(අ)හිමි සිහින -88

ආදරය හදිසියේ ඇති වන සිතුවිල්ලක් නෙවෙයි.එය ඇති වෙන්නේ සංසාරයේ අත අත නෑර එන මිනිසුන් සමඟ.විවාහයට වඩා ආදරය බර වැඩි ඒ නිසාම කියලා මට හිතෙනවා.මම සුධාරකගේ ආදරය ප්‍රතික්ෂේප කරත් එය ඇත්තටම ප්‍රායෝගිකව කළ නොහැක්කක් කියලා මට වැටහෙන්න පටන් ගත්තා.ඔහු නිතරම මා අමතමින් කියා සිටියේ එකම වාක්‍යයක්.ඒ ඉල්ලීම ඔහුගේ හද පත්ලෙන්ම ආ එකක් බව මට වැටහුණා.ඒත් මම ඒ වචන ඇසෙන වාරයක් පාසාම බොහෝ අසරණ වුණා.

“මට ඔයාව ඕනෑ මැණිකේ..”

ඔහු මගෙන් නොනවත්වාම එහෙම ඉල්ලා සිටියා.ඇත්තටම මට ඒ වචන හිස ඇතුළේ රාව ප්‍රතිරාව දෙමින් මගේ තීරණය වැරදි බව හැඟෙන තුරුම ඔහු එහෙම කිව්වා.

හබලක් නැති ඔරුවක් වගේ විවාහයක ඔහුත් මාත් අතරමං වෙලා.කිසිම සවියක් හෝ ආදරයක් නොදෙන චමල් ඔහුගේම ලෝකයක අතරමං වෙලා හිටියා.ඔහු මත්ව නොසිටි වෙලාවක් නැති තරම්.මගේ පුංචි දූ ඇරුණාම මට කිසිම සහනයක් තිබුණෙම නැහැ.ආදරය සහ රැකවරණය අහිමි ගැහැනියක හැටියට මම මොනතරම් කාලයක් ජීවත් වෙලාද කියලා මම හිතන්න පටන් ගත්තා.බලහත්කාරයෙන් දික්කසාද කළ පසු මමවත් සුධාරකවත් සැනසීමෙන් ජීවත් වී නැහැ.ඔහු ඔහුගේ ලෝකයේ තනිව ජීවත් වෙනවා.දිල්හානි ඇයටම අනන්‍ය ජීවිතයක් අරගෙන යනවා.ඇය කිසිම මිනිසෙකු නොපැතිය යුතු අන්දමේ බිරිඳක් කියලා සුධාරකගේ කතාවලින් මට තේරුම් ගිහින් තිබුණා.

ඉතින් අපි දෙදෙනාම රුවල් ඉරුණු නැව්.නමුත් එකිනෙකා එකිනෙකාට පිහිට නොවී මේ ජීවිතය තරණය කළ නොහැකි බව මම තේරුම් ගත්‍තා.

“ඔව්! මම තීරණයක් ගන්නවා.”

මම එහෙම හිතුවා.ඒ තීරණය සුධාරකගේ කතාව සදහටම අමතක කිරීම වුණානම් දවස් අසූ ගණනක් තිස්සෙ මට ඇහුම්කන් දුන් ඔබට මට අද සමු දෙන්නත් තිබුණා.නැහැ.මම ඔහුව ප්‍රතික්ෂේප කරේ නැහැ! මම වඩාත් අමාරු සහ අසීරු විය හැකි මාවත තෝරා ගත්තා.නින්දා අපහාස ලැබිය හැකි වුවත් ඒ මාවතේ ගමන් කරන්නට මම හිතා ගත්තා.

මූල්‍යමය අතින් දරුණු සටනක සිටි මට අතීත සුධාරක සිහි වී ශෝකයක් දැනෙන්නට පටන් ගත්තා.ඔහු ඉස්සර පුදුම තරමේ පිළිවෙලක් ඇති මිනිසෙක්.දැන් ඔහුගේ ස්වරූපය මාව මහත් වේදනාවට පත් කළා.මම ඔහුට නිතරම තෑගි දුන්නේ ඒ නිසා.ඇඳුම් පැළඳුම්,සපත්තු ආදිය ඉහළම සන්නාම වලින් ඔහුට තිළිණ කරන්නට තරම් මට මුදල් තිබුණා.මම ඒ නිසා එය කරේ බොහොම ආදරෙන්.පෙරළා කිසිත් ලබන්නට මට අවශ්‍ය වුණේ නැහැ.

“මිනිස්සු දෙන්නෙක්ගෙනුත් මට්ටු වෙලා නෑ.”

ඔව්! දැන් ඔබ එහෙම කියයි.ඒත් මම ආදරයෙන් අන්ධ වෙලා හිටියේ නැහැ.ආදරය සිහි තබාගෙන ජීවත් වුණා.මට මතකයි ඉස්සර ලියුම් යවන්න රුපියලක් වත් නැති පුංචි කෙල්ලෙකුට ඔහු මාසයකට රුපියල් පන්සියයක් එවූ අතීතය.අනූව දශකයේදී ඔහුගේ වැටුපත් ඉතා සුළු මුදලක්ව තිබුණත් ඔහු මට ඒ මුදල එවීම වගකීමක් කරගත්තා.ඉතින් මම කොහොමද ඔහුව නොසලකා හරින්නේ?මම සුධාරකට හැකිතරමට උදව් කරේ ඒ සිතිවිල්ලෙන්.අසංක සහ චමල්ට මොනතරමට දේවල් කරත් මට පෙරළා ආදරය ලැබුණේ නැහැ.නමුත් මට සුධාරක මහා ආදරයක් තිළිණ කරමින් සිටියා.ආදරය නැති ලෝකයක ඔහේ ජීවත් වූ මට ඔහුගේ ආදරය මහා සැනසීමක් වුණා.

“අපේ ආදරේ කාලයක් මැරිලා තිබුණත් ආයේ පණ ආවා.ඒත් අපි මේ ගැන කාටවත් දැනෙන්න නොදී ඉමු නේද? මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුලුවන් හොඳම දේ.”

විවාහක යුවලක් තමන්ගේ විවාහයන්ට පිටින් වෙනත් සබඳතා ඇති කරගැනීමට සමාජය දෙන නමක් තියෙනවා.මට ඒ ලේබලය වදින බව මම දැන සිටියා.ඒත් මට ඒ ගැන වගක් තිබුණේ නෑ.ආයේ දික්කසාද නොවී මේ සම්බන්ධතාවය රහසින් කරගෙන යන්නට මට අවශ්‍ය වුණා.ඒ නිසාමයි මම සුධාරකගෙන් එහෙම ඇහුවේ.ඔහු ඒ කතාවට එකඟ වුණේ නැහැ.ඒ වචනවලට බිඳුවක්වත් එකඟ නොවී මුහුණ නපුරු පාටට හරවාගෙන මගෙන් අහන්න දෙයක් ඔහුට තිබුණා.ඇත්තටම ඒ ප්‍රශ්නය අහපු මෝඩකම ගැන මටත් හිතුණේ ඉන්පසුවයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles