සියක් සියපත් 09

ළමා විය ගෙවා අහවර නව යොවුන් විය ඔස්සේ තුරුණුවෙකු ලෙස කෙනෙකු වැඩිහිටි සමාජයේ පුරවැසියෙකු වී සමාජගත වනුයේ පෙර උන් ළමයා සේ නොවේ. ළමයෙකු කාලයේ විඳ ගත් සුඛ දුක්ඛ දෝමනස්සයන් ඔස්සේ තමන් ට අවැසි පරිදි තමන් ගේ ලෝකය ගොඩ නගා ගැනීමේ සිහිනයක් දකිනා නව මිනිසෙකු ලෙස ය. උසස් පෙළ තරණය කරමින් පාසල් ජීවිතයට සමු දෙත්දී සියපත් සඳපිනි සූරියගොඩ යෞවනිය තුළ දෙයාකාරයක සිහින වූවා යයි කිව හැක. එකක්, උසස් අධ්‍යාපනය ඔස්සේ මතු යම් දිනෙක ඉහළ යයි සම්මත රැකියාවක් ලබා ගෙවා පැමිණි කටුක දිවියට සමු දීම ය. අනෙක, හැකි ඉක්මනින් කුමක් හෝ රැකියාවක් සොයා ගෙන, දන්නා දවසේ පටන් ළිප ගිනි මැද දුක් ම විඳිනා මව් පියන්ට යම් අසිවැසිල්ලක් උදා කර දීම ය. විශ්ව විද්‍යාලයට ලකුණු සුළු ගණනක් අඩු වීම නිසා පළමු සිහිනය අත් හැර දමන්නට ඇයට සිදු විය. ගැඹුරින් සිතුවේ වී නම් එය ඇයට ඒ තරම් පහසුවෙන් කළ හැක්කක් නොවේ. ඒ මත්තේ ම සිටියේ වී නම් යළිත් වරක් විභාගය ලියා කෙසේ හෝ ඉලක්කය වෙත යන්නට ඈ උත්සාහ කරනු ඇත. නමුත් ඊට වැඩි යුතුකමක් පසෙක බලා සිටියේ ය. ඇය හැකි පමණින් දන්නා කියන සියලු දෙනාට රැකියාවක් ගැන කීවා ය.  ඇඳුම් සාප්පුවක වෙළෙඳ සේවිකාවක් ලෙස රැකියාව ලැබුණේ එසේ දැනුම් දී තිබූ කෙනෙකු මාර්ගයෙනි. සියපත් එහි මාසයක් වැඩ කළා ය. උදේ සිට රෑ නවය වන තුරු එහි සේවා කාලය පැවතිණ. රෑ නවයට වැඩ ඇරුණ විට මහරගම සිට එන්නට තිබෙන්නේ අවසාන බසය පමණකි. ඇතැම් දිනෙක ඒ බසය වැඩ කරන්නේ නැත. ඇතැම් විට සාප්පුවෙන් නියමිත වෙලාවට ද පිට වී ගත නො හැකි වේ. එතකොට කොහොමත් ඒ බස් එක නික්ම ගොසිනි. ඔය විදිහට පාරේ අසරණ වූ දෙතුන් වතාවකට පස්සේ රෑ නවය වන විට ශාන්ත ඇඳුම් සාප්පුව ළඟ සිටියේ ය. ගෑනු ළමයෙකු ට ඒ තරම් රෑ බෝ වී තනිව ගෙදර පැමිණිය හැකි සමාජයක් නොවන බව ඔහු දැන සිටි බැවිනි. නමුත් එය දිගින් දිගට ම කළ නො හැකි බැවින් මාසික වැටුප ගෙන ඇය ඒ රැකියාවට නොයා සිටියා ය. ඊට පස්සේ රූපලාවන්‍ය නිශ්පාදන අලෙවි කරනා සාප්පුවක සහායිකාවක ලෙස වැඩ සොයා ගත හැකි විය. නමුත් එහි වැටුප බස් වියදම ආවරණය කර ගන්නට ද ප්‍රමාණවත් නොවන බව මාසයක් දෙකක් යන විට පසක් වන්නට විය. දිනපතා වැඩට යත්දී අඳින්නට ඇඳුම් තිබිය යුතු ය. කෑම එක ගෙදරින් ගෙන යා යුතු ය. ඒ ගමන් වලට අඳිනා ඇඳුම් ටික සෝදා ගනු වස් සබන් ගන්නටවත් වැටුප ප්‍රමාණවත් නැති වූයෙන් දෙමසකට පසු සියපත් ඒ වැඩට යාම නතර කළා ය.

“ගෙදර වියදමට කීයක්වත් දෙන්නවත් පුළුවන් කමක් නැත්තං මං ඒ රස්සාවට ගිහිං වැඩක් නෑනෙ”

මඳහසකින් වී ද ඇය කතා කළේ හදවතේ රිදුමකිනි. ළමයෙකු ලෙස ගෙවූ ජීවිතයට වඩා වැඩිහිටියෙකු ලෙස උරුම වී ඇති ජීවිතය වඩාත් කටුක බව ඇයට වැටහෙන්නට පටන් ගෙන තිබිණ. ළමයෙකු නම් වෙන දෙයක් බලා ගෙන සිටිත හැකි ය. නමුත් වැඩිහිටියෙකු කියන්නේ සිදු විය යුතු පරිදි දේවල් සිදු කර ගත යුතු කෙනෙකුට ය. ළමයෙකු කාලයේ ඇය සිහින දුටුවේ ඉක්මනින් ලොකු වී සිය පවුලේ තත්වය වඩා යහපත් කළ හැකි ආකාරයක් ගැන ය. නමුත් ඒ දුටු සිහින  කිසිවක් හැබැහින් ඉටු කර ගත නො හැකි වැඩිහිටි භාවය ගැන ගැඹුරු වේදනාවක් දැනෙන්නට ගන්නේ කිසිවක් ම කර ගත නො හැකි තරමට තමන් අසරණයි කියා සිතෙත්දී ය. සිය දෙමාපියන් ද කාලයක් තිස්සේ පොර බදන්නට ඇත්තේ ඒ අසරණ කමත් සමග බව සියපත් ට තේරුම් යමින් තිබිණ. ඉහළට ඉගෙන ගන්නට අවස්ථාවක් ද නැතිව, වෘත්තීය සුදුසුකමක් ලබන්නට මාර්ගයක් ද නැතිව, රැකියා අවස්ථාවක් ද නැතිව ජීවත් වන්නට සිදු වෙනවා කියන්නේ පාසල හැර වැඩිහිටි ලෝකයට අවතීර්ණ වන තරුණ ජීවිතයකට දරා ගත නො හැකි මානසික පීඩනයකි. වැඩිහිටියෙකු වන තුරු තමන් පෝෂණය කරනා ලද දෙමව්පියන් ව තව දුරටත් වෙහෙසමින්, ඔවුන් උපයා සපයන දෙයක් කන්නට අඳින්නට වෙනවා කියන්නේ දරා ගත හැකි තත්වයක් නොවේ.

ඒ ගැන ම කල්පනා කිරීම නිසා සියපත් මානසික බිඳ වැටීමකට ලක් වෙමින් සිටියා ය. එක ම දෙයක් ගැන දිගින් දිගට ම සිතීම නිසා ජීවිතය අනවශ්‍ය වදයක් සේ දැනෙන්නට පුළුවන. රැකියා වියුක්තිය නිසා තරුණයෙකු දිවි නසා ගත් පුවතක් ඔය අතර කාලයේ වාර්තා විය.

“අනේ දෙයියනේ දෙමව්පියො මොන තරං දුක් විඳින්න ඇද්ද ඒ ළමයව ඔය තරමට ලොකු කර ගන්න…”

සුජීවා හුස්ම ඉහළට අල්වා ගෙන කීවා ය.

“කා..ල..කන්නි. මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකේ වටිනාකම දන්නැති එවුං. අපි දිවි නසා ගත්තනං වළලපු තැන් වල ගසුත් වැවිල”

“ඒ අම්ම කොහොම දරා ගන්නද දෙයියනේ දැං…”

අම්මා ගේ ඇස් වල කඳුළක් දුටු සියපත් තිගැස්සී ගියා ය. කිසිවක් කර කියා ගත නො හැකි මේ ජීවිතය කුමටද කියා ඇයට ද සිතුණ වාර ගණන අප්‍රමාණ ය. නමුත් මොන විශාධ තත්වයක් නිසා හෝ තමන්ව දරා ගන්නේ නැතිව ජීවිතය අත් හැර නො දමන බවට ඇය තදින් හිතට ගත්තා ය. ශාන්ත හන්දියේ කඩ කෑල්ලක කෑම විකුණන්නට ගත්තේ ඔය අතර ය. සියපත් එහි වැඩ කරන්නට ගත්තේ කැමැත්තෙනි. නමුත් උන් හිටි ගමන් කඩ හිමියා කඩය නැවත ඉල්ලා සිටියෙන් ඔවුන් ගේ බලාපොරොත්තු බිඳ වැටිණ. ගෙදරම කෑම විකුණමු යනුවෙන් සියපත් කළ යෝජනාව, ඒ තත්වය මත සිදු කළ එකකි. එසේ නොවිණි නම් ඇය උමතු වන්නට තිබිණි. තාරුණ්‍යය හෝ තාරුණ්‍යයේ ගැටළු ගැන සංවේදී නොවෙනා සමාජයක තරුණයන් ගේ ඉරණම විසඳා ගත යුතුව තිබෙනුයේ ඔවුන් ම ය. සිය ඉරණම ඇයව කහවණුගොඩ මන්දිරයට කැටුව ඒවි යයි සියපත් සිතුවා නොවේ. ඇය මේ ගමන ආවේ රෝගියා සුව වෙන තුරු මාසයක් දෙකක් හෝ යම් මුදලක් අතට ලැබෙනා එක ගැන සිතමිනි. ඔවුන් ගේ ජීවිත හැමදාමත් එලෙස එදා වේල මත පැවතුණ ඒවා ය. නමුත් එය කාර්යාලයක ඉහළ තනතුරක වැටුපක් ලැබෙනා ඉරණම් ගමනක්ය කියා තවමත් ඇයට විශ්වාස කර ගත නො හැකි තරම ය.

ඇස් පිහාටු වල වූ කඳුළු තෙත මදිරා ගේ ඇස් වලින් වහං කළ නො හැකි වූ බැවින් සියපත්ට ඒ කඳුළු වලට හේතු වූ කතාව තව දුරටත් ඇගෙන් සඟවා ගත නො හැකි විය. 

“ඔයාට හිතා ගන්නවත් බෑ අක්කෙ ඒ විදිහෙ ජීවිත ගෙවන මිනිස්සු ගැන. ඒ නිසා ඔයා ඒ ගැන හිතන්නෙපා”

සියපත් ගේ ජීවිතය ගැන පසුබිම් කතාව අසා තවමත් තිගැස්සී ගෙන හිඳිනා මදිරා ගේ අතකින් මුදු ලෙස අල්වා ගෙන ඇය මඳහසක් පෑවා ය. 

“ඒ වගේ එක මනුස්සයෙක්ට හරි ඕගොල්ලො මේ විදිහට කරුණාවන්ත වෙන එකම ඇති. ඇත්තටම පෝසත් මිනිස්සු ගැන පොඩි කාලෙ ඉඳලම මගෙ හිතේ මැවිල තිබුණ චිත්‍රය බොඳ වෙලා ගියා මේ ගෙදරට අඩිය තියපු වෙලාවෙ ඉඳන්”

“අනේ සියපත්…මං මොකද්ද කියන්න ඕන කියල මට තේරෙන්නෑ”

“ඒ වුණාට මගෙ ජොබ් එක අක්කව සතුටෙන් තියන එක. ඔයා ඒව ගැන හිතන්නවත් දුක් වෙන්නවත් එපා”

“පෝසත් මිනිස්සුන්ගෙ ජීවිත වලත් ඕන තරං කතා තියනව සියපත්. දුප්පත් අයට නැති සල්ලි එයාලට තියන එක විතරයි වෙනස. ප්‍රශ්න කියන දේවල් එයාලටත් පොදුයි. සල්ලි වලට කරන්න බැරි ඕන තරං දේවල් තියනව සියපත්”

මදිරා ගේ ඇස වලත් පැරණි ශෝකයක් තැවරී තිබිණ. ඒ ගැන හාරවුස්සා අසන්නට සියපත් උනන්දු වූයේ නැත. වඩා වැදගත් වන්නේ සතුටෙන් සිටීමයි. සතුටෙන් නැතත් හිතේ සාමයෙන් සිටීමයි. 

“මං තාත්තට කියල ඔයාට ජොබ් එකක් හදල දෙන්නං අපේ කම්පනි එකේ. ඒ ගැන වොරි වෙන්න එපා”

“හරි අපි පස්සෙ බලමු. දැනට මට මෙහෙම අක්ක ළඟ ඉන්න ලැබිල තියනවනෙ”

දැන් මදිරා නිතර ම කාමරයෙන් පිටතට පැමිණෙයි. ගෙවත්තට වී සියපත් සමග නොයෙක් දේ ගැන කතා බහ කරයි. කෑම ගන්නට කෑම මේසය වෙත එයි. කාලයක් තිස්සේ පවුලේ අයගෙන් ඈත් වෙමින් ගෙවූ හුදෙකලා ශෝකී කළු සුදු දිවිය මත්තේ පාට තැවරෙමින් ඇති බවක් ඇයට දැනේ. 

“සියපත්ට ඩ්‍රයිව් කරන්න බැරිද…”

එදා දවල් කෑම මේසයේ දී හදිසියේ ම මදිරා විමසුවා ය. සියපත් පමණකුදු නොව සනාතන හා සදාතන පවා ඇය දෙස බැලූහ.

“නෑ…එහෙම පුළුවන් වුණානං අපි දෙන්නට ඔය හවසට කොහෙ හරි අවිදින්න යන්න පුළුවන්නෙ…පාක් එකකට…ශොපින් කම්ප්ලෙක්ස් එකකට වුණත්…”

“අනේ මට බෑනෙ”

“ඔයාට යන්න ඕන තැනකට මං එක්කං යන්නං අක්ක”

කියා කියන්නට සදාතන ට උවමනා විය. නමුත් ඔහු එසේ කියන්නට පෙර සනාතන ඉස්සර වූයේ ය.

“ඉතිං මං එක්කං යන්නං”

“එහෙනං ඔයා ආයෙ ඔෆිස් යන ගමන් අපිව දියත පාක් එක ළඟින් දාං යන්නකො සනාතන. එන්නත් අපිට වාහනයක් එවනවද සදාතන…”

සදාතන යන්තම් හිස සැළුවා පමණි. ජීවිතය ගැන එවන් උනන්දුවක් මදිරා වෙතින් මතු වීම ඔවුන් ගේ බලාපොරොත්තු නමැති වියළී යමින් පැවති වෘක්ෂය නැවත දලු දැමීමක් සරි ය. නමුත් සදාතන ගේ හිත හරහා කුණාටු සුළඟක් හමා ගියේ ය. ඔහු වෙනදාට වඩා ඉක්මනින් කෑම මේසයෙන් නැගිට ගියේ ය.

මෝටර් රථයට මදිරා නංවා, රෝද පුටුව ඇතුළට දමා ගැනීමෙන් පසු සනාතන සියපත් ගේ කොණ්ඩා කරලෙන් අදිනු, ඉස්සරහා කාමරයේ ජනේලයෙන් සදාතන බලා ගෙන ය.  සියපත් කොණ්ඩා කරල අල්වා ගනිමින් සිනහ වූයේ “ඌයි” කියමිනි. ඒ මෝටර් රථය නික්ම යත්දී දැනුණු රිදුම ගැන නො සිතා සදාතන තේ කම්හලේ කලමණාකාරවරයාට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

හැන්දෑවත්, සෙවනත්, දියවන්නා ඔය පිස හමනා සුළඟේ සිසිලත්  තරුණියන් දෙදෙනා තුළ නැවුම් ප්‍රබෝධී හැඟීම් ජනිත කරවනා ලදී. සනාතන ඔවුන් එහි බස්වා නික්ම ගියේ යළි පැමිණෙනා පොරොන්දුව ඇතිව ය. නමුත් ඔහු කාර්යාලයට නො පැමිණියේ ය. සනාතන, අක්කා හා සියපත් සමග උද්‍යානයේ හවස ගත කරනු ඇතැයි සදාතන අනුමාන කළේ ය. 

දියවන්නා ඔය සරැලි නගනු දකිමින් මදිරා රෝද පුටුව සෙවණක නවතා ගත්තා ය. කොංක්‍රීට් බංකුවක ඈ ළඟින් ම සියපත් හිඳ සිටියා ය.

“සනීප වෙලා අක්ක මැරි කරන්න”

සියපත් එසේ කීවේ මදිරා තුළ ජීවිතය ගැන අලුත් අපේක්ෂාවක් ඇති කිරීමේ අරමුණෙනි. මදිරා හඬ නගා සිනහ වූවා ය.

“ඇයි…”

“දැං ඉතිං ගහක් තමා බැඳගන්න වෙන්නෙ”

“ඇයි අනේ…අවුරුදු තිහක් කියන්නෙ වයසක්ද..”

“වයස කොහොම වුණත්…ඒ වගේ බැඳීමක් ගැන හිතේ තිබුණ විශ්වාසෙ දැන් නෑ සියපත්”

“එක්කෙනෙක් එහෙම වුණාට හැමෝම නෑනෙ අනේ. ඔයාව ආදරෙන් බලා ගන්න කෙනෙක් ඔයාට හම්බ වෙන්න ඕනෙ”

“මං ලව්ස්ටෝරීස් වලට කැමති ඒකයි”

“ඒ කිව්වෙ…”

“අපේ ජීවිත වල අපිට සිද්ද වෙනවට අපි ආස…ඒත් කවදාවත් අපේ ඇත්ත ජීවිත වල සිද්ද වෙන්නැති දේවල් ඒ කතා වල වෙනවනෙ. ඉතින් ටික වෙලාවකට හරි ඒ මං කියල හිතං ඒක ඇතුළෙ ජීවත් වෙන්න පුළුවන්. මාව මැරි කරන්න හිටපු කෙනා අක්සිඩන්ට් එකෙන් පස්සෙ බෑ කිව්ව. ඒක තමයි ඇත්ත ප්‍රායෝගික ජීවිතේ. ඒත් ලව් ස්ටෝරි එකක එහෙමනං ඇවිදින්න බැරි වුණත් මං වීල් චෙයා එකෙන් හරි මනමාලියක් වෙයි”

“ඇයි අක්ක ප්‍රපෝසල් එකකට කැමති වුණේ…”

“ඒක දිග කතාවක් සියපත්..මං වෙලාවක ඔයාට ඒ ගැන කියන්නං..සමහර දේවල් එහෙමයි. අපි ආස දේ නෙවෙයි ජීවිතේ කියල කියන්නෙ…අපිට ලැබෙන දේ…”

හැන්දෑ වන තුරු ම ඔවුහු එතැනට වී කතා කරමින් සිටියහ. බොජුන් හල් වෙත විත් අයිස් ක්‍රීම් කෑහ. මදිරා මල් පැළයක් ද මිල දී ගත්තා ය. ආයේ එනවා කියා ගිය සනාතන ගෙන් වෙනුවට මදිරා ට සදාගෙන් දුරකතන ඇමතුමක් පැමිණියේ ය. තරුණියන් දෙදෙනා කැටිව යන්නට පැමිණ තිබුණේ ඔහු ය. සනාතන සමග ඔවුන් උ්‍යානය වෙත එන්නට පිටත් වෙත්දී බුම්මා ගෙන කාමරයට රිංගා ගත් හාදයා ගේ මූණේ සතුටක් සරැලි නගමින් තිබිණ. මදිරා ව රිය අසුනෙහි තබා රෝද පුටුව ඇතුළට දමත්දී, ඔහු තමන් ළඟ සිටි යුවතිය ගේ කොණ්ඩා කරල දුටුවේ ය. නමුත් සනාතන වාගේ කොණ්ඩය අදින්නට තරම් ඇය තමන්ට මිත්‍රශීලී නැති බවක් ඔහු ට දැනිණ.

“ඔයා නගින්න”

නමුත් සදාතන එසේ කීවේ අමුතු හැඟීමකිනි. අක්කාට මිස වෙන කිසිදු ගෑනු ළමයෙකුට ඒ තරම් තමන්ගේ කමකින් කවදාවත් වචනයක් කියා නැති බවක් ඔහු ට දැනී නො දැනී ගියේ ය. 

💜️ප්‍රේම ගාථා, නිබ්බුත ගීත හා අහස තරු සහ කළුවර යන මගේ අලුත් නවකතා වට්ටම් සහිතව ගෙන්වා ගැනීමට 0788376053 යන අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles