සුහදිනි -44

“මම මේවා ඇස් දෙකට දැකලා නෑ.ඒත් මට නිම්නා කියපු දේකින් මම මේ කියන්නෙ.ඔයා අහස්ට අයිති නැති කාලේ,අහස් සාරණ්‍යාට අයිති කාලෙත් ඔයා මීට වඩා එයාව විශ්වාස කළේ නැද්ද?”

සියුම් අසන්නේ ඔහුට සැබෑවටම දැනුණු හැඟීම ය.අන්තර්ජාලයේ තටු සලා පියාඹන මිතුලි-අහස් ප්‍රේම කතාව හන්දා සකී අහස්ව දුරකථන සහ සමාජ ජාලා ඔස්සේ අවහිර කර දමා ඇති බව අහස් පැවසුවේ වේදනාවෙනි.සකී අහස්ව දරා ගත් ආකාරය බලද්දී එය අදහන්නට පවා අසීරු ප්‍රවෘත්තියක් බව සියුම්ට සිතේ.

“සකීයි මායි ඉන්නේ ට්වින් ෆ්ලේම් එකක කියලා මං හරියට විශ්වාස කරා.නොකියන හේතුත් එක්ක ඒක එහෙමයි කියලා මං අදටත් හිතනවා.”

අහස් එසේ කියද්දී සියුම් හඬ නඟා හිනැහී ය.

“ට්වින් ෆ්ලේම් මඟුලක් නෙවේ,මේවා ඔක්කොම කෙල්ලන්ගෙ මෝඩ ඉරිසියාකම්.අච්චර ගාණක් තාත්තා වෙනුවෙන් වියදම් කරද්දීවත් උඹට ඇමති දූලා වැඩක් නෑ කියලා හිතෙන්න සකීට මොළයක් නැත්තං ඔහොම කෙල්ලො එක්ක උඹට ඉස්සරහට යන්න බෑ බං.”

එහෙත් ඒ ආත්මීය සහකරුවන්ට මුහුණ දීමට සිදුවන අවස්ථා අතරින් එකක් බව අහස් දැන සිටියේ ය.තමන් වෙනුවෙන් එවැන්නෙකු සිටින බව විශ්වාස කිරීම සහ හමුවීමට ආශාවෙන් සිටීම,මුණ ගැසීම සහ ආදරයෙන් පැවතීම යන අදියර පසු වී තිබේ.දැන් පැමිණ ඇත්තේ අභියෝගාත්මක අදියර බව අහස් දැන සිටියේ ය.මින් එතෙර වීම අපහසු නොවේ.

“ජීවිතේ ගැන ආදරේ ගැන එහෙම අනාරක්ෂිතකම් මතු වෙන එකත් හොඳයි.එතකොට ඉතිං ඒවා හදාගන්න ගමන් ඉස්සරහට යන්න පුලුවන්.මං හිතන්නෙ එහෙමයි.”

අහස් මේ මොහොතේ පවා එසේ විශ්වාස කරමින් හිඳින බව සියුම් දැන සිටියේ ය.මේ මුහුණ පුම්බා ගත් කුඩා කෙල්ල දන්නවාට වඩා අහස් ඇයට බොහෝ ආදරය කරයි.

“අහස් කියන්නේ ටක් ගාලා කඩා වැටෙන කොල්ලෙක්.සෝෂල් මීඩියාවල හෑලි ලියන කෝච්ලා නොහිටින්න ඔයිට වඩා හොඳට ප්ලේ කරන්න වුණත් පුලුවන් කොල්ලෙක්.කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති උන්ට එයාව එහෙම වට්ටන්න පුලුවන් නම් ඔයාට එයාව කොහොම වට්ටන්න පුලුවන් කියලද හිතන්නේ?”

සියුම් සිටින්නේ තරහින් බව සකී දනියි.නිම්නා පවා මේ මොහොතේ ඇගේ පාර්ශවයේ නැත.නිම්නා තදබල ලෙස පවසන්නේ එක් ඡායාරූපයක් හෝ සාක්ෂි ලෙස නැති කතාවක් විශ්වාසයට ගන්නට තරම් සකී අමන ලෙස අඥාන වීම ගැන ඇය ලැජ්ජා වන බව ය.

“මට ඇත්තටම ඔයාට හොඳ පාරක් දෙන්න හිතෙනව සකී.තවනම් මොකුත්ම කියන්න එපා.කිසිම දෙයක්.මං ඔයාගෙ ඔය මුළු කතාවම රන්මිණිට කියනව.”

නිම්නා ඉන් නොනැවතී තර්ජනය කළා ය.

“අපිට වඩා සෑහෙන ඉහළින් ඉන්න කෙනෙකුට ආදරේ කරනකොට ජීවිතේ ගැන සෑහෙන්න අනාරක්ෂිතකමක් එනව කියලා මං අහල තියේ.ඒත් මං ඒක පිළිගන්න ලෑස්ති නෑ.ජනාධිපතිට ආදරේ කරත් එයා අයිති තමන්ට විතරයි කියලා හිතේ විශ්වාසයක් තියා ගන්න ඕන සකී.”

සියුම් කියන්නේ එහෙම කතාවකි.ඒ සෑම කතාවක්ම අසමින් සිටි සකී හදිසියේම සසැලුණේ එක් කාරණාවක් හන්දා ය.ඉතා සුරූපිනියක ඇය ඉදිරියට පාදුර්භූත වූයේ හිටිහැටියේ ය.රූපයට තරම් නොවන තරමේ කාරුණික කටහඬකින් ඇය සකී අමතන්නට වූවා ය.

“මං මිතුලි.මට ඔයාව මුණ ගැහෙන්න ඕනෑ වුණා නංගි.හැමදෙයක්ම හරියටම දැන ගන්නකම් සතියක් විතර පරක්කු වුණාට සමා වෙන්න.”

ඇයට සවන් නොදී මෙතැනින් ඈතට දුවන්නට සකීට ඕනෑ විය.එහෙත් නිම්නා ඇගේ අත තරයේ අල්ලා ගැනීමත් සියුම්ගේ තරවටු බැල්මත් සකී හුන් තැනම ගල් කර තිබිණ.

“මං ඒ සම්බන්දෙ නවත්තන්න ලෑස්ති.”

සකී අපහසුවෙන් කියා ගත්තා ය.මිතුලිගේ මුහුණට නැඟුණේ සුන්දර සිනාවකි.හිරිකඩුව ඇමතිට මෙතරමට කාරුණික සහ පොළොවේ පය ගසා සිටින වර්ගයේ දියණියක ලැබුණේ කෙසේදැයි සියුම් කල්පනා කරන්නට විය.

“එච්චර ඉක්මනින් කොහොමද ඔයා සන් ෆ්ලවර් නොවී ඉන්න තීරණය කරන්නේ? කොහෙටවත් නැති බොරු කේලමක් අහලා.”

අහස් වංචාවක් නොකළ බව සකීගේ සිතට නොදැනෙනවා නොවේ.නමුත් ඒ සත්‍යය පිළිගන්නට ඇයට අපහසු ය.ඇය හිඳින්නේ වේදනාවෙනි.

“මං දන්න එකම දේ අහස්ලගෙන් අපේ තාත්තා මටයි කියලා වාහනයක් අරගෙන තිබුණා.තාත්තා එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න අකමැති මං ඒ වාහනේ කොහෙද කියල දන්නෙත් නෑ නංගි.මං ලංකාවේ ඉන්න කාලෙට පාවිච්චි කරන්නෙ මගේ අම්මගෙ වාහනේ.මං ගැන සෑහෙන දේවල් කියලා වැඩක් නෑ.මං ගැන මංවත් නොදන්න කතාව පත්තරේ දාපු කෙනා ඔයාට අඳුන්වලා දෙන්න මං ආවේ.”

මිතුලි ඒ කවුදැයි පෙන්වන්නට සකී රැගෙන ගියා ය.සියුම් ද නිම්නා ද සමඟ සකී ඒ වෙත ගියේ තෝරා ගන්නට අසීරු සිතුවිලි සමූහයකිනි.මෝටර් රථයේ වීදුරුවට සන් කර බිමට බසින්නැයි මිතුලි අණ දුන්නේ යුවතියකට ය.ඈ දෙස සකී පුදුමයෙන් බැලුවා ය.

“මං නම් දැනන් හිටිය මෙහෙම ජරා වැඩ කරන්න පුලුවන් තමුසෙට විතරයි කියල.තමුසෙගෙ ජීවිතේම මහ ජරාවක් ඕයි.”

මහා මාර්ගය හන්දා එතැනින් එහා යමක් කියන්නට සියුම්ට උවමනා නොවිණ.සාරණ්‍යා අහස්ට ඕනෑවට වඩා සමීප වෙමින් සිටි කාලයේ ඔහුගේ ක්‍රිකට් අනාගතය පමණක් නොව මුළු අනාගතයම විනාශ කරන්නේ ඇය බවට අනාවැකි කී කාලය සිහි කරමින් සියුම් පුපුරන්නට වූයේ ය.

“ටෙලි ඩ්‍රාමාවල හිටගෙන දෙබස් කිව්වට ඔයා ඇත්ත ජීවිතේ මාර රඟපෑමක්නෙ රඟපාන්නෙ”

නිම්නා ඇගේ අපුල පිට කරන්නට වූවා ය.සකීට කිසිවක්ම කියා ගන්නට හැකි වූයේ නැත.

“මෙයාද අහස්ගෙ සන් ෆ්ලවර්?”

නහයටම ගිලී තිබියදී පවා සාරණ්‍යා අසන්නේ නිම්නා දෙස ගිනි පිඹින බැල්මකින් බලමිනි.මිතුලි නිම්නා සමඟ ඉක්මන් බැල්මක් හුවමාරු කර ගත්තා ය.එහි ගැබ් වූ අදහස නිම්නාට වැටහිණ.

“කවුරු හරි මෙතනින් කෙනෙක් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.හැබැයි අහස් ඇත්තටම ආදරේ කරන්නෙ ඒ ළමයට.ඕනෑම මනුස්සයෙක් විනෝදෙට අෆෙයාස් කරන්න පුලුවං,කම්මැලිකමට අෆෙයා එකක් කරන්න පුලුවං,ඇත්තටම ආදරෙන් පටන් අරන් නොගැලපීම් හන්දා වෙන් වෙන්න පුලුවං,ඒ මොනවා කරත් ඒ මිනිස්සු ගියාට පස්සෙ කැත විදියට පලි ගන්න එක හරිම කැතයි සාරණ්‍යා.”

සාරණ්‍යා බිම බලා ගත්තා ය.හිරිකඩුව ඇමතිගේ දියණිය පටලවා ගැනීම අතිශය විනාශයක් බව ඇයට වැටහෙන්නේ දැන් ය.

“මගේ තාත්තට ඕනෑම දෙයක් කරන්න පුලුවන් සාරණ්‍යා.මං එයාට මේක කිව්වේ නෑ.ඒ ඔයා මගෙ වයසට කිට්ටු ගෑනු ළමයෙක් හින්දා.හැබැයි මේ වෙනකොට අහස් මගේ කිට්ටුවන්තම යාලුවෙක්.මේ ගර්ල් මගේම නංගි කෙනෙක් වගේ මට දැනෙන්නෙ.ආයේ කැත ඕපාදූප පැතිරෙන්න ගත්තොත් එක්කො තාත්තගෙ ක්‍රමේකට හරි නැත්නම් ලංකාවේ නීතිය අනුව හරි මං මේක විසඳනවා.දැනට මං අහස් වෙනුවෙන් මේක කරේ ඔයා කියලා මීඩියා දැනුවත් කරනව.ඔයාට එකම එක අවස්ථාවක් දීලා නඩුවක් නොදා ඉන්න මමයි අහසුයි තීරණය කළා.”

මිතුලිගේ කටහඬෙහි ඇති පෞරුෂය දෙස සකී ගල් ගැසී බලා හුන්නා ය.ඇය සැබෑවටම අහස්ට අයත් වූවානම් හිත හදා ගන්නට පවා දැන් සකීට හැකි වේ.

“සෝෂල් මීඩියා වලිනුයි,ඔහේ අටවා ගත්තු වෙබ් සයිට් වලිනුයි මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරලා ජීවිතේ විනාස කරන්න කලින් හිතන්න ඕන කාරණාවක් තියනවා සාරණ්‍යා.මං වගේ කෙහෙල් ගස්වලටත් කොටන්න හිතුණු දවසක ඔයා නැත්තටම නැති වෙන්න පුලුවන්.”

මිතුලි කියද්දී සාරණ්‍යා භීතියට පත් වූවා ය.ඕනෑම ඇබැද්දියක් විය හැකි තැනකට ඇය පැමිණ තිබේ.

(ඊයේ කතාව ලබා නොදුන්නාට සමා වෙන්න.ඔබේ ප්‍රතිචාරය තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles