සැමියා මිය ගිය පසු බිරිඳකට සැමියාගේ නිවස ආසන්නයේ වුව ජීවත්වීම කෙතරම් නම් අපහසු බව සිසිමාධවී තේරුම් ගත්තේ උත්පලා අක්කගේ සැමියා විසින් ආරම්භ කරන්නට නියමිත කඩයේ වැඩ කරන්නට එන්න බැරි යැයි දැන් පසුවය.
සමහර මිනිසුන් කොච්චර ඉගෙන ගත්තත් තමන්ගේ ඇතුළාන්තයේ ඇති පහත් ගති ද, තමන් ජීවත්වන පැත්තේ විදියද පෙන්වන බව සිසිමාධවී දුටුවේද උත්පලා තුලිනි. ඇය තමන්ගේ නිවසේ ඉස්තෝප්පුවට විත් සිසිමාධවීට ඇසෙන්නට බොහෝ ආඩපාලි කියද්දී වුව සිසිමාධවී ඒ සියල්ල නිහඬවම දරාගත්තෙ කෝසල ගැන සිතාය.
“මනුස්සය මැරිච්ච ගමන් පුදුම උඩ යෑමක්නෙ යකෝ ගියේ. රස්සාවල් කියල අගුපිල්වල ජරාව හෝදන්න හොඳයි, අපි මේ මොකක් හරි වැඩක් පටන් ගන්න යද්දි ඒකට උදව්වක් දෙන්න තමා බැරි.
යකෝ මොකද්ද දන්නෙ නෑ ඔච්චර අතාරින්න බැරි රස්සාව” කියා උත්පල කෑගහද්දී පුශ්පලතා ඇයට තරවටු නොකලා නොවේ.
“උත්පලා මේ කට වහගෙන ඉඳපන්. ඒ ළමයට එන්න බෑ කිව්ව එකට උඹට ඔච්චර කෑගහන දෙයක් නෑනෙ. වෙන කෙනෙක් හොයාගන්න බැරි කමක් නෑනෙ” කියා කිව්වද උත්පලා සිසිමාධවීට බනින එක නතර කලේ නැත. සතියක් පමණ යන තුරු උත්පලා කියවමින් හිඳ ඒ කතාව නතර කරගත්තද සිසිමාධවී දකින හැම වරකම ගස්සාගෙන යන්නත්, කඩේ වැඩට කෙනෙකු හියන හැම වරකම සිසිමධවී මතක් කර බනින්නත් අමතක කරේ නැත.
මේ සියල්ල ඇසුණා වුවද සිසිමාධවී උන්නේ එක්තරා අන්දමක නිවීමකිනි. ඒ නිවීම වනාහී අයිරාංගනී තිලකරත්න හරහා සිසිමාධවීගේ හිතට සම්ප්‍රේශනය වූවකි. ජීවිතය ගැන වචන ඔස්සේ එකිනෙකා බෙදා හදාගත් තේරුම් ගැනීමක් ඔස්සේ ලබාගත් නිවීමකි.
මාසෙන් මාසය කාලය ගෙවී යද්දී සිසිමාධවී තිලකරත්න නිවසට නැතුවම බැරි කෙනෙකු වූයේ අයිරාංගනී හා සුමධුර තිලකරත්නගේ හිත්වල ඉහලම තැනක රැඳෙමිනි. අයිරාංගනී තිලකරත්න සිසිමාධවීව දුවෙකු ලෙස භාරගනිද්දී සුමධුර සිසිමාධවීව හිත පත්ලේ සඟවාගත් ආදරයකින් පිළිගත්තේය.
“දරුවො දෙන්නව දැන් ඔය කියන විදියට තනියම නේද ගෙදර තියල එන්න වෙන්නෙ?” අයිරාංගනි ඇසුවේ සිසිමාධවී වැඩ අතරවාරයේ ගෙදර දේවල් බෙදාහදා ගත්තයින් පසුවය. අයිරාංගනී මහත්මිය පහත මාලයට ආවයින් පසු ඇය වැඩිහරිය උන්නේ මුලුතැන්ගෙයි සිසිමාධවී උයන අතරවාරයේ ඇය සමග දොඩමලු වෙමිනි.
නැතිනම් තමන්ගේ කාමරයේ හිඳ එළියට බහින්නට ඇති ෆ්‍රෙන්ච් වීදුරු විවර කර මිදුලේ ගස් වැල් සිප වැළඳගනිමින් එන මද සුලඟේ පහස ලබමින් පොත් කියවමිනි. සිසිමාධවී අයිරාංගනීගේ දුටු විශේෂත්වයක් වුණේ ඇගේ වයස බහුතරයක් කාන්තාවන් කරන්නාක් මෙන් බණ පොත් ආදිය කියවනවා වෙනුවට විවිධාකාරයේ ඉංග්‍රීසි සහ සිංහල නවකතා සහ කවි පොත් ආදිය කියවීමයි. ඒවා සිසිමාධවී සමගද බෙදාගන්නට අයිරාංගනිය අමතක කරේ නැත.
“නෝනා බණ පොත් කියවන්නෙ නැද්ද?” කියා සිසිමාධවී අයිරාංගනීගෙන් ඇසුවේත් ඒ නිසාමය.
“ඇයි දූ එහෙම ඇහුවෙ?”
“වරදක් හිතන්න එපා නෝනා, මම එහෙම ඇහුවෙ නෝනගෙ වයසෙ ගොඩක් අය වයසට යද්දි ඉතින් බණ පොත් කියවනවා, බණ අහනවා වෙන දේවල් කියන්නෙ කරන්නෙ නැති තරම්නෙ. ඒකයි. අපෙ ආච්චිල උනත්, කොටින්ම කෝසලගෙ අම්මා වුණත් රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න පටන්ගත්තයින් පස්සෙ වැඩි හරිය ගත කරේ පන්සල්වල. ඒකයි”
“ඒක වයසක මිනිස්සු නිකන් වයසට යද්දි අනිවාර්‍යෙන්ම කරන්න ඕන දෙයක් වෙලා නේද?”” අයිරාංගනී ඇසුවේ කියවමින් හිඳි පොත වසා පැත්තක තබමින් සිසිමාධවී සමග දිගු කතාබහකට මුල පුරන්නට රෝද පුටුවේ හරිබරි ගැහෙමිනි.
“මම ඉස්සර ඉඳල හරියට පොත් කියෙව්වා. ඉස්සර මොකක් හරි පොතක ලස්සන තැනක් ගැන කියවන්න ලැබුණොත් මමයි ලලිතුයි දෙන්නම කොහොම හරි ඒතැන බලන්න ගියා. අපි අපේ විසිපස්වෙනි ඇනිවසරි එක වෙනුවෙන් තිබ්බ ඇනිවසරි එක පාටි එක ගත්තෙ ලුණුගඟ ජෙෆ්‍රි බාවා කන්ට්‍රි හවුස් එකේ. ලලිත් නම් ආකිටෙක්ට් හින්ද කලින් කීප සැරයක්ම එහෙ ගිහින් තිබුනට මට එහෙ යන්න හිතුනෙ සුමිත්‍රා රාහුබද්ධගෙ සිය සිය පත් සිය පොත කියෙව්වයින් පස්සෙ. මාධවී එහෙ ගිහින් තියනවද දන්නෙ නෑ. හරි ලස්සන තැනක්. ඒ වගේ ලංකාවෙ විතරක් නෙවෙයි අපි සෑහෙන වෙන රටවලට පවා ගිහින් තියෙනව මගෙ ඔය පොත් පිස්සුව නිසා.
අපි දෙන්නට තිබුණා පෝටබල් පොලරොයිඩ් කැම් එකක්. ලලිත් ඉතින් මාව ඉස්සර ලස්සනට පොටෝස් ගන්නවා ඔය එහෙ මෙහෙ ගියාම. මම වෙලාවක පෙන්නන්නම්කො ඔයාට ඒවා.
ඇවිදින්න පුලුවන් කාලෙ කියවපු පොත්වල තිබුණ ලස්සන තැන් බලන්න ගියාට දැන් මට ඒව බලන්න යන්න කකුල් පණ නෑ. ඊටත් වඩා මාව ඒව බලන්න එක්කරගෙන ගිය මනුස්සයත් නෑ. ඇත්ත. ඒත් මගෙ හිතේ තාම මම මේ ලෝකෙ දැකල නැති තැන් ගැන තියෙන, දැකල නැති මිනිස්සු ගැන තියෙන කුතුහලය කවදාවත් නැතිවෙලා නෑ. කකුල් දෙකෙන් ඇවිදගෙන යන්න බැරිවුණත්මම පොත් කියවල හිතෙන් ඒ තැන්වලට යනවා. හිතෙන් ඒ මිනිස්සු වෙලා බලනවා. කකුල් දෙක පණ නැති අවුරුදු හැත්ත ගාණක වයසක ගෑණියෙක්ගෙ ඇඟ ඇතුලෙ ජීවත්වෙන්නෙ තාම ඒ පොත් කියවල ඒ තැන් බලන්න කරන්න ගිය තරුණ කෙල්ලගෙ එක්සයිටඩ් සෝල් එක මාධවී.
ඒ එ්යිට්මන්ට් එක තමයි මාව හැම දවසකම සතුටෙන් තියන්නෙ. ඕනම මනුස්සයෙක්ට ජීවිතේ ගැන ඒ එක්සයිට්මන්ට් එක තියෙන්න ඕන. නැත්තම් ජීවිතේ එපා වෙනවා. බණ පොත් කියවන එක හොඳයි. අපි ඉගෙන ගන්න ඕන අතාරින එක ගැන, දේවල් ඇතිවෙන නැතිවෙන බව. හැබැයි ඒක අපි කරන්න ඕන තේරෙන වයසෙදි නේද? ඊලඟ ආත්මෙ, ඊලග ජීවිතේ වෙනුවෙන් පින් පුරවගන්න ඕන නම් අපි ඒක කරන්න ඕන අපිට වාරු තියෙන කාලෙ මිසක් අපේ අත පය පණ නැතිව බැලන්ස් නැති කාලෙ නෙවෙයි. මම හිතනව මාධවී මට පුලුවන් කාලෙ මම ජීවිතේ ගැන හොඳට තේරුම් ගත්ත සහ මිනිස්සුන්ට උදව් පදව් කරා කියලා. ඒව ඇතිවෙයි මට ඊලඟ ආත්මෙ හොඳ තැනක ඉපදෙන්න. කිසිම දෙයක් කරගන්න බැරි, වෙන කෙනෙක්ගෙ උදව්වෙන් නැගිටින්න කරන්න ඕන කාලෙ බණ පොත් කියවල මට කරගන්න බැරිවෙන පින් ගැන හිතල දුක්වෙනවට වඩා කතාව කියවල අලුත් දෙයක් ඉගෙන ගන්න එක හොඳයි කියල මම හිතනවා”
“නෝනව බලාගන්න එන්න පුලුවන් වුණ එක ගැන මම ඇත්තටම සන්තෝසයි”
“ඇයි එහෙම කිව්වෙ?”
“මම කවදාවත් හිතන්න දකින්න නොහිතපු දේවල් ගැන හිතන්න දකින්න පුලුවන් නෝන එක්ක කතාකරාම. මම ඉතින් පොඩි වයසෙන් බැන්ද නිසා එහෙම ලොකුවට ඉගෙන ගන්නත් බැරි උනානේ. හැබැයි ඉතින් කොච්චර විභාග පාස් කරත් නෝන කියන හිතන දේවල් ඉතින් පොත්වලින් ඉගෙන ගන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ”
සිසිමාධවී තමන්ගේ නිවසේ රැකියාවට එන්නෙත් අම්මාව බලාගන්නෙත් ආසාවෙන් බව සුමධුර තේරුම්ගත්තේ අම්මාත් සිසිමාධවීත් අතර වන කතාබස් වලට සවන් දීමෙන් පමණක් නොව සිසිමාධවී ගිය පසු අම්මා කියන දේවල්ද, සිසිමාධවී තිලකරත්න නිවසේ එහා මෙහා ඇවිදිද්දී ඇගේ වතේ ඇඳී තිබෙන උද්‍යෝගයද අඳුර ගැනීමෙනි.
එහෙත් සිසිමාධවී වනාහී දිගු කාලිනව තිලකරත්න නිවසේ සේවිකාවක් ලෙස තබාගන්නට බැරි හේතුවක්, සිතුවිල්ලක් සුමධුරට තිබුණේය.
ඒ කතාබහ සිසිමාධවී සමග කල යුතු බව දැන උන්නද ඒ කල යුත්තේ කුමන දවසක කුමන මොහොතකද සහ කෙසේද කියා පටඇවිල්ලක් ඔහුට තිබුණේය.එහෙත් ඒ වනාහී තවදුරටත් ඇසීම පස්සට දමන්නට බැරි කතාබහකි.
සුමධුර එදා සිසිමාධවී හවස ගෙදර බලා යන්නට කලින් නිවසට ආවේය. බෝගන්විලා ගොන්න යටින් ඇවිද එද්දී සුමධුරගේ නැහැ පුඩු ඔස්සේ හමා ගියේ ප්‍රණීත, ඉමිහිරි සාම්බාරුවක සුවඳකි. අම්මා අසනීප වන්නට කලියෙන් රාජකාරි ඉවර වී නිවස බලා එද්දී කෑම මේසය මත ඉතාම රස උණු ආහාර පිරී තිබූ බව සුමධුරට මතකය. එහෙත් අම්මා අසනීප වුණායින් පසුවඇයව බලාගන්නට කෙනෙකු සොයාගන්නා තුරු අම්මත් තමාත් සරණපාලත් වෙනුවෙ සුමධුර එළියෙන් කෑම අරගෙන ආවේය.
ඒ අතීතය බොහෝ දුර බව සිතෙන්නේ සිසිමාධවී ආවයින් පසු නිවසේ මුලුතැන්ගෙයින් හමා එන්නට වූ විවිධාකාරයේ ප්‍රණීත, රස නහර උලුප්පන කෑම සුවඳ නිසාය.
අහන්නේ නැතුවම කාමරයට එන තේකද, වචනයක්වත් නොකියා තමාව පිළිගන්නා වූද, කායබහුල දවසක වෙහෙස නිවන්නා වූද සිනහවද ජීවිතය වඩා රසවත් කරන්නක් බව සුමධුර එක හිතින්ම පිළිගත්තේය.
සුපුරුදු ලෙසම සිසිමාධවී බෝගන්විලා ගාල අසල ඔංචිල්ලාවේ වාඩි වී තේක රස විඳින ගමන් උන් සුමධුර වෙත ආවේ තමා යන බව කියන්නට නමුත් ඇය හා කතාකරන්නට දෙයක් සුමධුරට විය.
තවත් පමා නොකර ඒ ඇසිය යුතු බව සිතූ නිසාම සුමධුර ඒ ප්‍රශ්නය වචන කලේය.
“මාධවී හැමදාම මෙහෙ වැඩට එන්නද බලාපොරොත්තු වෙන්නෙ?”
අනපේක්ශිතව සුමධුර නැගූ ඒ පැනය සිසිමාධවී තිගැස්සුවාය.