ප්‍රේමය නිසා මිලිනව ගිය රෝස මල

  • කෝටිපති ව්‍යාපාරික පවුලක්

ස්වීඩන් ජාතික රොජර් ජොන්සන්  විවාහ වුනේ ශ්‍රී ලාංකික යුවතියක් සමඟ. ලෝකය පුරා ව්‍යාපාර කටයුතු සඳහා සංචාරය කලත්, චමල්කා නම් වූ ඒ ශ්‍රී ලාංකික සුන්දර කාන්තාව දකින තෙක් ඔහුට මල්සරාගේ බැල්ම වැටිලා තිබුනේ නැහැ. රොජර් සහ චමල්කා ඉතා ඉක්මනින් ප්‍රේමයෙන් බැඳුණා. විවාහ වුණා. විවාහ වෙලා ටික කාලෙකින් ඔවුන්ට ඉවෝන් සහ කැරොලීන් නමින් දියණියක් දෙදෙනෙකුත් ලැබුනා.

කෝටිපති දෙමාපියන් සමඟ මේ දියණියන් දෙදෙනා ගෙවුවේ අති සුඛෝපභෝගී ජීවිතයක්. ඔවුන් අධ්‍යාපනය ලැබුවේ  ජාත්‍යන්තර පාසැල් වල.   ජීවත් වුනේ ලංකාවේ වුනත්, ඉවෝන් සහ කැරොලීන් වඩා ප්‍රිය කලේ බටහිර සංස්තිකෘතියේ ජීවත් වෙන්න.

ඔවුන්ගේ  ජීවිත වල කම්මැලි නැති සමය  ඇරඹුනේ සවස හයෙන් පස්සේ. දිලිසෙන ලයිට්, මත් පැන්, මිතුරු මිතුරියන් එක්ක ඔවුන් ජීවිතේ විඳීයැයි විශ්වාස කල උපරිමයක් සොයාගෙන යන ගමන් උන්නේ.

  • ඉවෝන්ගේ විදෙස් ගත වීම

ඉවෝන් ජොන්සන් පවුලේ වැඩිමලා. ඇය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වෙන්න තීරණය කරන්නේ මේ අතරේ. 2004 අවුරුද්දේදී ඉවෝන් ඇමරිකාව බලා පිටත්ව යනවා.  ඉවෝන් සහ කැරෝලින් අතර තිබුනේ පුදුමාකාර බැඳීමක්. සහෝදරකමක් කියනවාටත් වඩා ඒක තද යාලුකමක්. දෙන්නාට දෙන්නා හැමදෙයක් ගැනම කතා කලා. හැමදේම බෙදාගත්තා. එහෙම තත්වයක් තියෙද්දී එකපාරටම ඉවෝන් විදෙස් ගත වීම කැරෝලීන් ට දරාගන්න පුලුවන් වෙන්නේ නැහැ. ඒ ගැන හිතද්දී පවා කැරොලීන් යම් තනිවීමකින් පෙලෙන්න ගන්නවා. ඒත් අක්කාගේ ඉගෙනීම වෙනුවෙන් පොඩ්ඩක්වත් බාධා කරන්න අකමැති වුන කැරොලීන් ඒ තනිකම දරාගෙන අක්කට සමුදෙනවා. කොහොම වුනත් ජීවිතේට එකපාරටම දැනෙන හිස්කම නිසා කැරොලීන් නිතරම රාත්‍රී සමාජ ශාලා, මිතුරු මිතුරියන්ගේ සාද වලට නොකඩවාම  සහභාගී වෙන්නත් හුරු වෙනවා.

  • මල්සර හී සර

මේ අතරවාරයේදි කැරෝලීන් ට  ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒත් ඒ සම්බන්ධතාවය වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඒකෙන් කැරොලීන්ගේ හිත රිදුනත් ඇය සුපුරුදු ජීවිතය එක්ක ඒ රිදීම නවතා ගන්න උත්සාහ කරනවා.  

2005  පෙබරවාරි මාසේ එක රැයක කැරොලීන්ට තවත් ප්‍රේම ආරාධනාවක් ලැබෙනවා. ඒ ශ්‍රමන්ත නමින් ඇය කලින් දැනගෙන උන්න තරුණයෙක්ගෙන්. ඔවුන්  කාලෙක පටන් සමීප මිතුරන්.

“කැරොලීන් … මම ඔයාට ආදරෙයි ..”

” මොකද්ද?…”
“ඇත්තටම මම කියන්නේ… මම ඔයාට  ආදරෙයි …. ඔයත් මට ආදරේද?..”

ශ්‍රමන්ත ඉතා ඉක්මනින් කැරොලීන්ගේ හිත දිනාගන්නවා. ඔවුන් පෙම්වතුන් බවට පත් වෙනවා. කොහොමටත් සමීප මිතුරන් වෙලා උන්න දෙන්නාගේ ආදර කතාව මිතුරන්ටත් අරුමයක් වෙන්නේ නැහැ. ඔවුන් නව යුවලට සුබ පැතුම් එක් කරමින් සාද පවා පවත්වනවා.  ඒ වගේම කැරොලීන්ගේ දෙමාපියන්ගෙනුත් මේ සම්බන්ධතාවයට බාධා පැමිණ වෙන්නේ නැහැ. ඒ නිදහස එක්ක කැරොලීන් සහ ශ්‍රමන්ත නිදහසේ ආදරය කරමින් කාලේ ගෙවනවා. සමහර දවස් වලට කැරොලීන් ගෙදර එන්නේ පාන්දර තුනට හතරට. ඒ වගේම සමහර දවස් වල කැරොලීන්ගේ ගෙදරට වෙලා ඇය එක්ක කතා බහ කරමින් ඉදලා ශ්‍රමන්ත ගෙදර යන්නේත් පාන්දර වෙලා. මේ හැම විශ්වසනීය බවක් එක්කම දෙන්නාගේ සම්බන්ධතාවය තව ස්තිර වෙනවා.

  • ආපසු එංගලන්තයට

2004 දී විදෙස් ගත වුන ඉවෝන්ට නිවාඩුවක් සඳහා ලංකාවට එන්න ලැබෙන්නේ ඒ අතරේ. ජොන්සන් මහත්තයා ඉවෝන්ට මෙහෙම යෝජනාවක් කරනවා.

“ඔයා ලංකාවට එන්න එපා…. අපි එන්නම් එංගලන්තයට… ඊට පස්සේ අපි කට්ටියම රවුමක් දාලා, ආයේම ලංකාවට එමු …. “

“අනේ ඒකනම් නියමයි තාත්තා…. එහෙනම් නංගීවත් එක්කගෙන එන්න …එයත් කාලෙකින් කොහෙවත්  ගියේ නෑනේ..”

“ඒක නම් ඇත්ත …. අපි එන්නම් ….”

ජොන්සන් මහත්තයා මේ ගැන චමල්කාට සහ කැරොලීන්ට මේ ගැන කියනවා.  කැරොලීන් හරිම උද්‍යෝගයෙන් මේකට සූදානම් වුනත්, ශ්‍රමන්ත නම් ඒ ගමන ගැන එච්චර සතුටු වෙන බවක් පේන්න තිබුනේ නැහැ. ඔහු දිගින් දිගටම කැරොලීන්ට ඇණුම් පද කියන්නේ එංගලන්තයට ගිහින් තමාව අමතක කරන බව කියමින්. නමුත් කැරොලීන් නම් එවාට පිළිතුරු දෙන්නවත් හිතන්නේ නැහැ. ඇය ඉන්නේ ඒ තරමටම උන්මාදයකින්. ශ්‍රමන්තගේ කතන්දර ගැන නොහිතාම කැරොලීන් අක්කව බලන්න එංගලන්තයට යනවා. එහෙ නිවාඩුව ගත කරලා ආයෙම කැරොලීන් ලංකාවට එන්නේ අක්කා වුන ඉවෝන් එක්ක.

  • මරණය සොයා යෑම

ලංකාවට ආවාට පස්සේ ඉවෝන්ටත් කරොලීන්ගේ මිතුරු  හමුවකට යන්න ආසා හිතෙනවා. ඉවෝන් වහාම ඒ ගැන නැගණියට කියනවා. කැරොලීන් ශ්‍රමන්තට කතා කරලා අක්කාවත් සාදයකට එක්කගෙන යන්න පුලුවන්ද කියලා විමසන්නේ ඊට පස්සේ.  ශ්‍රමන්තත් ඒකට ඉහලින්ම කැමතිවෙනවා.

“අනේ මං ඔයාට ආදරෙයි ශ්‍රමන්ත … තැන්ක් යූ..”

කැරොලීන් එදා රෑ තිබුන සාදයට යන්න අක්කාත් එක්කම සූදානම් වෙනවා. දෙදෙනාම එකම විදියේ ඇඳුම් වලින් සැරසෙනවා. නවීන  විලාසිතා වලට අනුව මිලදී ගත්ත සපත්තු පැලඳගන්නවා. ඉවෝන් විදෙස්ගතව සිටින කාලයේ මිලදී ගත්ත ආභරණ වලින් තෝරාගත් එව්වා දෙදෙනාම පලඳිනවා.  ජොන්සන් මහතාට සමුදීලා හවස හයට විතර දෙන්නම රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ 25 වැනි මහලෙන් පිටවෙන්නේ සුපිරි රාත්‍රී සාදයක අත්දැකීමක් බලාපොරොත්තුවෙන්.

කැරොලීන් භාවිතා කරමින් උන්න සුසුකි වර්ගයේ ජීප් රියෙන් ඔවුන් ශ්‍රමන්තගේ නිවෙසට යන්නේ ඔහුවත් ඒ කැබ් රියටම නංවා ගන්න. ඉන් පස්සේ තිදෙනා ඉස්සෙල්ලාම යන්නේ වයිට් හවුස් පබ් එකට. එතැන උන්න මිතුරු මිතුරියන්ගෙන් ඉවෝන්ට ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්.  ඒ වනවිටත් වයිට් හවුස් පබ් එකේ ඇරඹිලා තිබුන සාදයේ ඔවුන් මත් පැන් පානය කරමින් විනෝද වෙන්න පටන් ගන්නවා. රෑ දහය විතර තමයි තුන්දෙනා එක්කම වෙනත් සාදයකට යන්න වයිට් හවුස් පබ් එකෙන් පිටතට යන්නේ.

  • නොනැවතෙන  සාද මැද

වයිට් හවුස් පබ් එකෙන් පස්සේ වොඩ්කා සාදයකට සහභාගී වෙන තිදෙනා ඊට පස්සේ රෑ දොලහට විතර ආයෙම  වෙනත් ස්තානයක තිබුන සාදයකට යනවා. එතැනදී ඔවුන්ට මුණ ගැහෙනවා කැරොලීන්ගේ පලමු පෙම්වතා. ඔහු ඉතා හිතවත්ව කැරොලීන්ව වැලඳගෙන කතා කරනවා. කැරොලීන් ඔහු සමඟ දොඬමලු වෙන්නේත් ඉතාම ලෙංගතුව. මේ සිදුවීම බලාගෙන ඉන්න ශ්‍රමන්ත කෝපයට සහ ඉවසා සිටිය නොහැකි තත්වයකට පත් වෙනවා. ඔහු කැරොලීන් සමඟ ඉතාම තදින් රණ්ඩු වෙනවා. ඉවෝන් මේ දිහා බලාගෙන ඉන්නෙ දැඩි වේදනාවෙන්.  ඇය ශ්‍රමන්තට කිහිප වතාවක්ම කියනවා නංගීව රිදවන්නේ නැතුව ඉන්න කියලා. කොහොම වුනත් සාද වල සතුට එතනින් ඉවර වෙනවා. ශ්‍රමන්ත සහ කැරොලීන් ගෙදර යන්න තීරණය කරනවා. ඉවෝන් මිතුරන් එක්ක සාදයේම නවතිනවා.

  • කැරොලීන් සහ ශ්‍රමන්ත

අක්කාට වාහනය තියලා කැරොලීන් ශ්‍රමන්ත එක්ක නිවෙසට එන්නේ ටැක්සියකින්. කැරොලීන්ගේ කාමරයට වෙලා ඔවුන් දෙදෙනා සිදුවූ දේවල් ගැන කතා බහ කරනවා. කැරොලීන් ශ්‍රමන්තට පැහැදිලි කරනවා සාදයේදී මුණ ගැසී කතා කිරීම වරදක් නොවන වගත්, ඔවුන් මිතුරන් පමණක් බවත්. ශ්‍රමන්ත කැරොලීන්ගේ නිවෙසින් පිටවෙන්නේ ඇයට පසුදින හමුවෙන්න එන බවත් කියලා. ඒ පාන්දර තුනට විතර.

  • යළි නේන අක්කා.

“අක්කේ.. මට ඔයා එක්ක කතා කරන්න ඕනි … ආවහම ඇහැරවන්න …”

ඉවෝන් නිවෙසට ආවාම පේන විදියට, කොළ කෑල්ලක් දොරේ අලවලා කැරොලීන් නින්දට යනවා. නිවසින් පිටව යමින් උන් ශ්‍රමන්ත සහ නිවසට එමින් උන්න ඉවෝන් 23 වෙනි මහලේ  විදුලි සෝපානයෙන් පිටතදී එකිනෙකා මුන ගැහෙන්නේ ඒ අතරේ. ඉවෝන් ශ්‍රමන්තට දැඩිව කතා කරනවා. අතීතය ගැන කතන්දර හුවමාරු වෙනවා.

“මගේ නංගීගේ ජීවිතෙන් ඈත් වෙයන්.. මං මේ හැමදේම නංගීට කියනවා…”

ඉවෝන් ශ්‍රමන්තට කෑ ගහලා බනිනවා. දෙදෙනාම සිටින්නේ බීමතින් නිසා ස්වයං පාලනයක් ඇත්තේම නැහැ. ශ්‍රමන්ත ඉවෝන්ට වේගයෙන් කම්මුල් පහරක් එල්ල කරනවා. ඉවෝන් ඒත් ශ්‍රමන්තට බැණ වදිනවා. ඉන් ශ්‍රමන්ත පත් වන්නේ දැඩි කෝපයට. ඔහු ඇය වෙත කඩා පනින්නේ මාරාවේශයෙන්. එක්වරම මේ හැසිරීමෙන් බිය වෙන ඉවෝන් පඩි පේලි කිහිපයක්ම බැසගෙන 20 වැනි තට්ටුවට යනකල්ම දුවනවා.

 එහෙත් අවාසනාව තියෙන්නේ ඇයගේ පැත්තේ. ශ්‍රමන්ත ඇයව අල්ලාගෙන ඔලුව ඉතා වේගයෙන් බිත්තියේ වද්දවනවා. ඉවෝන්ට දැනෙන්නේ දැඩි වේදනාවක්. ඇය බිම ඇදගෙන වැටෙනවා. ශ්‍රමන්ත ඇයව පෙරලාගෙන කිහිපවතාවක්ම ඇයගේ හිස පඩිපෙලේ වද්දන්නේ ඇයට දරාගන්නට නොහැකි වන තරමේ වේදනාවක් දැනෙන අතරේ. ඉතා තදට හිස පඩිපෙල් වල ගැටීම හින්දා ඉවෝන්ගේ හිස් කබල කැබලි වලට බිඳිලා යනවා. ඒ විතරක් නෙවෙයි ඉවෝන් පෙරලිලා 19 වෙනි තට්ටුවට වෙනකල් ඇදගෙන වැටෙනවා. ඉවෝන්ගේ කලිසම ගලවලා දාන ශ්‍රමන්ත ඇගේ පාද වලින්ම ඇගේ ගෙල සිර කරන කෝපාවිශ්ඨ හැසිරීමක් පෙන්නවා. ශ්‍රමන්තගේ කෝපය නිම වෙනකොට, ඉවෝන් මිය ගිහින්.

  • අතුරුදන් නොවෙන ශ්‍රමන්ත

තමන් කල දේ බරපතකම වටහා ගන්න ශ්‍රමන්ත වහාම මිතුරෙකු කැඳවාගෙන රෝයල් පාර්ක් සංකීර්ණයෙන් පිට වෙලා යනවා. රුධිරය වැකුණු ඇඳුම් හංගලා දානවා. කිසිවක් නොවුනා වගේ සාමාන්‍ය විදියට ඉන්නවා.

  • ඉර පෑයු අඳුරු දවස

2005 ජූලි මාසේ පලවෙනිදා, හරියටම මීට අවුරුදු දහනවයකට  කලින් දවසක්. එදා පුරුදු විදියටම ලංකාවට ඉර පෑයුවා. රාජගිරියේ රෝයල් පාර්ක් සුවිසල් නිවාස සංකීර්ණයත් ඒ ඉර එළියට ඇහැරුණා.  ඒත් නිවාස සංකීර්ණයේ එක ගෙදරක්, එක පාරටම අඳුරු වෙලා ගියා. ඉවෝන්ගේ ප්‍රානය නිරුද්ධ සිරුර අසල්වැසියෙක් දකිනවා.

එවෙලේම  කැරොලීන් ශ්‍රමන්තට කතා කරලා ඉවෝන්ගේ හදිසි වියෝව කිව්ව ගමන්ම ශ්‍රමන්ත රෝයල් පාර්ක් සංකීර්ණයට එන්න අමතක කරන්නෙත් නැහැ. පවුලේ සාමාජිකයෙක් වගේ ඉන්න ගමන් ඔහු සියලු දේ හොයලා බලලා කරන්නේ කිසිම කෙනෙක්ට සැකයක් නොදැනෙන්න.

  • නොසැඟවුන අභිරහස

ශ්‍රමන්ත ගේ සැලසුම් වලට වඩා ශ්‍රී ලංකාවේ පොලිසියේ සැලසුම් විශිෂ්ඨ වෙනව.  සැකමුසු සියලුම දේ පරික්ශා කෙරෙනවා. ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවත් සියලු සාක්ෂි එකතු කරනවා. අන්තිමේදී, ඉවෝන්ගේ මරණය වැටිලා තිබුන 19 වෙනි මහලේ අත් වාරුවේ තිබුන ඇඟිලි සලකුණක් මතු කරගන්න ඔවුනට හැකි වෙනවා. ඒ අනුව ඒ ඇඟිලි සලකුන ශ්‍රමන්තගේ දකුණු අතේ බව තහවුරු වෙනවා.  ජීන් ටෙක් ආයතනයේ පරීක්ශණ වලින් ඒ ඇඟිලි සලකුණ තැනී තිබූ රුධිර බිඳුවේ ඩී එන් ඒ ඉවෝන්ගේම බව තහවුරු කරනවා. ඒ අනුව කොලඹ මහාධිකරණයෙන් තීරනය කරනවා ඉවෝන්ගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව. ඒ අනුව ඔහුට හිමිවෙන්නේ වසර දොළහක සිර දඬුවමක් සමඟ රුපියල් ලක්ෂ තුනක මුදල් දඬයක්.

  • අලුත් වුන නීති පොත

කොහොම වුනත්, විත්තිකරුගේ දඬුවම ප්‍රමාණවත් නැති බව කියලා නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරෙනවා. ඒ වගේම ඔහුව නිදොස් කරන ලෙස ඉල්ලන අභියාචනයකුත් විත්ති පාර්ශවය ඉදිරිපත් කෙරෙනවා. කරුණු සලකා බලන අභියාචනාධිකරණය විත්තියේ ඇපෑල ඉවතට දාලා, නීතිපතිවරයාගේ ඇපෑල පිලිගන්නේ ලංකාවේ නීති පොත් පවා අලුත් කරලා. ඒ ලංකාවේ මරණ දඬුවම පනවන්න පුලුවන් අධිකරණය විදියට ස්තාපනය වෙලා තිබුණ මහාධිකරණය වෙනුවට, අභියාචනාධිකරණය පුද්ගලයෙකුට මරණ දඬුවම පමුනවලා. වසර දොලහක සිර දඬුවම විඳිමින් උන්න ශ්‍රමන්තට මරණ දඬුවම හිමි වෙනවා. එයට එරෙහිව ශ්‍රමන්තගේ දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පවා අභියාචනාධිකරණයේ තීරණය සනාත කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ලැබූ විශාල ජයග්‍රහණයක් ඉතිහාස ගත කරලා.

  • හුදෙකලා වූ පවුල

ඉතාම සමීප සම්බන්ධතා තිබුන ඉවෝන්ගේ පවුලට මේ මරණය දරාගන්න පුලුවන් වෙන්නේ නැහැ. ඒ අතරේදී කැරොලීන් දැනගන්නවා ශ්‍රමන්ත කාලෙකට කලින් අක්කා සමඟත් සම්බන්ධතාවයක් පවතවාගෙන ගිහින් තිබුන වග. ඉන් ඇයට දැනෙන්නේත් මහ කලකිරීමක්. අවසානයේදි ඇය දෙමාපියන් සමඟ විදෙස්ගත වෙන්නේ ශ්‍රමන්තව මුණ ගැසීමත් ප්‍රතික්ශේප කරලා. කොහොම වුනත් තමන්ගේ ජීවිතේ උන්න වටිනාම කෙනෙක් වුන සහෝදරියගේ මරණය කැරොලීන්ගේ ජීවිතයට පිරවිය නොහැකි හිස්තැනක් වෙන්නට ඇති කියලා නම් විශ්වාසයි

-අපේක්ෂා ගුණරත්න- 

Related Articles

Don't Miss


Latest Articles