මේ ඔෆිස් එකේ කෙල්ලන් අද එක ඇඳුමක් ඇන්දොත් ආයෙ ඒක අඳින්නේ තව මාසෙකින් පමණ බව මියුරු දනී. කෙල්ලන් ෆැශන් කරන්නට ඕන බවත් මියුරු දනී. එහෙත් සමවයස් කෙල්ලන් අතරේ මේ කාර්‍යාලයේ වඩාත්ම කැපී පෙනෙන යුවතිය විය යුත්තේ තමන්ගේ කාර්‍යාල සහකාරවරිය උනත් ඇය ඉන්නේ ඒ ගැන කිසිත් අදහසක් නැතුව මෙනි. මියුරුට ලොකුවටම ප්‍රශ්නයක් උනේ එයය.
නදී එදා ඇඳගෙන උන්නේත් මෙයට දවස් දෙකකට කලින් ඇඳගෙන ආ ඇඳුමමය. ඒද එතරම් සුන්දර හෝ හොද මැටීරියල් භාවිතා කර මසනු ලැබූ ඇඳුමක් නොවන බව මෙතන ඉඳගෙන උනත් මියුරුට දකින්නට හැක.
එහෙත් ඕවා වනාහී කතාකර අහන්න පුලුවන් කතන්දර නොවේ. මියුරු උන්නේ නදී ගැන තව විස්තර දැනගනු පිණිස ඇය සමග කතා බහකට මුල පුරන්නේ කෙසේද කියා සිතමිනි. නදී උන්නේ මේසයට හිස ඔබාගෙන කුමක් හෝ ෆයිල් එකක වැඩ වගයක් පිරික්සමිනි.
“මේ….” නමෙන් කතා කරන්න කොච්චර පුලුවන්කම තිබුනත් මියුරුට නදීට ඇගේ නම කියා කතා කරන්න යම් අපහසුවක් තියෙන බවක් නොදැනුනා නොවේ. නම නැතුව නිකන්ම ඇයව ආමන්ත්‍රණය කලේ ඒ හන්දාය. නදී හිස ඔසවා බැලුවේ මියුරු කුමක් හෝ රාජකාරියට සම්බන්ධ දෙයක් කියන්නට යනවා ඇතැයි සිතමිනි.
“ඔව් සර්?”
“මේ මම අහන්න ගියේ, මේ වැඩවලට සම්බන්ධ දෙයක් නෙවෙයි. මට ඔයා එක්ක විස්තර අහන්නවත් කතා කරන්න බැරිඋනානෙ ඒකයි”
“අහ්හ්” නදී උන්නේ පොඩ්ඩක් විතර තිගැස්සීය. මියුරු මෙතෙක් දවසක් කරේ තමන්ට බනින එක විතරක් නිසා එකපාරම මෙසේ කතා කර ඔයා ගැන විස්තර ටිකක් අහගන්න ඕන කියද්දී තිගැස්සෙනවා හැරෙන්න කියන්නට දෙයක් නදීට තිබුනේ නැත. මියුරු ඇසූ දෙයට ඒ කියූවායින් පසුව මියුරුත් තමාත් අතර ඇති වූ තප්පර ගණනක නිහඬතාවය නදීට දැණූනේ කල්පයක් ලෙසිනි.
“ඔයා මේ සෙක්‍රටරි කෝස් එක කරේ කොහෙද?” ඒ නිහඬතාවය බිඳලමින් මියුරු කතාව පටන්ගත්තේ මේසය උඩ ඇති කොල හුලඟේ යනවාට තබා තිබෙන ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ ලාංජනයේ අනුරුවක් ලෙස සැකසූ වීදුරු කුට්ටිය මේසය මත එහෙට මෙහෙට කරමිනි.
“කේම්බ්‍රිජ් එකේ සර්”
“කේම්බ්‍රිජ් එක කිව්වෙ තුම්මුල්ලෙ එකද?”
“ඔව් සර්”
“ගෙවල් ඒ ළඟද තියෙන්නෙ?”
“නෑ සර්”
“එහෙනම්?”
“මරදානෙ”
“මරදානෙ, අහ්”
ආයෙමත් නිහඬතාවයකි. මියුරු එක එල්ලේම නදී දෙස බලාගෙන උන්නේ ඉන්පසුව ඇසිය යුත්තේ කුමන අන්දමේ ප්‍රශ්නයක්ද කියා හිතාගන්නට බැරි හන්දාය. එහෙත් නදීගේ දෑස ආයෙම වරක් මේසය මත රඳවාගෙන පිරික්සමින් උන් ලිපි ගොනුව වෙතය. එහි ලියවී තිබුණ මියුරුගේ දිගු එහෙත් කලාත්මක අත්සන දෙසය. මියුරුට තිබෙන්නේ කෙල්ලෙකුගේ බඳු සුන්දර, දිගුවන්, ලා කහ පැහැති අතැඟිලි බව නදී දුටුවේ අද උදෑසන මියුරු අසලට ගොස් මේ ලිපි ගොනුවට අත්සන ලබාගන්නා අවස්තාවේය. ඒ දෑතම මියුරු වනාහී “සුවපහසු තැනක සැපට හැදිච්ච කොල්ලෙකු” බව හිතාගන්නට නදීට උවමනාවටත් වඩා හේතු විය.
“ගෙදර කවුද තව ඉන්නේ?” මියුරුගේ ගැඹුරු හඬ විත් දෙසවන මත පතිත වෙද්දී නදී ආයෙම වරක් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහෙත් මියුරු උන්නේ නදීගේ දෙනෙත මග හැර මේසය මත තබා තිබූ වීදුරු කැබැල්ල වෙත රඳවාගෙනය.
“ආච්චියි, තාත්තයි”
“එතකොට අම්මා?” කියා අසන්නට ඇය ගැන විස්තර දැනගන්නට උවමනා උනත් ඒ ප්‍රශ්නය එසේ පහසුවෙන් අසන්නට බැරි කතාවක් බව මියුරු දැන උන්නේය. ඇගේ අම්මා සමහරවිට මිය ගොසින් තිබෙනවා විය හැක. ළඟින් කෙතරම් සමන්පිච්ච මල් සුවඳක් හැමුවද ඇය එහෙටවත් නැති මෙහෙටවත් නැති ඇඳුම් අඳින්නේ ඒ බව වටහා දෙන්නට අම්මා කෙනෙකු ලඟ නැති හන්දා වෙන්නටත් හැක.
මියුරු ඉන්නේ අම්මා ගැන අසන්න බැරුව තටම තටම බව නදී දනී. “අම්මා රට ඉන්නේ” කියා ඇය කිව්වේ ඒ හන්දාය. අනෙක් අතට එය එසේ කීම තව ඇය ගැන ප්‍රශ්නයක් අසන්නට ඇති ඉඩකඩක් මගහරින්නකි. තමන්ට තියෙන්නේ එහෙම කෙනෙකුට ආඩම්බරයෙන් කියන්නට හැකි ජීවිතය කතාවක් නොවන බව දන්නේ තමන් පමණකි.
“ඕකේ, ඕකේ එහෙනම් ඔයා වැඩ කරන්න ආයෙ මම පස්සෙ කතාකරන්නම්කො මොනවහරි දැනගන්න ඕන උනොත්” කියා මියුරු යාන්තමින් සිනාසී කාමරයේ පසෙකින් ඇති නාන කාමරයට ඇදුනේ තමන් කතා කලේත් හැසිරුණේත් බොලඳ ආකාරයටද කියා පොඩ්ඩක් බාතෘම් එකට වී නිදහසේ හිතනු පිණිසය.
මියුරු වනාහී කෙල්ලන් ඇසුරෙහි වඩා අත්දැකීම් ලද අයෙකු වන්නට නොහැකි බව නදී තේරුම් ගත්තේ ඔහු කතා කල විලාසයත්, ඒ මුලු කාලය පුරාවටම ඔහුගේ මුහුණේ රැඳී තිබුන ලැජ්ජාබර ගතියත් නිසාවෙනි. මියුරු වනාහී තැලී පොඩිවුන අයෙකු නොවන්නට හැකි බව හිතමින්ම නදී ආයෙම වරක් දෙනෙත ලිපි ගොනුව වෙත හරවා ගත්තාය.
නාන කාමරයේ කණ්ණාඩියෙන් තමා දෙසම බලා උන් මියුරුගේ දෙතොල් ඈත් වී සොඳුරු සිනාවක් නැගුනේ මෙයට විනාඩි කිහිපයකට පෙර නදී හා කල කතා බහ නැවත මතක් වීමෙනි.
ඈ වනාහි කෙලින් කතා කරන්නියකි. සරල කෙල්ලෙකි. ලස්සනට අඳින ෆැශන් සෙන්ස් එකක් නැති උනත් මේ දින කිහිපයට නදී වනාහී අනික් කෙල්ලන් මෙන් බොරු අහිංසක කම් පාන, බොරු ලැජ්ජාබර ගතියක් පාන එකියක නොවන බව මියුරු සිතුවේ පැහැදීමෙනි. ඇය පොලොවේ පය ගසා ජීවත් වන, හොඳින් උගත් කම ලැබූ පවුලකින් එන වැදගත් තැනක කෙල්ලෙකු බව මියුරු උපකල්පනයකට ආවේ නදීගෙන් දකින්නට ලැබුනා වූ එකී සරල ගති ලක්ශණ නිසාය.
මේ දැනෙන සිතුවිලි ඇගේ ලඟින් හමන සමන්පිච්ච මල් සුවඳ මෙන්ම හිත නිවන්නකි. එහෙත් දුක ඇය, ඇයට නොගැලපෙන තැනක ත්‍රීවිල් එලවන කොල්ලෙකු හා සම්බන්ධ වී ඉඳීමය.
එහෙත් ඇය වන සරල, බුද්ධිමත් කෙල්ලෙක් එහෙම එකෙකු හා යාලු වීමත් පුදුම වෙන්න කාරණාවකි. බාගදා ඒ ත්‍රීවිල් කාරයා නදී පස්සෙන් එන, ඇයව යාලු කරගන්න මාන බලන එකෙකු වන්නටද හැකි බව මියුරු සිතුවේ “ඒක එහෙම වෙනවනම් හොඳයි” කියා හිත ඇතුලෙන් කියද්දීය.
එහෙත් එයට උත්තර දැනගන්නට පුලුවන් වෙන්නේ නදීගෙන්ම පමණකි. ඒද ඉතින් “ඔයා අර ත්‍රීවිල් කොල්ල එක්ක යාලුවෙලාද ඉන්නෙ නැත්තම් එයා ඔයාගෙ පස්සෙන් එනවද?” කියා අහන්න යන එකෙන් වෙන්නේ නදී “මූ මොකාටද මේ එන්න හදන්නේ?” කියා තමන් දිහා වපරඇහින් බලන්නට හේතු කාරණා සපයන්නක් වීම මියුරු දනී.
මේවා ඉතින් මොලෙන් ගහන්න ඕන ගේම් ය. ව්‍යාපාර අංශයේ දේවල් වලට උවමනා කරන අන්දමේ මොලයක් තිබ්බාට මේ කෙල්ලන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට උවමනා කුමන ආකාරයෙන්ද කියා මොලයක් එහෙමකට කියා මියුරුට නැත. අනික ඉතින් කොච්චර ලස්සන කෙල්ලෙකු උනත් එහෙම පස්සෙන් ගොසින් චාටර් වෙන්නටත් මියුරුට උවමනා නැත.
මියුරු බාතෘම් එකෙන් එලියට එන්නට කලින් කණ්ණාඩියෙන් මුහුණ බලාගෙන, නදී දකිද්දී මුහුණට එන්නට තනන ප්‍රේමණීය වූද මනහර වූද සිනහව වලක්වාගන්නට අසීරු උත්සහයක යෙදුණේය.
සිනහව වනාහී මිනිසෙකුගේ සිත ඇතුලාන්තයේ කැරකෙන හැඟීම් එලියට පෙන්වන කැඩපතක් බව මියුරු නොදන්නවා නොවේ. ඉතින් නදී ගේ දෙනෙත් ඉස්සරහා තමන් පරිස්සම් විය යුතුය.
එදා හවස නදී කාර්‍යාලයෙන් නික්ම යන්නට සූදානම් වෙද්දී මියුරු බලා උන්නේ ඕන එකක් හිතාගත්තදෙන්, මං අහනවා කියා නදී හා කතා කරන්නට මොහොතක් එනතුරු රැකෙමිනි.
“මම සර් අර උදේ දුන්නු ඩොකියුමන්ට් එක ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරල සර්ට ෆෝවඩ් කරා ලින්ක් එක, සර් බලල කියන්න. මම හෙට චේන්ජස් කරල යවන්නම්” කියමින් නදී අත් බැගය ගෙන ඇගේ මේසයෙන් මෑත්වුණාය.
“දැන්ම යනවද?”
“ඔව් සර් නැත්තම් බස් එක අල්ලගන්න පරක්කු වෙනවා”
“ඇයි අද අරය එන්නෙ නැද්ද?” මියුරු ඇසුවේ හොර හිතෙන් නැගෙන්නට තනන හිනාව දෙතොල් අස්සේම හිරකරගනිමිනි.
“කවුද සර්?” මියුරු මේ අසන්නේ කවුරු ගැනද කියා නදීට මුලින් තේරුනේ නැත. ඇය මියුරු දෙස දෙනෙත් කුඩා කර බැලුවේ ඒ හන්දාමය.
“ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්, එදා අර ත්‍රීවිල් එකකින් උදේ ඇවිත් ඔයාව ඩ්‍රොප් කරල ගියේ?” මියුරු ඒ ඇසුවේ නදීගේ දෙනෙත් වෙත එක එල්ලේ තමන්ගේ දෙනෙත රඳවමිනි. ඒ දෙනෙත් ඔස්සේ ඇය සඟවන්නට තනන යමක් වේ නම් එය අල්ලා ගන්නා අරමුණිනි. බාගදා ඇය ඔහු සමග මිත්‍ර වී ඉද්දීම තමන් වැනි ධනවත් කොල්ලෙකුව රවට්ටාගන්නට අරමුණු කරගෙන හිඳිනවා වෙන්නටත් පුලුවන.
දැන් ලෝකෙ වෙන්නෙ එහෙම දේවල් ය.
“අනේ නෑ සර්, අද එයාට එන්න වෙන්නෙ නෑ”
සිහින මාලිගා සියල්ල කඩා බිඳ දමමින් නදී එසේ කියමින්ම මියුරුගේ කාමරයෙන් එලියට යද්දී මියුරු කරේ පිටුපස හැරී ගමන් කරන ඇය දෙස බලා ඉන්න එකය.
දැන් ඉතින් වෙන කුමක් කරන්නද?