සෙනෙහස් අවාරේ 38

අයිරාංගනී තිලකරත්න, තම නිස්කලංක ජීවිතය හැරදා තම දයාබර සැමියා වූ ලලිත් සොයා දෙව්ලොව ගියේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දිනයක උදෑසනය. ඒ වනාහි සුවබර මරණයක් බව සිසිමාධවී තේරුම් ගත්තේ ඇයගේ මුවඟ රැඳී තිබුන මනරම් සිනහව දුටු තැනය. ඒ වනාහී ජීවිතය තමා කැමති අයුරින් , නිස්කාංසුවෙ ගෙවූ, නිසසල, යහපත් සිතක් තිබූ මෙහෙණක් බඳූ වූ අයිරාංගනියටම පමණක් උරුම වූ මරණයක් බව සිසිමාධවී තේරුම් ගත්තාය.

අම්මාගේ නිසසල මරණය ගැන දැනගත් කල්පනා දරුවන් දෙදෙනා සහ සැමියා රහල් සමග මහ ගෙදරට කඩා වැදුණේ සුලි සුලඟක් ව සසලව “අම්මා මරාගත් හැතිරියක” ගැන කියමිනි. එහෙත් රහල්ගේත් සුමධුරගේත් එක බැල්මක් කල්පනාගේ සියලු කෑගැසීම් ලත් තැනම ලොප් කරන්නට සමත් වූ නමුදු ඒ දෙදෙනාටම හොරෙන් දන්නා අඳුරන හිතවතුන් අසලට ගොස් සිසිමාධවීට බොහෝ අවලාද කියන්නට කල්පනා මරණය අතරතුර අමතක කරේ නැත.

සිසිමාධවී එනිසාම උන්නේ කුස්සියට වී ඉවුම් පිහුම් කටයුතු වල යෙදෙමිනි.

“අම්මා වෙනුවෙන් මං හිතන්නෙ මමයි කල්පනාටයි දෙන්නටත් වඩා මහන්සි වුනේ ඔයා. එහෙම එකේ ඔයා කුස්සියට වෙලා ඉන්න ඕන නෑ මාධවී” සුමධුර ඇවිත් එහෙම කියද්දී පවා ඇය කලේ ඒ සියල්ල සිනාවකින් බැහැර කිරීමය.

“අනේ මහත්තය ඕව හිතේ තියන්, ඕවට කුල කියනවනම් මම තව කොච්චර මිනිස්සුන්ට කල කී දේවල් ගැන හිතන්න ඕනද? නෝන ඉන්න කම් අපි කරන්න ඕන යුතුකම් සේරම කරානෙ කියන සන්තෝසෙ මගෙ හිතේ තියෙනව. මට ඒ ඇති මහත්තය. අනික මොන දේ උනත් මේ මහත්තයගෙයි කල්පනා නෝනගෙයි අම්මගෙ මරණෙ. එහෙම දවසක, එහෙම තැනක මම නිකන් කල්පනා නෝනට තරහ ගන්න කරුණු කාරණා හදන එක මැරිච්ච ලොකු නෝනගෙත් නම නාස්ති කිරිල්ලක්. ඒ හන්ද මං මේ උයමන් ටික බලාගන්න මහත්තය ඉස්සරහට ගිහිල්ලා නෑයො එක්ක කතා බස් කරන්න”

සිසිමාධවී ඇත්තටම උන්නේ එක්තරා නිවීමකය. ඒ නිවීම වනාහී බොහෝ මිනිසුන් ජීවිතයේ අග භාගය වෙද්දි අත්පත් කරගන්නා දෙයක් වුවත් ජීවිතයේ තිස් වියේදීත් මුල් භාගයේදීම එය හොඳිම් වටහාගන්නටත් ඒ නිවීම අත්පත් කරගන්නටත් සිසිමාධවීට පුලුවන් වුනේ ජිවීතයේ දුක් කම්කටොලුවලින් ලද පරිචය නිසාවෙන්ම පමණක් නොවේ. අයිරාංගනී තිලකරත්න වන් උතුම් කාන්තාවක් ඇසුරේ කාලය ගෙවන්නට හැකි වූ නිසාවෙන්මය.

“අම්මගෙ මරණෙ අස්සෙත් නෑයො ඉස්සරහ අම්මටයි අපිටයි ලැජ්ජ කරන්න අරකිව මෙහෙ තියාගත්ත නේද?” කියා කල්පනා බුරා හැලුනේ අයිරාංගනී මහත්මියගේ අවසන් කටයුතු කල දා රැයේය. ඇය මහගෙදරම නතර වුනේ අම්මාගේ කියා කියන්නට හැකි යමක් වේ නම් ඒව රැගෙන යන බලාපොරොත්තුවෙනි.

“මං හිතන්නෙ නෑ කල්පනාට ලැජ්ජාවක් වෙන්න පුලුවන් කියල මේ ගෙදර කවුරු නතර වෙලා හිටියත්” සුමධුර කිව්වේ තමන්ට උරුම උපශාන්ත ස්වරයෙන්මය.
“ඔව් ඔව් මට ඉතින් ලැජ්ජ වෙන්න නම් හේතුවක් නෑ තමයි. වල් වනචර වැඩ කරනවට ලැජ්ජ වෙන්න ඕන තමුනුයි අරකියිනෙ. ඒකිව මිනිහගෙ ගෙදරෙනුත් පැන්නුවලු නේද?”

“ඔයානෙ ඉතින් ඔය විස්තර හොයාගෙන තියෙන්නෙ. ඔයාම තමා කල්පනා ඒවයි ඇත්ත නැත්ත දන්නෙ”

“මහ ලොකුවට කියවන්නෙ අම්මාත් නැති හන්දා මෙතන ඕන නාඩගමක් නටන්න පුලුවන් බව දන්න නිසා වෙන්නැතිනෙ නේද? තමුසෙටත් ඕයි ලැජ්ජ නෑ. නැත්තම් මේ පනස් ගනන් වලට කිට්ටු වෙද්දි ගෑණු ගන්න හිතනවද? ඒකත් මේ ළමයි දෙන්නෙක් ඉන්න ගෑණියෙක්. මොන ලස්සනකටද? මොනව තියෙනවටද? මේව බලන්නෙ නැතුව අම්මා එකාතකින් මැරිල ගොය එක හොඳයි. නැත්තම් අම්මා මැරෙන්නෙ මේ ගේ අස්සෙ වෙන විගඩම් දැකල” කියා කල්පනා බුරා හැලුනද සුමධුර ඒ වචන එක් කනකින් අසා අනෙක් කණෙන් පිට කලා හැරෙන්න තැකීමක් කරේ නැත.

“මිනිස්සුන්ට ඕන හැටියට අපිට ජීවත් වෙන්න බෑ පුතා. අපි ජීවත්වෙන්න ඕන අපිට හරි කියල හිතෙන වගේම, ලෝකෙට අවැඩක්, අහිංසක මනුස්සයෙක්ට කරදරයක් නොවන විදියට. ඔයා ගන්න හොඳ තීරණයක් උනත් නරක තීරණයක් උනත් එළියෙ ඉඳන් බලන මනුස්සයෙක්ට කතා දාහක් කියන්න හේතුවක් වෙන්න පුලුවන්. හැබැයි ඒ තීරණෙන් ඔයා සන්තෝස වෙනවනම්, කිසිම කෙනෙකුට වරදක් වෙන්නෙ නැත්තම්, ලෝකෙ මොන දේ කිව්වත් ඒ තීරණේ ගන්න බයවෙන්න එපා”

අම්මා මිය යන්නට දවස් කිහිපයකට පෙර කියන්නට යෙදුන ඒ වචන සුමධුර මේ මොහොතේත් මතක් කරේය. ඒ වචන වල රැඳී තිබුන අම්මා දුටු ජීවිත දර්ශනය ඒ විදියටම පිළිගන්නට සුමධුර වඩා හොඳින් සිතට ගත්තේ මියගිය අම්මාගේ මුහුණේ රැඳී තිබුන නිසසල, උපශාන්ත පෙනුම දුටු මොහොතේය. කෙදිනක හෝ මිය යද්දී තමාද අත්පත් කරගත යුතු උපශාන්ත සමාධිය එය බව සුමධුර තේරුම් ගත්තේ ඒ මොහොතේය. අම්මා ජීවත් වූ පරිද්දෙන්ම ජීවත් විය යුතු බවට සුමධුර තීරණය කලේත් ඒ මොහොතේය.

මරණයේ වැඩ කටයුතු සෙමෙන් සැරේ අවසන් කර හත් දවසේ දානය අවසන් කරන දිනය වෙද්දී හෙම්බත් වී උන්නද සිසිමාධවී එක මොහොතකටවත් හුස්මක් කටක් ගත්තේ නැත. යන්ත්‍රානුසාරයෙන් ඇය තිලකරත්න නිවසේ වැඩ පල කරගෙන යන අතරම මැහුම් වැඩපලේ වැඩ කටයුතුද, භාරගත් ඇණවුම් පමා නොකර භාර දෙනු පිණිස කරගෙන ගියේ දක්ශ ව්‍යවසායිකාවකගේද, ගැහැණියකගේද, ගෘහණියකගේද ගති ලක්ශන අපූරුවට පෙන්නුම් කරමිනි.

“සුමධුර දැන් අම්මගෙ අඩුව පුරවන්න ගෙදරට කාව හරි ගෙනාව නම් හොඳයි නේද?” කියා හත් දවසේ බණ අවසන් ව යන්නට කලින් සුමධුරට කියන්නට බොහෝ දෙනා අමතක කලේ නැත. ඒ සියල්ලම සිනාවකින් භාරගත්තා හැරෙන්න සුමධුර පිළිතුරු දෙන්න සිතුවේ නැත.

අයිරාංගනී තිලකරත්න නැති වූ පාලුව මකන්නට නොහැකි බවක් දැනෙද්දී වුනත් සුමධුරත් සිසිමාධවිත් හෙමින් සැරේ තම තමන්ගේ රාජකාරි අස්සේ කාර්‍යබහුල වන්නට වුනේ ලෝක ස්වභාවය අනුවය. කෙතරම් ආදරය කල පුද්ගලයෙකු මිය ගියද අපිට සැම දිනකම සැම මොහොතකම ඔවුන් සිහිපත් කරමින් හඬ හඬා ඉන්නට කාල වේලාවක් නොලැබේ. දුක හිතේ තද කරගෙන අප ජීවිතයට සුපුරුදු ලෙස අනුගත විය යුතුය. පිටත හිඳ බලා හිඳින මිනිසුන් “සුමධුරට නම් දැන් රජ මගුල්, මොකෝ මොනව වෙනවද කියල බලන්න කවුරුවත් නෑනෙ” කියා කිව්වද ඇත්තටම දුක් වෙන මිනිසුන් නිතර දෙවෙලේ කඳුලු පුරවගෙන නොඉඳින බව සිසිමාධවිත් සුමධුරත් දැන උන්නහ. හැමදාම හවසට මිදුලේ අරලිය ගස යට තනා තිබූ කට් සිමෙන්තියෙන්ම කල බුදු මැදුරට වී ආගම සිහි කල සිසිමාධවී කෝසලත් අයිරාංගනී මහත්මියත් සිහි කර පින් දෙන්න අමතක කරේ නැත. ඒ වනාහී පිටත උන් කිසිවෙක් තමා ගෙදර උන් සුමධුරවත් දැන් උන් දෙයක් නොවේ.

ඒ වසරේ කාන්තා දිනය දවසේ සිසිමාධවීට ලංකාවේ ජනප්‍රියම කාන්තා වෙබ් අඩවියක් වන Smartlady.lk වෙතින් ඔවුන්ගේ දිනූ ලියන් – දිරියෙන් දිවිය ජයගත් අභිමානනීය ඇගේ කතාව වැඩසටහනට ආරාධනා කලේ අනෙක දුක් කන්දක් මැද ජීවිතය ජයගත්තා වූද, ජීවිත ගමනේ අසරණ වූ බොහෝ කතුන්ට උපකාර කල දිරිය කතක් වූ සිසිමාධවී රත්නායක සිරිමෙවන්ගේ කතාව ලක්දිව තව බොහෝ කාන්තාවන්ට දිරියක් කරනු පිණිසය.

ඒ කතාව ඇතුලත කෝසල සිරිමෙවන්ගේ බිරිඳ ලෙස ජීවිතය අරඹා අවසානයේ කෝසල මිය ගිය පසු දරුවන් දෙදෙනාවද බලා හදා වඩා ගනිමින් අද වන විට කුඩා පරිමාණ ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යවසායිකාවක් ලෙස තමා ආ කටු කොහොල් පිරුණ ගමන ගැන සිසිමාධවී Smartlady ඔස්සේ තම කතාව බොහෝ දෙනාට අසන්නට ඉඩ සැලසුවාය.

“මම ආව ගමන කෙනෙක්ට අද ලස්සනයි කියල හිතන්න පුලුවන්. ඇත්ත අද මම හරිම ලස්සන තැනක ජීවත් වෙනවා. ඒත් ඒ ලස්සන තැනට එන්න ජීවිතේ කොච්චර අවලස්සන තැන් මම පහු කරගෙන ආවද කියන කාරණාව මට කවදාවත් අමතක කරන්න බෑ.

මම මේ ආව ගමන තාම හරිම කෙටි එකක් වුණත් ඒ ගමන අතර මම ඉගෙන ගත්ත ලොකු පාඩමක් තියෙනව. ඒ තමයි අපේ චේතනාව හොඳනම් අපේ ගමන වරදින්නෙ නැති බව”

එදා සිසිමාධවීව ව්‍යවසායිකාවක් ලෙස ලබාගත් මේ ජයග්‍රහණය ගැන සතුට සමරනු පිණිස සුමධුර රාත්‍රී ආහාරය බොජුන් හලකින් ඇණවුම් කර නිවසට ගෙන්වුවේය. එදා කෑම මේසයට කවදාවත් නැතුව සිසිමාධවී වාඩි වුණේ “අද ඔයාගෙ දවස මාධවී, ඔයා වාඩි උනේ නැති උනොත් ඒ සන්තෝසෙ සම්පූර්ණ වෙන්නෙ නෑ” කියා පෙරැත්ත කල සුමධුරගේ වචන වලට විරුද්ධ වෙන්න බැරි නිසාමය.

එදා රැයේ දරුවන් දෙදෙනා නිදාගන්නට ගියද සිසිමාධවීට නින්දක් අහලකටවත් ආවේ නැත. ඒ වනාහී අද දවස තමන්ටම උරුම දවසක් වූ නිසාවෙන් හිතේ පිරුණ සතුටද නැති නම් වෙන හේතුවක්ද කියා හිතාගන්නට ඇයට හැකිවුණේ නැත. එහෙත් ඒ නින්ද නොඑන හැඟීම මගහරවාලනු පිණිස සිසිමාධවී ඉඟුරු තේ කෝප්පයක් සකසා ගත්තී, සුමධුර වෙනුවෙනුත් තේ කෝප්පයක් වෙන් කරාය.

සුමධුර උන්නේ සුපුරුදු ලෙස කාර්‍යාල කාමරයට වී පොත්පත්වල වැඩ කටයුතු වල යෙදීය.

“නින්ද යන්නෙ නෑ නේද?” කියා සුමධුර ඇසුවේ තේ කෝප්පය රැගෙන කාමරයට එන සිසිමාධවී දැක සිනාසීය.

“මං හිතන් නාන් එහෙම කාලා බඩ පිරිල හන්දද මන්දා?”

“බඩ පිරෙන්න කෑවම හරිනම් නින්ද යන්න ඕන නේද? ඒ නිසා බඩ නෙවෙයි මං හිතන්නෙ පිරිල තියෙන්නෙ හිත. හිත පිරුණම නෙ නින්ද නොයන්නෙ” කියා සුමධුර බොහෝ කලකට පසු තම මනස්කාන්ත සිනාව පෑවේය.

සුමධුරගේ මනස්කාන්ත සිනාවට එක්වූ සිසිමාධවීගේ සිනාව බොහෝ කතා කියන්නක් වුවද සිසිමාධවිත් සුමධුරත් අතර තිබුනේ නිහඬතාවයකි. මෙතුවක් කාලයක් කරගෙන ආ ඒ නිහඬතාවය බිඳින්නට හොඳම මොහොත මේ බව සිතූ සුමධුර තම හැඟීම් සිසිමාධවී ඉඳිරියේ වචන කරන්නට සිතුවේය.

“මාධවී”

“මහත්තය”

“මම දෙයක් කියන්න ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles