සෙනෙහස් අවාරේ 29

“හැමදාම වුණත් ඔයා අ‌පේ ගෙදර වැඩට එනවනම් මමයි අම්මයි දෙන්නම කැමතියි මාධවී එත් දැන් ඔයා තේරුම්ගන්න ඕන ඔයාගෙ ගෙදර මේන් ඉන්කම් එක ඔයා. ඒ වගේම ඔයාගෙ දරුවො දෙන්නට දැන් ඉන්න එකම පෙයරන්ට් ඔයානෙ. ඉතින් ඔයාගෙ අත් දෙක උඩ තමයි එයාලගෙ සම්පූර්ණ ෆියුචර් එකම රැඳිල තියෙන්නෙ. එහෙම නේද?”

සුමධුර කතාව ආරම්භ කලේ හෙමින් සැරේය. සිසිමාධවී කුතුහලයත් තිගැස්මත් නිසා විසල් කරගත් දෙනෙතින් තමා දෙසම බලා ඉද්දී ඒ දෙනෙත් මගහැර මේසය මත තිබූ කොල හුලඟේ ගසා ගෙන යෑම වැළැක්වීම පිණිස තබා තිබෙන වීදුරු බෝලය අතෙන් කැරකෙව්වේය.

“ඔව් මහත්තය” කියා සුමධුරට පිළිතුරු දෙන්නට සිසිමාධවී වචන ගැටගසා ගත්තේ බියෙනි.

“ඒකතමයි, මාධවී හිතනවද හැමදාම මෙහෙම ජොබ් එකක් කරලා ඔයාටයි දරුවන්ටයි දැන් ඉන්න තැනින් උඩට යන්න පුලුවන්කමක් තියෙයි කියල. මම දැන් ගෙවන සැලරි එක ඔයාලට කාල ඇඳල ඉන්න ප්‍රමාණවත් බව මම දන්නවා මාධවී. හැබැයි ඕනම දෙමව්පියෙක් කැමතිනෙ තමන්ට ලැබුණ දේවල්වලට වඩා හොඳ දෙයක් දරුවන්ට දෙන්නනෙ. ඔයාටත් එහෙම උවමනා ඇති නේද?”

“මං කැමතියි මහත්තය. මොන අම්මද අකමැති දරුවන්ට හොඳ දෙයක් දෙන්න. ඒ උනාට ඉතින් මේ රස්සාව නැති කරගෙන ගිහින් මට වෙන රස්සාවක් හොයාගන්න බෑනෙ මහත්තය. මොන දේ කරන්නත් කලින් කාලා ඇඳල ඉන්න ඕනනෙ. අපි කන්නෙ බොන්නෙ මහත්තය දෙන්න සල්ලිවලින් නෙ”

“නෑ මාධවී, මටඒක නොතෙරෙනව නෙවෙයි. හැබැයි ඕනම මනුස්සයෙක්ට ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනනෙ. දරුවො දෙන්න ලොකු වෙද්දි ඔයාට දැනට වඩා වියදම් වැඩිවෙනව එයාලගෙ හයර් ස්ටඩීස් වලට, වෙඩින්ස් වලට. ඒ විතරක් නෙවෙයි දරුවො දෙන්න ලඟ නැති කාලෙක වුණත් ඔයාට කියල දෙයක්, තැනක් තියෙන්න ඕනනෙ. අපි හිටඖ තැනවත්, දැන් ඉන්න තැනවත් නෙවෙයි මාධවී වැදගත්.ඉස්සරහට අපි ඉන්නෙ කොතනද කියන එක. ඒක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නෙ අපි දැන් ගන්න ඩිසිශන්ස් මතනෙ.

මම දන්නවා මේ ජොබ් එකෙන් අයින් වෙලා ඔයාට වෙන රස්සාවකට යන එක අමාරුයි සහ රිස්කි කියල. හැබැයි මම කියන්නෙ ඔයාට මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලනම් නෙවෙයි” කියා සුමධුර වීදුරු බෝලයෙන් මුදවාගත් දෙනෙත් සිසිමාධවීගේ වීදුරු මෙන් දිදුලන දෙනෙත් මත රැඳෙව්වේය.

“මහත්තය කියන දේ මට තේරෙන්නෙ නෑ”

“මං එදා මරණෙ වෙලේ ඔයාලගෙ ගෙදර ආවම ඉතින් කට්ටිය එක්ක කතාබහ කරානෙ. ඔයාලගෙ ගෙවල් ලඟ නැන්ද කෙනෙක් කිව්වා ඔයා මහන වැඩ එහෙමත් කරනව කියල. එයාලගෙ දරුවන්ට ඔය ඇඳුමක් එහෙම මහගන්න ඕන උනාම ඔයා තමයි ඇඳුම් මහල දෙන්නෙ කියලා”

“ආහ් ඔව් මහත්තය, කෝසලගෙ අම්මලගෙ ගෙදර පරණ මහන මැශිමක් තියෙනව. ඒකෙන් මම ඔය ඉඳල හිටල දරුවන්ගෙ වැඩවලට ඇඳුම් එහෙම මහනව. ඉස්කෝලෙ යනකාලෙ ඒම්බ්‍රොයිඩර් එහෙමත් ඉගෙන ගත්තනෙ. නිතරම නම් මහන්නෙ නෑ. ලඟදි නම් මැහුවෙ නැතිම තරම් වෙලාව නැති හන්දා”

“මම ඔයාගෙන් අහන්න ගියේ ඔයා කැමති නැද්ද මහන එකයි එම්බ්‍රොයිඩරි කරන එකයි බිස්නස් එකක් විදියට කරන්න?”

සුමධුර තිලකරත්න වන් මිනිසෙක් තමාගෙන් කවදාවත් එවනි දෙයක් අසනු ඇතැයි සිසිමාධවී හිතා උන්නේ නැත. අනෙක් අතට ව්‍යාපාරයක් කරන්න තමා වන් කෙනෙකුට කිසි උගත්කමක් පුලුවන්කමක් හයියක් තිබේද යන්න සිසිමාධවීට ගැටලුවකි. තමා උසස් පෙල විභාගයට මුහුණ දෙන්නටත් පෙර පැන අවුදින් විවාහ වූ තමා අනතුරුව කලේ දරුවන් හදන එකත් උයන පිහන එකත් පමණකි. එහෙම තමා මෙවැනි රැකියාවකට හෝ ආවේ කෝසල අසනීප වූ නිසාත් තමන්ට වෙන ආදායම් මාර්ගයක් නොතිබුණ නිසාය. එහෙව් තමා ව්‍යාපාරයක් කරන්නේ කොහොමද?

“අනේ මහත්තය මට ඕව කරන්න තේරෙන්නෙ නෑනෙ. අනික මම උදේ ඉඳල හවස් වෙනකම් මං මෙහෙනෙ ඉන්නෙ.මහන දෙයක් කරන්න වෙන්නෙ රෑට ගෙදර ගිහින් තමා. ඒක බැරිකමක් නෑ. ඒ උනාට මැශිම තියෙන්නෙ කෝසලගෙ මහගෙදර නෙ. රෑ වෙලා එහෙ ගිහින් මහන්න විදියක් නෑනෙ මහත්තයා”

“ඒකට අපි මොකක් හරි විසඳුමක් දාගත්ත කියමුකො. ඔයාට පුලුවන්ද රෑට මහා ඕඩර්ස් අරගෙන වැඩේ කරගෙන යන්න? පොඩිවට හරි කමක් නෑ මාධවී කොහෙන් හරි පටන් ගන්නනෙ ඕන. ඔයාම හිතන්නකො ඔයාගෙ ඩිසයින්ස් එහෙම ලස්සන නම් ඕඩර්ස් ගොඩක් ඒවි. කවදහරි දරුවන්ට උනත් ආඩම්බරෙන් කියන්න පුලුවන් නෙ අපේ අම්මා බිස්නස් වුමන් කෙනෙක් කියල. ඉස්සර වගේ දැන් බිස්නස් කරන්න එහෙම ලොකුවට මහන්සිවෙන්න දෙයක් නෑ මාධවී. ස්මාට් ෆෝන් එකක් තියෙනම්, ඔය ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ප්‍රොෆයිල් හදාගත්තනම් වැඩ කොලිටි නම්, ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා”

“මහත්තය කියද්දි මට ආස හිතෙනව, අනේ මන්ද මහත්තය භාරගත්තට කරන්න පුලුවන් වෙයිද කියල”

සිසිමාධවී එදා ගෙදර ගියේ වෙනදා නොවූ සන්තෝසයකින් හිත පුරවාගෙනය. ඒ වූ කලී සුමධුර විසින් කියන්නට යෙදුණ දේවල් ඔස්සේ හිත ඇතුළාන්තයකින් නැගුන අලුත් බලාපොරොත්තුවක් නිසා ඉපදුණ සන්තෝසයකිනි.

දරුවන් වෙනුවෙන් තමා උපයන්නට උවමනා බව සිසිමාධවී දැන නොඋන්නා නොවේ. ඒ හැඟීම අවසානයෙ තිබුණේ දරුවන්ට යහපත් ජිවිතයක් ලඟා කර දීම මිස තමාට වයසට යද්දි කිසිවෙකුට බරක් නොවන ලෙස ජීවත්වන්නට හැකි වේවා යන පැතුම නොවේ.එහෙත් එය ද තමා විසින් බරපතලව සිතන්නට උවමනා යුතු බව සිසිමාධවී තේරුම් ගත්තේ සුමධුර විසින් කියන්නට යෙදුණු කාරණාව ඔස්සේය.

තමා ඉතාම තරුණ වයසකදී විවාහ වී ආවයින් පසුව ජීවත්වුණේ කෝසලගේ සෙවණැල්ල යට බව ඇත්තකි. ඒ සෙවණැල්ලෙන් මිදී එලියට අවුදින් තමාට තමා ලෙස ජීවත්වන්නට සිදුවුණේ කෝසල අසනීප වූවායින් පසුවය. මුදල් සෙවීමේ පරමාර්තය එදා වේල කා ජීවත්වීම බව කෝසල අයත්වන වටපිටාවද සමාජයද සිතුවද තමා ඇත්තටම ඉපදුන සමාජ ස්තරය සිතනුයේ ගැහැණියෙක් වේවා පිරිමියෙක් වේවා ඉපයීම සතුටක් කර ගත යුතු බවත්, තමා වෙනුවෙන් ඉපයිය යුතු බවත්‍ ය යන්න සිසිමාධවීට නොරහසකි.

දෙව්මි වෙනුවෙන් මසා එම්බ්‍රොයිඩර් කර කුඩා ඇඳුම් කට්ටල කිහිපයක් සිසිමාධවී පසුවදා උදේ තිලකරත්න නිවසට යද්දී රැගෙන ගියාය. ඒ සුමධුරට පෙන්වා ඔහුගේ අදහස් උදහස්ද ලබා ගනු පිණිසය.

“මේව හොඳටම හොඳයි මාධවී. මම ලොකුවට ඇඳුම් පැලඳුම් ඩිසයින් ගැන දන්න කෙනෙක් නොවුනට, මේ මැටීරියල් ලොකු කොලිටි එකක ඒව නොවුනට ඔයා නීට් එකට මහල තියෙනව කියන එක මම හිතන්නෙ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් මේව දැක්කම.

අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. ඔයාට වැඩිපුරම මහන්න ලේසි ඇඳුම් වලින් කෑලි කීපයක් මහල අපි ඒව සෝශල් මීඩියා වල පබ්ලිශ් කරල පොඩි ඕඩියන්ස් එකක් හදාගමු. පස්සෙ ඔයාට එයාලගෙ කස්ටම් ඕඩර්ස් වලට උනත් බඩු දාන්න පුලුවන්නෙ. මොකද කියන්නෙ? එහෙම හොඳ ද?”

සුමධුර අසද්දී සිසිමාධවිට ඇත්තටම එකඟ වනවා හැර වෙන දෙයක් කියන්නට තිබුණේ නැත. ඇය හිස බිමට නැඹුරු කර සිනා සී හිස වැණුවේ තමන්ගේ අනුමැතිය දෙන බව කියනු පිණිසය.

සුමධුරත් සිසිමාධවීත් අතර තමා නොහිතන අන්දමේ මිතුදමක් තිබෙන බව කල්පනා ගෙදරට ආ බොහෝ වෙලාවල් වල හිමින් සීරුවේ තේරුම්ගත්තාය. තමන්ගේ සහෝදරයා වුනත් වසර ගනනක් තිස්සේ ආදරය නිසා නොසොල්වාගත් හිත සොලවන්නට හැකි අන්දමේ ගැහැණුකමක් සිසිමාධවි සතුව තිබෙන බව කල්පනාට නොහිත ඉන්න බැරිය.

එහෙත් එහෙමයි කියා තමන් සතු විය යුතු යැයි තමන් සිතන, තමන්ගේ කරගන්නට බොහෝ කාලයක් තිස්සේ වෙර දැරූ දෙයක් අතෙන් ගිලිහී යනු දකින්න කල්පනාට උවමනා වූයේ නැත.

කල යුතු යමක් වේ නම් එය කල යුත්තේ අම්මාව කුලප්පු කරවා බව කල්පනා සිතුවේ එනිසාමය. කොහෙවත් ඉන්න විවාහ වී දරුවන් දෙදෙනෙකුද ලැබ වැන්දඹු වූ කෙල්ලක කොච්චට හිතට ඇල්ලුවද, තමන්ගේ එකම පුතාගේ බිරින්දෑ කරගන්නට අම්මා අකමැති වන බව කල්පනා සිතුවාය.

සුමධුරටත් අම්මාටත් රහසෙන් කල්පනා මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට සිතුවේ එනිසාය.
සුමධුර නොබඳිනවානම් හොඳය. එහෙත් බඳිනවානම් බඳින්න ඕනාද තමන්ට යටත් කරගත හැකි අන්දමේ, තමන්ට සියල්ල යළිත් වරක් තමන්ගේ කල හැකි අන්දමේ අයෙකි.

එවන් කෙනෙකු ගැන සිතුවිල්ලක් කල්පනාට තිබුණාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles