සියවසේ විවාහ මංගල්‍යයයේ ඔබ නොදත් තොරතුරු

විවාහයක් කියන්නෙ කොහොමත් ඉතින් කට්ටිය වියදම් කරල ලස්සනට කරන වැඩක් නෙ. අපි කවුරු උනත් ආසයි තියෙන සල්ලි ඔක්කොම ටික හරි වියදම් කරල තමන්ගෙ මේ විශේෂ දවස වෙන කිසිම කෙනෙක් කරපු නැති විදියට වෙනස්ම ලස්සනක් එක් කරන්න.

ඉතින් පහුගිය සතියෙම වගේ සමාජ මාධ්‍ය කළඹන්න හේතු උනෙත් මෙන්න මේ වගේ විවාහයක්. නිකන්ම නිකන් විවාහයක් නෙවෙයි, සියවසේ විවාහය කියල හැඳින්වෙන විදියෙ විවාහයක්.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ මුකේෂ් අම්බානි විසින් තම පුත්‍රයා වෙනුවෙන් පවත්වනු ලබූ මංගල සාදයකට සහභාගි වීම සඳහා ලොව බලවත්ම පුද්ගලයෝ රැසක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වෙත පැමිණිය බව අපි දැනටමත් දන්නවා.

දවස් තුනක පූර්ව විවාහ උත්සවය

මෙම අතිවිශිෂ්ට උත්සවය පවත්වා තිබුණේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි විසින් තම පුත්‍රයා අනන්ත් අම්බානි වෙනුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් නගරයේදී බව ඔයාලට මතක ඇති. විවාහය, ජූලි මාසයේදී රාධිකා මර්චන්ට් සමග සිදුවුනා, ඒ පසුගිය සතියෙදි සමාජ මාධ්‍ය කළඹවමින්. පූර්ව විවාහ උත්සවයට ලොව ප්‍රමුඛ පිරිස් සහභාගී වුනා මතකද?

ජම්නගර් නගරයේ පැවැති තුන් දින උත්සවය සඳහා ෂා රුක් ඛාන් සහ අමිතාභ් බච්චන් ඇතුළු බොලිවුඩ් තරු රැසකුත් සහභාගි වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 115ක වත්කමකට හිමිකම් කියන 66 හැවිරිදි මුකේෂ් අම්බානි, ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවතුන් අතර 10 වන ස්ථානයේ පසුවෙනවා. 1966 වසරේදී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු පිරිපහදු කිරීමේ සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ ටෙලිකොම් සේවා දක්වා අංශවල ක්‍රියාත්මක වන දැවැන්ත සමූහ ව්‍යාපාරයක්. ඒ වගේම නවතම ආරංචි මාර්ග වල සඳහන් වෙනවා ලොව ප්‍රකට Shein සමාගමේ ඉන්දියානු ආයතනයකුත් පටන් ගන්න අම්බානි සූදානම් බව.

අනන්ත් අම්බානි කියන්නෙ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාල ම දරුවා. 28 හැවිරිදි ඔහු රිලයන්ස් බලශක්ති නිපැයුම් ව්‍යාපාර සමග සම්බන්ධ වී සිටින අතර රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුත් වෙනවා.

ආරාධිත අමුත්තන්ගෙ සහභාගිත්වය

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයකට සහභාගි වෙන්න ලෝකෙ පුරාම ජීවත්වෙන බලවන්තයන් මහ ගොඩකටත් ආරාධනා ලැබිලා තිබුණා.  මේ ආරාධනා ලැබුණ ලොව බලවත් ම පුද්ගලයෝ රැසක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වෙත පැමිණියෙ අනන්ත් – රාධිකා විවාහ උත්සවයේ පූර්ව විවාහ චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහභාගි වෙන්න.

සිය පුත්‍රයා වෙනුවෙන් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානි විසින් පවත්වනු ලැබූ පූර්ව විවාහ උත්සවයේ අමුත්තන් අතර මාර්ක් සකර්බර්ග්, රිහානා සහ බිල් ගේට්සුත් හිටියා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, ආරාධිතයින්ගේ ලැයිස්තුවට ඉන්දීය බිලියනපතියන් වන ගෞතම් අදානි සහ කුමාර් මංගලම් බර්ලා ද ඇතුළත්ව ඉන්නව කියල. ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර් ද සාදයට එක්වෙන බව කට්ටිය කියල තිබුනේ, ඔහුගේ සමාගම එහි ඉන්දියානු වත්කම් රිලයන්ස් සමාගම සමග ඒකාබද්ධ කරන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පස්සෙ.

විවාහ උත්සවයේ විශේෂ අවස්තාවන්

ජුලි මාසයේ පැවැත්වුන අනන්ත් – රාධිකා විවාහ මංගල උත්සවයට ලැබුණෙ එසේ මෙසේ අවධානයක් නම් නෙවෙයි. දවස් තුනක් පුරාවට ධනය, බලය පෙන්වන උත්සවයක් තමයි සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණේ.

අම්බානිගේ මහල් 27 කින් යුත් පවුලේ නිවසේ සහ ඔහුගේ පවුලේ අයට අයත් 16,000 කට අධික පිරිසකට නවාතැන් ගත හැකි Jio ලෝක සම්මුති මධ්‍යස්ථානයේදී මෙම විවාහයන් සිදු වුණා. තරු පිරුණු ආගන්තුක  ලැයිස්තුවේ බොහෝ තරු අතර නික් සහ ප්‍රියංකා ජෝනාස්, ක්ලෝයි සහ කිම් කාර්ඩෂියන් සහ ජෝන් සීනා වැනි අයත් හිටිය. මෙම විවාහ මංගල්‍යයට බොලිවුඩ් තරු, තාක්ෂණික ධනවතුන්, දේශපාලනඥයින් සහ ලොව පුරා සිටින ප්‍රකෝටිපතියන් ද සහභාගී වූණා.

විවාහ සතිය

අම්බානි විවාහ මංගල්‍යයේ සෑම අංගයක්ම Customized කියල කියන්නම ඕන.

අම්බානි විවාහ උත්සවය ඇරඹුනේ ජුලි 11 හල්දි සහ මෙහෙන්දි උත්සවය සමගින්. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයට දිනකට පෙර පවත්වනු ලබන හල්දි උත්සවය කියන්නෙ විවාහ වෙන යුවලගේ සිරුරු මත කහ ආලේප කරන සුබ උත්සවයක්.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව, අම්බානි සහ මර්චන්ට් පවුල සති අන්තය මාමේරු උත්සවය සමඟින් ආරම්භ කලා. ඒක මනාලියගේ මාමා ඇයට තෑගි, පලතුරු සහ රසකැවිලි පිරිනමන උත්සවයක්. ඒ වගේම මේ උත්සවයෙදි ගාර්බා රාත්‍රියක්, හින්දු දේවතාවිය වන දුර්ගාගේ පහනක් හෝ ඡායාරූපයක් වටා පැවැත්වෙන නර්තන ප්‍රසංගයක් පැවැත්වුණා.

බාරාත් උත්සවය

ජුලි 12 වෙනිදා තමයි මේ විවාහ උත්සවයේ බාරාත් උත්සවය පැවැත්වුණේ.බාරාත් කියන්නෙ මනමාලයා විවාහ උත්සවය සඳහා චාරිත්‍රානුකූලව රැගෙන එන උත්සවය. මේ උත්සවය වෙනුවෙන් මල් වලින් සරසපු ලස්සන වාහනවලින් තමයි මනමාල පාර්ශ්වය විවාහය පැවැත්වෙන තැනට අරගෙන ගියේ. ලෝක ප්‍රසිද්ධ මෝස්තර නිරූපන ශිල්පියෙක් වන ප්‍රබාල් ගුරුන්ග් කියල තියෙනවා “මම එච්චර ලස්සන උත්සවයක් දැකලම නෑ, මට හිතාගන්න බැරි උනා” කියලා.

උත්සවයට ආව තරු සහ ප්‍රසිද්ධ පුද්ගලයන් රතු පලසක් මතින් තමයි උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුලු වෙලා තියෙන්නෙ.

පේරා උත්සවය

ජුලි 12 වෙනිදා හවස් කාලයේ මේ විවාහය ඇරඹුණේ පේරාස් එක්ක. පේරාස් කියන්නෙ ඉන්දියානු විවාහයක ඉතාම වැදගත් චාරිත්‍රයක්. මෙන්න මේ චාරිත්‍රයෙදි තමයි අර වට හත යන ගමන් මනමාලයා සහ මනමාලිය මල් මාලා එකිනෙකාට දාන්නෙ. මේ චාරිත්‍රය සඳහා රාධිකා ඇන්ද ඇඳුම ඩිසයින් කලේ රියා කපූර්.

අඩි දාහතක් දිග වේල් එකක් එක්ක ආව මේ ලස්සන වගේම වටින ඇඳුමට දියමන්ති ආභරණ තමයි රාධිකා පැලඳගෙන හිටියෙ.

ශුබ් ආශිර්වාද් උත්සවය

සෙනසුරාදා පැවැත්වුන මේ උත්සවයට බොලිවුඩයේ බොහෝ දෙනා සහභාගිවුණ බව මාධ්‍ය කියනවා. මේ උත්සවයෙදි තමයි අලුත විවාහ වෙච්ච යුවලට හිතවතුන් ආශිර්වාද කරන්නෙ. මෙතනදි කතා උනේ මනමාලියගෙ ඇඳුම ගැන විතරක් නම් නෙවෙයි. මනමාලි වගේම පවුල් දෙකේම අය සහ බොලිවුඩ් හොලිවුඩ් තරු ඇඳ පැළඳගෙන ආව ඇඳුම් සහ ආභරණ හැමෝගෙම කතාබහට ලක්වුණා.

ජයශ්‍රී බර්මන් විසින් කරපු ඇඳුමක් තමයි රාධිකා මේ උත්සවයට ඇන්දෙ. විවාහය පුරාවට එයා ඇන්ද ඇඳුම්වලින් එයා ආසම මේ ඇඳුමට කියල රාධිකා කියල තියෙනවලු.

Reception එක

මංගල් උත්සව් කියල හැඳින්වෙන මෙන්න මේ උත්සවයට 14,000 පමණ සෙනග ඇවිල්ල තියෙනවා කියලා තමයි කියන්නෙ.මේ උත්සවය වෙනුවෙන් රාධිකා ඇඳලා තියෙන්නෙ ඩොල්චෙ ඇන්ඩ් ගබානා වෙතින් ගත්ත Customized Corset  ඇඳුමක්.

අනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ සංගීත් උත්සවය ඔවුන්ගේ විවාහ උත්සවයට හරියටම සතියකට කලින් 2024 ජූලි 5 දින තමයි සිදුවුනේ. ජස්ටින් බීබර්ගේ ප්‍රධානතම රංගනයක් ඇතුළත් සජීවී ගීත සහ නැටුම් වලින් සමන්විත මේ උත්සවයටත් බොහෝ දෙනා සහභාගි වුණාලු. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව, තමන්ගෙ සංගීත් උත්සවය වෙනුවෙන්ම ඉන්දියාවට ආ ගායකයාට එයාගෙ Performance එක සඳහා ඩොලර් මිලියන 10 ක විශාල මුදලක් ලබාදීලා තියෙනවා.

ඉතින් මේ විදියට ලස්සනට වගේම ඉතාම ලොකු ගාණක් වියදම් කරල පැවැත්වුන විවාහ උත්සවය වගේම රාධිකා – අනන්ත් විවාහ දිවියත් ලස්සනට, සුන්දරව, සතුටෙන් ගෙවන්න ලැබේවා කියල අපි ප්‍රාර්තනා කරමු නේද?

Related Articles

Don't Miss


Latest Articles