රස වගේම පෝෂණය පිරුණු ශක්ෂුකා

අද smart lady අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රස වගේම පෝෂණය පිරුණු හරිම රසවත් ශක්ෂුකා හදන්නෙ කොහොමද කියලයි. 

ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිත කරල ඉක්මණින් හදාගන්න පුළුවන් ශක්ෂුකා කියන්නෙ ඊශ්‍රායලය ඇතුළු අනෙකුත් මැද පෙරදිග රටවල් වල වගේම අප්‍රිකාවෙත් හරිම ජනප්‍රිය උදෑසන  වගේම දවසේ ඕනෑම වෙලාවකට ගැළපෙන කෑමක්. 

ශක්ෂුකා කියන වචනෙ තේරුම මිශ්‍රණයක් කියලයි සඳහන් වෙන්නෙ. නමේ තේරුම වගේම ලූණු, සුදුළූණු, තක්කාලි මේ හැමදේම එකතු කරල හදන මිශ්‍රණයක් උඩින් බිත්තර දාලයි ශක්ෂුකා සාමාන්‍යයෙන් පිළියෙල කරන්නෙ. 

එහෙනම් අපි මුලින්ම බලමු, ශක්ෂුකා පිළියෙල කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර 04 ක් 

තෙල් මේස හැඳි 02 ක් හෝ 03 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් තක්කාලි කෝප්ප 02 ක් (තරමක් විශාල තක්කාලි ගෙඩි 04 ක් පමණ) 

කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු කෝප්ප භාගයක්

කුඩාවට කපාගත් සුදුළූණු බික් 04 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් බෙල් පෙපර් ගෙඩියක් 

ලුණු කුඩු 

ගම්මිරිස් කුඩු 

මිරිස් කුඩු 

වතුර 

සාදාගන්නා ආකාරය

මුලින්ම, භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වූ පසු කපාගත් ලූණු සහ බෙල් පෙපර් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

අඩු ගින්දරේ ලූණු කැබලි මැලවෙන තුරු තබා එයට කුඩාවට කපාගත් සුදුළූණු එකතු කරගන්න. 

සියල්ල කලවම් කර විනාඩියක් පමණ තබා එයට කපාගත් තක්කාලි සහ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

මේ මිශ්‍රණය නැවත විනාඩි 02 ක් පමණ තබා මිශ්‍රණය වැසෙන සේ වතුර එකතු කරගන්න. 

භාජනයේ පියන වසා අඩු ගින්දරේ විනාඩි 05 ක් 10 ක් හෝ වතුර අඩුවීමට පටන් ගන්නා තෙක් තබාගන්න. 

වතුර අඩුවීමට පටන් ගන්නා අවස්ථාවේ තක්කාලි මිශ්‍රණයේ තැන් හතරක හැන්දෙන් කුඩා වලවල් 04 ක් සාදා ඒවාට බිත්තර හතර කඩා දමා ගන්න. 

නැවත භාජනයේ පියන වසා විනාඩි 05 ක් තබා භාජනය ලිපෙන් ඉවත් කරගන්න. 

විනාඩි 05 කට පසු ලැබෙන බිත්තරය අඩක් පිසුණු කහ මදය දියාරු ස්වරූපයක් ඇති බිත්තර බව ඔබට දැකගන්න ලැබේවි. 

ඔබ බිත්තර කන්න කැමති සවිවූ කහ මදය සමඟ නම් තවත් ටික වේලාවක් ලිපේ තබාගන්න පුළුවන්. 

ඔන්න එහෙනම් අපි රසම රස ශක්ෂුකා පිළියෙල කර අවසන්. බිත්තර උඩින් ලුණු ගම්මිරිස් හෝ කෑලි මිරිස් ටිකක් ඉස කුඩාවට කපාගත් කොත්තල්ලි හෝ පාස්ලි කොළ ටිකක් දමා පිළිඟන්වන්න හෝ රසවිඳින්නත් ඔබට පුළුවන්. 

බත්, පාන්, ඉඳිආප්ප මේ ඕනැම දෙයක් එක්ක රස ගැළපෙබ ශක්ෂුකා හදල බලල ඔබේ අත්දැකීම අපි එක්කත් බෙදාගමු ද එහෙනම්? 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles