච් අහස්.”

තාත්තා කිසිසේත්ම අදාළ නොවන කතාවක් පැවසී ය.සකීගේ දෑස් පුදුමයෙන් විසල් විය.තාත්තා ඇයට ඇහුම්කන් දී නැත.

“අහස් තමයි වීරයා කියලා ඔයා දැන් හිතනවා ඇති.ඒත් කිසිම වීරකමක් කරගන්න බැරිව අසරණ වෙන දවස් පවා එයාට එන්න පුළුවන්.පහුගිය දවස්වල මම ජීවත්වුණේ මරණෙ අතේ තියාගෙන.තාමත් ඒකෙ වෙනසක් නෑ පුතේ.ඒත් මම කිසිම දෙයක් කරගන්න බැරිව අසරණ වෙලා ගිය වෙලාවේ පවා අම්මගේ ආදරේ වෙනස් වුණේ නෑ කියලා ඔයා දකින්න ඇති.අම්මට තාමත් මාව ඉස්සර වගේම වටිනවා.”

තාත්තා පවසන්නේ  කුමක්දැයි සකීට තේරුම් ගන්නට නොහැකි විණ.ඔහු මේ නොකියා කියන්නේ ද අහස් කියන්නේ හොඳ තෝරාගැනීමක් නොවන බව ද?

“ඔයා සාමාන්‍ය පිරිමි ළමයෙක් තෝර ගත්ත නම් මට මේක නිකමටවත් හිතෙන්නෙ නැති වෙයි.ඒත් මට දැන් හිතෙනවා ඔයා අහස තෝරගත්තේ එයා අද වගේම වීරයෙක් වෙන වෙලාවල් වැඩි නිසාද කියලා.අන්න එහෙම නම් මම ඔයාගෙ තේරීමට කැමති නෑ.”

සකී රූපවාහිනී තිරය දෙස බලාගෙන කල්පනාවට වැටුණා ය.මගේ තුන් හිතකවත් එවැනි හැඟීමක් නො තිබුණු බව ඇයට විශ්වාස ය.

“Ahas,Will you marry me?” කැමරාව වෙත එල්ල වූ ඒ පුවරුව ඇගේ ඇස ගැටුණේ ඒ මොහොතේ ය.යුවතියන් පිරිසක එවැන්නක් ලියූ පුවරුවක් ඔසවාගෙන හිනැහේ.

සැබෑවකි! ඔහු සිහින කුමරෙකි!

“ඔය වගේ වෙලාවල් තව ඕනෙ තරම් ජීවිතේට එන්න පුළුවන්.මං අපේ ඔෆිස් එකේ ඉන්ද්‍රානි මිස්ගෙ පොලොස් ඇඹුල හරි රසයි කිව්වහම අම්මට කේන්ති යන තරමට වත් ඔයාට ඕවාට කේන්ති යන්න බෑ.”

ඒ පුවරුව දුටු අහස් ද ඔහුට සරදම් කරන කණ්ඩායම් සගයන් ද සකීගේ ඇස ගැටේ.අහස් ආකර්ෂණීය තරුණයෙකි.ලෝකයේ කිසිම කෙල්ලෙකුට දකින්නට නොදී ඔහු සඟවා ගන්නට ඇයට හැකි වන්නේ නැත.

“මං හිතන්නේ නෑ ජනප්‍රිය කමයි සල්ලිබාගෙ තියන එකයි කොල්ලෙක්ට නරක් වෙන්න හේතුවක් කියලා.ඔයා කැම්පස් එකෙන් යාලු වෙලා කාව හරි බැන්දයි කියමු.ඒ ළමයා වුණත් ටික කාලයක් යනකොට වෙනස් වෙන්න පුළුවන්.හැමදෙයක්ම වෙනස් වෙන්නෙ මිනිසුන්ගේ හැඟීම් උඩ.ඒ හින්දා අම්මා කියනවා වගේ අහස් අහස් වුණු හින්දා එයාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ.හැබැයි මං පුතාට කියපු කාරණා ගැන ඔයා බයෙන් ඉන්න ඕන අපි එයාව ඇත්තටම අමතක කරන්න ඕන.”

සකී අසුනින් නැගිට ගත්තා ය.ඇය තාත්තාගේ දණහිස් මත හිස තබා ගත්තේ බිම ඇණ තබා ගනිමිනි.අහස්ට තරගයේ වීරයා සම්මානය ලැබී තිබිණ.තරගය ගැන අදහස් කිහිපයක් පැවසූ ඔහු සම්මානය කැමරාව වෙත දිගු කළේ ය.

“මගේ සූරියකාන්ත මල,ස්තූතියි හැමදේකමටම.මේක ඔයාට.”

ඔහුගේ දෑස් මත ඇඳෙන ආදරය කියවා ගනිද්දී දෙනෙත් කඳුලින් වැසී යන බව සකීට දැනේ.

“තාත්තේ,අහස් මේ කාලේ වගේ නැතුව අර ඉස්සර වගේ ආයෙම ෆේල් වෙන්න පුලුවන්.ඒත් මං එයා එක්ක ඉන්න ලෑස්ති.ඔයාට තරම් ද කියන්න දන්නෙ නෑ.ඒත් මං එයාට හරිම ආදරෙයි.”

සකීට හොඳටෝම අඬන්නට ඕනෑ විය.අද දිනා ගත් සම්මානයට වඩා තිළිණයක් ලැබුණු බව අහස්ට කියන්නට තව හෝරාවක්වත් කල් මරන්නට සිදු වනු ඇත.නමුත් ඇයට කඳුළු උසුලා ගැනීම අසීරු ය.

“ඔය ටුවර් එකෙන් පස්සෙ වර්ල්ඩ් කප් පටන් ගන්න කලින් අහස්ට නිදහස් වෙලාවක් තියනවද? එයාට මෙහෙ එන්න කියන්න පුතේ.ඔයාව ගෙනියන්න ලෑස්ති රාජ කුමාරයෙක් වුණත් එයා මෙහෙට ඇවිල්ලා මගෙන් ඔයාව ඉල්ලන්න ඕන.”

ඒ කාලය එතරම් ඉක්මනින් උදාවීම සකීට විශ්වාස කිරීමට ද අසීරු විය.

(සකී වෙනුවෙන් ඔබේ අදහස් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles