විසිත්ත කාමරය කියන්නෙ ඕනෑම නිවසක වැඩි ආකර්ෂණයක් හිමිවෙන ස්ථානය වලින් එකක් කියල අපි දන්නවනෙ.
ඒ නිසාම තමයි විසිත්ත කාමරය හැඩ ගන්වා ගන්න වගේම විසිත්ත කාමරය පිරිසිදුව පිළිවෙලට තියාගන්නත් අපි වැඩි සැළකිල්ලක් දක්වන්න්නෙ.
ඉතිං විසිත්ත කාමරය හැඩ කරගන්න ක්‍රම කීපයක් ඔබත් එක්ක කතා කරන්න අපි අද තීරණය කරේ අන්න ඒ නිසයි.
එහෙම නම් අපි බලමු ඒ මොනවද කියල?
පැළෑටි
ඕනෑම මොහොතක හිත සංසුන් කිරීමේ හැකියාවක් වගේම ඕනෑම තැනකට නිස්කලංක ස්වභාවික ලස්සනක් ගෙන එන්න ශාක වලට පුළුවන් කියල ඔබ දන්නවනෙ.
ඉතිං විසිත්ත කාමරය හැඩ කරන්න, විසිත්ත කාමරයට ඕනෑම මොහොතක සජීවී සහ ප්‍රාණවත්, නැවුම් නිස්කලංක බවක් ගෙන එන්න පැළෑටි වලට පුළුවන්.
හිරු එළිය අවශ්‍ය නොවන නිවෙස් අභ්‍යන්තරයේ වගාකල හැකි ශාක තිබෙන බව ඔබ දන්නවනේ. ඉතිං මේ ශාක එල්ලා තබන්න, රාක්කයක් මත තබන්න වගේම බිම තබා සකසා ගන්න වුනත් ඔබට පුළුවන්.
කොළ පැහැති ශාක වගේම ජනෙල් ආසන්නයේ තබන්න කුඩා මල් පිපෙන වර්ණවත් ශාක වුනත් හොඳින් ගැළපෙනවා.
අමතක වෙන මුල්ලවල්
විසිත්ත කාමරයක් හැඩ ගැන්වීමේදී අපේ අවධානය ටිකක් අඩුවෙන් යොමුවෙන නමුත් ඉතා විශේෂ තැනක් තමයි විසිත්ත කාමරයේ මුල්ලවල් කියන්නෙ.
විශේෂයෙන්ම ඔබට තියන්නෙ ටිකක් ඉඩ පහසුකම් අඩු විසිත්ත කාමරයක් නම් මේ මුල්ලවල් හරි විදිහට භාවිතා කරල විසිත්ත කාමරයට හොඳ පෙනුමක් අරන් එන්න පුළුවන්.
ඡායාරූප එල්ලා තබන්න, බිත්ති ලාම්පුවක් සවිකරන්න, කණ්ණාඩියක් තබන්න, කුඩා රාක්කයක් තබා ඒ මත විවිධ විසිතුරු දේවල් තියන්න විසිත්ත කාමරයේ මුලු පාවිච්චි කරන්න ඔබට හැකියාව තියෙනවා.
වාඩි වෙන්න හොඳ සුවපහසු පුටුවක් හෝ සිවිලිමේ එල්ලන්න පුළුවන් පුටුවක් වුනත් විසිත්ත කාමරයේ මුල්ලවල් හැඩගන්වා ගන්න හොඳ තේරීමක්.
බාහිර පරිසරය විසිත්ත කාමරයට
ලී, මැටි, වේවැල් වගේ ස්වභාවික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු නිවෙස් හැඩකරවන අංග උපාංග අද වෙද්දි හරිම ජනප්‍රියයිනෙ.
ඉතිං ඔබට දරාගත හැකි මිලකට තියෙන මේ දේවල් කීපයක් ඔබේ විසිත්ත කාමරයට එක්කර ගැනීමෙන් ස්වභාවික පරිසරයට හරිම කිට්ටු හැඟීමක් විදින්න ඔබට පුළුවන්.
තණකොළ ආකාරයට සැකසූ, වේවැල් හෝ පන් යොදාගෙන ගොතන ලද බුමුතුරුණු ජනෙල් ආවරණත් හොඳ තේරීමක්.
පොත් රාක්කයක්
බිත්තියක් ආවරණය කරන්න පොත් රාක්කයක් තැනීමත් අද විසිත්ත කාමර හැඩකර ගන්න භාවිතා කරන අලුත්ම ප්‍රවණතාවයක් විදිහට හඳුනා ගන්න පුළුවන්.
ඔබේ පොත් එකතුව ඔබේ පොඩ්ඩන්ගෙ පොත් එකතුව ඇතුළත් කරල බිත්තියකට අල්ලා නිර්මාණය කරන පොත් රාක්කය විසිත්ත කාමරයට වෙනස් පෙනුමක් ගෙන එන්න වගේම නිවෙසට එන අමුත්තන්ට වගේම ඔබටත් කාලය ගත කරන්න හොඳ ක්‍රමයක් වෙනවා නොඅනුමානයි.
කේන්ද්‍රයක් තෝරා ගන්න
විසිත්ත කාමරයේ තැනින් තැන පුටු තබනවාට වඩා ඉඩ පහසුකම් ඇති එක් ස්ථානයක් තෝරාගෙන එකිනෙකට මුහුණලා කකුල් දිග හැරීමට ඉඩතබා පුටු තැබීම වඩා සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
ඒ වගේම මේ ස්ථානයේ බිත්තියේ තරමක් විශාල බිත්ති සැරසිල්ලක් හෝ චිත්‍රයක් යොදා අලංකාර කරගන්නත් ඔබට පුළුවන්.
බිත්ති සැරසිලි
තීන්ත ආලේප කරනවා වෙනුවට ඉතාම මෘදු වර්ණ වලින් සහ මෝස්තර වලින් යුතු සැරසිලි සහිත ස්ටිකර් බිත්ති වල ඇලවීමත් අතීතයෙන් නව ලෝකයට එක්වූ අද වෙද්දී නැවත හරිම ජනප්‍රිය වෙලා තියෙන නිවෙස් හැඩ ගැන්වීමේ ක්‍රමයක්.
කලින් කලට වෙනස් වෙන මෝස්තර අනුව ඔබේ බිත්ති සැරසිල්ල වෙනස් කරන්න වගේම වැඩි වියදමක් නැතුව ඔබට තනියෙන්ම වුනත් ඔබේ විසිත්ත කාමරය හැඩ ගන්වා ගන්න පුළුවන් වීමත් අමතර වාසියක්නෙ.
එකම මෝස්තරයෙන් නැතුව විසිත්ත කාමරයේ ඒ ඒ තැන් වලට ගැළපෙන අයුරින් වෙනස් වෙනස් මෝස්තර යොදාගන්න ඔබට පුළුවන්.
පරණ දේවල් නැවතත්
එකම මෝස්තරයෙන් යුතු ගෘ හ භාණ්ඩ තෝරා ගැනීමෙන් එහා ගිහින් විසිත්ත කාමරයට විවිධ හැඩයේ සහ වර්ණයේ ගෘ හ භාණ්ඩ තෝරා ගැනීම අද වෙද්දි හරිම ජනප්‍රිය විලාසිතාවක්.
මේ පැරණි මෝස්තර වල මේස පුටු අලුතින්ම මිලදී ගන්න වගේම පාවිච්චි කල හැකි තත්වයේ තියෙන ගෘහ භාණ්ඩ වෙන්දේසි හෝ අලෙවි කරන ස්ථාන වලින් මිලදී ගෙන පිළිසකර කරගෙන ඔබේ විසිත්ත කාමරය හැඩගන්වා ගන්නත් ඔබට පුළුවන්.
ඉතිං, මේ අදහස් ඔබේ විසිත්ත කාමරයට අලුත් පෙනුමක් අරන් එන්න උදව් වෙයි කියල අපි විශ්වාස කරනවා.
මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා