කිසිදා ඔබේ සහකරුට මෙවැනි දේවල් පවසන්න එපා..

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් කියන්නේ ප්‍රීතිමත් සහ සතුටු අවස්ථාවලින් පමණක් පිරුනු එකක් නෙමෙයි. සම්බන්ධතාවයකදී මත ගැටුම් ඇති වීම කියන්නෙත් ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය ප්‍රමාණය ඉක්මවා සිදුවීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. මත ගැටුමකදී හෝ යම් අර්බුදකාරී තත්ත්වයකදී වුවත් ඔබ ඔබේ සහකරුට කිව යුතු නැති දේවල් කිහිපයක් තිබෙනවා. ඒ මොනවද ? 

” ඔයාට පිස්සු ” 

මෙය එතරම් බරපතළ දෙයක් නොවන බව ඔබට හැඟුනත් එය ඇත්ත වශයෙන්ම තරමක් රළු ප්‍රකාශයක්. මෙයින් හැඟෙන්නේ ඔබ ඔබේ සහකරුගේ මතයන් සහ අදහස් කිසිසේත් ද පිළි නොගන්නා බව සහ ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කරන බවයි. ඒ වගේම ඔබ ඒවාට එකඟ නොවෙන බවයි. ඔබ යම් කිසි අවස්ථාවකදී මේ වගේ ප්‍රකාශයක් ඔහුට කරනවා නම් ඔබ ඔහු කියනවා දේවල් නොසලකා හරින බවත් ඔහුට හැඟෙන්නට ඉඩ තියෙනවා.

” එයා ඔයාගෙන් අයින් උනෙත් ඒකයි ” 

ඔබ මේ ප්‍රකාශය හෝ එයට සමාන ප්‍රකාශයක් ඔබේ සහකරුට කරනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඔබ යම්කිසි ගැටලුකාරී අවස්ථාවකදී ඔහුගේ පෙර සම්බන්ධතාවයක ගැටලුවක් හෝ පෙර සම්බන්ධතාවයක දුර්වල කමක් ඔහුට මතක් කර දෙමින් අපහාස කරනවා නම් එවැනි අවස්ථාවකදී ඔහුට ඔබ හා පවතින සම්බන්ධතාවයේ පවා අනාරක්ෂිත බවක් දැනෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔහුට තමා පිළිබඳ වරදකාරී හැඟීමක් දැනීමට සහ දැඩි මානසික පීඩාකාරී තත්ත්වයක් හෝ කම්පන තත්වයක් පවා ඇතිවීමේ හැකියාව තියෙනවා.

” මේවා ඔයාගේ දෙමව්පියන්ගේ වැරදි “ 

ඔබේ සහකරු අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් සිදු වූ විට ඒ සඳහා ඔහුගේ දෙමව්පියන්ට චෝදනා කිරීම කිසිසේත්ම කළ යුතු දෙයක් නොවෙයි. මෙහිදී ඔබ ඔහුට වගේම ඔහුගේ දෙමව්පියන්ටත් කිසිදු ගෞරවයක් නොදක්වන බව ඔහුට දැනෙන්නට පුළුවන්. ඒ වගේම මෙවැනි ප්‍රකාශ නිසා ඔබ දෙදෙනා අතර ඇති ගැටලුකාරී තත්ත්වය ඉතා නරක අතට හැරෙන්නත් පුළුවන්. 

” මට ඔයාව මුණගැහුනේ නැත්නම් හොඳයි ” 

ඔබ මෙවැනි දෙයක් ඔබේ සහකරුට පවසන එකෙන් ඔහුට ඔහු පිළිබඳවම අධික පශ්චාත්තාපයක් දැනීමේ හැකියාව තියෙනවා. ඔබ සමඟ ඇති සම්බන්ධතාවයේ අවිනිශ්චිතභාවයක් , අනාරක්ෂිත බවක් සහ අගෞරවයට ලක් වෙන බවට හැඟීමක් ඔහුට මෙහිදී දැනෙන්නට පුළුවන්. ඔබ ඒ මොහොතේදී ඇතිවන කෝපයෙන් මෙවැනි දෙයක් ඔහුට පැවසුවත් එමගින් ඔහුගේ සිතේ ඇති වන්නේ කිසිදා නොමැකෙන කම්පනයක් විය හැකියි.

” ඔයා මොනවද මං වෙනුවෙන් කලේ ? ” 

සමහර විට ඔබ බලාපොරොත්තු වන සමහර දේවල් ඔබේ සහකරු අතින් ඉටු නොවී තියෙන්නට පුළුවන්. ඒවා පිළිබඳව අමනාපකම් ඔබ දිගුකාලීනව සිතේ තබා ගෙන යම් අවස්ථාවකදී ඒ ඉවසීම පුපුරා ගිය විටක ඔබ නොදැනුවත්වම මෙවැනි දෙයක් ඔබෙන් කියවෙන්නට ඉඩ තිබෙනවා. නමුත් , ඔබ වෙනුවෙන් ඔහු ඉටු කර ඇති අනෙකුත් සියල්ලේම වටිනාකම මෙවැනි එක ප්‍රකාශයක් නිසා නැති වී යන බව ඔබට සිතී තිබෙනවද ? ඔබ මෙවැනි දෙයක් වැරදීමකින් හෝ ඔහුට පැවසුවොත් ඇත්තටම ඔහුගේ උත්සාහයන් ඔබ අවතක්සේරු කරනවා යැයි ඔහුට සිතේවී.

” වෙන කවුරුත් මේ වගේ ඉවසන්නේ නැහැ ” 

ඔහු සමග සම්බන්ධතාවය පවත්වාගෙන යාම එතරම් වටින එකක් නොවන බව හැඟවෙන ප්‍රකාශයක් තමයි මේ. ඔබ ඇත්තටම ඔහුගේ යම් දේවල් අසීමාන්තිකව ඉවසීමෙන් දරා සිටිනවා වන්නට පුළුවන්. නමුත් ඔබ මෙවැනි දෙයක් පැවසීමෙන් ඔවුන්ගේ ආත්ම අභිමානයට අහිතකර බලපෑම් එල්ල වන්නට සහ ඔහුට ඔහු පිළිබඳව නිශේධාත්මක හැඟීම් දැනෙන්නට පුළුවන්. එය ඔබ දෙදෙනාගේම අනාගතය උදෙසා බලපෑම් ඇති කරනවා. 

” මට ඔයාට වඩා හොඳ කෙනෙක් හොයාගන්න තිබුණා ” 

මෙය ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය දෙදරා යාමට පවා ඉඩ තිබෙන ප්‍රකාශයක්. ඔබ දෙදෙනා අතර කිසියම් හෝ ගැටලුවක් මතු වූ අවස්ථාවක ඔබ මෙවැනි දෙයක් ප්‍රකාශ කිරීම වගේ ඔහු සමග ඇති සම්බන්ධතාවය ඔබට නොවටින බවත් , ඔබ නොපැවසූවත් ඔහුගේ අඩුපාඩු දකින බවත් , එම අඩුපාඩු ඉවසමින් පවා ඔහු පිළිබඳව අනුකම්පාවෙන් ඔබ සිටින බවත් , ඔබට ඕනෑම මොහොතක ඔහුට වඩා උසස් තලයක කෙනෙක් හෝ සොයාගත හැකි බවත් ඔහුට හැඟෙන්නට පුළුවන්. 

දෙදෙනෙකු අතර ඇති සම්බන්ධතාවයක් තුළ අනිවාර්යයෙන්ම එකිනෙකා හට කෙරෙන ගෞරවය අතිශයින්ම වැදගත්. කුමන අවස්ථාවකදී වුවත් ඔබ ඔබේ සහකරුට පවසන දේවල් පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වන්නේ එවැනි වචන වලින් ඔබ දෙදෙනා අතර ඇති ගෞරවය ඕනෑම මොහොතක බිඳී යා හැකි නිසයි. අපි මේ ලිපියෙත් ඔබට සඳහන් කළේ ඔබේ සම්බන්ධතාවය පළුදු විය හැකි ඔබ විසින් ඔබේ සහකරුට පැවසිය යුතු නැති දේවල් කිහිපයක් පිළිබඳවයි.

Related Articles

Don't Miss


Latest Articles