පෙමාතුර -07

 මොළයට රුධිරය සපයන වාහිනියක ලේ කැටියක් හිර වීම අඝාතය හෙවත් ස්ට්‍රෝක් ලෙස හැඳින්වේ. එම ලේ කැටිය දිය වී යාම සඳහාත්, ඉදිරියේ දී රුධිර වාහිනී වල ලේ කැටි ඇති වීම වැළැක්වීම සඳහාත් අම්මා ට ප්‍රතිකාර කෙරිණ. 

ඇය කීවේ දැඩි හිසරදයක් එක් වන පැන නැගි බවයි. ඉන් පසු හාත්පස කළුවර වී දෑස නොපෙනී ගිය බවත්, ඉනික්බිති සිදු වූවක් මතක නැති බවත් අම්මා කීවා ය. 

ප්‍රතිකාර වලින් පසුව ද ඇය කතා කරත්දී මඳ වශයෙන් ගොත බවක් දැනිණ. ලේ කැටිය නිසා මොළයට රුධිර සැපයුම අඩු වෙත්දී එම කොටසින් රුධිර ඔක්සිජන් ලබනා ස්නායු පටක කොටස් වලට හානි විය හැකි බවත්, එම ස්නායු වලින් ක්‍රියාකාරිත්වය ලබනා ශරීර කොටස් අකර්මන්‍ය විය හැකි බවත් වෛද්‍යවරු විසින් පහදා දෙනු ලැබූහ. අංශභාග තත්වය ලෙස ජන වහරේ හැඳින්වෙන්නේ මේ අවස්ථාවයි. 

කෙසේ වෙතත් වාසනාවකට මා එවෙලේ ම වාගේ ගෙදර විත් තිබූ නිසාත් විසල් ඒ වෙලාවේ එහි සිටි නිසාත් අම්මාව ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි වූයෙන් ඇය ඉක්මනින් සුව කර ගත හැකි වූයේ ය. ඖෂධ හා ව්‍යායාම මගින් ඇය යථා තත්වයට පත් වනු ඇති බව වෛද්‍ය අදහස විය. 

“සිංහල බෙහෙත් වලින් මේ වගේ ලෙඩ්ඩුන්ගෙ ගොඩක් ප්‍රශ්න නැති වෙලා යනව. බෙහෙත් තෙල් වලින් අර ඩැමේජ් වෙච්ච නියුරෝන්ස් රිකවර් කෙරෙනව කියනවනෙ. අපි අක්කව හොඳ සිංහල වෙද මහත්තයෙක් ළඟටත් අරං යමු”

දින කිහිපයකට පසු අම්මා ගෙදර ගෙන ආ ඉක්බිති නදීරා කීවා ය. සනෝජා පුංචි හිස සැළුවා ය. බටහිර ප්‍රතිකාර වලින් ඇය බෝ සුව වී සිටියත් කතා කරත්දී වචන වල තිබූ මඳ ගොත ස්වභාවය නිසා තවමත් අම්මා ගැන මා තුළ වූයේ ගැස්මකි. කවර ප්‍රතිකාර ක්‍රමයකින් හෝ ඇය යළි මුල් තත්වයට පත් කර ගැනීම මගේ ද ඒකායන බලාපොරොත්තුව විය.

ආදරණීයයන් හැම දා මත් නො වෙනස් ව හිඳිනු දකින ආශාවක් අප සියලු දෙනා ගේ යටි හිත් වල වේ. ඔවුන් ගේ ඇස් පිල්ලමකුදු වෙනස් වෙත්දී අපි තැති ගන්නෙමු. ඔවුන් ගිලන් වෙත්දී අප මුළුමනින් අකර්මන්‍ය වනුයේ අපට පුරුදු මුල් තත්වයෙන් යළි අපට ඔවුන් දකිත නො හැකි වෙතැයි බියෙනි. නැතහොත් ඔවුන් ජීවිතය හැර යතැයි බියෙනි. අප කිසිවෙකුට තනි ජීවිතයක් නොමැති තරමි. අප ව නිර්මාණය වනුයේ අප වටා සිටිනා සමීපතම සියලු දෙනා ගෙනි. එයින් එක් අයෙකු හෝ බිඳ වැටීම අපගේ ද බිඳ වැටීමට හේතු වේ. අම්මා නිසා මා බිඳ වැටී සිටියේ ද එසේ ය.

නමුත් අම්මා ඉක්මනින් ම යළි යථාවත් කර ගන්නට මගේ හිත නිතර සවි බල වැඩුවේ ය. දියාරු වී වැගිරෙන්නට ගිය බොහෝ අවස්ථා වල මම ශක්තිමත් වීමි. අම්මා සම්පූර්ණයෙන් සුව පත් ව ඇගේ ජීවිතය විඳ ගත යුතු ය!

ඒ නිසා ම අපි වෙද ස්වාමීන් වහන්සේ නමක ගේ පිහිට ද පැතුවෙමු. අම්මා සුව වෙනවා නම් විශ්වයේ ඕනෑ ම බලවේගයක පිහිට පතන්නට අපි සූදානමින් ද සිටියෙමු. 

අම්මා ගේ තත්වය ගැන සිදත් අංකල් මගෙන් අසා දැන ගත්තේ ය. ඔහු මුලින් ම මගේ දුරකතනයට කතා කළ වෙලාවේ හිතේ මඳ දෙගිඩියාවක් වුණත්, ඔහු ගේ සුහද ශීලය මඳ වෙලාවකින් ම මා පහසුවට පත් කළේ ය. 

“මං ටිකට් බුක් කළා දුව. හෙට රෑ ෆ්ලයිට් එකෙන් මං ලංකාවට එනව”

ආසන්න සැඳෑවක ඔහු මට කතා කොට කීවේ ය. අම්මා ට ද ඔහු ඒ බව දන්වා තිබිණ. ඒ, පුදුම කරවන්නට නො කියා පැමිණීම අම්මා ගේ තත්වයේ හැටියට අයහපත් ලෙස බලපෑ හැකි බැවිනි. 

ඒ ආරංචියෙන් ම අම්මා ගේ අසනීප ගතිය බෙහෙවින් සුව වූවා ද කියා මට සිතුණ තරමි. ඇය ගේ මුහුණ වඩා ප්‍රභාමත් වූයේ ය. ඇය හැකි තාක් අසනීප ගතියෙන් තොර ව ඔහු හමු වන්නට උත්සාහ කළා කියා සිතමි. බටහිර හා දේශීය යන ප්‍රතිකාර ක්‍රම දෙක ම නිසා ද ව්‍යායාම නිසා ද ඇය වඩාත් සුව අතට පත් වී ද සිටියා ය. 

සිදත් අංකල් පැහැපත් උස තැනැත්තෙකි. ඔහු ගේ හිස කේ අතරින් පතර සුදු වී තිබූ අතර, ඒ නිසා ම පරිනත පෞරුෂයක් ද ඔහු වෙතින් විද්‍යමාන විය. ඒ වගේ කඩවසම් පුරුෂයෙකුට පෙම් කිරීමෙන් පසු ව, තාත්තා වගේ පෙනුම අඩු පිරිමියෙකු හා විවාහ වී ඔහු වෙනුවෙන් කැප වෙන්නට අම්මා ගත් තීරණය ගැන සසැඳීමක් කරන්නට මට හැකි වූයේ නැත. 

ඔවුන් දෙදෙනා වසර තිහකට පමණ  පසු මුල් ම වතාවට යළි හමු වූ මොහොතේ ඔවුන් දෙදෙනා ගේ ම හිත් වල වූ සිතිවිලි සමුදාය සිව් නෙත් වලින් බැහැර වන හැටි මම දුටුවෙමි. කවදාවත් එක සයුරකට වැටෙන්නට පින් මඳ වූ ආදර ගංගා දෙකක් ඒ ඇස් වලින් ගලා ගියේ ය. ආදරය කවදාවත් වියපත් වන්නේ නැති බව වටහා ගන්නට මට ඊට වඩා සාක්ෂි උවමනා වූයේ නැත. 

“ඒක හරි පුදුමයක්. මට හිතා ගන්න බෑ එදායි අදයි එකට යා වුණේ කොහොමද කියල…අවුරුදු තිහක කාලයක් අත් ඇරිල එදාට අද යා වෙලා තිබුණෙ කිසිම වෙනසක් නැතුව…”

ඔහු රාත්‍රී භෝජනය ගෙන නික්ම ගිය පසු අම්මා සිය අවංක හැඟීම අප ඉදිරියේ ප්‍රකාශ කළා ය. ඒ වෙලාවේත් ඇගේ ඇස් දිළිසෙමින් තිබිණ.

“මං අසනීපයි කියල දැන ගත්තහම හැම දේම පැත්තකින් තියල මාව බලන්න දුවං එන්න එයාට දැනුත් පුළුවන් කියල හිතන එක….ඇත්තටම ඒක ටිකක් අමුතුයි වගේ. ඒ අමුත්තට මං කැමතියි”

ආදරය කියන්නේ ඒ අමුත්තට ය කියා මම අම්මා ට නො කියා සිටියෙමි. සැබවින් හදවතට දැනෙනා කෙනෙකු වෙනුවෙන් අපේ පපු වල ගැඹුරේ ම පිළිසිඳෙනා හා නිදන් ගත වෙනා ඒ අරුම පුදුම හැඟීම අපේ ම සිතිවිලි සසල කරවන්නකි. 

“ඒ ආදරේ එහෙම පරිස්සං වුණේ සමහර විට ඔය දෙන්නා මැරි කළේ නැති නිසා වෙන්න පුළුවන් අක්කා”

නදීරා කී කතාව මා යළිත් තිගස්සවන්නට සමත් විය.

“ඇයි එහෙම කියන්නෙ…”

“මේකයි කිසා. ආදරෙයි කසාදෙයි කියන්නෙ එකක් කියල අපි හිතුවට…ඇත්තටම ඒ දෙකක්. කසාදයක් ඇතුළෙ ආදරයක් පරිස්සං වෙන්න තියන ඉඩ හරි අඩුයි. මොකද ආදරේ කියන්නෙ හැඟීමක්. ෆීලින් එකක්. මැරේජ් එකක් කියන්නෙ වගකීම් යුතුකම් ගොඩක්. ඒ වගකීම් යුතුකම් අස්සෙ ආදරේ කියන හැඟීමට පවතින්න තියන ඉඩ හරි අඩුයි. මොකද වගකීම් යුතුකම් කියන්නෙ කරන දේවල්. හැඟීම් කියන්නෙ දැනෙන දේවල්. ඔය දෙක බැලන්ස් කර ගන්න එක ලොකු අවබෝදයකින් කරන්න ඕන දෙයක් කිසා”

“ඔය කෙල්ල ඕව අහල නිකං බය වෙයි. කසාදයක් කර ගන්න වුණත් බය හිතෙන්න පුළුවන්”

අම්මා ට තෙල් සාත්තුවක් කරනා ගමන් සනෝජා පුංචි මඳහසකින් කීවා ය. ඇත්තට ම මගේ මුහුණේ එවන් බියක් තිබිණි ද කියා මා දන්නේ නැත. නමුත් පෙර කවදාටත් වඩා මම ආදරය ගැන සාක්ෂි එකතු කරමින් සිටි බව නම් දනිමි.

“බය වෙන්න නෙවෙයි කිසා ඕනෙ. ඒ අවබෝධය ලබන්න. හැබැයි කිසා කියන්නෙත් සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයිනෙ. කියවන ලියන කෙල්ලෙක්. සාමාන්‍ය ගෑනියෙක්ට වඩා එහෙම ගෑනියෙක්ට මේ කසාදෙ කියන දේට ඔරොත්තු දෙන්න ටිකක් අමාරුයි. මොකද ආදරේ වගේ නෙවෙයි…කසාදෙ රෝල් වෙන්න හුඟක් පිරිමි හරි ලේසියට පාවිච්චි කරන දේ තමයි බොරුව. හුඟක් ගෑනුන්ට ඔරොත්තු දෙන්නත් බැරි දේ තමයි බොරුව කියන්නෙ. කිසා..රටේ ලෝකෙ ඇත්තටම මොනාද වෙන්නෙ කියල අදහසක් අවබෝදයක් නැති සාමාන්‍ය ගෑනුන්ට මේක තමයි කසාද ජීවිතේ කියන්නෙ කියල හිතාගෙන ළමයි බමයි ඔක්කෙ ගහගෙන ඉන්න පුළුවන්…ඒත් අපි වගේ ගෑනුන්ට අමාරුයි කිසා. අපි ඇත්ත හොයනව. හාර හාර පාර පාර ඇත්ත හොයනව. ආදරේ හොයනව. ආදරේ කරන කාලෙ දැකපු මනුස්සය නෙවෙයි මේ කියල දැනෙනකොට අපි ඉච්චාභංග වෙන එක නතර කරන්න සක්කරයටවත් බෑ. හැබැයි ඒකෙං කියවෙන්නෙ ආදරේ කියල එකක් නෑ කියල නෙවෙයි කිසා. ආදරේ තියනව. අපිට හම්බ වෙනවද අපි හොයා ගන්නවද කියන එක තමයි හැම දේම තීරණේ කරන්නෙ”

නදීරා පෙම් කළ මිනිසා තවත් ස්ත්‍රියක සමග ජීවිතයක් ගෙවන බව ඇය දැන ගෙන තිබෙන්නේ ඇගේ දියණියට වයස දහයක් ද පසු වූ ඉක්බිති ය. ඒ පුරුෂයා ව්‍යාපාර කටයුතු ද සමග කාර්ය බහුල ව සිටි තැනැත්තෙකි. ඒ නිසා ගෙදර නොපැමිණෙන දින තිබිණ. කාර්ය බහුල කාල තිබිණ. ගෙදර නොපැමිණි දින වල ඔහු රැය පහන් කරන්නේ ඔහු ගේ අනිත් බිරිය සමගින් බව ඇය දැන ගෙන තිබුණේ පමා වී ය.

“හොයල බලනකොට ඒ ලේඩිව මෙයා බැඳල නෑ. හැබැයි ගෙයක් දොරක් අරං දීල සැපට තියල තිබුණා. සමහර විට මෙයා කලින් බැඳලයි කියල ඒ මනුස්සය දැන ගන්නකොට පෙරහැර ගිහිං ඉවරයි වෙන්න ඇති. එතකොට එයාට පුතෙක් හිටිය අවුරුදු පහක. ඒ ගෑනිගෙ කනෙං අල්ලල දොට්ට දානවද මේ වගේ නළුවෙක් එක්ක දිගටම ජීවත් වෙනවද කියල තීරණේ කරන්න මට වෙලාව ආව. ඒත් විස්වාසෙ කියන දේ කඩ කරපු මිනිහෙක් එක්ක ජීවිත කාලයක් ඉන්නෙ කොහොමද කියන ඇත්ත මං ඉස්සරහට ඇවිත් මට විරිත්තන්න පටං ගත්තා. එතනදිත් මට දෙකෙං එකක් තීරණේ කරන්න තිබුණා. ඔය විදිහටම ඒ ගෑනිත් හිටපුදෙං…මාත් මෙහෙමම ඉන්නව කියන එකද නැත්තං මං දොට්ට බහිනව කියන එකද කරන්නෙ කියල. අපි දෙන්නම අසරණ ගෑනු. දෙන්නටම ළමයි හිටිය. හැබැයි මට තේරුණා ඒ ගෑනිට වඩා මං ශක්තිමත් කියල. ඒක නිසා එයාට අර මිනිහත් එක්ක ඕන කුදයක් ගහ ගන්න කියල ළමයත් අරං මං ඩිවෝස් වුණා”

ඒ ඇය සිය තීරණය ගැන මා හා කියා තිබූ කතාවකි. නමුත් හැම කෙනෙකුට ම ආදරය එක ම ස්වරූපයක් ගන්නේ නැති බව දැන් මම දනිමි. අම්මා සිය ප්‍රථම ප්‍රේමය බිඳ වැටුණ ද කිසි සේත් ආදරය අවිශ්වාස කළේ නැත. 

“අක්කගෙ වාසනාවට අක්ක බැන්ද කෙනා වුණත් අක්කට ආදරේ නිසා කලකිරෙන්න හේතුවක් තිබ්බෙ නෑ. නිදහස කියන දේ සීමා කරපු එක වුණත් කවුද දන්නෙ එයා ආදරේ වැඩි කමට කරපු දෙයක්ද කියල”

පුංචි ගේ කතාවට අම්මා ගේ මුවග මඳහසක් ඇඳිණි. ඒ මඳහස වෙනදාට දැක පුරුදු ඇගේ මන්දස්මිතයට වඩා වෙනස් අරුත් දෙන්නක් බව මට නම් දැනිණි. නමුත් ඒ ගැන විමසන්නට තරම් දිරියක් මවෙත වූයේ නැත.

“පිටින් බලල කිසි දෙයක් විනිශ්චය කරන්න බෑ නංගි. මං අපි අතරෙ තිබුණ ප්‍රශ්න අපි අතරෙම විසඳ ගන්න බැලුව තමයි. එයාටත් වෙන සම්බන්දයක් තිබුණා. අන්තිම මොහොත වෙනකල් මං එයාව අත්ඇරියෙ නැති වුණාට”

මට දැනුණේ මා මහා අගාධයක් වෙත ඇදී යන්නා සේ ය. තාත්තා නීතිකාරයෙකු බව මම දැන සිටියෙමි. එය ඔහු ගේ පෞරුෂයේ ම කොටසක් ලෙසත් මම සිතුවෙමි. ඔහු අම්මා ට දුන් ජීවිතය ගැන පැහැදීමක් නොවුණා ට, ඒ තාත්තා යයි සිතන්නට හැම විට ම මට ඕනා විය. ඒ තාත්තා ට අපේ ගෙදරින් පිටතත් ලෝකයක් තිබුණා යි අම්මා ම කියත්දී මා තුළ වූ යමක් දෙදරා ගියේ ය. මම පපුව අල්ලා ගෙන, ඒ බිඳී විසිරුණු අංශු එක්කාසු කිරීමේ අසාර්ථක උත්සාහයක් ගතිමි.

“අම්..ම…”

මගේ මුවින් කෙඳිරිලි හඬක් නැගිණි. මම ඇය හිඳ උන් අසුන ළඟ බිම හිඳ ඇගේ පපුවේ මුහුණ හොවා ගතිමි.

“මං කිව්වෙ…ඔය කෙල්ලව බය කරන්න එපා කියල”

සනෝජා පුංචි නෝක්කාඩුවක් කීවා ය. ඇය මගේ හදවතේ ප්‍රවේසම ගැන වද වෙන බව මම දනිමි. අම්මා මහිසත් මුහුණත් පිරිමදින්නට වූවා ය.

“ජීවිතේ කියන්නෙ එහෙම දෙයක් තමයි කිසා. අපි ඒ දේවල් දැන ගෙන ඉන්න ඕන. නොදැන හිටියම තමයි සුයිසයිඩ් කර ගන්න හිතෙන්නෙ…මං සුයිසයිඩ් කර ගත්තනං ඔයයි අයියයි අද කොහෙද කිසා…”

මම ලොකු හුස්මකින් ළය සැහැල්ලු කර ගැනීමේ උත්සාහයක් ගතිමි. ආදරය ගැන නිර්වචන ඉදිරිපත් නොකර සිටින තරමට හොඳ ය කියා දැන් දැන් මට සිතෙමින් තිබේ. එය වූ කලී කන්දක බරක් බව කොහොමත් මම දනිමි. එක අතකට ආදරයක් කියන්නේ ඕනෑ ම මොහොතක ඕනෑම කෙනෙකු අරබයා ඇති විය හැකි හැඟීමක් නොවන්නේ ද?මෙතැන සිටිනා ගැහැනුන් තිදෙනා ම ආදරය කියනා කාරණය තුළ තමන් ගේ කොටස තමන්ට හැකි පමණින් කළ අය වෙති. තමන්ට දැනෙනා අයුරින් කළ අය වෙති. ඔවුහු වින්දිතයෝ වූහ. එක අතකට කුවේණිය ගේ පටන් ගැහැනු ආදරය නිසා අසරණ කමේ පත්ල සිඹි උන් වූහ. පිරිමින්ට තවත් ප්‍රේමයක් හෝ තවත් ගැහැනියක ඕනෑ වෙත්දී අතු ගා දැමුණු රොඩ්ඩක් පමණක් වූහ. එමතු නොව ඒ ප්‍රතික්ෂේප කිරීම් වලින් කඳුළු පිස දා ගෙන නැගී සිටි අයෝමය ශක්ති උත්පාදක ආත්මයක් ඔවුන් සතු විය.

“එයාලත් හෙව්වෙ ආදරේනං…ඒක අපෙන් ලැබුණෙ නැත්තං හරි ලැබුණා මදිනං හරි..එක අතකට ඒක වෛර කරන්න හේතුවක් නෙවෙයිනෙ”

“හරියට හරි අක්ක. එහෙම හිතල අපි හිත් හදා ගමු. හැබැයි උන්ගෙ පයට පෑගිල චප්ප වෙලා ගිය අපේ හීන වලට වද වෙන්න වග වෙන්න කවුරුත් නැති එකේ අපි අපිම ඒ තුවාල සනීප කර ගමු”

අඬන්නට කඳුළු ගැහැනු හිත් හතරක වූයේ ය. නමුත් කිසිවෙකු හැඬුවේ නැත. ඇතැම් විට කඳුළු වලට කළ හැකි දෙයක් නොවන බව කඳුළු විසින් ම ඔවුන් ට පසක් කොට දී තිබුණා විය හැක. 

“ඒක නෙවෙයි. අපි අර එහා ගෙදර රෙන්ට් එකට ඉන්න ළමයට ඩිනර් එකකටවත් ඉන්වයිට් කරන එක හොඳයි නේද…ඒ ළමය එදා ඉදිරිපත් නොවෙන්න අක්කගෙ තත්වෙ මීට වඩා සීරියස් වෙන්න තිබුණා. අපි ඒ ළමයට රෙස්පෙක්ට් කරන්න ඕන”

හදිසියේ ම මාතෘකාව වෙනස් කළේ සනෝජා පුංචි ය. භූමි කම්පාවකට ලක් වූවා සේ මගේ හදවත හෙළවී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles