නිබ්බුත ගීත -33

ඍතු කියන්නේ ඇවිත් යන කාල වලට ය. එක ම ඍතුවක් කිසි දා මිහි මත පවත්නේ නැත. ගිම්හානය පහු කරන ගසකට හේමන්තයක් ද වසන්තයක් ද  ශරත් සමයක් ද හමු වීමට නියමිත ය. මිහි මතට චමත්කාරය ගෙන වඩින්නේ ඒ විවිධත්වයයි. දලු කොළ නැගී මල් පිපී ඵල බර වන වසන්තයක් ද තුරු පත් වර්ණවත් වී ඒ පත් සිඳී සුළඟේ ගසාන යන ශරත් සමයක් ද දුඹුරු පාට වියළි ගිම්හානයක් ද හිම වැටී ලෝකය හිමෙන් වැහී යන හේමන්තයක් ද නැවතත් එහිම දිය කොට වඩිනා වසන්තයක් ද ඇති විට ලෝකය විවිධත්වයකින් යුතුව දැකිය හැකි වේ. විවිධ වර්ණයෙන් හා විවිධ ස්වභාවයෙන් ද විවිධ උෂ්ණත්ව අගයන්ගෙන් ද යුතුව විඳිය හැකි වේ. සොබා දහම එහෙම ය. 

අපි දුඹුරු පාට කටුක ගිම්හානයක් පසු කොට ආ මිනිස්සු වෙමු. ලෝකයට චෝදනා නගන්නේ නැතිව අපි එය සම සිතින් පිළි ගත්තෙමු. දුෂ්කරතා අපමණ වී ද කණිපින්දම් නොකියා ගිම්හානය තරණය කළෙමු. වසන්තය ඈතින් හිඳ අත වනනු දැන් පෙනේ. නමුත් වසන්තයට වුව හැම දා එක තැන නතර වී සිටිත නොහැකි බව අපි දැන සිටිය යුතු වෙමු. 

මදුරාපුර මැතිණිය අපේ ගෙදර විත් ගිය විත්තිය ඇසූ අම්මා හා මල්ලී විශ්මිත වූහ. කිසිදු විරෝධයකින් තොරව ඇය මා සිය ලේලිය වශයෙන් පිළි ගැනීමට රිසි වීම පිළිබඳව අම්මා කඳුළු සැළුවා ය. බොහෝ දීර්ඝ වූ ද කටුක වූ ද ගිම්හානයක් ගත කළ ඇයට වසන්තයක් කියා ඍතුවක් ගැන මතක අමතක වී තිබෙන්නට ඇත.

“අනේ උඹට දෙයියන්ගෙ පිහිටයි සුදූ…ඒ දෙවිවරු වගේ මිනිස්සු එක්ක උඹ පුළුවන් තරං හොඳට හිටපං. මං ඒ ගෙදර කුස්සි අම්ම. මටනං ඒ මිනිස්සු එක්ක නෑදෑකං පවත්තනව කියන එක හීනයක්. එහෙම දෙයක් ගැන මට හිතන්නවත් බෑ ළමයිනේ. දැන් ඉතින් කොහොමත් මගෙ කාලෙ ඉවරයි. උඹල දෙන්න සතුටෙන් ලස්සනට ජීවිතේ ගත කරයි කියන සතුටෙන් මැරෙන්න පුළුවන් බව මං දන්නවනෙ. මට ඒ ඇති”

අම්මා සිය කල්පනා ලෝකයේ වපසරිය අනුව අවංකව ඇගේ හැඟීම ප්‍රකාශ කළා ය. මා ඒ වෙලාවේ අම්මාව දෝතින් වැළඳ ගත්තා මතක ය. 

“අපි අද තැනකට ඇවිත් ඉන්නවනං ඒ අම්ම නිසා. කොන්ද පණ තියෙන ගෑනියෙක් විදිහට අම්මට බොරු කරපු තවත් ගෑනු රවටපු අපේ තාත්තගෙන් වෙන් වෙන්න අම්මට තිබුණ හයිය තමයි අපේ ජීවිත වල ශක්තිය අම්මෙ. අම්ම එහෙම තීරණයක් ගත්ත නිසා වෙන්නැති අපිත් මේ තරං ශක්තිමත් වුණේ. මට තනියම ළමයි හදා ගන්න බෑ කියන දුර්වල හැඟීමෙන් පිරිමින්ට ඕන වරදක් කරල ගෙදර එන්න අවසර දීල තියන හුඟක් ගෑනු අතරෙ ඔයා ඔයා කොච්චර ප්‍රබල චරිතයක්ද කියල මට හරියටම තේරෙන්නෙ මේ වයසෙදි. කන්න බොන්න දෙන්න විදිහක් නෑ කියල ළමයි තැන් තැන් වල දාල යන…නැත්තං අනාත නිවාස වලට බාර දෙන දුර්වල අම්මල අතරෙ ඔයා දේවතාවක්. අපි දෙන්නව දුකක් නොදී නෙවෙයි දුක් මැද්දෙ වුණත් උස් මහත් කරන්න ඔයා වින්ද දුක් කන්ද දිහා ඒ කන්ද පාමුල ඉඳන් බලං හිටපු කෙනෙක් අම්මෙ මං. මායි මල්ලියි දෙන්නම. ඔයාව සැපෙං සතුටෙන් තියන එක තමයි දැන් අපි දෙන්නගෙම ලොකුම බලාපොරොත්තුව”

මා වචන බවට පත් කර ගත්තේ කවදා සිට හදවත අරක් ගෙන තිබූ හැඟීම් සමුදායක් ද කියන්නට දන්නේ නැත. නමුත් කාලයක් තිස්සේ ම එහෙව් බලාපොරොත්තුවක් හිත පාර පාරා තිබි බව මතක ය. අම්මා ව සැපෙන් තැබිය යුතු ය. ඇය කවදාවත් සැප විඳි කෙනෙකු නොවේ. දුක ම සැපයක් කර ගත් ගැහැනියකි. දරු දෙදෙනා ගේ කුස දවසකට එක වේල ගානේ වුව පුරවමින් හැමදාම ඉස්කෝලේ යවා ඔවුන්ට උගන්වන්නට වෙර දැරූ අභිමානවත් ගැහැනියකි. ඇගේ සිරුරේ මස් කළඳක් ඇත්තේ නැත. දිරා ගිය ශරීර කූඩුව දරා ගෙන වුව ඇය තවමත් වැඩ කරයි. ඒ කෘශ සිරුර ඇතුළේ විශාල ආත්ම ශක්තියක් ඇති ගාහැනියක ජීවත් වෙයි. ඒ මගේ අම්මා ය.

ඒ සැඳෑව අපේ ගෙදරට කෙතරම් දුරක තිබූ බලාපොරොත්තු නොවූ සතුටක් ගෙන ආවේද යත් මල්ලී මහ මිනිසෙකු සේ කඩේ ගොස් ඔහු ඉපයූ මුදල් වලින් එළවළු මස් මාළු ගෙනැවිත් රස කෑම වේලක් පිළියෙල කරන්නයි අපට කීවේ ය.

“මේ තරං බඩු මොකටද ළමයො…කඩේ තියනවට ගෙනාවද…හරියට දන්නෑ වගේ වෙනදට අපි එළෝළු පහේ තරම”

අම්මා ඔහු ට දොස් කීවා ය. මල්ලී නගා ගත් සිනහවේ තිබුණ අවංක සතුට මට මේ දැන් මෙන් සිහි කර ගන්නට පුළුවන.

“සමරන්න ඕන දවස් සමරන්න ඕන අම්මෙ. මදුරාපුර ගෙදර ලේලි විදිහට සුදූව පිළිගන්න කැමැත්ත දීල ගියා කියන එක අපිට මාස ගාණක් සමරන්න තරං දෙයක්නෙ. අපි අද ඒ සතුට අපිට පුළුවන් හැටියට සමරමු”

ජීවිතයේ දී කෙනෙකුට විඳිත හැකි දුෂ්කර ම දිවියක් ගත කළ ද අප කිසි දා අපෙන් වෙන් වූයේ නැත. ඉතා තදින් අපේ අත් අල්ලා ගෙන ද ඉතා දැඩිව උනුන් හදවතින් වැළඳ ගෙන ද අපි මේ දක්වා ගමන පැමිණියෙමු. ඉතින් අප තිදෙනා ගෙන් කෙනෙකු ගේ ජයග්‍රහණයක් යනු අප තිදෙනා ගේ ම විජයග්‍රහණය ය. අපතරින් කෙනෙකු ගේ සතුට යනු අපේ පවුලේ ම සතුට ය. මල්ලී ගේ ඇස් වල නලියමින් තිබුණේ ඒ සතුටයි. 

“සුදූ ලෝචන අයියටයි සඳනිටයි අද අපේ ගෙදර රෑ කෑමට එන්න කියමු. අපිත් එක්ක එකට දුක බෙදා ගත්ත උන් එක්ක තමයි සතුට සමරන්නත් ඕන”

මම මල්ලී ගේ පිටට මූණ තියා ගතිමි. සිනාසිය යුතු ඇතැම් වෙලා වලදීත් කඳුළු ඉස්සර වෙන්නේ ඇයි කියා නම් මා දන්නේ නැත. ඉස්සර වාගේ පොඩි කොලුවෙකු නොව දැන් මල්ලී ලෝචන වාගේ ම ඉලන්දාරියෙකි. වෙනසකට වන්නේ ලෝචන තරම් පිරුණු සිරුරක් නොව ඔහු ට වන්නේ සිහින් සිරුරක් වීම පමණකි. ඔහුට ම කියා ජීවන දර්ශනයක් දැන් මල්ලී වෙතින් දකිත හැකි ය. එය ඔහු ගේ පෞරුෂය කදිමට ඔප මට්ටම් කරමින් ද අලුත් හැඩ තල ලබා දෙමින් ද තිබේ. 

“ඔයා ඉරක් හඳක් තරු වෙලා අහසෙ දිළිසෙන්න සුදූ. අපි බිම ඉඳන් ඒ දිහා බලාගෙන ආඩම්බර වෙනව. මායි අම්මයි”

මල්ලී මිමිණුවේ ය.

“අනේ මල්ලි”

මගේ මුව නොව සිත එලෙස කෙඳිරි ගෑවේ ය.

ඒ කදිම රාත්‍රියකි. සතුට ඇස් වලින් පවා දෝරෙ ගලමින් ද ආදරය බැල්මකින් පවා හඬ නගමින් ද තිබි රාත්‍රියකි. අපිට කතා කරන්නට හුඟක් දේවල් තිබුණේ ය. ඉන් වැඩිමනත් අපේ ළමා විය හා බැඳුණු මතක මාත්‍රා ගැන ය. අපි වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ජීවිතය බෙදා හදා ගනිමින් සිටියෙමු. ආදරය බෙදා දෙමින් සිටියෙමු. ඔවුන් පාවිච්චි කළ යමක් අප වෙත ලබා දීමෙන් වුව ඔවුන් එදා පෙන්වූයේ ආදරය ම ය.අප ව මේ දක්වා දුර ගෙන එන්නට තල්ලුවක් දුන්නේ ඒ ආදරයයි!

“ලෝචන අයිය නැති වෙලා ගිය එක ගැන තව හුඟාක් කාලයක් ගියාට පස්සෙත් ඔයාගෙ පපුවෙ දුකක් ඉතුරු වෙයිද සඳ…හිස් කමක් වගේ…වෙන මොන දේ තිබුණත් එක ම එක දෙයක් අඩුයි වගේ දැනෙයිද…හිනා වෙන්න ඔයාට අමතක වෙලා යයිද…අනේ ඔයාට එහෙම වෙයිද සඳ…”

මා සඳනි වෙතින් එසේ විමසූවේ අප දෙදෙනා තනිව මිදුලේ ඈත කොනක වූ බංකුවක තනි වූ ඉක්බිති ය. ඇය තද කොට මගේ අතක් අල්ලා ගත්තා ය.

“නිබූ…මොනාද මේ කියන්නෙ…”

“මට එහෙම බයක් දැනෙනව. සාධාරණ බයක්. ඔයා එහෙම හිස් වෙනවනං…ලෝචනව අයිති කරගෙන මං මගෙ ලෝකෙ පුරවගෙන මොකටද සඳී…මට බයයි ඒ ගැන හිතනකොටත්”

“පිස්සු කෙල්ල”

සඳනි අහසට සිනහ වූවා ය. තරු කැට එක දෙකක් අහසේ තැන් තැන් වල පායා දිළෙමින් තිබිණ. ඉස්සර අප දරු මඩුවේ ගෙදර සිටියදී රෑ වන තුරු දොරකඩ බිම හිඳ ගෙන අහස දෙස බලා සිටීම බොහෝ රාත්‍රීන් වල සිදු විය. මමත් මල්ලීත් එක්ව පාසලේ පාඩම් වලට ඉගැන්වූ ඔරායන්, මහා වලසා, වෘශ්චික වැනි තාරකා රාශීන් සෙව්වෙමු.  අහස අපව චමත්කාරයට පත් කළේ එහෙම විනෝද විය හැකි අන් යමක් අපේ ලෝක වල විරල වූ නිසා යයි කිව නො හැක. අදත් මම ඒ අහස දෙස ම බලා ගෙන අපේ ළමා විය ඇතුළු අතීතය සිහිපත් කරමි. ඔරායන් ද වෘශ්චික ද සිටියා වාගේම ය. අපේ ජීවිත පමණක් වෙනස් වී තියේ.

“ඕන දේක රිසල්ට් එක එන්නෙ අපි ඒකට රිඇක්ට් කරන විදිහ අනුව තමයි නිබ්බු. මං ලෝචනට ආදරේ කළා. ඇත්ත. ඒත් එක තැනකදි මං එයාව අත් ඇරිය. ඒ හිතේ එයාව ඉතුරු කරගෙන නෙවෙයි. අනිත් එක ඒක වෙන කාගෙවත් බලපෑමකට නෙවෙයි මට ඕන නිසා මං ම කළ දෙයක්. හැදුවා  නම් තම හිත හැදුවාමය කියල අපි ඉගෙන ගත්තනෙ…සමහර විට මට එහෙම කරන්න පුළුවන් වුණේ අපි දෙන්න අතරෙ කවදාවත් කිසිම සම්බන්දයක් තිබුණෙ නැති නිසා. ඔයා මං ගැන බය වෙන්නෙපා. මං ඔයාලගෙ අනාගතේටවත් මගෙ ජීවිතේටවත් වරදක් වෙන්න දෙන්නෙ නෑ”

සඳනි කතා කළේ අනන්ත අහස දෙස බලා ගෙන ප්‍රතිඥාවක් දෙන්නා බඳු ශාන්ත ස්වරයකිනි. 

“ඔය විකාර හිතන්නැතුව දැන් සතුටෙන් ඉන්නයි ඕන හරිද…ඔයාවම ඕන කියල එක හිතෙන් හිටිය කොල්ලෙකුයි…ඔයා මගෙ නංගි කිය කිය හිටිය නෑනෙකුයි ඔයාගෙ අත් දෙකෙන් අල්ලන් ඉද්දි…මල් පාවඩ දාල ලේලිව ගෙට ගන්න නැන්දම්මත් ගෙදරටම ඇවිත් කැමැත්ත දීල ගියාට පස්සෙ මෙහෙම සෙලිබ්‍රේට් කරනව මිස තව මොනාද…”

සඳනි බංකුවෙන් නැගිට ගත්තේ ලෝචන අප වෙතට එමින් සිටි නිසා ය. ‘මං ඇන්ටිට ටිකක් උදව් කරන්නං’ කියමින් ඇය අප වෙතින් නික්ම ගියා ය. පපුවෙහි දෑත් බැඳ ගෙන සඳ මඬල වගේ සීතල ඇස් දෙකකින් බලාගෙන පෙමාතුර මඳහසක් නගා ගෙන මා අසල හිට ගෙන සිටිනා යෞවනයා දෙස මස මුහුණ මඳක් ඔසවා බැලුවෙමි. ඒ විලාශය මගේ දෙතොල් අතරේ සිනහවක් හිර කරනා ලදී.

“ඇයි…අනේ…”

“කොහොම හරි අපේ අම්මවත් රවට්ටගත්ත නේද කියල මං මේ කල්පනා කළේ”

ඔහු අසුන් ගත්තේ මට වඩාත් සමීපව ය. මම ඒ අත් බාහුවේ යන්තම් මගේ නිකට රඳවා ගතිමි.

“ඒකට කියන්නෙ රැවටුණා කියල නෙවෙයි. ආදරේ කළා කියල. මදාරා අක්කා….ඔයා…මැඩම්…ඒකට ආදරේ කියන එක මිසක් වෙන නමක් නෑ”

ලෝචන තරු පිරි අහසෙහි නෙතු රඳවා ගත්තේ ය. මම වඩාත් සමීපව ඔහු ගේ මූණ දකිමින් සිටියෙමි. සමහර කතා හරි පුදුම ය. මදුරාපුර මැතිණිය ගේ කතාවත් එක්ක බලත්දී ඉරණම මට කිසිදු නපුරක් කළේ නෑ නේද කියා මට සිතිණ. ඉන් ඉදිරියට ජීවිතය ඉරණමේ කිසිදු පරීක්ෂණයකට මුහුණ දෙන්නට නියමිත නැතැයි ඒ වෙලාවේ මම සිතුවෙමි. නමුත් ජීවත් වන තත්පරය ගැන මිස ඉන් ඉදිරියට උදා වීමට නියමිත විනාඩියක් ගැන හෝ අපට ස්ථිර නිගමන වලට එළඹිය නො හැකි ය.

උස කොස්සක මැදින් අල්ලගෙන ආ වෙලාවක් ඇත්තං අපේ ගේ අතුගාන දිග කොණ්ඩයක් තිබුණ චූටි කෙල්ලට දවසක මං ආදරේ කරයි කියල එදා මට නිකමටවත් හිතුන්නෑ”

“ස්පෙක්ස් දාන පිරිමි ළමයි ස්මාට් කියල ඉස්කෝලෙ ගෑනු ළමයි කියපු නිසා ඒක ඇත්තක්ද කියල ශුවර් කර ගන්න හොරෙන් ඔයා දිහා බලද්දි මාත් හිතුවෙ නෑ මෙහෙම දවසක් එයි කියල”

“ආ එහෙමත් එකක්ද…ඉතිං ශුවර්බකර ගත්තද හොරෙන් බලල..”

“ම්හු..මට තේරුන්නෑ එහෙම…”

“තාම ශුවර් නැද්ද…”

“නෑ නෑ දැන්නං හොඳටම ශුවර්”

මම ඒ උර මඬලේ මුහුණ හොවා ගෙන සිනහ වීමි. ලෝචන මගේ හිස් මුදුන සිප ගන්නා බවක් දැනිණ.

 එදා ඔවුන් නික්ම යන්නට සූදානම් වෙත්දී මට දැනුණේ අත්හළ නො හැකි ලෝභී හැඟීමකි. කාටත් රහසින් මම ඔහු ට ‘අනේ තව ටිකක් ඉඳල යන්නකො’ කියා කීවෙමි. ඒ වෙලාවේ ඔහු මදෙස බැලූ ඇස් වල මුළු ලෝකයෙහි ම ඉතිරී පැතිරී තිබෙනා ආදරය කේන්ද්‍ර ගත වී තිබූ බව කිසි දාක අමතක කළ නො හැකි ලෙස මගේ මතක නිධානයෙහි නිදන් ගත වී තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles