නිවසේදී ස්වභාවිකව බර වැඩි කර ගැනීමට ක්‍රම 12 ක්

සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීම වගේම උසට අනුව සිරුරේ බර පවත්වා ගැනීම කියන කාරණා දෙකම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අතිශයින්ම වැදගත් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දන්නවා ඇති. 

හැබැයි, සිරුරේ බර පවත්වා ගැනීම කියන මාතෘකාවෙදී අපේ අවදානය වැඩිපුර යොමුවෙන්නෙ අනවශ්‍ය බර අඩු කර ගන්නෙ කොහොමද කියන කාරණාවටයි. 

හැබැයි, අපි අද ලිපියෙන්, මේ කතා කරන්න සූදානම් වෙන්නෙ නම් සමාජයේ බොහෝ දෙනෙක්ට අමතක වුණ නමුත්, බොහෝ දෙනෙක් රහසේ පීඩාවට පත්වෙන සිරුරේ අඩු බර පැවතීම කියන කාරණාව ගැනයි. 

අනවශ්‍ය බර අඩු කරගන්න ගන්න උත්සහයන්ට වඩා සිරුරේ බර වැඩි කරගන්න උත්සහයන් ගැන අපි අතිශයින්ම සැළකිලිමත් විය යුත්තේ ඒ සඳහා අනුගමනය කරන සමහර ක්‍රියා අපේ සෞඛ්‍යයට දැඩි හානිකර වෙන්න පුළුවන් නිසයි. 

අන්න ඒ නිසා, නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සිරුරේ බර වැඩිකරගන්නෙ කොහොමද කියල ඔබත් එක්ක කතා කරන්න smart lady අපි අද තීරණය කරා. 

හැබැයි, ඒ ගැන කතා කරන්න කලින් අපි ඔබට සිහිපත් කළ යුතුම කාරණාවක් තිබෙනවා. 

ඒ තමයි, 

ඔබේ සිරුරේ බර එක්වරම කැපීපෙනෙන ලෙස අඩුවුණා නම්,

ඔබේ සිරුරේ බර අඩුවුනේ ආහාර පාලනයකින් / ව්‍යායාම කිරීමකින් තොරව නම් හෝ 

ඔබේ සිරුරේ බර අඩුවුනේ ඔබට වැළඳුනු රෝගයක් / යම් ප්‍රතිකාර ක්‍රමයක් / ඔබ ගත් ඖෂධ වල ප්‍රතිඵලයක් හෝ මානසික අස්ථාවරවීමකින් වගේ හඳුනාගත් හේතුවක් නිසා නොවෙයි නම් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසු වන්නේ එය යම් ගැටළුකාරී සෞඛ්‍ය තත්වයක් ගැන ඔබට කරන අනතුරු ඇඟවීමක් විය හැකි නිසයි. 

ඒ ගැනත් සැළකිලිමත් වෙමින් එහෙනම් අපි ස්වභාවිකව බර වැඩි කරගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් පියවර මොනවද කියල බලමු. 

ප්‍ර්‍රෝටීන් වැඩිපුර කන්න

ඔබේ මාංශපේශී ගොඩ නැංවීමේ වැඩි මෙහෙයක් ප්‍රෝටීන වලින් ඉටුකරනවා. 

බර වැඩිකර ගැනීම සඳහා ප්‍රෝටීන කියන්නෙ මේදයට වඩා ඉතාම හොඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක්. 

ඔබට සිරුරේ බර වැඩි කරගන්න අවශ්‍ය නම්, ප්‍රෝටීන වලින් සංතෘප්ත ආහාර විදිහට සලකන මස්, මාළු, බිත්තර, කිරි ආශ්‍රිත නිෂ්පාදන, ධාන්‍ය සහ ඇට වර්ග ඔබේ ආහාර වේලට වැඩිපුර එකතු කර ගැනීම ඉතාම හොඳ ක්‍රමයක් බවයි පෝෂණවේදීන් සඳහන් කරන්නෙ. 

කන්න, කන්න, කන්න

අවම වශයෙන් දිනකට ප්‍රධාන ආහාර වේල් 03 ක් කාබොහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන නිසි පමණට එකතු කරගත් සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්.

ශක්ති ජනක ආහාර වැඩිපුර ගන්න

ශරීරයට ශක්තිය ලබාදෙන ආහාර වැඩිපුර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමත් ඉතාම වැදගත්. 

ස්වභාවික කුළුබඩු රසකාරක යොදා රසවත්ව මේ ආහාර පිළියෙල කරගත්තොත් ආහාර රුචිය වැඩිකරගෙන ආහාර පිළියෙල කරගන්න ඔබට පුළුවන්. 

ශක්ති ජනක ආහාර අතර, 

ආමන්ඩ්, වෝල්නට්ස්, රටකජු වගේ ඇට වර්ග,

වියළි මිදි, රටකජු වගේ වියළි පළතුරු වර්ග, 

සම්පූර්ණ යොදය සහිත කිරි, යෝගට්, චීස් වගේ කිරි ආශ්‍රිත ආහාර වර්ග,

ඔලිව් තෙල්, අලිගැටපේර තෙල් වගේ තෙල් වර්ග,

ඕට්ස් සහ නිවුඩ්ඩ සහිත ධාන්‍ය / සහල්, 

කුකුල් මස්, හරක් මස්, ඌරු මස්, බැටළු මස් වගේ මස් වර්ග,

අල, බතල වගේ අල වර්ග,

ඩාක් චොකලට්, අලිගැටපේර, පීනට් බටර්, පොල් කිරි වගේ ආහාර ප්‍රමුඛ ස්ථානයක් ගන්න බව හඳුනාගෙන තිබෙනවා. 

බර එසවීමේ ව්‍යායාම 

පියවරෙන් පියවර බර වැඩි කරගෙන බර එසවීමේ ව්‍යායාම කිරීමත් ඔබේ මාංශපේෂී ශක්තිමත් කරන්න සහ ශක්තිය වැඩිකරගන්න හොඳම ක්‍රමයක්.

නමුත්, මේ සඳහා සුදුසුකම් ලත් උපදේශකයෙක් ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වගේම අනිවාර්‍ය වෙන්නෙ වැරදි ව්‍යායාම වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී වෙනත් ගැටළුකාරී තත්වයන් ඇතිවෙන්න පුළුවන් නිසයි.

කෙටි ආහාර ගැනීම 

ප්‍රධාන ආහාර වේල් වලට අමතරව සෞඛ්‍යාරක්ෂිත ලෙස පිළියෙල කරගත් කෙටි ආහාර වේලක් හෝ දෙකක් ගන්න පුළුවන් නම් එයත් සිරුරේ බර වැඩිකර ගැනීමට ඉතාම වැදගත්. 

වැඩිපුර කන්න

ප්‍රෝටීන, මේදය, සෞඛ්‍යාරක්ෂිත කාබෝහයිඩ්‍රේට වෙනදාට කන ප්‍රමාණයට වඩා වැඩිකර ආහාරයට ගැනීමත් හොඳ විසඳුමක්.

හොඳ නින්ද

සුවපහසු හොඳ නින්දක් බර වැඩිකර ගැනීමට අනිවාර්‍ය සාධකයක් බවට ඔබට මතක් කරන්න අපි කැමතියි. 

එය ඔබේ මනස සැහැල්ලු කර ප්‍රබෝධවත් ආරම්භයක් ගන්නත් මාංශපේෂී වර්ධනයටත් ඉතාම වැදගත්. 

ඉස්සල්ලම මේවා, ඊළඟට අනිත්වා

ඔබේ කෑම පිඟානේ විවිධ පෝෂක අඩංගු ආහාර තියෙනව නම්, මුලින්ම කැලරි වැඩි ආහාරත්, දෙවනුව ප්‍රෝටීන් වැඩි ආහාරත් අවසානයේ එළවළු වර්ගත් අනුභව කිරීම වඩා සුදුසුයි. 

දුම්පානය කරන්න එපා 

දුම්පානය සිරුරේ බර අඩුකර ගැනීමට එක් සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා දුම්පානය නැවැත්වීමත් ඉතාම වැදගත්. 

කිරි 

කිරි සහ කෙසෙල් වගේ පළතුරු යොදා සකසාගත් කිරි බීමත් මාංශපේෂී වර්ධනයටත් සිරුරේ බර වැඩිකර ගැනීමටත් හොඳ ක්‍රමයක්.  

කද්දි වතුර බොන්න එපා 

කෑම කන අතරතුර හෝ කෑම කන්න කලින් වතුර බීම අපි ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන්න හේතුවෙන නිසා කෑම කද්දී හෝ කෑම කන්න කලින් වතුර බීමෙන් වැළකීමට ඔබ සිහිතබා ගත යුතුයි. 

මීට අමතරව, ඔබට බර වැඩිකරන ආහාර අතිරේක ලබා ගන්නත් පුළුවන්. ක්ෂණික කෑම, පැණිරස, පැණිබීම වලින් සිරුරේ බර ඉක්මණින්ම වැඩි කරනව වුනත් ඒවා ඔබේ සෞඛ්‍යයට හානිකර නිසා එම ආහාර ගැනීමෙන් වළකින්න කියලත් අපි ඔබෙන් ඉල්ලා සිටින්න කැමතියි. 

අද smart lady අපේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූවා යැයි අපි විශ්වාස කරනවා. 

මෙවැනිම තවත් වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles