මේඝා දින කිහිපයක්ම ගත කළේ දෙගිඩියාවෙනි. තමා ලබා දුන් පිළිතුර නිසා අහස් අමනාපයට පත්වී ඇතැයි සිතුවත් එය එසේ සිදු වී තිබුණේ නැත. අහස් වෙනදා මෙන්ම ඉඳ හිටක දුරකථන ඇමතුමකින් හෝ කෙටි පණිවිඩයකින් මේඝා පිළිබඳව සොයා බලන්නට අමතක කළේ නැත.
” මං කැමති නෑ අහස් ”
පෙර දිනක රාත්රියේදී මේඝා එසේ කී විට හදවතේ පැතිකඩක් බිඳී ගිය වග අහස් ට මතකය. එහෙත් මේඝා පිළිබඳව හදවත තුළ දළු ලමින් තිබූ ආදරයට අල්ප මාත්‍රයක හෝ වෙනසක් සිදු වූයේ නැත. ආදරය යනු හිමි කර ගැනීමම පමණක් නොවන බව අහස් තේරුම් ගැනීමට උත්සාහ කළේ ඒ අතරේය. එහෙත් එය සිතූ තරම් පහසු එකක්ද නොවීය.
” මේඝා හිත හදාගන්නකම් කියලා බලාගෙන හිටියොත් උඹට වෙන්නේ නාකි වෙනකන් ඉන්න තමයි ”
විශ්මිත මත්පැන් උගුරක් මුවට හලා ගත්තේය. නිවසට වඩා හුරු පුරුදු Long Bar එකට වී අහස් උන්නේ මේඝා ගැන කල්පනාවේ ය. ඇය තමාව ප්‍රතික්ෂේප කිරීම කිසි සේත්ම දරා ගත නොහැකිය.
” නෙතු ලඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුග ගස්සන ආඩම්බර කම මට සීදේවී
කෙදිනක හෝ ඔබ මගෙ ලඟ නවතිවී
සිත මගේ ඉල්ලාවී.. මගේ සුදු ආඩම්බරකාරී ”
කොහේදෝ සිට ආ ඒ ගීතය විත් අහස් ගේ සවනෙහි වැදුනේ මේඝා මේ මොහොතේ තමා අසල සිටියා නම් යයි අහස් ට සිහි කරවමිනි. කෙදිනක හෝ ඇය තමා සතු වන බව සිත කියන්නේ ය. එහෙත් ඒ කවදාද ?
” උඹ මේඝා ගෙන් අන්තිමට පාරට ඕක අහපන් ”
විශ්මිත ආයේම කීවේය.
” මේඝා අකමැති උනොත් ? ”
” මේඝා ට උඹ ව නැති කර ගන්න බෑ අහස් ”
” ඒ කිව්වේ ? ”
” මේඝා ට උඹ වගේ කොල්ලෙක් ආයේ හම්බ වෙන්නෙ නෑ . ඔය අකමැති උනාට ඒකි උඹව නැති වෙනවට කැමතිත් නෑ ”
විශ්මිත කියන්නේ විශ්වාසයෙනි.
” මොනවද බන් උඹ කියවන්නේ ? ”
” මේ අහපන් අහස් , ඒකිට තියෙන්නෙ බයක් . ඔය නිම්නාදයා කරපු දේ නිසා. ඒක සාධාරණයි නේ බන් . මං කියන්නේ උඹත් ඒකම කරයි කියලා නෙමෙයි. හැබැයි ඉතින් ඒකි බයයි ”
” මං මොකද්ද කරන්න ඕනේ බන් ? ”
අහස් තවත් මත්පැන් වීදුරුවක් ඇණවුම් කලේ ය. තමාට දුර්වල විය නොහැක. එහෙත් මේඝා ව අමතක කිරීම ද කල නොහැක.
” උඹ ඔහොමම ටික දවසක් ඉවසපන්. ඊට පස්සේ බලමුකෝ ”
විශ්මිත එතනින් එහාට කිසිවක් කීවේ නැතත් ඔහු ඉන්නේ වෙනමම කල්පනාවක බව අහස් දුටුවේ ය. හිතට හරි නැත. ඒ , මේඝා තමාව ප්‍රතික්ෂේප කරතැයි අහස් කීයටවත් නොසිතූ නිසා ය.
මේඝා තවත් දින ගණනාවක් නිහඬව ගෙව්වා ය. තමා ට බොහො සේ උපකාර කල අහස්ගේ යෝජනාව පිළි නොගැනීමෙන් තමා කලේ වරදක් දැයි මේඝා බොහො වාරයක් නැවත නැවතත් සිතුවාය. අහස් ඇත්තටම හොඳ පුද්ගලයෙකි. අනෙක් අතට ඔහු නිම්නාද මෙන් අවස්ථාවාදී පුද්ගලයෙකු ද නොවේ. ඔහු බොහෝ වර උත්සහ කලේ තමා රැක ගන්නටය. එහෙත් තමා කලේ ඔහුව ප්‍රතික්ෂේප කිරීම ය.
මේඝා වැඩ අවසන් කර කාර්යාලයෙන් එලියට ආවේ ඒ සිතිවිල්ලේ ය. තමා ගොදුරු කර ගැනීමට බලා ගෙන කෲර දෑසක් තමා පසුපස එලවා එන බව මේඝා නොදුටුවේ ඒ නිසා ය. මේඝා පා ගමනින් තරමක් දුරක් ආවේ කල්පනාවේ ය. වෙනදාට කුලී රථයක් ගෙන නිවසට ගියත් අද බසයක නැඟී කල්පනා කරමින් හෙමින් සීරුවේ නිවසට යාමට තිබුනා නම් හොඳ යැයි මේඝා සිතුවාය.
පාර පනින්නට සිතා ගෙන මේඝා පාලුවට ගිය කෙටි පාරේ ඉදිරියට පැමිණෙද්දී වේගයෙන් පැමිණි සුදු පැහැ මෝටර් රථයක් මේඝා ගේ මග හරස් කලේය. මේඝා තිගැස්සුනා ය. වාහනයෙ රියදුරු අසුන දෙසින් බැස ආවේ හුරු පුරුදු මුහුණකි. එහෙත් ඒ කවුදැයි මේඝා ගේ මතකයට එකවරම පැමිණියේ නැත.
” මේඝා . පොඩ්ඩක් කතා කරමුද ? ”
මේඝා ඇත්තටම උන්නේ බයේ ගැහෙමිනි. එහෙත් එය පෙන්වූයේ නැත.
” ඔයා කවුද ?”
මේඝා වචන පිට කර ගත්තාය. ඒද ඉතා අපහසුවෙනි. මෙවැනි සිදුවීමක් ජීවිතයේ කෙදිනකවත් සිදුවී නොමැත.
” ඒ ගැනත් අපි කතා කරමුකෝ . නගින්න වාහනේට ”
මින් පෙර දැක ඇතැයි මතකයක් ඇති මේ පුද්ගලයා කවුරුන් දැයි කෙසේ හෝ මතකය ට නගා ගැනීමට මේඝා ආයාසයෙන් උත්සහ කලා ය. එහෙත් මේ හදිසියේ එවන් දෙයක් වත් සිහියට එන්නේ නැත.වාහනයට නගින්නැයි මොහු ආරාධනා කරන්නේ මන්ද ?
” මට බැහැ ”
” කියන දේ අහලා නගිනවා ”
එවර ඔහුගේ ස්වරය රෞද්‍ර විය. නාදුනන පුද්ගලයා තවත් අඩි කිහිපයක් මේඝා දෙසට ආවේ ය. මේඝා වටපිට බැලුවත් කිසිවෙකු පෙනෙන්නට සිටියේ ද නැත.
” බැහැ ”
” තමුසෙත් එක්ක දෙයක් කතා කරන්න තියෙනවා . නගිනවා වාහනේට ඇදලා දාගන්න කලින් ”
මේඝා ඔහුට අවනත වීමට සූදානම් වූයේ නැත. මෙතනින් පලා යා යුතු ය. දැනෙන්නේ අනතුරක සේයාවකි .
” කියන්න තියෙන දෙයක් මෙහෙම ඉඳන් කියන්න ”
රථයේ පිටුපස දොර හැරුනේ ය. එයින් බැස ආවේ නිම්නාද ය. මේඝා තවත් තිගැස්සුනේ ඔහු දුටු විටය. මේ නාදුනන පුද්ගලයා පෙර දිනයක නිම්නාද සමඟ තම කාර්යාලයට පැමිණි නිම්නාද ගේ මිතුරාය. එසේ නම් මෙය නිම්නාද විසින් සූක්ෂම ආකාරයට සැලසුම් කල එකකි. එසේ නම් නිම්නාද නතර වීමට තවමත් සූදානම්ද නැත.
” මේඝා ”
” තමුසෙට පිස්සුද නිම්නාද ? මොනවද කරන්නේ මේ ? මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා කී සැරයක් කිව්වද ? ”
මේඝා කෝපයට පත් වූයේ නිම්නාද ගේ මේ බොළඳ හැසිරීමට ය.
” තමුසෙ ගේ කට බොහොම වැඩියි ”
නිම්නාද ඉදිරියට ආවේය. ඒ සමඟ ම මිතුරාද මේඝා අසලට ආවේ ය. ඒ කෙටි පාරේ ගියේ වාහනයක් දෙකක් පමණක් නිසා කිසිවෙකුත් මේ වෙන්නට යන කලබගෑනිය දුටුවේ නැත.
” අයේශ් ”
නිම්නාද විධානයක ස්වරකින් මිතුරා අමතා ඉඟියකින් මෙන් යමක් කීවේ ය. අයේෂ් එක වරම ඉදිරියට පැන මේඝා ගේ අතින් ඇද ගත්තේත් නිම්නාද වාහනයේ පසුපස දොර ඇරියෙත් එක වරමය. අයේෂ් විසින් මේඝා ව වාහනය තුළට තල්ලු කර දැමූ අතර ඔහු වහා දිව ගොස් රියදුරු අසුනට ගොඩවෙන අතර නිම්නාද පසුපස අසුනට ගොඩ වී සමච්චල් සහගත සිනහවකින් මේඝා දෙස බැලුවේය. මේඝා උත්සහ කලේ පලා යන්නට ය. එහෙත් රථයේ සියලු දොරවල් අගුලු ලා ඇත. වාහනය තරමක වේගයෙන් ඉදිරියට ධාවනය වෙයි.
” නිම්නාද මාව බස්සනවා. මං කෑගහන්න කලින් ”
මේඝා එසේ කීවේද යටි ගිරියෙන් කෑගසාය. එහෙත් නිම්නාද එයින් සැලුනේ නැත. ඔහු ඇගේ දෑතින්ම තද කර අල්ලා ගත්තේ මේඝා පලා යා නොහැකි බව දැන දැනම පලා යාමට උත්සහ කල නිසාය.
” කෑගහපන් ඉතින් , එලියට ඇහෙයි කියලා හිතන්න එපා . මෝඩ ගෑනි ”
” මෝඩ ගෑනි තමයි. තමුසේ වගේ එකෙකුට ආදරේ කරපු මම මෝඩ ගෑනි තමයි ”
මේඝා හඬන්නට ආසන්නය. තමාට දිනක් හෝ ආදරය කල අයෙකුට මෙසේ කල හැක්කේ කාටද ?
” නිම්නාද මචන් , වාහනයක් අපිව ෆලෝ කරනවා ”