මියුරු නදී වෙනුවෙන් මුලින්ම අරගත්තේ ෆෝන් එකක් ය.
නදීට තියෙන්නේ හද්ද පරණ ෆෝන් එකක් බව මියුරු දැක්කේත් දැනගත්තේත් එදා ඇනිවසරි පාටි එකේදී නදීට ආ වස්තුගේ කෝල් එක ආන්ස්වර් කරන්න වෙච්ච හන්දාය.
“එච්චර පරණ ෆෝන් තාම මේ කෙල්ලො පාවිච්චි කරනවද?”” කිය නොහිත ඉන්න මියුරුට පුලුවන් උනේ නැත. මියුරු වනාහී හැම අවුරුද්දකටම වරක් අලුතෙන්ම එන ඇපල් ෆෝන් මිලදී ගනිමින් සෑහෙන්නම අප්ග්‍රේඩ් වෙච්ච අප්ඩේට් වෙච්ච ජීවිතයක් ගෙවන කොල්ලෙකි. ඉතින් එහෙම කොල්ලෙක්ට මෙහෙම මේ තමන්ගේ සෙක්‍රටරි පාවිච්චි කරන්නේ හද්ද පරණ චාටර් ෆෝන් එකක් යැයි කියන එක පොඩ්ඩක් විතර ලැජ්ජ වෙන්න හේතුවක් ය.
රෝස් ගෝල්ඩ් ඇපල් දුරකතනය ඇත්තටම කෙල්ලෙක්ගෙ අතට අරගෙන එන්නේ අමුතුම ලස්සනකි. එවන ලස්සන් තෑග්ගක් නදී අත තබන්නට තමන්ට හැකිවීම ගැන මියුරුට ඇත්තේ සතුටකි.
“අනිත් කොල්ලො තමන්ගෙ කෙල්ලන්ට මොනවගේ ඒවද දන්නෙ නෑ අරගෙන දෙන්නෙ?” කියා හිතුනත් ඒ ගැන අහන්න ඉතින් වෙන කෙනෙක් නැති හන්දා ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියා මියුරු ගෙදර ආවේ ෆෝන් එක අරගෙනය. අම්මා තමන්ගේ කාමරයේ බඩු බාහිරාදිය අදින්නේ නැති බව දන්නවා උනත් මියුරු කෝකටත් කියා දුරකතනය සහිත පෙට්ටිය ඇඳුම් අස්සේ හංගා තැබුවේ හෙට උදේම කාර්‍යාලයට යන්නට කලියෙන් බෑග් එකට දාගන්න අදහසිනි.
“නදී මොනව හිතාවිද දන්නෙ නෑ මම මෙහෙම දෙයක් දුන්නම” කියා නොහිතා ඉන්නට කා බී අහවර වී ඇඟ පත සෝදාගෙන නිදාගන්නට සූදානම් වී ඇඳේ ඇලවී ඉන්න අතරේ මියුරු හිතුවේය.
“නදී අමුතු කෙල්ලෙක්නෙ. මෙච්චර දවසක් මාත් එක්ක එකට වැඩකරත් ෆ්ලෝ එකේ අනිත් කෙල්ලො වගේ වැරදි විදියට බැලුවෙ තියා කොහොමවත් මං දිහා බැලුවෙ නෑනෙ. බැලුව නම් ඉතින් මම දකිනවනෙ. මම එයා දිහාමනෙ බලාගෙන ඉන්නෙ.
එදා පාටි එකේදි උනත් මගෙ ඇඟේ එල්ලිලා නැටුවෙ එයා බීල උන්න හන්ද මිසක් එයා එහෙම නරක කෙල්ලෙක් නිසා නෙවෙයි. එහෙම එකේ මම මෙහෙම දෙයක් දුන්නම මේ ගෑණි ගිහින් එච් ආර් එකට කම්ප්ලේන් කරාවිද දන්නෙ නෑ? මම නිකන් ෆ්ලින්ග් එකකට කතා කරනව වගේ හිතුවොත් චාටර් එකක් කන්න වෙනවා හොඳ”
එහෙම දෙයක් වෙන එක වලක්වන්න තියෙන හොඳම විදිය තමන් ඇයට ආදරේ කරන බව කියන එක උනත් එකපාර එහෙම දෙයක් කියල දාන එක කොච්චර අමාරුද කියා මියුරු නොදන්නවා නොවේ. නදීගේ පිරිසිඳු පැහැදිළි දෙනෙත ඉදිරියේ තමන් කොච්චර කුඩා මිනිසෙකු මෙන් දැනෙනවාද කියා දන්නේ තමන් පමණකි. ඉතින් එහෙම එකේ මං ඔයාට ආදරෙයි කියා එහෙම ලේසියෙන් කියන්න බැරිබව මියුරු දනී.
මියුරු ඔහොම සිතුවිල්ලක ඉද්දී නදී උන්නෙ වෙච්ච දේවල් ගැන කාවින්දි එක්ක කතා කරමිනි. “බොස් ඊටපස්සෙ මට බැන්නෙ නම් නෑ” කියා නදී සන්තෝසෙන් කිව්වද කාවින්දි නම් මේ හැමදේම දැක්කේ හැමදාම වගේ වෙනස්ම විදියකටය.
“මට හිතෙන්නෙ ඌ උඹට ලව්” කාවින්දි කිව්වේ චන්ද්‍රකාන්ති විසින් ගෙනා ආප්ප වාටියක් හපන ගමන් නදීගේ ඇඳේ ඇලවීය.
“කවුද? මිලින්ද ද?”
“ඒඒ නෙදකින් විතරක් මිලින්දයෙක් ගැන කිව්වෙ කවුද යකෝ දැන්? මං කිව්වෙ අරූ ගැන”
“කවුද?”
“උඹේ බොස්” කාවින්දි එහෙම කියද්දී නදීගේ ඇස් දෙක තිබ්බේ නළල හරියට වන්නටය. මියුරු රදන්පොල වනාහී තමන් ඉන්න පාතාලයේ හිඳ අඩි දහස් ගණනක් ඉහල දිව්‍යලෝකයක බව නදී දනී. එහෙම දිව්‍යලෝකයක ඉන්න මිනිහෙක් තමන් වගේ කුණු ගඳ ගහන පාතාල ලෝකයක දුක් විඳින කෙනෙක් ගැන ආදරයක් ඇති කර ගන්න එක නදී දැක්කේ මහා විහිලුවක් විදියටය.
“පිස්සුද?”
“පිස්සු නෙවෙයි මං කියන්නෙ ඇත්ත. මට හොඳටම ශුවර් ඕක ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. ඌ ඔච්චර වස්තුව ගැන හෙව්වෙ කරෙත් ඒකට. තව ටික දවසකින් බලපංකො උඹටම තේරේවි මං කිව්වෙ ඇත්තද බොරුද කියල”
“උඹ මේ දවල් හීන දකින ගමන් මටත් හීන පෙන්නන්න හදනවා. අනේ බං උන් මේ කොළඹ හතේ සුපිරි මාළිගාවල වගේ ඉපදිච්ච කොල්ලො. එහෙම මේ කුමාරයො වගේ හැදිච්ච කොල්ලො මොකටද බං මේ අපි වගේ මුඩුක්කු අස්සෙ ජීවත්වෙන උන්ට ලයින් දාන්නෙ?”
“එහෙම කියන්නෙ උඹනෙ. ඒක ඌ දන්නෙ නෑ නේද?”
“මොකද්ද දන්නෙ නැත්තෙ?”
“ඌ ඉපදිලා තියෙන්නෙ දිව්‍යලෝකෙ කියලත්, උඹල අපි ඉන්නෙ මුඩුක්කුවල කියලත්”
මියුරු රදන්පොල තමාට ආදරය කරන බව කාවින්දි කියද්දී හිතට අමුතුම කිතියක් වගේ දෙයක් දැනුනත් ඒ වනාහී කිතියක් මිස කිසිම දවසක හැබෑ වන දෙයක් නොවන බව අමුතුවෙන් කිව නොයුතු බව නදී දනී. එහෙත් ඇත්තටම මියුරුගේ හිතේ එහෙම දෙයක් තිබුනත් තමන්ට තියෙන්නෙ කවදාකවත් ඔහුවන් කෙනෙකු ඉදිරියෙ හෙලිකරන්නට බැරි අන්දමේ ජීවිතයක් බව දන්නේ නදී පමණකි.
පසුදා උදෑසන කාර්‍යාලයට යනතුරු මියුරු උන්නේ පුදුමාකාර නොඉවසිල්ලකිනි. වෙනදාටත් කොහොමටත් ලස්සනට අඳින පලඳින මනුස්සයා උනත් මියුරු අද වෙනදාට වඩා වැඩි සැලකිල්ලෙන් කමිසයත් කලිසමත් හැඳගත්තේය. අනතුරුව හැමදාම වගේ ක්ලයිව් ක්‍රිස්ටියන් රොක් රෝස් මැස්කියුලින් පර්ෆියුම් බිඳක් ඇඟේ විසුරුවාගත්තේය.
“නදීට ෆෝන් එක දෙන්න ඕන උදේමද එහෙම නැත්තම් වැඩ ඇරිල යද්දිද? ඒක දීලා එයාව ගෙදරට ඩ්‍රොප් කරන්නත් යන්න ඕනද?”” කියා මියුරු ඇහුවේ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම සුන්දර රූපය දෙස බලගෙනය.
උදේම ෆෝන් එක දුන්නොත් දවසේ ඉතිරි වෙලාවේ වැඩ කරගන්නට අපහසුවෙන බව දන්න හන්දාම “හවස ඕෆ් වෙන්න කලින් දෙනවා” කියා මියුරු හිතුවේ එතකොට ගෙදර ගොස් රෑ නින්දට යන්නට පෙර ඇය සමග ඔහේ එකිනෙකා ගැන වල්පල් දොඩන්නට හැකිවෙන හන්දාය.
“කෙල්ලට ලැජ්ජ හිතේවි මම මේක දුන්නම. කෙල්ලො එහෙමනෙ. එයාටත් සමහරවෙලාවට තේරිල ඇති මම එයාට කැමතියි කියලා” කාමරයේ සිට පහල තට්ටුවට එන්නට පඩිපෙල දිගේ ජවයෙන් ඇවිද එන ගමනුත් මියුරු හිතුවේ නදී ගැනමය.
මියුරු එදා උදේ වරුවේත් දවල් වරුවේත් නදීට නොපෙනෙන්නට නදී දිහා බලමින් උන්නේය. නදී ඒ කිසිවක් නොදැක්කත් ඊයේ කාවින්දි එක්ක කතාබස් කල දේවල් අනුව නදීගේ හිතේත් මියුරු ගැන එක්තරා විදියක විචිකිච්චාව තිබේ නැතැයි කියන්නටම බැරිය. මියුරුගේ හිතේ වූ ආදරය මුසුවුණ හැඟීම්ද නදීගේ හිතේ වූ විචිකිච්චා සහගත හැඟීමද එදා උදේ වරුවේ එකිනෙකාව හිතෙන් කොච්චර සමීප කරත් කතාබහකින් බොහෝ ඈත් කර තබන්නට හේතුවක් විය.
හවස පහමාර වෙද්දී නදී සුපුරුදු පරිදි ගෙදර යන්නට සූදානම් වෙද්දී මේ ඇයව අමතන්න හොඳම වෙලාව බව මියුරු දැනගත්තත් එය කල යුත්තේ කොහොමද කියා මියුරුට අදහසක් නැත. ඕනම දෙයක පලවෙනි අඩිය තියන එක කොච්චර අමාරුද කියන එක මියුරුට පවා තේරුනේ ඕන්න ඒ වෙලාවේය. දෙයක් තේරෙන්න නම් ඒ දේ තමන්ටම වෙන්න ඕන බව පවා මියුරු තප්පරයක් දෙකක් ඇතුලත හිතුවේය. එහෙත් මේ ලේසියෙන් අතෑරගන්න බැරි චාන්ස් එකකි.
හොඳට ඉගෙන ගත්ත, හොඳ රස්සාවක් කරන, ලස්සන කෙල්ලෙක්ව ඩැහැගන්න බලාගෙන ඉන්න කොල්ලන් ඕනපදම් මේ කොළඹ හිඳී. අනෙක් අතට නදී දැන් කාර්‍යාලය ඇතුලේ සෑහෙන්න ප්‍රසිද්ධ හන්දා ඇයව ඩැහැගන්න බලන් මේක අස්සෙම පිරිමි ඉන්න පුලුවන් බවත් හිතෙද්දී මේ මොහොත එක තප්පරයකටවත් ඈත්කරගන්න මියුරු කැමති නැත.
“ඔයා යන්නද හදන්නෙ?”” මියුරු ඇසුවේ බෑග් එකෙන් හෙමින්සැරේ ෆෝන් එක සහිත පෙට්ටිය එලියට ගනිමින් හීන් සැරේ පැකිලෙමින්ද ඇදේට අඩිය තියමින්ද නදීගේ මේසය ළඟට ලංවුණේය.
“ඔව් සර්, මොකක් හරි වැඩක් තියෙනවද? අර්ජන්ට් නම් මට කරලම යන්න පුලුවන් සර්” නදී කිව්වේ මොහොතකට පමණක් මියුරුගේ දෙනෙත දෙස බලා අනතුරුව බෑග් එකට බඩු ටික දාන ගමන් ය.
“නෑ නෑ වැඩක් නෙවෙයි,මේ නදී…” කතාව කියන්න ගත්තද මියුරුට වචනත් අමතක වෙනවා වගේය.
“සර්” නදී ඇසුවේ වචනවලද බැල්මේද ඕනවටත් වඩා කුතුහලයක ලකුණු තවරා ගනිමිනි.
“මේක මේක මම ගත්තෙ ඔයාට” මියුරු බොහෝ පැකිලෙමින් ඒ වචන කියවා අවසානයේ දුරකතනය සහිත පෙට්ටිය නදීගේ මේසය මත තබා ඇය වෙතට තල්ලු කරේය. නදී උන්නේ “මේ මොකද්ද? ඇයි මේ?”” කියන ප්‍රශ්නය කුතුහලය නිසා විසල් වූ ඇස් දෙක අස්සේ හංගගෙනය.
“මම ඔයාට තෑග්ගක් ගත්තා, ෆෝන් එකක්”
“මට? මට ෆෝන් එකක් තියෙනව සර්”
“ඒක පරණයිනෙ ඒකයි මම මේක ගත්තෙ, මේක ලේටස්ට් ඇපල් අයිෆෝන් සීරී…”
“අනේ එපා සර්, තැන්‍ක්‍යු බට් නෝ. එහෙම ගන්න එක හොඳ නෑනෙ. සර් එහෙම මොකටද මට ෆෝන් එකක් දෙන්නෙ? අනික ඕක වෙන කෙනෙක් දැනගත්තොත් වැරදි දෙයක් හිතාවි සර්”
“නෑ ඔයයි මමයි ඇරෙන්න වෙන කවුරුවත් මේක දන්නෙ නෑ”
“ඒ උනාට එපා සර්, සර් මොකටද අනික ඔහොම දෙයක් දෙන්නෙ? මම එදා බීල මොනවහරි වැරදි දෙයක් කිව්වනම් අනේ අයෑම් සොරි සර්.මම එහෙම වැරදි අදහසකින් නෙවෙයි කිව්වෙ කරේ ඒ කිසිදෙයක්”
“අනේ නෑ ළමයො නෑ නෑ. මම ඔයාගැන කිසිම වරදක් හිතලවත් වැරදි විදියට හිතලවත් නෑ. මම මේක දෙන්නෙ හිතුවෙ එහෙම වැරදි අදහසකින් නෙවෙයි”
“එහෙනම් සර් මට මෙහෙම දෙයක් දෙන්න හේතුවුන හොඳ අදහස මොකද්ද?”