වෙනස්ම විදිහකට ගෝවා හදමු

ගෝව කන්න කැමතිද ? 

ඔබ වැඩිපුරම ගෝවා උයන්නෙ කොහොමද?

ගෝව කන්න කැමති අකමැති හැමෝම, ගෝව කන්න කැමති වෙන විදිහෙ වෙනස් රසක් වගේම පෝෂණය පිරුණු කෑමක් හදාගන්නෙ කොහොමද කියලයි ඔන්න smart lady අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ.  

මේ සඳහා අපි භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි ගෝවා. 

ගෝවා කියන්නෙ විටමින් C, තන්තු, විටමින් K සහ ප්‍රෝටීන්, මැංගනීස් වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු හදවතේ නීරෝගිබව පවත්වා ගන්න, රුධිර පීඩනය අඩු කරන්න, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගන්න වගේම රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරන්නත් හොඳ කැලරි ප්‍රමාණයක් අඩංගු වෙන නිසා ආහාර පාලනය කරන ඔබේ කෑම වේලට ඉතාම පහසුවෙන් එක් කරගත හැකි ආහාරයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 

එහෙනම් මුලින්ම බලමු, අපිට මේ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

සෝදා වතුර බේරාගෙන කුඩා කොටු හැඩයට කපාගත් ගෝවා කොළ 500g ක් 

ග්‍රේට් කරගත් / සිහින්ව කපාගත් කැරට් අලයක් 

කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩි 02 ක් 

බිත්තර 02 ක් හෝ 03 ක් 

කුඩාවට කපාගත් සුදුළූණු බික් 02 ක් 

පාන් පිටි මේස හැඳි 04 ක් 

ලුණු කුඩු 

මිරිස් කුඩු 

ගම්මිරිස් කුඩු 

තෙල් 

නටන උණු වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට නටන උණු වතුර දමා මඳ ගින්නේ ලිප තබා එයට කපාගත් ගෝවා ටික දමා විනාඩි 05 ක් තම්බා ගන්න. 

තම්බාගත් ගෝවා වල වතුර පෙරා පසෙකින් තබාගන්න. 

ඊළඟට, වෙනම භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වෙන විට එයට ලූණු, කැරට් සහ සුදුළූණු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

කැරට් තැම්බී ලූණු මැලවීගෙන එන විට මේ මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන පසෙකින් තබාගන්න. 

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට තම්බාගත් ගෝවා, තෙම්පරාදු කරගත් කැරට්, ලූණු, සුදුළූණු මිශ්‍රණය, පාන් පිටි, රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, බිත්තර සහ පාන් පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. 

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට සාදාගත් ගෝවා මිශ්‍රණයෙන් මේස හැන්ඳක් එම තැටියට දමා මඳක් තුනී කරගෙන කුඩා පැටී එකක හැඩයට සාදාගන්න. 

භාජනයේ ඉඩ ඇත්නම් මෙවැනි හැඩැති පැටී කීපයක් එකම භාජනයේ සාදාගත හැක. 

එක් පැත්තක් විනාඩි 02 බැගින් දෙපැසම දුඹුරු පැහැයට හැරෙන තෙක් දෙපැත්ත පෙරළමින් හොඳින් බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් හෝ මයෝනීස් සමඟ උණුසුම්වම රස විඳින්න ඔන්න දැන් ඔබට පුළුවන්. 

එහෙනම්, මේ වගේම රස ගුණ පිරුණු තවත් කෑමක් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles