ඒකපාර්ශ්වික – 27

” ඔයාට මොකක්ද අහස් එක්ක තියෙන කතාව ?” 

වර්ෂා නිම්නාදගේ අතින් අල්ලා නවත්තන්නට උත්සාහ කළාය.එහෙත් නිම්නාදට අවශ්‍ය වූයේ  අහස් සමග කතා කරන්නටය.

” වර්ෂා Let me go . ඔයා කෑම ඕඩර් කරන්න.මම එන්නම් ” 

නිම්නාද එපමණක් පවසා වර්ෂාගේ අත ඉවත් කර අහස් සිටින දෙසට පියවර එසෙව්වේය.

අහස් මේසය මත වූ සිගරට් පැකට් එක ගෙන විශ්මිත සමග ප්‍රධාන දොරින් එළියට ආවේ ඒ සමගමය. නිම්නාද ඒ අනුව ඔවුන් දෙදෙනා පසුපසින් ගියේය.

” අහස් ” 

නිම්නාදගේ හඬට අහස් හැරී බැලුවේය. නිම්නාදව හඳුනා ගන්නට අහස්ට ගත වූයේ තත්පර ගණනාවක් පමණි.

” මම හිතනවා අහස්ට මාව මතක ඇති කියලා ” 

නිම්නාද අහස් අසලට ආවේය. විශ්මිත අහස් දෙස බලා සිටියේ කුතුහලයෙනි. අහස් නිම්නාද දෙස බලන බැල්මෙන් ම මේ අහස්ගේ සමීපතමයෙකු නොවන බව නම් විශ්මිතට පැහැදිලිය.

” කියන්න නිම්නාද ” 

අහස් කීවේ සිගරට්ටුව දල්වමිනි . තමා සිතුවා හරිය. මේ අනිවාර්යෙන්ම මේඝා ට සම්බන්ධ නිම්නාද විය යුතු යැයි විශ්මිත සිතුවේය.එසේ නම් මේ කෙසේ වත් අහස්ව තනි නොකළ යුතු අවස්ථාවකි. 

” මට වර්ෂා කිව්වා ඔයා ගැන ” 

නිම්නාද කතාව ආරම්භ කළේය. අහස් දුම් රැල්ලක් මුදා හැරියේය. 

” මොනවද ? ” 

අහස් අනෙක් අතට ඇසුවේ සන්සුන්වය. 

” ඔයයි මේඝායි ගැන ” 

” ඉතින් ? ” 

” ඉතින්.. ඒක ඇත්තක්ද කියලා මට දැන ගන්න ඕනේ ? ” 

නිම්නාද එසේ ඇසූ විට අහස් පෑවේ සමච්චල්  සහගත සිනහවකි. මේඝාගේ ජීවිතයම අන්ධකාරයට ඇද දමා දැන් මොහු මේ අසන්නේ මොනවාද ? 

” දැන් ඔයාට මොකක්ද දැන ගන්න ඕනේ ? ” 

අහස් නැවත ඇසුවේය.වර්ෂා යනු කුමන ආකාරයක ගැහැණියක් දැයි අහස් දනී. ඒ නිසාම ඇය තමන් සහ මේඝා ගැන මොනවා හෝ යමක් අනිවාර්යයෙන්ම නිම්නාදට කියන්නට ඇත.

” ඔයයි මේඝායි අතරේ affair එකක් තියෙනවා ද ? ” 

නිම්නාද ඇසුවේ ඒ මොහොතේ නොඇසිය යුතු ප්‍රශ්නයක් බව විශ්මිතට දැනුනේ අහස් ගේ මුහුණේ ඉරියව් ක්ෂණිකව වෙනස් වන බව දුටු නිසාය. එසේ නම් ඊළඟ මොහොතේ ඕනෑම දෙයක් සිදු විය හැකිය. 

” මම ඇයි ඒක තමුසෙට කියන්න ඕනේ ? ” 

අහස් පියවරක් ඉදිරියට තැබුවේය. කොහේදෝ තිබූ කෝපයක් දළු දමාගෙන එන බව අහස්ට දැනුණි. 

” මට ඒක දැන ගන්න අයිතියක් තියෙන නිසා ” 

නිම්නාද කීවේ අහස් දෙස එක එල්ලේම බලාගෙනය. 

” අයිතිය ? හහ් ? එහෙම එකක් තියෙන්න ඇති. හැබැයි දැන් එහෙම එකක් නෑ කියලා උඹ මතක තියාගනින් ” 

අහස් සිගරට්ටුව බිම දමා පෑගුවේ තරහිනි. නිම්නාද තවමත් මේඝාට අයිතිවාසිකම් කියන්නට එන්නේ ඇයි ? 

” එහෙමද ? එහෙනම් උඹ මේකත් මතක තියා ගනින් අහස්. උඹට ඒකි ගෙන් ගන්න දෙයක් නම් ඉතුරු වෙලා නැහැ ” 

නිම්නාද පිරිමියෙකුට ගැහැණියක් පිළිබඳව කිව හැකි පිළිකුල් සහගතම කතාව කියා දැම්මේය. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ ඇඳී තිබූ වියරු සිනහව නිසා අහස්ගේ කෝපය පිට පැන්නේය. ඔහු ඉදිරියට පැන නිම්නාදගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තේය.

” මොකක්ද උඹ කිව්වේ? ” 

” කිව්ව එක උඹට ඇහෙන්න ඇතිනෙ ? ” 

නිම්නාද කීවේ සමච්චල් සහගතවය. විශ්මිත ඉදිරියට ආවේය.

” අහස් යමන් . ඔය ඇති ” 

” නෑ පොඩ්ඩක් හිටපන් ” 

අහස් විශ්මිතව පසෙකට කළේය. මේ අවස්ථාව මග හැරිය යුතු නැත. නිම්නාද වැනි නරුම මිනිසෙකුට මේඝාට අපහාස කිරීමට ඉඩදී බලා සිටිය යුතු නැත. 

” උඹ මේක මතක තියා ගනින් නිම්නාද. මම උඹ වගේ කෙල්ලන්ගෙන් ආතල් අරගෙන අත අරින ජාතියේ මිනිහෙක් නෙමෙයි. මම කොන්ද පණ තියෙන කෙලින් තීරණ ගන්න පුළුවන් මිනිහෙක්. මේඝා මගේ නම් එයාගේ අතීතයෙන් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි , උඹ තව දුරටත් ඒ අහිංසක කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්න ඇති කරනවා නම් අන්න ඒක මට ප්‍රශ්නයක් ”  

අහස් උන්නේ කෝපයෙන් වෙව්ලමිනි. විශ්මිත අහසේ මේ ස්වරූපය දුටුවේ කාලෙකිනි. එය ලෙහෙසියෙන් නිවෙන්නේ නැති කෝපයක් බව ඔහු අත්දැකීමෙන්ම දනී. වර්ෂා කොහේදෝ සිට දුවගෙන ආවේ ඒ මොහොතේය. යමක් සිදු වෙමින් පවතින බව ඇය දුර තියාම දුටුවාය.

” නිම්නාද ” 

අහස් වර්ෂා දෙස බැලුවේ රවමිනි. ඇය වහා අහක බැලුවේ ඒ බැල්ම දරාගත නොහැකිවය . අනිවාර්යෙන්ම නිම්නාද මෙතන කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිකර ගන්නට ඇත.

” නිම්නාද යන් ” 

නිම්නාද කමිස කොළරය සකස් කර ගත්තේය. වර්ෂා ඉදිරියේ මේඝා ගැන කිසිවක් කියන්නට නොහැක.

” යන්න. ඔයාගේ මේ මහලොකු නිම්නාදව අරගෙන මගේ ඇස් දෙකට පේන්නෙ නැති වෙන්න යන්න. තව විනාඩියක් හරි හිටියොත් මට මුගේ මූණ පොඩි කරන්න තමයි හිතෙන්නේ ” 

අහස් කියා දැම්මේය. වර්ෂා නිම්නාද ගේ අතින් ඇදගෙන වාහන අංගනය වෙත ආවාය. නිම්නාද වේගයෙන් හුස්ම ගන්නේ අතිශයින්ම කෝපයට පත් වී නිසා බව වර්ෂා දනී.

” Give me the key. මම ඩ්‍රයිව් කරන්නම් ” 

වර්ෂා නිම්නාද ගෙන් වාහනයේ යතුර ඉල්ලාගෙන වාහනයට නැගුනාය. නිම්නාද වාහනයට නැගුනේ තවත් ටික වෙලාවකට පසුවය.

” මේඝා මගේ නම් එයාගේ අතීතයෙන් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි , උඹ තව දුරටත් ඒ අහිංසක කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්න ඇති කරනවා නම් අන්න ඒක මට ප්‍රශ්නයක් ”  

අහස්ගේ වදන් නිම්නාදට නැවත නැවත ඇසෙන්නට විය. අහස් සහ මේඝා අතර මේ තරම් ප්‍රබල බැඳීමක් ඇති වූයේ කෙසේද ? මේඝා වෙනුවෙන් තමා ඉදිරියේ පෙනී ඉන්නට තරම් ආදරයක් අහස් තුළ තිබෙන්නට හැකිද ? තමා මේඝා පිළිබඳව කියූ කතාවෙන් පසුවත් එසේ විය හැකිද ? 

නිම්නාදට දැනුනේ අන්ත පරාජිත හැඟීමකි. තමා ඉවත දැමූ දෙයක් මේ සා විශාල ආදරයකින් සහ විශ්වාසයකින් දෝතට ගෙන රැක බලා ගැනීමට තරම් අහස් උතුම් ප්‍රේමවන්තයෙක් ද ? 

” ඔයා දැන් මේ කල්පනා කරන්නේ අහස් කියපු මොන දේ ගැනද නිම්නාද ? ” 

නිහඬතාවය බලා සිටීමට බැරිම තැන වර්ෂා ඇසුවාය. 

” මුකුත් නෑ ” 

” ඔයා අහස් එක්ක වලියක් දාගත්තද ? අහස්ගේ මූණෙන් නම් පෙනුනේ එහෙම ” 

වර්ෂාට උවමනා වූයේ ඇත්තටම සිදුවූ දේ දැනගන්නට ය. එහෙත් නිම්නාදගේ ඇතැම් ගුප්ත ගතිගුණ නිසා එය එතරම් පහසු නොවන බව වර්ෂා දනී. 

” ඔයාට තිබුණේ අහස් එක්ක කතා නොකර ඉන්න. මොකටද නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ ” 

” මට කොහොමත් ඌත් එක්ක කතා කරන්න ඕන වෙලා තිබුණේ “

නිම්නාද ඉදිරිය බලාගෙන උත්තර දුන්නේය. 

” මෙච්චර කල් තිබ්බේ නැති කතාවක් දැන් මොකක්ද එයත් එක්ක ? ” 

” මට ඕන දේ මම දැන ගත්තා. එච්චරයි ” 

” මොකක්ද දැන් දැන ගත්තේ ? ” 

” වර්ෂා ප්ලීස් ඇති. මගෙන් ප්‍රශ්න අහන එක නවත්තන්න ” 

නිම්නාද කෝපයෙන් කීවේය. කෝප විය යුත්තේ තමාය. නිම්නාද මේ වද වන්නේ වෙනත් ගැහැණියක් ගැනය. ඉතින් තමා වද විය යුතු නොවේද ?

” මොකද්ද නිම්නාද මේකේ තේරුම ? “

වර්ෂා වේගයෙන් තිරිංග තද කර වාහනය නතර කලාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles