කදෝකිමි ඇස් -21

0
3746
කදෝකිමි ඇස්

“මට ඇත්තටම හිතෙනව ඔයා මෝක්ෂ ගැන ආදරෙන් ඉන්නව කියල..”

මේඝ සිතෙහි ඇති අනියත බිය ඇයට හෙළි කළේ ය.නමුත් මේවා අසන්නේ ඇයිදැයි ඈ ඇසුවහොත් විදුකගේ භාෂාවෙන් “රෙදි ඉල්ලෛ” වන බව මේඝ නොදන්නවා ද නොවේ.

“ඔහොම ප්‍රශ්න තියෙන්නේ සහස්ට..”

ආරණ්‍යා ලියා එවූයේ තවත් බෝම්බයකි.මේඝ පිළිතුරක් නොදීම ආරණ්‍යාගේ ෆේස්බුක් ගිණුමේ සහස් සිටින්නේ කොතැනදැයි විමසී ය.ඇගේ ඡායාරූප බොහොමයක ඔහු හිඳියි.තමන්ගේ ඡායාරූප අතර ද නේහා සිටින බව ඇත්තකි.නමුත් මේඝ අමුතුම ඉරිසියාවකින් දැවෙන්නට පටන් ගනියි.

“ආදරේ කියන දේ බලහත්කාරෙන් මතු වෙන්නෙ නෑ කියල මට උගන්නන මනුස්සයා සහස්.එයා හිතන් ඉන්නෙ හොඳම යාලුවො වුණු පලියට ආදරේ කරන එක පුදුමම ලේසි කියල.ඒත් මට එහෙම හිතන්න බෑ.අම්මත් මට කිව්වා එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා.”

ආරණ්‍යා සහස් සම්බන්ධ චරිත සහතිකය එසේ දිග හැරියා ය.ආදරය බලහත්කාරයෙන් අයැදීම ඇයට ඉතා අප්‍රසන්න බව ඇය කියයි.ප්‍රේමවන්තියක සිටින තරුණයෙකු ඇයට ආදරය කිරීම ද ඇයට එසේ වන්නට ඉඩ ඇති බව මේඝ සිතුවේ ශෝකයෙනි.

“නේහාගෙන් අයින් වෙන එක ගැන පැත්තකින් තියමු.අම්මලා තාත්තලා නයි මුගටි වගේ ඉන්න පවුලක ගෑනු ළමයෙක්ට ළං වෙලා මහා විසාල අවුල් ඇති කරන්න හදන්නෙ ඇයි බං..”

ඕනෑම බැරෑරුම් මොහොතක සැහැල්ලුවක් සොයා ගන්නා විදුක මේඝගෙන් ඇසුවේ පසුදා ඔහු මුණ ගැසුණු මොහොතේ ය.මිතුරෙකුගේ නිවසක වූ අවමංගල්ලයකදී ඕනෑවට වඩා සිනාසුණු කොල්ලන් රොත්තක් මිතුරාගේ පියා එළවා දැමූ අන්දම මේඝ සිහි කළේ ය.ඒ පාසල් කාලයේදී ය.එවැනි ගැටලු ඇති කරගන්නට මූලික වූ විදුක දැන් පරිණතව හිඳියි.නමුත් තමන් තවම සිතන්නේ පාසල් යන වයසේ කොලුවෙක් මෙන් යැයි මේඝ සිතී ය.

“මම හිතන්නේ ඕක මහා අවුල් ජාලයක් හදන වැඩක්..මේක මම හදපු අර්බුදයක් නෙවෙයි කියල ඔලුව බේරා ගන්න ඊටපස්සෙ උඹට බෑ රජෝ..”

විදුක මිතුරා දෙස තද බැල්මකින් බලමින් පවසයි.එය සත්‍යයකි.එතරම් සුවිශාල කුණාටුවක් නිර්මාණය කිරීමෙන් ඉනික්බිතිව ඔලුව බේරා ගැනීම කොහොමටවත් පහසු වන්නේ නැත.

“ඉස්සරලම නේහාට ඇත්ත තේරුම් කරන්න ඕන..”

මේඝ තීරණයකට එළඹියේ ය.විදුකට තවත් විසඳුමක් තිබිණ.

“පුදුම තරම් සිරිමත් වෙලා අනුන්ගෙ ඕපාදූප මට වැඩක් නෑ කියලා ඉඳගෙන තාත්තගෙයි මේකලාගෙයි පරණ කතාව නාහ ඉන්න එපා.ඒක දැනගන්නෙ නැතුව ඔය ප්‍රශ්නෙන් ගොඩ යෑමක් ඇත්තෙම නෑ..”

විදුක තමන් දකින හොඳම උපදෙස මේඝට ලබා දුන්නේ ය.රෝග මූලය නොදැන අඳුරේ අතපත ගෑම කිසිම රෝගයකට විසඳුම නොවන බව මේඝ ද දනියි.නමුත් රෝග මූලය සොයා ගැනීම පවා රෝගයට විසඳුමක් නොවුණහොත් කරන්නේ කුමක්දැයි මේඝට නොවැටහේ.

“තවත් දෙයක්, මොනවා කිව්වත් සංසාර ගණුදෙණු කියල දෙයක් මේ ලෝකෙ තියනව මේඝ.අංකල්ටයි මිසිස් මේකලාටයි ඉවර කරන්න බැරි වුණු දෙයක් උඹල ඉවර කරන්න ඕන කියල ඉරණමේ ලියවිලා තියනවද කවුද දන්නේ..”

විදුක කියන්නේ සිතුවිල්ලේ ය.එදා විදුලි සෝපානයේ දුටු යුවතිය නේහා තරමට දෑස කඩාගෙන යන ආකර්ෂණීය කෙල්ලක නොවේ.ඇය නිවුණු පෙනුමක කෙල්ලකි.ඇයට ආවේණික සරල විලාසිතා ඇත්තියකි.විදේශයක බොහෝ කලක් ජීවත් වූ මේඝ ඇගෙන් දකින්නේ සංසාරික බැඳීමක මිස අනෙකක් නොවන බව විදුකට සිතෙයි.

“නේහාගෙන් මට බුරුලක් ලැබෙන් නෑ.”

අතීතය යළි ප්‍රතිරාව නැංවෙන බව මේකලා ආන්ටිට සිතෙන්නට ප්‍රබලතම හේතුව නේහා වන බව සිතමින් මේඝ පැවසී ය.කොහොමටත් අම්මා හෝ ආරණ්‍යාගේ තාත්තා මේ කතාවේ දුෂ්ට චරිතය හොබවන්නට ඇත.මේ වතාවේ ඒ චරිතය ආරණ්‍යාට ලැබීම මේකලා කෙසේවත් ඉවසන්නට ඉඩ නැති බව මේඝට සිතෙයි.ළතැවීම එය මිස අන්කිසිවක් නොවේ.

“මට ටිකක් මුණ ගැහිලා කතා කරන්න ඕන නේහා..”

ඔහු නේහා අමතා කීවේ ය.නේහා කිකිණි සරින් හිනැහුණා ය.

“මාත් කියන්න හිටියේ.ආන්ටි කිව්වා ඉක්මනින්ම වෙඩින් එක ප්ලෑන් කරන්න කියලා.අපි මීට් වෙමු මේඝ.”

තමන් සිතන අන්දමට ලෝකය කරකැවිය යුතු බව සිතනා අම්මා කෙනෙකු සමඟ ගැටලුවකට විසඳුම් සෙවීම පුතෙකුට පහසු නොවේ.මේඝ මෙතැනින් එහා කරන දෙය සිතන්නට පටන් ගත්තේ ය.

“මම ආපහු කොහෙහරි රටකට යනව බං..මේක ඉවරයක් වෙන් නෑ..”

ඔහු එසේ කියද්දී විදුක මිතුරා දෙස බලා සිටියේ ශෝකයෙනි.ප්‍රශ්නයකින් පලා යාම කිසිම විසඳුමක් ලබා දෙන්නක් නොවන බව පමණක් ඔහුට සිතිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here