අහස දීප්තිමත් ආකාස නීල සළුවක් පොරවාන සිටී. ඒ ගැඹුරු නිලැති මෝස්තරයට ඉඩ දී සුදු පුළුන් වලාවෝ අහස් ගංගාවේ ඉවුරට බැස සිටිති. සූර්යයා සිය රිදීමය තේජස විහිදුවමින් අවකාශයේ මධ්‍යය ඉක්මවමින් අවරට හැරෙන්නට යයි. සූර්ය තාපය මිනිස් ඇස් ඉස් මස් මත පතිත කරනා පීඩාව දැඩි ය. නමුත් දැන් මෙනුවර ඇත්තන්ට චණ්ඩ සූර්ය තාපය යනු අරුමයක් නොවේ. හිරු එළියේ නැහැවී, පිච්චී, පදම් වී ඔවුන්ගේ සම කාල වර්ණ ය. මෘදු සව්මිය හිම පතනයක් සිදු වන්නා සේ ඔවුහු ගිනියම් හිරු යට සිය මෙහෙවර සිදු කරති. දවසේ බඩගෝස්තරය හොයා ගන්නට ඔට්ටුවෙති. කේවල් කරති. ලන්සු තියති. වංචා කරති. තමන්ගේ ම පන්තියේ එකෙකුගේ වුව රීරි මාංශය සූරා කන්නට දෙවරක් නො සිතති.
පංචිකාවත්ත කියන්නේ යකඩ ගොඩකි. ලංකාවේ කොතැනක යහතින් පැවතියා වූ මෝටර් රථයක් වුව පංචිකාවත්තේ දී ‘මස්’ වන්නේ අසරු සැනෙනි. මස් වීම යනු ඔවුන්ගේ උප සංස්කෘතියට අදාල වචනයකි. වාහනයක් කොටස් වලට වෙන් වී යාම එනමින් හැඳින්වේ. පැහැරගෙන එනු ලැබූ වාහනයක් මස් කළ කල හිමිකරුට තබා වාහනයටවත් තමන් ගේ කොටස් මොනවා ද කියා හැඳිනගත නො හැකි වේ. පංචිකාවත්ත දිගට ම මෝටර් රථ අමතර කොටස් අලෙවි කෙරෙනා වෙළෙඳ සැල් ය. ලංකාවේ චතුර් දිග්භාගයෙන් ජනතාව පංචිකාවත්ත වෙත ඇදී එන්නේ සිය මෝටර් රථයට අවශ්‍ය කරන අමතර කොටස, එහි කොයි කොනක හෝ වන වෙළෙන්දෙකු අස තිබෙනා බවට විශ්වාසයෙනි. ලොකු වෙළෙන්දන් ද පොඩි පදික වේදිකා වෙළෙඳුන් ද එහි බහුල වේ.
පාරුල් දෙව්රූ ඇල්ලගේ රිදී පැහැති කුඩය ඉහළාගෙන ආමර්වීදිය දිග ඇවිද යමින් සිටියා ය. ඉපදුණ දා සිට මේ ජනාකීර්ණ හා කාර්ය බහුල ආමර් වීදිය දැක තිබිණි ද ඇය මග ඇවිද ගියේ අද හදිසියේ මෙතැනට පහළ වූවා වන් කුහුලකිනි. කොයි තරම් දැක තිබිණි ද මේ මිනිසුන් ද ඔවුන් ගේ ජීවිත ද කියවා හමාර කළ නො හැකි පොතක් මෙනි.
විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිට පුංචි බොරැල්ල තෙක් පයින් ඇවිද එන දෙව්රූ, එතැනින් එකසිය හැත්තෑ හයක නැගී විත් පංචිකාවත්තෙන් බැසගනී. ලොන්ඩරි වත්තට යන්නට ළඟ ම කැපිටල් සිනමා අසල බස් නැවතුමෙන් බසිනා එක ය. නමුත් එතැන කරත්තයේ තබාගෙන පළතුරු විකුණන ‘ශාරුක්’, පාරුල් ගේ මූණ දුටු ගමන් “පාරෝ” කියමින් පස්සෙන් එන්නට ගනී. ඔහු ඇයට කැමතියි කියන්නේ දෙව්රූ සාමාන්‍ය පෙළ කරන කාලයේ පටන් ය. දැන් ඇය සරසවි සිසුවියකි. කැමති නැති බව ඇය කෙතරම් කියා තිබිණි ද ශාරුක් සිය අදහස අත්හැරගන්නා පාටක් නැත. ඒ කරදරයෙන් බේරෙන්නට බැරි නිසා දෙව්රූ බසයෙන් බහින්නේ නැවතුමක් පිටුපසින්, පංචිකාවත්තෙනි. ශාරුක් ගේ අඩවියට එන්නට පෙර පාර මාරු වන්නට ද ඇය අමතක කරන්නේ නැත.
සංඝබෝධි විහාරයේ බුදුරුව නිසංසල උපේක්ෂා දෑසකින් ආමර්වීදිය දෙස බලාගෙන හිඳී. වසර දෙදහස් පන්සීයකට ඉහත අතීතයේ දී උන්වහන්සේ ජීවිතයේ අතිර බව අවබෝධ කොට දෙසූ ධර්මය අදට ද වලංගු ය. නමුත් මේ ධර්මද්වීපයේ මිනිස් කැළ තවමත් ඒ අවබෝධ කරගන්නා පාටක් නැත. තථාගත දෑස් වල මහා කරුණාවක් ද අනුකම්පාවක් ද කැටි වී ඇතැයි දෙව්රූ ට සිතේ. ඒ විසල් බුදු රුව අභියස දී ඇයට හැමදාමත් දැනෙන්නේ සිය ක්ශුද්‍ර භාවයයි. කුඩය හකුළාගෙන මල් ආසනයට කිට්ටු වී ඕ යන්තම් හිස ඉහළට හරවා මහා කාරුණිකයානන් දෙස බලා සිටින්නට වූවා ය. ඇගෙන් සුසුමක් ගිලිහී ගියේ පුරුද්දට මෙනි. වත්තෙන් පිටතට යන විටත් යළි ඇතුළට එන විටත් මෙතැන මොහොතකට නතර වී යන්නට ඇය අමතක කරන්නේ නැත. යම් හෙයකින් එහෙම වුණොත් ඇගේ හිතට හොඳ ද නැත. පරම්පරා ගණනක දුක් කඳ තනි හිතින් උහුලාගෙන ඇය, නිර්වාණ සුවය අත්පත් කරගත් උත්තම මිනිසා දෙස බලා හිඳී. උන් වහන්සේගේ ධර්මය තුළ තරම් සමානාත්මතාවයක් ලොව වෙන කිසිදු තැනෙක තිබිය නො හැකි ය. උන් වහන්සේ රජ සිටු කුමරුන්ට ද සුනීත සෝපාක වැනි අසරණයන්ට ද එක ම මෙත් සිතකින් පිහිට වූ සේක. ගෝතමී ට බිම්බා ට විශාකා ට සේ ම චිංචි ට ද අම්බපාලිට ද කාරුණික වූ සේක. නමුත් නිර්මල බුද්ධ ධර්මය සුරක්ෂිතයි කියන, බුදුන් ගේ පාද ස්පර්ශය ලැබුවා කියන දහම් දිවයිනේ කුළ ගොත් මත අදටත් මිනිස්සු බෙදී වෙන් වී සිටිති. බෙදා වෙන් කොට සලකති.
ලොන්ඩරිවත්තේ මිනිසුන් පරම්පරා හතර පහක් තිස්සේ කරන්නේ රෙදි ඇපිල්ලීමයි. අනුන්ගේ කුණු සේදීමයි. වත්තෙන් පිටත ඇත්තන් ගේ කිළි කුණු සේදීම ජීවනෝපාය කරගත් ඔවුන් ගේ හදවත් වල ඇවිලෙන ගින්දර ගැන වත්තෙන් පිටත මිනිසුන් දන්නේ නැත. මේ මහා නගරය මැද පවුල් තුන්සියයකට අධික ප්‍රමාණයක් ජීවත් වන රෙදි සෝදන ගම්මානයක් පවතින බව පවා වත්තෙන් පිටත මිනිසුන් දන්නේ නැති තරමි.
“නිවාඩු මාසෙ යුනිෆෝම් හෝදන්න ඩෝබිට දැම්ම. ඒගොල්ලො හේදුවාම මෙච්චර සුදු වෙන්නෙ කොහොමද අනේ… ඒගොල්ලො හෝදන රෙදි වල තියන අමුතු සුවඳ බලන්න”
අලුත් වාරයට පාසල් පටන් ගනිත්දී කිරි කොක් රෑනක් සේ පන්තියට ගාල් වන බාලිකාවන් ගේ ඒ කතා මේ දැනුත් පාරුල් ගේ සවන් තුළ පිළිරැව් දෙයි. ඒ වෙලාවට ඇය ඉන්නේ බිම බලාගෙන ඒ කතා නෑසෙන සේ ය. සබන් කුඩු හා කෝස්ටික් සෝඩා ද තවත් බෙහෙත් වර්ග ද මිශ්‍ර කළ ජල ටැංකි තුළ වෙනම ම පෙඟෙන්නට දමා තබනා සුදු ඇඳුම්, ඊළඟට ගලේ ගසා අපුල්ලා, පැල්ලම් යවා, කැද හා නිල් එකතු කරන හැටි ඇය ඇස් දෙකින් අනන්තවත් දකී. පොඩි කාලේ සෙංකොට්ටන් ඇට වලට කටු වලින් ඇන කිරි වලින් ඇඳුම් වල නො පෙනෙන තැනෙක අංක ලියන්නට ඇය ආශා වූවා ය. වත්තට ගෙනෙනා කිළිටි කුණු පැල්ලම් සහිත රෙදි අපුල්ලා සුදුවන් ව සුවඳවත්ව යළි හිමිකරුවන් වෙත භාර දීම දේවකාරියක් සේ ය ලොන්ඩරි වත්තේ මිනිසුන් සලකන්නේ. නමුත් ඉන් පිටස්තර ලෝකයට රෙදි හෝදන මිනිසුන් යනු කුළහීන මිනිසුන් ය. මහා සමාජය තුළ දී පරම්පරා ගණනක් තිස්සේ ම ඔවුන්ට සිදු වූයේ අපමණ සිත් වේදනා විඳ දරා ගන්නටයි. රිදෙන්නට බැරි නිසා, පාරුල් ශිෂ්‍යත්වය සමත් වී ගිය බාලිකාවේ ළමයින්ට ඇය කොතැනකට අයිති ජීවියෙකු ද කියා කිසි සේත් අනාවරණය කොට නැත. ඇගේ ලිපිනයෙහි ලොන්ඩරි වත්ත ගැන සඳහනක් නොවීම ඇයට සහනයක් ම වූයේ ය.
යුවතිය ගෙවල් පේළිය වෙත නොයා කෝවිල අසලින් වතුර ටැංකි දෙසට යන්නට හැරුණා ය. මේ වෙලාවට අම්මා ද අයියා ද රෙදි සේදීමේ හා වියළීමේ නියුතු වන වග ඇය දනී. රෙදි වේලන වැල් බැඳ ඇති හිස් ඉඩම් කොටසෙහි නේක වර්ණ සළු සුළඟට ලෙලදෙමින් තිබේ. ඒ එක් වැලක් එක පවුලකට අයිති ය. එසේ ම එක වතුර ටැංකියක් එක පවුලකට අයිති වේ. වතුර හා සබන් දියකෙරූ ටැංකි වල ඉණ තෙක් බැස, ඊට යාබද ගල් වල ගසා අපුල්ලා රෙදි සෝදන්නේ පිරිමින් ය. නමුත් සීයා මිය ගියාට පස්සේ සිය පවුල වෙනුවෙන් රෙදි සේදුවේ ආච්චි බව පාරුල් දනී. ආච්චි ට කොන්දේ අමාරුව ද හතිය ද නිතර නිතර සෑදෙන්නට ගත්තෙන් අම්මා ඒ රාජකාරිය පවරාගගත්තා ය. තාත්තා දරු පවුල ද වත්ත ද අතැර ගොස් තිබෙන්නේ ඔහු පිටත සමාජයෙන් වත්තට පැමිණි මිනිසෙකු වන හින්දා ය. කුළීන පෙළපතකින් පැවතගෙන එන ඔහු ට ටික කලකදී රෙදි සෝදන ගැහැනිය එපා වී තිබේ!
හිස් මත රෙදි කැබලි දවටාගත් සිංහල දමිළ ගැහැනු රෙදි වැල් අතරේ දැවටී හිඳ රෙදි වියළති. ඔවුන් ගේ දෑස් වරින් වර ආකාසය වෙතට යොමු වේ. ඔවුහු දැන් ආකාස මෝස්තර දැන හඳුනති. වලාකුළු රොක් වන්නේ කවරාකාරයෙන් ද, වැහි වලාකුළු මෝස්තර අඳින්නේ කෙසේ ද, වැස්ස එන්නේ කොයි පැත්තෙන් අහස දම් ගෙඩියක් වාගේ වෙන්නට ගත්දී ද, වැහි ඇඳිරිය නො සලකා හළ හැක්කේ කොයි පැත්තෙන් අහස කළු වෙත්දී ද කියා පරම්පරා ගණනාවක අත්දැකීම් ඇසුරෙන් ඔවුහු දැන් දනිති. කුඩා පැටව් තැන් තැන් වල කෙළිදෙලෙන් පසුවෙති. වියළුණ ඇඳුම් රෙදි කාමර වෙත ගෙන යාම ද වතුර ටැංකි වලට බැස දියබුං ගැසීම ද මේ හතර මායිමේ දරුවන්ට විනෝද වන්නට ඇති සීමිත මාර්ග අතර වේ. රෙදිකඩකින් හිස පොරවාගත් රිදී සිංගප්පුලිගේ විටක් හැපීමෙන් මුවෙහි පිරි බුලත් කෙළ පහරක් කාණුවට ගසා දියණිය වෙත ට ආවේ මඳ නො රිස්සුමකිනි.
“මේ පැත්තට ආවෙ අහවල් එකටද පාරු… ගෙදර ගිහිං බත් කෑවනං අහවරයිනෙ”
“අම්මයි අයියයි මේ පැත්තෙ ඇති කියල මට හිතුණ”
“අයිය වතුර ටැංකියෙ. මං මේ රෙදි ටික රෙදි කාමරේට දාල එන්නං. පාරුල් ගෙදර යන්න. ගිහිං බත් කන්න”
පාරුල් ලොකු හුස්මක් ගත්තා ය. චණ්ඩ සූර්යාලෝකයට පිළිස්සුණ සම් ඇති ලොන්ඩරි වත්තේ ගැහැනු පිරිමින් කාළ වර්ණ ය. පරම්පරා ගණනක් තිස්සේ කිසිදු සැපතක් විඳින්නට හිමිකම් නො කියූ ඔවුහු දුකට පදම් වූ ඇස් ඉස් මස් ඇත්තෝ වෙති. වත්තේ වැඩිමත් පිරිස දමිළ ජාතිකයන් ය. සිංහල පවුල් ඉතිරි වී ඇත්තේ සීමිත වශයෙනි. ඒ විවිධ අවස්ථා වල ඔවුන් සිය ගෙවල් විකුණා දමා වත්තෙන් පිටතට සංක්‍රමණය වූ බැවිනි. එසේ වන්නට හේතු වූයේත් මහා සමාජය විසින් ඔවුන් වෙත එල්ල කළා වූ පීඩනය හා අසාධාරණය බව දැන් පාරුල් ට වැටහේ.
ටැංකි පෙළ වෙතට ගොස් අයියා – චන්දුල දකින්නට උපන් සිතිවිල්ල යටපත් කොට ගත් යුවතිය ආපසු හැරී ගෙවල් පේළිය දෙසට ගියා ය.
ඔවුන් ට ලොන්ඩරි වත්තෙහි ගෙයක් ද රෙදි කාමරයක් ද හිමි ය. ඒ වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුහු මහ නගර සභාවට කුළියක් ගෙවති. නමුත් වත්තේ මිනිසුන් ගේ සනීපාරක්ෂාව පිළිබඳව බලධාරීන් ගේ අවධානය යොමු වන්නේ නැති තරම් ය. මුළු ලංකාවේ ම කුළීනයන් ගේ කිළි කුණු ඔවුන් ගේ දෑතින් සේදුණ ද ඔවුන් ද මනුෂ්‍යයන් බව කිසිවෙක් නො සිතති. වත්තෙහි සනීපාරක්ෂක පහසුකම් වල තත්වය අවම ය. මැසි මදුරු උවදුරු වල නිමක් නැත. ජාති භේදයකින් තොර ව හැම කෙනෙක් ම වාගේ සිය වාසභූමිය පිරිසිඳුව පවත්වා ගන්නට උත්සාහ කරති. නමුත් පරම්පරා ගණනක් තිස්සේ පවුල් ගස් ලියලා වැඩීම නිසා එක ගෙයක් තුළ ජීවත් විය නො හැකි තරම් මිනිසුන් ගණනකට ඒවායේ වසන්නට සිදුව තිබේ. එම නිසා බෝවන රෝග වලට ඔවුහු නිරන්තර ගොදුරු වෙති. ඩෙංගු මදුරුවන්ට පරාජය වෙති. පරම්පරාගත ජීවන ක්‍රමය මෙය වන නිසාවෙන් වත්තෙන් පිටතට ගොස් ජීවත් වන්නට වැඩි දෙනෙකුට හැකියාවක් නැත. ඔවුන්ගෙන් අති බහුතරය අධ්‍යාපනයක් ලැබූ අය නොවේ. මෑත කාලීන පරපුර කණිෂ්ඨ විද්‍යාලයේ පස්වැනි පන්තිය තෙක් පාසල් ගොස් තිබේ. ඉන් ඔබ්බට, මධ්‍ය මහා විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලබනුයේ සුළුතරයකි. එයින් ද සියල්ලන් ම වාගේ සාමාන්‍ය පෙළින් අධ්‍යාපනයට සමු දෙති. රෙදි ඇපිල්ලීමෙන් ලබන සුළු මුදල දෛනික ජීවන අවශ්‍යතා වෙනුවෙන් දිය වී යන නිසාවෙන් ද රෙදි සේදීමේ කටයුතු වෙනුවෙන් වෙළෙඳ පොළෙන් මිල දී ගන්නට සිදු වන පවිත්‍රකාරක වල මිල එන්න එන්න ම ඉහළ යන නිසා ද ඔවුන්ට ඉතිරියක් කියා දෙයක් නැත. වත්තේ මිනිසුන් එකවර වැඩි මුදලක් අතට ගන්නවා නම් ඒ සීට්ටු දැමීමකිනි.
ගෙදරට ගොඩවෙන කුඩා මිදුල මායිම් කරනා ලෑලි ගේට්ටුව හැරගෙන පාරුල් ඇතුළට පිවිසියා ය. වත්තේ ගෙවල් පේළි වල ගෙවල් සියල්ල එක ම අච්චුවේ ය. කුඩා ඉස්තෝප්පුවකින්, මැද සාලයකින් හා කුඩා කුස්සියකින් සමන්විත ය. යන්තම් අත මිටෙහි වැඩිපුර මුදලක් එකතු කරගත් කෙනෙකු ගෙදර තරමක් ලොකු කරගෙන තිබේ. නමුත් මහා ලොකුවක් කරන්නට තරම් මිදුලක් එහි නැත. ඒ මිදුල් සෙල්ලම් ගෙවල් වල මිදුල් වාගේ ය. පවුල් ගස් ලොකු වෙත්දී ඔවුහු තමන්ට අයත් බිම් ප්‍රමාණය තුළ ටකරන් හෝ පොලිතීන් ආවරණයකින් හෝ වහන් කොට නිදන්නට තැනක් තනාගති. ඇතැමෙක් මැද සාලයෙහි ලෑලි වලින් සොල්දරයක් දමාගෙන එහි නිදති. පාරුල් ගේ ගෙදර ද කුඩා සොල්දර කාමරයක් තිබේ. දැන් එහි නිදන්නේ චන්දුල ය. නමුත් එය තැනුවේ සිසිර ඇල්ලගේ නම් වන ඇගේ පියා විසින් බව පාරුල් දනී. රිදී ට හිත ගිහින් ඇයත් එක්ක ලොන්ඩරිවත්තේ ගෙදර බින්න බැසීමෙන් පසු ඔවුන් දෙදෙනා ගේ පරිහරණය වෙනුවෙන් සිසිර ඇල්ලගේ විසින් සොල්දර කාමරය ඉදිකරණ ලද බව පාරුල් ට කියා තිබෙන්නේ අත්තම්මා වන ජුලී ය. ඒ කාලේ ජුලී අත්තම්මා ගේ අම්මා වන සෙදෝනා ද මේ ගෙදර ම ජීවත් වී තිබේ. සෙදෝ ආච්චි මිය ගියේ පාරුල් පුංචි පැංචියක කාලේ ය. ඒ ගැන ඇයට වන්නේ ඡායාවක් වන් මතකයකි.
“මයෙ අම්ම උඹ ආවද පැටික්කි… විගහට මූණකට හෝදං වරෙංකො පාරු එහෙනං… මං බත් බෙදන්නං”
රෑ බතට හුරුල්ලන් මාළුවකට තුනපහ මිරිස් අතගාමින් සිටි ජුලී, පාරුල් දැක අත ඉක්මන් කළා ය. ලුණු මිරිස් පහේ අනා පදම් වෙන්නට තබා මාළු තැම්බීමෙන් රසය වැඩි වන බව ඕ තොමෝ විශ්වාස කරන්නී ය. ජුලී ට කෑම රසවත්ව පිසීමේ අත්ගුණය ඇති බව වත්තේ ප්‍රකට කරුණකි. නමුත් ඇය සිය ශිල්ප ක්‍රම රහසක් කොට තබාගෙන හිඳී.
“මට කවනවද අත්තම්මෙ…”
ජුලී ට කියා බත් අනා කවාගැනීමේ දොළක් හදිසියේ ම පාරුල් තුළ ඇති විය. ජුලී ඇස් හකුළුවා බැලුවා ය. පාරුල් අත්තම්මා වැළඳ ඇගේ උර මඬල මත නිකට තියාගත්තා ය. දැන් රෙදි නො සේදුව ද අත්තම්මා ළඟින් එන සුවඳ එකල සුදු නිල ඇඳුම් වලින් හැමූ සුවඳ ම ය. ඇගේ සිරුර කෘශ වී අත පය දැන් දර ඉපල් සේ කෙට්ටු වී ගොසිනි. පාරුල් තුළ වේදනාත්මක සංකාවක් මීදුමක් සේ පැතිර ගියේ ය. නමුත් ඒ වේදනාවට ඉලක්ක වනුයේ කවුරුන් ද කියා ඇය නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත.