ඒකපාර්ශ්වික 17

මේඝා නැවත අහස් අමතන්නට ගියේ නැත. ඔහු නැවත අමතන තුරු සිටින්නට මේඝා සිතුවාය.අනෙක් අතට ඇයට උවමනා වූ එකම දෙය නම් තනි වීමය.ඒ සතියේ කාර්‍යාලයේ වැඩ ද බහුල වූ නිසා මේඝා ඒවා කෙරෙහි අවධානය යොමු කලාය. 

සෙනසුරාදා උදා විය. මේඝාට උදෑසනම අවදි විය යුතුව තිබුනත් ඇයට කිසිම ප්‍රාණවත් ගතියක් දැනුනේ නැත. පෙර දින රැයේ නියමිත බෙහෙත් මාත්‍රාව ලබා ගත්තත් නිදිමතක් නොදැනුණු නිසා මේඝා තවත් බෙහෙත් පෙති කිහිපයක් ලබා ගත්තාය. ඉන්පසුව නින්ද පැමිණියේ කොයි වේලාවේද කියාවත් ඇයට මතකයක් තිබුණේ නැත. කෝපි එකක් පමණක් පානය කල මේඝා සූදානම් වූයේ රූගත කිරීමට තමා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බැවිනි.

සුවඳ විලවුන් වෙළඳ දැන්වීම රූගත කිරීම සඳහා මේඝා තෝරා ගෙන තිබුනේ නවීන පන්නයේ නිවසකි. මෙවැනි තැන් සොයා ගැනීම මේඝාට පහසු දෙයක් වූයේ වසර ගණනාවක පළපුරුද්ද සහ දැන හැඳුනුම්කම් මතය.

” ගුඩ්මෝනින් මේඝා ” 

මේඝා ත්‍රීරෝද රියෙන් බැස එද්දි අපූර්වා ඇයව පිළි ගත්තාය. පිරිස ලහි ලහියේ රූගත කිරීම සඳහා සූදානම් වන බව මේඝා දුටුවාය. මේ පිරිස අතර කොහේ හෝ අහස් සිටින බව ඇය දනී. 

” මෝනින්ග් ” 

මේඝා ලඟම තිබූ පුටුවේ වාඩි වූයේ අත් බෑගයේ තිබූ වතුර බෝතලය අතට ගනිමිනි.

” මේඝා ආ යූ ඕකේ ? ” 

අපූර්වා ඇසුවාය.

” හ්ම්ම් “

මේඝා වතුර බීගෙන බීගෙන ගියාය. හිස කැරකෙන්නා සේ දැනේ. කුමක් වූවත් අද මේ කාර්‍ය්ය සාර්ථකව අවසන් කල යුතුය. සුරවීර මහතා මෙය බාර දුන්නේ තමන් ගැන උපන් විශ්වාසයෙනි. 

ඇතුලු කාමරයක අහස් සූදානම්ව උන්නේය. ඔහු වෙනුවෙන්ම නිම කරන ලද සුදු පැහැ කමිසයට ඔහුගේ කඩවසම් බව තවත් වැඩි වී පෙනෙන බව මේඝා සිතුවාය.

” හායි මේඝා “

අහස්ගේ දෑස් වල දීප්තිමත් බව නොදුටුවා සේ සිටින්නට මේඝා උත්සහ කලාය.

” ගුඩ් මෝනින්. වැඩේ වෙන විදිය ඔයාට ගිහාන් කිව්වා නේද ආයෙම ? ” 

මේඝා ඇසුවේ සෙමිනි. එහි කිසිම ප්‍රබෝධමත් බවක් නැති බව තේරුම් ගන්නට අහස්ට හැකි විය.

” ඔයාගේ මූඩ් එක හරි නෑ වගේ අද ? ” 

ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට අහස් ඇසුවේය. නමුත් මේඝා පිළිතුරු දුන්නේ නැත. ඇය මදක් සිනාසී ඉවතට ගොස් සෑම තැනකම එහා මෙහා යමින් සියල්ල ඒ ආකාරයෙන් සිදුවන්නට නියමිත දැයි පරීක්ෂා කළාය. ඒ මේඝාගේ විදිය බව සියල්ලෝම දනී.

උදෑසන ආහාරය සූදානම් කර තිබුණද මේඝා ඒ දෙස බැලුවේ වත් නැත. ඒ වෙනුවට ඇය කලේ පසෙකට වී ලැප්ටොප් එක දිග හැරගෙන ඉදිරියේදී කිරීමට නියමිත වැඩ වලට අදාල ඊමේල් පරීක්ෂා කිරීමය. 

” මේඝා බ්‍රෙක්ෆස්ට් ගන්නේ නැද්ද අපූර්වා ? ” 

අහස් ඇසුවේ මේඝා තනිවම ලැප්ටොප් එක දෙස බලාගෙන ඉන්නා නිසාය.ඒ හුදෙකලාවීම පසුපස කුමක් හෝ ලොකු හේතුවක් ඇතැයි ඒ වන විටත් අහස් නිගමනය කරගෙන සිටියේය. 

” බඩගිනි නැහැලු. එයා මේ දවස් වල ඔහොම තමයි අහස් ” 

අපූර්වා පිළිතුරු දුන්නාය.

” ඒ කිව්වේ ? ” 

අහස් ඇසුවේ උවමනාවෙනි. අපූර්වා යනූ කාර්යාලය තුළ මේඝාගේ ළඟම හිතවතිය බව මේ වන විටත් අහස් දනී. ඒ නිසා තවදුරටත් විස්තර දැන ගැනීමට සුදුසුම කෙනා ඇය යැයි අහස් සිතුවේය.

” එයා බලන්නේ හැම වෙලාවෙම බිසී වෙන්න. පහුගිය දවස් වල personal life එකේ එයාට වෙච්ච දේවල් අමතක කරන්නයි එයාට ඕනේ. ” 

අපූර්වාගේ පිළිතුර හරහා අහස් බොහෝ දේ තේරුම් ගනිමින් උන්නේය. තමා ඇය ඇමතූ දිනයේ ඇය මහ හඬින් හඬා වැටුණේ ඒ නිසා වන්නට හැකිය. තමා Rainbow Eye සමග සම්බන්ධ වූ කාලයේ සිටි මේඝා දැන් මෙවැනි නිහඬ චරිතයක් වී ඇත්තේ අපූර්වා කියූ සිදුවීම් නිසා බව අහස් නිගමනය කලේය.

රූගත කිරීම ආරම්භ වූයේ තවත් පැයකට පමණ පසුවය. සැලසුම් කරගත් ආකාරයට සියල්ල සිදු වෙමින් පවතින නිසා මේඝාට ඒ තරම් වෙහෙසෙන්නට සිදුවූයේ නැත. නමුත් ගතට දැනෙන පීඩාකාරී බව පහව නොගිය නිසා මේඝා උන්නේ දැඩි අපහසුවෙනි. ඇය නොසන්සුන් ලෙස එහා මෙහා යන ආකාරය රූගත කිරීම අතරතුර වුවද අහස් බලා සිටියේය.

” අපරාදේ කියන්න බෑ අපේ ඔෆිස් එකේ කොයි වෙලාවෙත් කෑමෙන් බීමෙන් නම් අඩුවක් නෑ ” 

අපූර්වා සිනාසී කීවෙත් අන් අය ඒ සිනාවට එකතු උනේත් රූගත කිරීම අවසානයේදී සූදානම් කර තිබූ කෙටි කෑම තොගයක් ඇතුලත් තේ මේසය දැකීමෙනි. එය සූදානම් කර තිබුනේ එළිමහනේය. එය Rainbow Eye හී සම්බන්ධීකාරක ගිහාන්ගේ අදහසකට අනුව සිදුවූවකි. 

කවුරුත් තේ මේසය රස විඳින අතර මේඝා උන්නේ එයට මදක් නුදුරෙන්ය.ඒ නිකිනි අමතමිනි. නමුත් ඇය දුරකථනයට පිළිතුරු දුන්නේ නැත. 

” මේඝා ? ” 

අහස් ආවේය . මේඝාගේ මේ හුදෙකලා වීම ඔහුට විශාල ගැටලුවකි.

” ඔව් අහස් ? ” 

මේඝා හැරී බැලුවාය.

” හැමෝම අතන. ඇයි ඔයා එන්නෙ නැත්තෙ ? ” 

අහස් ඇසුවේ කරුණාවෙනි.

” මට බඩගින්නක් නෑ අහස්.මං මේ මගේ යාලුවට කෝල් කරන්න ට්‍රයි කරනවා ” 

” කවුද ? නිකී ද ? ” 

මේඝා බැලුවේ පුදුමයෙනි.අහස් නිකිනිව හඳුනන්නේ කෙසේද ? මේඝාගේ බැල්මෙන්ම ඇය අසන්නට යන පැනය අහස් තේරුම් ගත්තේය. ඔහුගේ මුහුණට නැගුනේ සිනහවකි.

” එදා රෑ ඔයාගේ ෆෝන් එක ආන්සර් කලේ එයා. එහෙමයි මං එයාව දන්නේ ” 

මේඝා කිසිත් කීවේ නැත.හිසේ සිට දහඩිය දමා හිස කැරකෙන්නා සේ දැනේ. මේඝා දකුණතින් නලල මිරිකාගෙන අමාරුවෙන් ඇසි පිය සැලුවාය.

” මේඝා ? ” 

අහස් මේඝාගේ මුහුණට එබුනේය. මේඝා අපහසුවෙන් දෑස් හැරගෙන අහස් දෙස බැලුවේය.

” ඔයාට වතුර එකක් දෙන්නද ? ” 

යමක් ඉව වැටී මෙන් අහස් ඇසුවේය.

” යස් ප්ලීස් ” 

මේඝා කීවාය.අහස් එසැනින් තේ මේසය වෙත ගියේ වේගයෙනි. මේඝා ඔහු යන දෙස බලා සිටියේ දෑස් බොඳ වීගෙන යද්දීය.අහස් වතුර වීදුරුව ගෙන මේඝා දෙසට එන්නට හැරෙද්දීම ඇය එකවරම තණ බිස්ස මත ඇද වැටුනාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles