මල නොබැඳෙන වානේ භාජන කල් තියාගන්නේ කොහොමද?

ගුණාත්මක මල නොබැඳෙන වානේ පෑන් ජීවිත කාලය පුරාවටම පවතින බව ඔබ අසා ඇති.

හැබැයි වැඩිකල් තියාගන්න පුලුවන් කියන මේ මල නොබැඳෙන වානේ ඇත්තටම කල් තියාගන්නෙ කොහොමද?

අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.

හොඳට පරිස්සම් කරනවනම් මේ මල නොබැදෙන වානේ බඳුන් අවුරුදු විස්සක් විතර උනත් තියාගන්න පුලුවන්ලු.

හැබැයි ලාබෙට තියෙන බාල මල නොබැදෙන වානේ බඳුන් අරගෙන, ඒවත් කිසි වගක් නැතුව ඔහේ පරිස්සම් නැතුව නම් තියගෙන ඉන්නෙ අනේ ඒ භාජන ගන්න එපා. මොකෝ ඊට පස්සෙ ඒවයි මල බැඳුනම අපි කරපු වැරදි අපිට මතක නෑනේ.

භාජනේ තමයි වැරදි.

ඉතින් අපි බලමු මේ මල නොබැදෙන වානේ භාජන හොඳට කාලයක් පාවිච්චි කරන්න අපි කරන්න ඕන දේවල් මොනවද කියලා.

හරියට පිරිසිඳු කරගන්න

මෙන්න මේක මාරම වැදගත්.

මල නොබැදෙන වානේ බඳුන් පිරිසිඳු කරගන්න විදිය ඒවයි කල්පැවැත්මට ගොඩක් බලපානවා.

මේ වගේ භාජන වල උයල ඉවර උනාට පස්සෙ පිරිසිඳු කරගන්න පුලුවන් හොඳම විදිය තමයි සබන් සහ වතුර යොදාගෙන පිරිසිඳු කිරීම.

මුලින්ම කෑම ඉව්වට පස්සෙ භාජනේ ගෑවිච්ච තෙල් ටිශූ කඩදාසියකින් පිහිදලා වතුර සහ සබන් දාලා හොඳට හෝදගන්න.

වැඩිපුර කරවෙච්ච කෑම ඇලවිල තියනවනම් අර යකඩ කෑලි වලින් භාජනේ සූරන්න නම් එපා දෙයියො!

ඒ වෙනුවට ස්ක්‍රබ් එකක් හරි මල නොබැඳෙන වානේ ක්ලීනර් එකක් පාවිච්චි කරන්න ඔයාට පුලුවන්.

මුලින් අර කරවෙලා ඇලිච්ච කෑම ස්ක්‍රබ් එක පාවිච්චි කරල අයින් කරගෙන මල නොබැඳෙන වානේ ක්ලීනර් එක දාලා බ්‍රශ් එකකින් වගේ මැදගන්න.

ඔක්කොම කෑම අයින් වෙලා ගියාට පස්සෙ වතුර දාලා හොඳට හෝදගන්න.

මේ වගේ කරවෙච්ච කෑම ජාති ඒත් හිරවෙලා, ඉතුරුවෙලා තියෙනවනම් ඔයාට පුලුවන් උණු වතුර උදව්වක් කරගෙන මේ භාජන පිරිසිඳු කරගන්න.

මල නොබැඳෙන වානේ ක්ලීනර් දාපු උණු වතුර භාජනේට දාලා විනාඩි 10ක් වගේ තියල ඉන්පස්සෙ හොඳට පිරිසිඳු කරගන්න.

(මේ ගැන ලියද්දි මතක් වෙච්ච ඕපදූපයක් මේ. අපෙ ගෙදර තිබ්බ ගුරුලේත්තුවක්. අපෙ ආච්චි කෙනෙක් දිනපතා ඒක මැදල, දුඹුරු ගුරුලේත්තුව කාලයක් ගිහින් සුදු පාට උනා)

රස්නෙ නිසා ඇතිවෙච්ච පැල්ලම් යවාගන්නෙ කොහොමද?

මල නොබැඳෙන වානේ පෑන් මුහුණ දෙන විශාලතම ගැටළු වලින් එකක්තමයි පෑන් එක එලියේ රස්නෙ නිසා ඇතිවන ලප.

 පෑන් නිසි ලෙස පිරිසිදු නොකර දිනපතා පාවිච්චි කලොත් ඒව වැඩිවෙනවා.

ලොකු පෑන් එකක සුදු විනාකිරි පුරවල, මල නොබැඳෙන වානේ පෑන් එක සුදු විනාකිරි තුළ විනාඩි 10 ක් දාලා තියන්න. ඉන්පස්සෙ  ස්පොන්ජියක් පාවිච්චි කරල ඒක පිහිදගන්න.

ලපේ කොහෙද කියල හොයාගන්නවත් නෑ කියල අන්තර්ජාලයේ කියනවා.

වතුර ලප

මල නොබැදෙන වානේ භාජන හෝදලා හරියට පිහිද ගත්තෙ නැති උනාම ඊලඟට මතුවෙන තව ලපයක්. ඒ තමයි වතුර ලප.

අපි හිතන්නෙ ඉතින් අර කම්පියුටරෙන් මොකක් හරි වැරදුනම මකල දාන්න පුලුවන් වගේ මේ භාජන වලිනුත් ඔය ලප යවන රාජකාරිය මාර ලේසියි කියලනෙ.

ලේසියි. වෙන නැත්තම්.

මේකට නම් හැබැයි ආයේ ඔය ට්‍රික්ස් නෑ. භාජනේ හෝදපු ගමන් හොඳට පිහදන්න. එතකොට ප්‍රශ්න නෑ.

අනිත් එක තමයි ඔය අපි කියනවනේ “කෙල්ලෙක්ගෙ ජීවිතේට කලු ලපයක් වැදුනොත් ඒක අහක් කරන්න මාර අමාරුයි” කියල

කෙල්ලන්ට විතරක් නෙවෙයි භාජනවල ලප යවන්නත් මාර අමාරුයි. ඒ වගේම ලපේකට පුලුවන් භාජනේක වුණත් වටිනකම අඩුම අඩු කරල දාන්න.

දිනපතා පිරිසිඳු කරන්නේ කොහොමද?

ඔයාගෙ ගෙදරත් මේ මල නොබැඳෙන භාජන දිනපතා පාවිච්චි කරනවනම් ඔන්න මේ ටිප් එක මාර වැදගත් මේ භාජන කාලයක් තියාගන්න.

ඒ පිරිසිඳු කිරීම්වලට හැම තිස්සෙම භාජනේ හීරෙන්නෙ නැති ඩිශ් වොශ් එකක් සහ මෘදු ස්ක්‍රබ් එකක් හරි රෙදි කෑල්ලක් හරි යොදාගන්න.

ස්ක්‍රබ් කරන්න කලින් මද උණුසුම් සබන් වතුරේ දාලා තියෙන එකත් හොඳ ප්‍රතිපල අරගෙන එනවලු.

ඒ වගේම මේ මල නොබැඳෙන වානේ කල් තියාගන්න ඕන නම් මෙන්න මේව කරන්න එපා!

භාජනේ ඇතුලෙ තියාගෙන කෑම ජාති කපන්න කොටන්න තියාගන්න එපා. මොකද පොඩි හීරිමක් ඇති මේ මල නොබැඳෙන වානේ බඩු වලට කල් ඉකුත් වෙන්න.

පාවිච්චි කරන හැඳි ලී හෝ සිලිකන් හැඳි නම් වඩා හොඳ බව තමයි අන්තර්ජාලයේ කියන්නේ. මොකද ඒවයින් සීරෙන්න තියෙන ඉඩකඩ අඩු නිසා.

ඕනවට වඩා රත්කරගන්න හොඳත් නෑලු. කොහොමත් ඔය කෑම බීම ඕනවට වඩා තම්බ ගන්න එකෙන් වෙන්නෙ ඒවයි ගුණ අඩුවෙන එකනෙ. ඉතින් මල නොබැඳෙන වානේ භාජනයක් ඕනවට වඩා රත්කරගත්තොත් අඩුවෙන්නෙ කෑමෙ ගුණ විතරක්ම නෙවෙයි.

රත් වෙච්ච ගමන් හෝදන්න එපා. ලිපෙන් බාපු ගමන් භාජනේ හෝදන්න දාන්න එපා. පොඩ්ඩක් සිසිල් වෙන්න දෙන්න. ඒකත් මේ මල නොබැඳෙන වානේ භාජන කල් තියාගන්න ලොකු උදව්වක්.

ඉතින් මෙන්න මේ වගේ දේවල් කලොත් සහ නොකලොත් ඔයාගෙ මේ දැන් සල්ලි දීලා ගත්ත වගේ හොඳට ඔයාගේ මල නොබැඳෙන වානේ භාජන කල් තියාගන්න පුලුවන් කියල තමයි අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙන්නෙ.

ඉතින් ආටිකල් එක කියල ඉවර වෙලා ඔයාලගෙ ගෙවල් වල තියෙන අවුරුදු ගාණක් පරණ මල නොබැඳුන වානේ බාජන වල පින්තූරයි ඊට අමතරව ඔයා ඒව එහෙම තියාගන්න පාවිච්චි කරපු ටිප්ස් එහෙමයි කමෙන්ට් කරගෙන යන්ද?

Related Articles

Don't Miss


Latest Articles