ඇඟේ ලේ අඩුවීම කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගමු..

ඔබ  කිනම් හෝ රෝගයකට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයකු මුණ ගැහෙන්න ගිහින් ඇති. එහෙම ගියපු වෙලාවක, වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරලා, අවසානයේ ඇස් යට ත් පරික්ශා කරලා මෙහෙම කියපු බවක් මතකද ? 

” ආහ් … ඇඟේ ලේ නම් ටිකක් අඩුයි වගේ….”

එහෙම නැත්නම් ඔබ හදිසියෙම ක්ලාන්ත වෙලා රෝහල් ගත වුනාට පස්සේ ඔබට මෙහෙම රෝග විනිශ්චයක් ලැබිලා තියෙනවා ද ? 

” ඇඟේ ලේ අඩුකමක් තිබිලා තියෙනවා …”

අපි අද කතා කරන්නේ මේ ඇඟේ ලේ අඩුවීම කියන සෞඛ්‍යමය කාරණාව ගැන. ජීවිතේ එක් වතාවක් හරි මේ කතාව අහලා තියෙන ඔබට මේ ලිපියෙන් යම් දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. 

ලේ අඩු වෙනවා කිව්වට, අඩු වෙන්නේ ලේ නෙවෙයි 

ඇඟේ ලේ අඩු වෙලා කියලා කතාවට කිව්වට, ඇත්තටම සිදුවන්නේ ඇඟේ තියෙන රුධිර ප්‍රමාණය අඩු වීමක් නෙවෙයි. අපේ රුධිරයේ තියෙන රතු රුධිරාණු එක්ක බැඳිලා තියෙන හිමොග්ලොබින් වල අඩුවීමක් තමයි මෙතනදී වෙන්නේ. හිමොග්ලොබින් කියන්නේ,  මිනිස් රතු රැධිර සෛලයන් තුල දක්නට ලැබෙන රැධිරය ඔස්සේ ඔක්සිජන්  පරිවහනය කරන්න  සදහා වැදගත් වෙන ප්‍රෝටීන අණුවක්. ඒ නිසා හිමොග්ලොබින් අපේ සජීවී බව පවත්වා ගන්න බොහෝම වැදගත්.   ඒ නිසා හිමොග්ලොබින් අඩු වීම  , එහෙම නැත්නම් කට වහරට ඇඟේ ලේ අඩුවීම කියන්නේ නම්, සුලුවෙන් හිතන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. 

මේ විදියට ඇඟේ ලේ අඩු වෙන්න හේතු 

ලේ ගැලීම.

මේ කියන්නේ සාමාන්‍ය පොඩි තුවාලයක් වෙලා ශරීරයෙන් රුධිරය ඉවත් වීම නෙවෙයි.  විශාල තුවාලයකින් රුධිරය අසාමාන්‍ය ලෙස පිටවීම, ඉසප් වීමේදී රුධිරය අසාමාන්‍ය ලෙස පිටවීම, කොකු පණු රෝගයේදී සිදුවන අසාමාන්‍ය රුධිරය පිටවීම වගේම අර්ශස් රෝගයේදි සිදුවන  අඛණ්ඩ  රුධිරය පිටවීම වගේ කාරණා නිසා වෙන රුධිරය ඉවත් වීම නිසා ඔබේ ශරීරයේ ලේ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. 

ශරීරයේ ලේ නිපදවීම අඩු වීම.

ශරීරයේ රුධිරය නිපදවීම අඩු වෙන්න බලපාන භයානක රෝගී තත්වයක් තමයි ලියුකේමියාව. ලියුකේමියා වැළඳුණාම රුධිර සෛල නිපදවීම  අඩපණ වෙනවා. එතකොට හිමොග්ලොබින් ප්‍රමාණය කොහොමටත් අඩු වෙනවා.  ඒ වගේම යකඩ සහ විටමින් බී ඌණතාවය නිසාත් ඔබේ ශරීරයේ හිමොග්ලොබින්  නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒ විතරක් නෙවෙයි ජානමය රෝගී තත්ව නිසාත් හිමොග්ලොබින් හදන අඩපණ වෙන්න පුළුවන්. 

රුධිර සෛල බිඳී යෑම.

රතු රුධිරාණු වල හැඩය වෙනස් වීම , රතු රුධිරාණු සෛල වල හිමොග්ලොබින් නිශ්පාදනය ට අදාල වන එන්සයිම නැති වීම, ඔක්සිජන් පරිවහනයට අදාල නොවන වෙනත් හිමොග්ලොබින් වර්ග රුධිරයේ නිපදවීම වගේ කාරණා සෛල බිඳිලා යන්න බලපාන්න පුළුවන්. 

ප්‍රතිකාර වලින් සුවය සොයාගන්න 

කොහොම වුනත් ඇඟේ ලේ අඩු වෙන්න, එහෙම නැත්නම් රතු රුධිරාණු සෛල වල හිමොග්ලොබින් අඩු වෙන්න වැඩිපුරම බලපාන්නේ පෝෂණ ඌණතා සහ ඔසප් වීමේදී ඇතිවන අධික රුධිර වහනයන්.   ඒ ඇරුනහම කොකු පණු රෝගය සහ අර්ශස් රෝගයත් මේ තත්වයට බලපානවා. නමුත් මේ සියළු තත්ව නිසි ප්‍රතිකාර සහ ආහාර මඟින් යථා තත්වයට පත් කරගන්න එක අපහසු නැහැ. 

ඒත් හිමොග්ලොබින් නිපදවීම අඩු කරන ඇටමිඳුළු ආශ්‍රිත රෝග සහ ජාන සම්බන්ධ රෝගී තත්ව නම් යථා තත්වයට පත් කරන්න පහසු නැහැ. 

මෙන්න මේ වගේ කාරණා නිසා ඔබේ ශරීරයේ රුධිරය අඩු බවට වන වෛද්‍ය නිර්දේශ ලැබෙන්න පුළුවන්. 

මේ විදියට ලේ අඩු වුනාම ඔබට දැනෙන අපහසුතා කිහිපයක් තියෙනවා.

නිදිමත ගතිය

ක්ලාන්ත ගතිය 

හතිය

ඇවිදීමේ අපහසුතා

අලස බව 

මෙන්න මේ වගේ ලක්ෂණ දිගින් දිගටම පෙන්වනවා නම්, ඔබ කිනම් වයස් කාණ්ඩයකට අදාල කෙනෙක් වුනත්, වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන එක වැදගත්. 

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles