“ඇයි ඉතින් බෑ කියන්නේ?”” මියුරු එහෙම ඇහුවේ ඇඳේ හාන්සි වී දුරකතනය කණේ තබාගෙන එහා පැත්තෙන් ඇහෙන නදීගේ කටහඬ ඔස්සෙ වඩා ප්‍රේමණීය සමාධියකට සම වැදෙමිනි. රැයේ සිහිල් සුළඟ ආවේ ගත සුවපත් කරමින් උනත් නදී කියන කතා හින්ද හිත නම් තිබ්බේ පොඩ්ඩක් විතර රිදිලාය.
“බෑ කියන්නෙ බැරි හන්දා” නදී කියන්නෙ ආදරය බිඳක්වත් නොගෑවුණ හඬකින් බව මියුරු හිතුවත් තමන් එහෙම කියන්නේ ආදරෙ හින්දාම බව දැන උන්නේ නදී පමණකි. මියුරු තෙපුල් රදන්පොල වනාහී තමන් ජීවත්වන ජීවිතය දැකලාවත් නැති සුරංගනා ලෝකයකට අයිති මනුස්සයෙකි. එහෙම මිනිසෙකු ආදරය නිසා මෙසේ අන්ධ වීම අපරාදේය.
“හරි ඉතින් ඔයා කියන්න බෑ කියන්න හේතුව මොකද්ද කියලා”
“සර් දැන් ඔය මට කැමතියි කියල කියන්නෙ එදා මම අර බීලා පිස්සු නටපු හන්දා. ඒක එවෙලෙ ඇති වෙච්ච ඇට්‍රැක්ශන් එකක් මිසක් ඇත්තටම ඇතිවෙච්ච කැමැත්තක් නෙවෙයි. එහෙම ඇට්‍රෑක්ශන්වලට හිත නවාගන්න ගියොත් කෙනෙක්ට ඇට්‍රෑක්ට් වෙන හැම වාරෙකම එයා එක්ක යාලුවෙන්න වෙනවා”
“මගෙ හිතෙ තියෙන්නෙ ඇට්‍රෑක්ශන් එකක් ද ආදරයක්ද කියලා දන්නෙ ඔයාද මමද? ඒ නිසා මගෙ හිතේ තියෙන්නෙ මේ ඇට්‍රෑක්ශන් එකක්, ඒකත් ඇතිවෙලා තියෙන්නෙ ඔයා එදා බීල නටපු හන්ද කියල මගෙ හිතේ තියෙන ආදරේ එහෙම හෑල්ලු කරන්න එපා නදී. මම එහෙම මනුස්සයෙක් නෙවෙයි, මම කවදාවත් එහෙම දකින දකින කෙල්ලො කොච්චර ඇට්‍රැක්ටිව් උනත් මම එහෙම මේ එයාලට ආදරෙයි කිය කිය ගිය එක්කෙනෙක් නෙවෙයි”
“මම ඔයා නරක මනුස්සයෙක් කියල නෙවෙයි කිව්වෙ. ඒත් මම කිව්වෙ ඇත්තටම හිතිච්ච දේ. ඔයා වගේ මනුස්සයෙක් මං වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ඔයාලගෙ ගෙවල් වල මිනිස්සුන්ට පවා ප්‍රශ්නයක් වෙන්න පුලුවන්”
“ඇයි ප්‍රශ්නයක් වෙන්නෙ? ඔයා ලස්සනයි, හොඳ රස්සාවක් කරනව, හොඳට ඉගෙන ගත්ත හොඳ පවුලක කෙල්ලෙක්. ඉතින් ඇයි අකමැති වෙන්නෙ?” මියුරු අහද්දී එයට දෙන්නට උත්තරයක් නදීට තිබුණාය.
“ඒ කතාවෙ පලවෙනි කාරණා තුනම ඇත්ත වෙන්නැති. ඒත් හතරවෙනි කාරණාව ඒ කිව්වෙ හොඳ පවුලක කෙල්ලෙක් කිව්ව කාරණාව, ඒක ඇත්තක් නෙවෙයි සර්” අන්න එහෙම හිතෙන් හිතපු දේ වචන කර කටෙන් කියන්න පුලුවන්කමක් තිබ්බා නම් ඉතාම හොඳ බව දන්නවා උනත් නදීට එහෙම කියන්න නදීට පුලුවන් උනේ නැත.
ඒව එසේ මෙසේ ආ ගිය පළියට කියන්න පුලුවන් කතන්දර නොවේ. අනික ඒව කතන්දරත් නොවේ. ඇත්ත කතා ය.
“ඇයි කතා කරන්නෙ නැත්තෙ?” මියුරු අහන්නේ ආදරය ඕනවටත් වඩා තැවරුණු මුදු ගැඹුරු හඬකිනි. ඒ හඬ එන්නේ දුරකතනයේ එහා පැත්තේ සිට තමන් ඉන්නා තැනට බොහෝ දුර හිඳ බව දන්නවා උනත් නදීට ඒ දැනුනේ කණ ළඟින්ම හිඳ කොඳුරන සේයාවකිනි. අත්වල හිරිගඩු පිපී තිබුනේ ඒ හඬේ තැවරී තිබුන ගැඹුරු ආදරණීය බව දරාගන්නට බැරි නිසාමය.
වෙනදාට අල්විස් වත්තේ කුණු කාණුවෙන් හමා එන සුවඳ වෙනුවට මෙවෙලේ නදීගේ නැහැපුඩු මත් කරමින් හමා ගියේ හිත ඇතුලේ හිඳ හමා ආ මියුරුගේ පපුතුරේ තැවරී තිබී හැන්දෑවේ නදීව සිපගත් ක්ලයිව් ක්‍රිස්ටියන් පර්ෆ්‍යුම් සුවඳය. ඒ සුවඳ මත් කරන්නේ හිත විතරක්ම නොවේ. මුලු ජීවිතයමයි.
එහෙත් ඒ සුවඳ පවා මේ තැනට උරුම නොවන්නක් බව නදීට අමතක නැත.
“මං ආදරෙයි කිව්වෙ අද ඊයෙ හිතිච්ච හේතුවක් හන්දා නෙවෙයි නදී. ඔයාව දැක්ක පලවෙනි වෙලාවෙම පවා මට මොකක් හරි කියන්න තේරෙන්නෙ නැති හැඟීමක් දැනුනා. මම ලව් ඇට් ෆස්ට් සයිට් කියන දේ එහෙම විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒ උනාට ඇත්තටම මට කියන්න තේරෙන්නෙ නැති මොකක් හරි හැඟීමක් ඔයාව දැකපු මුල්ම දවසෙම මට තේරුනා. ඒක ග්‍රෝව් උනේ ටිකෙන් ටික. හැබැයි ඒක ඇතිඋනේ කීයටවත් එදා අර පාටි එකේදි නම් නෙවෙයි කියල මට ඕන වෙලාවක ඔයාට ප්‍රොමිස් වෙන්න පුලුවන්
ඉතින් මං එහෙම දෙයක් කිව්ව ගමන්ම බෑ කියන්නෙ නැතුව ඔයා ඇයි අකමැති වෙන්නෙ අඩුම ගාණෙ පොඩි හරි ට්‍රයි එකක් දීලා බලන්න?”
“මම සර් ගැන දන්නෙ නෑ, හැබැයි මම හිතන්නෙ නෑ මං වගේ කෙල්ලෙක්ට පුලුවන් කියලා ආදරේ ගැන දෙතුන් පාරක් එක ජීවිතයක් ඇතුලෙ හිතන්න සර්. මම ඉස්සර ඉඳලම හිතාගෙන හිටියෙ කවදහරි මම යාලුවෙනවනම් යාලුවෙන්නෙ එයාව බඳින්නම හිතාගෙන කියල. ඉතින් ඒක නිසා මට බෑ සර් අතාරින්න හිතාගෙන කෙනෙක්ගෙ අතින් අල්ලගන්න. මම කවදහරි කෙනෙක්ගෙ අතින් අල්ලගන්නවනම් අල්ලගන්නෙ ඒ අත අතාරින්න හිතාගෙන නෙවෙයි.
ඒ නිසා මට බෑ සර් කියන දේට කැමති වෙන්න, අයෑම් සොරි” නදී එහෙම කිව්වාට දුරකතනය තිබ්බේ නැත. මූණට ගහන්න වගේ ෆෝන් එක තියා මියුරුගේ හිත රිද්දන්න නදීට උවමනා උනේ නැත.
“ආදරයක් භාරගන්න එක වගේම ආදර ආරාධනාවක් ප්‍රතික්ශේප කරන එකත් ගෞරවාන්විතව වෙන්න ඕන. ඔය සමහර පොත් පත්තර වල තියෙනව වගේ කොල්ලගෙ කණට ගහල, හැමෝම ඉස්සරහ ලැජ්ජ කරලා ආදරයකට බෑ කියන එක මනුස්සකමක් නෙවෙයි. කෙනෙක් අපිට ආදරෙයි කියන්නෙ ආකර්ශනයක් නිසා වෙන්නත් පුලුවන් එහෙම නැත්තම් අර කියනව වගේ සංසාරගත පුරුද්දකට වෙන්න පුලුවන්. ඉතින් කිසිම වෙලාවක ඔයාට ආදරේ කියන්න ආව මනුස්සයෙක්ව ප්‍රතික්ශේප කරද්දි ඒ මනුස්සයගෙ හිත රිද්දන්න එපා. බෑ කියන එකත් ලස්සනට, එයාට අපහසුවක්, ලැජ්ජාවක් ඇති වෙන්නෙ නැති විදියට කියන්න”
ඔය කතාව ඇහුනේ කොහෙදිද කියා මතක තිබ්බේ නැතත් නදීට ඒ කතාවේ අකුරක් නෑර හොඳින්ම මතක තිබුණාය. අම්මා මේ නරාවලකට වැටුණේත්, අවසානයේ තමන්ගේ කුසෙන් බිහිකල එකම දරුවාව පවා අත හැර වෙන රටකට සදාකාලිකවම සින්න උනේත් ආදරය නිසා බව නදී දැනගත්තේ පුංචි අවදියේදීමය.
“ඒකි හොඳට ඉගෙන ගන්න පුලුවන්කම තියෙද්දි ඉස්කෝලෙ යන කාලෙ තමා විල්සන් ඉස්කෝලෙ ළඟයි ඒකි ගියපු පංති ළඟයි කැරකෙන්න තියාගත්තෙ. මොලේ තිබ්බ කෙල්ල හන්දා මම කවදාවත් හිතුවෙ නෑ එහෙම මෝඩකමක් කරගනීවි කියල. ඒඋනාට තරුණ කාලෙ විලසන් ගෙ තිබ්බ රස්තියාදුකාර පෙනුමටයි, කතාවටයි, සෙල්ලක්කාරකමටයි ඒකි ඒ මෝඩි රැවටුණා. අන්තිමේ මොකද්ද උනේ උපන් රටේවත් ඉන්නෙ නැතුව වෙන රටකට ගිය එක” කියා චන්ද්‍රකාන්ති කට්ටිය එක්ක කතාකරනවා නදීට ඇහිච්ච අවස්තා අනන්තය.
තමන් අම්මාගේ පෙනුමම ගත්ත එකියක බව කට්ටිය කියන නිසාම නදී ඒ කතාව විශ්වාස කරාය. ඒ නිසාම අම්මාට මුහුණ දෙන්නට වූ ඉරණමට මුහුණ දෙන්නට නදීට උවමනාවක් තිබ්බේ නැත.
මියුරු හිත රිද්දගත්ත එක ඇත්තය. එහෙත් ආදරයක් එසේ පහසුවෙන් හිතෙන් එලියට ඇද විසිකරන්න බැරි වග දන්න හන්දාම මියුරු ඉවසගෙන උන්නේය. ඒ වගේම නදීට පෙනෙන්නට මියුරු ආදරය බිඳක්වත් අඩු කලේ නැත. ඒ ආදරය වෙනදාටත් වඩා නදී වෙත වස්සවන්න මියුරු හැමතිස්සෙම කටයුතු කලේය.
ඒ අතරම එදා සංවත්සර පාටි එක වෙලාවෙදි නදීව මත් කරන්න කටයුතු කරන්නට යෙදුන අය ගැනත් මියුරු හොයාගත්තේ ඒ ආදරය නිසාම පමණක් නොවේ. ඒ වනාහී ගෞරවාන්විත නියමුවරයෙකුගේ වගකීමක් බව දන්න හන්දාය.
නදීව මත් කිරීම වරදක් උනත් සනුකි, ලිඩියා හා තේමිය ගැන මානව සම්පත් කළමණාකරණ අංශයට පැමිණිලි කල යුත්තේ වඩා සූක්ශ්මව එයට තමා සම්බන්ධ බවක් අඟවන්නේ නැතුව බව මියුරු හිතුවේ නම් ආදරය නිසාමය.
නදීට උදව් කිරීම පිටුපස තමා හිඳිනවා යැයි දැනගැනීම නදීට තවදුරටත් මේ කාර්‍යාලයේ රැඳී සිටීම අපහසු කරවන්නට ඔවුන් තිදෙනාට හේතුවක් වන්නට හැකි බව නොහිතා ඉන්නට මියුරුට හැකිවුනේ නැත.
සියලු වැඩකටයුතු ක්‍රියාත්මක උනේ ඒ සිතුවිල්ල පෙරදැරි කරගෙනය.
“මේ කම්ප්ලේන් එක පිටිපස්සෙ මං ඉන්නව කියල කවුරුවත් දැනගන්න බෑ’
මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉස්කෝලේ යන කාලේ ඉඳල යාලුවා වෙච්ච එක උදව්වක් වෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවල් වලටය.
“උඹ ඒක කිව්ව විදිය මට ඇල්ලුවෙ නෑ?” බාසුර ඒක කිව්වේ ඇහැක් පොඩිකර මියුරු දෙස බලමින් අඩමානෙට හිනා වෙන ගමන් ය.
“ඇයි උඹ අමුතු විදියට හිනාවෙන්නෙ?”
“මං නම් නෙවෙයි පුතේ අමුතු විදියට හිනාවෙන්නෙ. මට පේන්නෙ කොල්ලා අලුත් ගේමක් ගහන්න හදනව වගේ කියලා”