මියුරු පෙම් වසන්තේ – 30

“වෙනදට නම් නිකන්ම කැබින් එකෙන් එලියට බැහැල ගෙදර යන අය අද මොකද දන්නෙ නෑ නේද ගෙදර යන්න කලින් සැරසෙන්නෙ”

එච් ආර් එකෙන් අච්චර දෙයක් කිව්වයින් පස්සෙත් ඉතින් සනුකිට නම් කටවහගෙන ඉන්න බැරිය. ඔය තරහ ආවේ තමන් සුපුරුදු විදියට ගෙදර යන්න කලින් යන අතරමග ඉන්න කොල්ලන්ට පවා බැල්මට් එක දාගෙන යන්න හිතාගෙන ඇඳුම් පැලඳුම් නැවත සකසාගෙන, මේකප් ටචප් කරගෙන, පර්ෆියුම් දාගෙන යන වෙලේ, ඒ මුකුත් නැතුව දුඹුරු පාට දිළිහෙන හම පෙන්නමින්, ලිප්ස්ටික් ටිකක් ආලේප කරගෙන, ලාබ පර්ෆියුම් වර්ගයක් බෙල්ලට විසුරුවන නදීව දැකය.

ඊටත් වඩා “වෙනදට මේ නිකන්ම යන ගෑණි අද මේ අල්ලන්න හදන අඩව්ව මොකද්ද?” කියා දන්නේ නැති හන්දාය.

ඊටත් වඩා තමන් කොච්චර කිරි සුදු පාට උනත් ඒක කැපෙන පරිද්දෙන් දිළිසෙන මී පැණි පාට ලස්සන හමක් නදීට තියෙන එක ගැන ය.

එ වෙලේ ඔෆිස් බාතෘම් එකේ උන්නේ නදීත් ලිඩියාත් සනුකිත් විතරමය. ලිඩියානම් උන්නේ “ආයෙ මං නම් ඕවට උල්පන්දම් දෙන්න යන්නෙ නෑ” කියල හිතන් සද්ද නැතුවය. මොකෝ අන්තිමේ ඔය සද්ද බද්ද හන්දා රස්සාව නැති උනොත් අන්තිමේ තමන්ට ජීවත්වෙන්න සනුකි සල්ලි දෙන්නෙ නැති බව දන්න හන්දාය. ඒ උනාට සනුකිව තරහ කරගන්නත් බැරි එකේ හීන් හිනාවකින් “අනේ ඔව්” කියන්නත් ලිඩියා අමතක කලේ නැත.

නදී නම් උන්නේ “අනේ උඹල ඕන දෙයක් කරගනිං, කියාගනිං, මට මොකෝ” කියා හිතමිනි. තමන් ජීවත්වෙන්නෙ තමන් හම්බ කරගන්නා පඩියෙන් මිසක් මේ මේකෙ ඉන්න කෙල්ලන් තමන්ට දෙන සල්ලියකින් නෙවෙන හන්දා කියන උන්ට ඕන කතාවක් කියාගන්න දෙන්න කියාය.

“දැන් නම් ඉතින් දවසට එකගානෙ එලියට අරගෙන යන්න කොල්ලො ඇති නෙ මේ ඔෆිස් එකේ? එදා පාටියෙදි බොස්ගෙ කරේ එල්ලිලා නටපු හැටියට ඉතින් වෙන කොල්ලො එක්ක මොන ඩාන්ස් දානවද කියල කවුද දන්නේ?” කියා සනුකි කියන්නේ කණ්ණාඩියෙන් පෙනෙන නදීගේ රූපය දෙස බලන්නේ නැතුව නමුත් “මේව මං මේ උඹට කියන්නෙ” කියා පෙන්නුම් කරන විදියටය.

“මේ ටිකේ මම උඩරට නටන්නේ” 

වෙනදාට සද්ද නැතුව උන්නාට නදී අදනම් දෙකක් කියනව කියල හිතුවේ මෙහෙම මේ බයෙන් ඉන්න තමන් මොකෝ අතපල්ලෙන් වැටිලද කියල හිතමිනි.

නදීගේ ඒ අමුතු කතාවට ලිඩියාත් සනුකිත් හිස හැරුවා බැලූ එක ඇත්තය. හිතලා කරා නොවේ නොහිතම උනේ ඒකය.

“මොකද්ද කිව්වේ?”

“මං කිව්වෙ මේ දවස්වල උඩරට නටන්නෙ කියලා”

“කවුද ඇහුවෙ දැන් තමුන් නටන්නෙ මොනවද කියල?”

“ඇයි දැන් මොන ඩාන්ස් දානවද දන්නෙ නෑ කියල. ඔයාලා මං ගැන ඔච්චර හිතන එකේ ඕකත් දැනගත්තම මොකෝ කියල හිතල තමයි මං කිව්වේ” කියා නදී කොලොප්පමට වගේ කීයල කියද්දී සනුකි අතේ තිබ්බ ලිප්ස්ටික් එක සින්ක් කවුන්ටරය උඩින් තිබ්බේ සද්දෙටය.

“මේ මේ” කියාගෙන සනුකි ඇඟිල්ල දික්කරගෙන එන්නේ තමන්ට මොනව හෝ කියන්න බව දන්නවා උනත් මියුරු එක්ක එලියට යන්න ඉන්න එකේ, ඒකෙ සන්තෝසෙ මේ කොහෙවත් ඉන්න පඩ ශෝ දාන එකියක හන්දා නැති කරගන්නෙ මොකටද කියල හිතන ගමන් නදී තරහ ගත්තේ නැත.

“මේ මේ නෙවෙයි ඕගස්ට්” කියාගෙන නදී කොලොප්පමට හිනාවෙමින් ආයෙම බාතෘම් එකෙන් එලියට ගියේ සනුකිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැතුවය.

නදී ආපසු කැබින් එකට එද්දීත් මියුරු උන්නේ ලැප්ටොප් එක වහන ගමන් යන්න ලෑස්ති වෙමිනි. නදී කෙලින්ම මේසය දිහාවට ඇවිද අවුත් මේසය උඩ තිබ්බ බෑග් එක අතට ගෙන ආපහු එලියට යන්න දොර වෙත ඇවිද ආවායා.

“නදී එහෙනම් ඔයා අතන ඉන්න, මම විනාඩි පහෙන් එන්නම් ආ” කියා මියුරු කියද්දී හීන් හිනාවක් එක්ක හා කියන්නට ඔලුව වනමින් නදී කැබින් එකෙන් එලියට ආවාය.

මේ ගමන යන එක ප්‍රශ්නයක් බව නදී නොදන්නවා නොවේ. පළවෙනි ප්‍රශ්නය නම් ආදරයක ඉඟියක්වත් මියුරුට නොදී ඔහු එක්ක මෙහෙම එළියට යන එක ඔහුට කරන ලොකු වැරැද්දකි. බොරු බලාපොරොත්තු දීමකි. අනික් අතට කාර්‍යාලයේ කවුරුන් හෝ මේක දැක්කොතින් “අපෝ නදී නම් බොස් එක්ක රවුම් ගහල ප්‍රමෝශන් ඉන්ක්‍රිමන්ට් ගන්න බඩුවක්” කියා කතාවක් පැතිරෙන්න හේතුවකි. එහෙත් ඒ සියල්ල දැන උන්නද මේ ගමන යන එක හිතට අරගෙන එන්නේ මින් පෙර කවදාකවත් හිත දැනුනේ නැති අන්දමේ රහස් සන්තෝසයකි. ඒ රහස් සන්තෝසයට හේතුව මේ ගමන මෙහෙම රහසින් යන එකම බව නදී. ඒත් ජීවිතේ ඇත්තැම් තැන්වල ආච්චි කියන්නට යෙදිච්ච වචන අමතක කරන්නට නදීට බැරිය.

“සමහරවෙලාවට සමහර හොර වැඩ කරන එක හිතට අරං එන්නෙ පුදුම සන්තෝසයක්. හැබැයි ඒ රහසෙන් පත්තු කරපු ගින්නෙන් අපි පිච්චෙන කම් විතරයි කෙල්ලෙ. අපිම රහසෙන්, අපිට සන්තෝස වෙන්න පත්තු කරන්න ඒ ගිනි දලුව මහ ගින්නක් වෙලා අපිව පිච්චෙන්න ගත්තම අපිට විලාප දෙන්න වෙන්නෙ සමහරවෙලාවට එලිපිටම”

ඒ කවුරුන් අරබයා කුමක් නිසාවෙන් කිව්වක් ද කියා දන්නෙ නැති නමුත් තමුන් අද මේ රහසින් පත්තු කරන්න යන්නේ ආච්චි කියූ ඒ දවසක තමන්ව එළිපිටම පුච්චා දමන්නට හේතු වෙන්න පුලුවන් ගිනි දලුව බව නදී දනී. ඒ පිච්චීම කවදාකහෝ තමන්ගේ මුලු ලෝකයම දවා හලු කරවන්නට හේතුවක් විය හැකි බව දැන උන්නත් නදී මොහොතක සුවය වෙනුවෙන් ඒ ඔක්කොම අමතක කරාය.

ගෑණු සමහර විට ඔහොමම වෙන්න ඇතිය.

මේ කිසිම දෙයක් ගැන එහෙමකට අදහසක් නැති ඒකපාර්ශ්වීය ප්‍රේමයක පැටලිච්ච චූටි කුමාරයා කාර් එකට නැග්ගේ පියාඹගෙන වගේ ඇවිල්ලාය. කොහොමටත්  කාර් එක ඇතුල සුවඳ උනත් අද නදී තමන්ගේ කාර් එකේ යන පලවෙනි දවස හන්දා “කෙල්ලව පොඩ්ඩක් ඉම්ප්‍රෙස් කරන්න” හිතාගෙන චූටි කුමාරයා රෝස මල් සුවඳ දෙන එයා ෆ්‍රෙශ්නර් එක පොඩ්ඩක් වෙලා ඒසී එක ලඟින් අල්ලගෙන උන්නේ එතකොට ඉක්මනට සුවඳ කාර් එක ඇතුලේ පැටලෙන හන්දාය.

කාටවත් පේන්නෙ නැති තැනකට කන්න යන්න ඕන කියා මියුරු හිතුවේ ඔෆිස් එකේ මොකෙක් හෝ එකෙක් දැක්කොත් නදීට තව කරදර වෙන්න පුලුවන් කියලා හිතුන එකටත් වඩා නදී එක්ක යන මේ පලවෙනි ඩේට් එක වගේ එකට මොකෙක් හරි හෙනහුරෙක් කඩා පාත් වේය යන බය හන්දාය.

ජෙට්වින් කොලම්බො සෙවන් රූෆ් ටොප් එක බාර් එක ආන් ඒකට කියාපු තැනය. සතියේ මැද දිනක එහෙම තැනක සෙනග පිරෙන්නෙ නැති බව දන්න හන්දා මියුරු බය නැතුව දෙන්නෙක් වෙනුවෙන් ඩිනර් රෙසවේශන් එකක් දැම්මේය.

“අද නම් කොහොමහරි නදීගෙන් කැමැත්ත ගන්නවා”

ඕව ඉතින් හීන තමයි කියල හිත අස්සේ ඉඳන් මොකෙද්ද මන්දා කොඳුරනව ඇහුණත් චූටි කුමාරයා උතුරා යන ආදරේ හන්දා ලැබිච්ච ඔක්කොම හයිය පාවිච්චි කර ඒ හිත අස්සේ ඉඳන් කොඳුරන එකාව මරලම දැම්මේය.

සතියේ කුමන දවසක උනත් හවස පහමාරට තියෙන ට්‍රැෆික් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැත. මියුරු ඒ ට්‍රැෆික් එකේ හිරවෙලා උන්නේ ඉක්මනට නදී ළඟට යන්න බලාපොරොත්තුවෙනි. ඒ අතරේ නදී උන්නේ “මේ ගමන යනවද නැද්ද?” කියා හිත දෙපැත්තට අදිමිනි.

මියුරු කාර් එක ගෙන ඇවිත් නදීගෙ දෙපා ළඟ නතර කරද්දීත් නදීගේ හිත තිබ්බේ “නොයා ඉන්න පුලුවන් නම්” කියන පැත්තට වැඩියෙන් නැඹුරු වෙලාය.

මියුරුගේ විසල් සුන්දර දෙනෙත කාරයේ අඬ අඳුරු වීදුරුවෙන් පෙනෙද්දීත් නදී උන්නේ ඒ ප්‍රශ්නය අස්සෙ හිරවෙලාය. 

“කවදහරි දවසක අතාරින්න වෙනවනම් ඒ අත අල්ලගන්න මං කැමති නෑ සර්” කියා තමන් දවසක මියුරුට කියූ වචන හිත අස්සේ කෙලවරක හිඳ රැව් පිලිරැව් දෙනවාත් නදීට ඇසුණාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles