සුහදිනී -36

“අපි කවුරුහරි හින්දා දුකින් වේදනාවෙන් ඉන්නකොට ඒක ගැන හැමෝම එක්ක කතා කරනවා.හැමෝටම ඒ ගැන කියනවා.ඒත් අපි සතුටින් ඉන්නකොට කාටවත්ම ඒ ගැන කියන්නේ නෑනෙ.”

අහස් අසන දේ සත්‍යය නොවේදැයි සකී සිතුවා ය.ඇගේ සමහර මිතුරියන් ආදරය හන්දා උනන කදුළු ගැන එළිවෙනතුරුම වේදනාවෙන් කතා කර තිබේ.නමුත් ඔවුන් ප්‍රේමවන්තයාගේ යහපත ගැන එසේ කියන්නේ නැත.

“අපිට පුලුවන් වෙන්නෝන අපිව සතුටින් තියන අපි වෙනුවෙන් කැප වෙන මිනිස්සු ගැන එළිපිට වර්ණනා කරන්නත්.”

අහස් එසේ පැවසුවේ බරැති කටහඬකිනි.ඔහු සමහර කුඩා කාරණා පවා ඕනෑවටත් වඩා හොඳින් මතකයේ තබා ගන්නෙකු බව සකී වටහාගෙන තිබේ.ඔහුට යමක් අමතකව යන ඉඩ ඉතා අල්ප ය.

“මං සයිකැට්‍රික්ලා ගාවට ගිය තරම දන්න මිනිස්සු හරි අල්පයි.ඒකත් හොරෙන් කරන්න එපැයි.අහස් ඉලංගසිංහට පිස්සු කියලා අන්තර්ජාලය කැළඹෙන්න තිබ්බ නැත්නම්.”

ඔහු ප්‍රේමයක වේදනාව අවසානයේ ප්‍රතිකාර ලැබුවාදැයි අසන්නට සකීට වේදනාවක් දැනේ.ඇය ඒ නිසා කිසිවක් නාසා අසා සිටියා ය.ඔහු සිටින්නේ වෙහෙසට පත්ව ය.එක් අතකට දැන් කළ යුතු වන්නේ ඇමතුම අවසන් කර ඔහුට නින්දට යන ලෙස පැවසීම ය.එහෙත් පසුබිමින් ඇසෙන හඬ සහ එහෙමෙහෙ යන රූප පවසන්නේ සර්වරාත්‍රික සැමරුමක්දැයි සකී සිතුවේ සිනාවකිනි.

“වැඩිය හිතන්නෙපා.දැන් සාරණ්‍යා නෑනෙ.මං ඔයා ගාව ඉන්නවනෙ.එයා ඔයා ග්‍රවුන්ඩ් එකේදී කිව්ව කතාවට කේන්තියෙන් ඇති.එයාට ඔයාගේ සන් ෆ්ලවර් කවුද කියලා හොයන්න උවමනාත් ඇති.ඒ වුණාට එහෙම ලේසියෙන් මාව හොයා ගන්න බෑනෙ.”

සාරණ්‍යාට සමහර දේ සොයා ගන්නට තත්පරයෙන් හරි අඩක් ප්‍රමාණවත් බව සිතුණත් අහස් සාරණ්‍යා කලබල කරන්නට නොසිතුවා ය.ඇගේ ලෝකය සාරණ්‍යාගේ ලෝකයට වඩා කුඩා උණුසුම් එකකි.ඇය සාරණ්‍යා අටවන උගුල් ගැන සිතන්නටවත් නොදන්නා බව අහස් සිතී ය.

අහස් ප්‍රතිකාර ගත් හේතුව පසුවට කියන්නට ඉතිරි කරමින් ඔහු සමු ගත්තේ ය.ඔහු සමඟ කතා කරන්නට ඉඩ ලැබෙන මිනිත්තු කිහිපය පවා දවසේ ඇති උණුසුම්ම කාලය බව සකීට දැනෙයි.අනෙක් යුවතියන්ට මෙන් තම පෙම්වතා සමඟ බොහෝ වෙලාවක් ගෙවන්නට ඉඩ නොලැබුණ ද කතා කරන කෙටි කාලය තුළ සකීට දැනෙන හැඟීම සහ ප්‍රේමය ගැන ඇය සිතා බැලුවා ය.

ඒ ලෝකයේ ඇති හොඳම සායම් යොදාගෙන කරන සිතුවමක් තරමට සුන්දර හැඟීමකි.

අහස්ට ප්‍රතිකාර ගන්නට සිදු වූ හේතුව හෙළි කළේ සියුම් ය.දැන් සියුම් වඩවඩාත් සකී සමඟ කතාබහේ නියැළෙයි.විදෙස් සංචාරවල නිරත වන සෑම අවස්ථාවකම සාරණ්‍යාට සහ පෙර පෙම්වතියන්ට වඩා ත්‍යාග සියුම්ගේ පෙම්වතිය වෙනුවෙන් රැගෙන එන අහස් ඇයට සලකන්නේ තමන්ගේ බාල සහෝදරියකට බඳු ස්නේහයකිනි. ඒ සෙනෙහස පෙරළා අහස්ගේ පෙම්වතියන්ට දෙන්නට සියුම් කිසිදා කල්පනා කර නොතිබිණ.සරසවි සිසුවෙකු සතපහකට ගණන් නොගන්නා ස්ථරයක ජීවත් වූ ඒ තරුණියන් සියුම්ව එතරමට මායම් නොකරන්නට වග බලාගෙන තිබිණ.නමුත් දැන් සියල්ල වෙනස් ය.සකී කොහොමටත් සියුම්ට දැනෙන්නේ තම සහෝදරියක ලෙසට ය.

“අහස් දිගටම ට්‍රීට්මන්ට්ස් ගත්තෙ සයිබර් බුලින් දරා ගන්න බැරුව.මාකටිං දන්න හින්දා ඒක මං බලා ගන්නම් කියලා අහස්ගේ පේජ් එකනම් කාලයක් මම බැලුවේ.තාමත් බලන්නෙ මම.”

සකීට සිනාවක් නැඟිණ.සෑම ක්‍රිකට් තරගයකටම පෙර ඔහු මොනතරම් වීරයෙකුදැයි දන්නා හොඳම ඉංග්‍රීසියෙන් අහස්ට පණිවිඩ තැබූ කෙල්ලක සියුම් අසල හිඳියි.ඒවා කියවූයේ සියුම් නම් සිතෙද්දී ඇයට දැනෙන ලැජ්ජාව ස්වල්ප නොවේ.

“අහස්ගේ රස්සාව ඒක තමයි.ඕන මනුස්සයෙක් රස්සාවට අවංක වෙන්න ඕන.ඔව් ඒක ඇත්ත.ඒ වුණාට බං කිසිම මනුස්සයෙක් හිතලා ෆේල් වෙන් නෑනෙ.පොඩි පොඩි පර්සනල් කාරණා මතක තියාගෙන මිනිස්සුන්ට හොඳටම රිදෙනකම් මානසිකව වට්ටන එක කොච්චර කැත වැඩක්ද?”

සියුම් කියන්නේ කලකිරීමෙනි.එකල අහස්ගේ ජීවන රටාව ඔහුට අමතක ව නොයයි.අහස්ට මඩ ගසන්නට මූල්‍යමය වාසි ලබා ගත් මිනිසුන් සිටිනවාදැයි සිතෙන තරමටම එකල ඔහු වෙනුවෙන් බොහෝ රළු දේ ලියැවිණ.අහස් ඒ පීඩාව දරා සිටියේ ඉතා අසීරුවෙනි.

“මං ඉස්කෝලෙ යන කාලෙ ස්පෝට්ස් වලට පොඩ්ඩක්වත් ආස නෑ.ටාගට් එකක් තියන් ඉගෙන ගන්න තමා මට ඕන වුණේ.අහස් ඒ කාලේ පන්තියෙ නෑ.මං උගෙ නෝට්ස් එහෙමත් හදලා තියනව මිසක ප්‍රැක්ටිස් කරනව එහෙම බලන්න නොයනතරම්.බිග් මැචස් වලට යන්නෙත් ෆන් එකටනෙ.”

සියුම් පවසයි.එසේ සිටි ඔහු තදබල ක්‍රිකට් රසිකයෙකු වූයේ මිතුරා ජාතික කණ්ඩායමට ඇතුළත් වූ නිසා නොවේ.ඔහු වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් නිරීක්ෂණය කරන්නට වූ නිසා ය.සෑම කෙනෙකුටම වැරදෙන අවස්ථා ගැන අහස් දැනුවත් කරන්නට උවමනා වූ නිසා ය.

“ඒ ස්ටඩි කරපු ස්ටඩි කිරිල්ලෙ හැටියට මාත් දැන් හොඳ කෝච් කෙනෙක් තමයි.”

හොඳ මිත්‍රත්වයකට එපමණ දේ කළ හැකි නම් ආදරයකට ඊට වඩා බොහෝ දේ කළ හැකි බව සකී සිතුවා ය.අහස්ට ඇත්තේ තමන්ගේ දක්ෂතා ගැන අවිශ්වාසයකි.පිටත සමාජය ඒ හැඟීම නිර්මාණය කර ඇති බව සතුට හොඳින් වැටහේ.

“නිකං ග්‍රවුන්ඩ් එකක ප්ලේ කරකර හිටියාට නැෂනල් ටීම් එකට ගන්නෙ නෑනෙ.ෆේස්බුක් එකේ මිනිස්සු කියන විදියට ඉස්කෝලෙයි අරකයි මේකයි ඕවට ලොකු හේතු නෙමෙයි.ඒ මනුස්සය එතනට ගියේ දක්ෂකම හින්ද.ඒ වුණාට පහුගිය කාලේ අහස්ට වඩා රටේ හැමෝම ක්‍රිකට් ගැන දැනගෙන හිටියා.”

තැලෙන යකඩයක් උඩ පැන පැන පැන තලන්නට සමාජ මාධ්‍ය තෝතැන්නකි.ජනප්‍රිය පුද්ගලයන්ට පමණක් නොවේ.කෙසේ සාමාන්‍ය ජීවිත ගත කරන මිනිසුන් වෙනුවෙන් පවා ඇතිවන සමහර මඩ සමාජ ජාලාවල පැතිරී යන්නේ හීයක වේගයකිනි.පෞද්ගලික තරහකාරයෙකු ඇති කරන එවැනි ගින්දරට අනෙක් අය අතින් පිදුරු වැටෙන්නේ අදාළ පුද්ගලයා දැන සිටීම හන්දා ද නොවේ.

“අපේ රටේ මිනිස්සු අනිත් මිනිස්සුන්ට පීඩා කරල සතුටු වෙන්න මහා පුදුම තරම් කැමති ජාතියක්.”

සකී පැවසුවේ වේදනාවෙනි.

“ඉන්දියාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා පොඩ්ඩ වැරදුනාම ගෙවල් වුණත් ගිනි තියෙනවා කියලා අපේ උන් කියන්නෙ මාර ලොකු සීන් එකකින්නෙ.ඕනෙම රටක තියෙන දහජරා කොටස ඉක්මනට තමන්ගෙ කරගන්න අපේ උං හරි කැමති.සංස්කෘතිය සදාචාරය ගැන කියෙව්වට මිනිස්සුන්ට පීඩා කරල සතුටුවෙන එක අපේ උන්ට දැන් පුරුද්දට ගිහින්.”

නමුත් මේ මොහොතේ තත්ත්වය එසේ නොවේ.සමාජ ජාලාවල මේ මොහොතේ අහස්ට වඩා වීරයකු නොවේ.ඔහු වෙනුවෙන් ලියැවෙන සෑම යහපත් දෙයක්ම සකී ගබඩා කර ගන්නට වූවා ය.අතිශය අඳුරු අහසක් ඇති දවසක ට අහස්ගේ ලෝකයේ රිදී ඉරි අඳින්නට මේවා යොදා ගන්නට හැකි බව ඇය දැන සිටියා ය.

“අහස්ගෙ සූරියකාන්ත මලට ඉරිසියා කරන කෙල්ලො සෑහෙන තොගයක් ඉන්නව.හොස්පිටල් කීපෙකට කෝල් කරානම් ඊයේ රෑ පපුවේ අමාරු හැදුණු කෙල්ලො කීයක් ඇඩ්මිට් කරාද කියලා දැනගන්නත් අපට තිබුණ.”

අහස්ගේ සරදමට සකීට සිනාවක් නැඟිණ ඔහු අයත් කර ගන්නට කෙල්ලන් පොරකන බව රහසක් නොවේ.සැබෑවටම ඔහු ඒ කළ කතාව යුවතියන්ට වේදනාවක් ඇති කරන්නට ඇත.මේ වෙද්දී අහස්ගේ පියාඹන හාදුව සහ කතාව ප්‍රේමණීය ගී පසුබිමින් වාදනය වන්නට ඉඩ හරිමින් සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය වේ.සැබෑ ප්‍රේමය ගැන බොහෝ දෑ ලියවේ.

නමුත් තම හදවතේ ඇති ප්‍රේමය ඒ කිසිවකට ප්‍රකාශ කළ නොහැකි බව  සකී සිතුවා ය.ඇය හිඳින්නේ දරාගත නොහැකි තරමේ ප්‍රේමයෙන් ය.

(ප්‍රේමය ගැන අල්පව මිනිස් චර්යා ගැන වැඩියෙන් ලියැවුණු අද දවසට අදහස් තබා යන්න.අපේ අහස් ලා ට මේ මොහොත ජයග්‍රාහී මොහොතක් වේවා)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles