“මොකද්ද විල්සන් අයියා මේ නදී කියන කතාවේ තේරුම?” මිලින්ද විල්සන් ගෙන් ඇහුවේ මිනිහට ශොට් එකක් අරන් දෙන්නම් කියා පොරොන්දු වෙලා විසප්පු කපිලගෙ පොට් එකට ඇවිදන් යන අතරවාරයේය.
“දන්නේ නෑ බං, මං නෙවෙයිනෙ කිව්වෙ ඉතින්. ඒකි කිව්ව එකක තේරුම ඉතින් ඒකිගෙන් නේද අහන්න වෙන්නෙ”
“කෝ ඉතින් විල්සන් අයියා මං කතාව කියන්න කලින් මැද්දට පනිනවනෙ ගෙම්බා වගේ”
“ගෙම්බා?” බීල උන්නෙ නැති හන්දාද මන්දා විල්සන්ට ඒකට නම් මල පැන්නේය. මේ ඊයෙ පෙරේදා ඉපදිච්ච චූ කොල්ලෙක් තමන්ට ගෙම්බා කියා අපහාස කල එක විල්සන්ට දරාගන්න අමාරුය. හේතුව විල්සන්ට වසන්තා හම්බෙන්න කලින් යාලුවෙලා උන්නු කෙල්ලෙක් කිව්ව කතාවක් ය. ඒ විල්සන් සිරාම ගැටවරයා කාලයේය. ඒ කෙල්ල එතකොට වැඩ කලේ මරදානේ මැහුම් වැඩපලකය. හවස මැහුම් වැඩ ඉවර වෙලා කෙල්ල බෝඩිමට යන්න කලියෙන් කොහෙ හෝ පොඩි අන්ධකාර තැනක පූට්ටු වෙන්න යන්න විල්සන් ඇයව කැමතිකරගත්තේ හෙන අමාරුවෙන් ය. ඔය ගෙම්බා කතාව මුලින්ම ඇහුනේ ඒකිගෙ කටෙන් ය. “මොකද්ද ඕයි තමුසෙ ඒකවත් හරියට කරගන්න දන්නෙ නැද්ද ගෙම්බා වගේ උඩ පැන පැන” ඉන්නේ කියා ඒකි අහද්දී විල්සන්ට කට උත්තර නැතිඋනේය.
“ඒකි ආයෙ දණගාගෙන මං ගාවට එනකම් මං යන්නෙ නෑ ඒකි හොයාගෙන” කියල විල්සන් ලොකු සීන් එකෙන් උන්නත් ඒ කෙල්ල, නැත්තම් මල්කාන්ති නම් ආයෙ හොයාගෙන ආවෙ විල්සන්ව නොවේ. හැබැයි මල්කාන්තිගෙන් කතාව අහගත්ත මැහුම් වැඩ පලේ කෙල්ලො සෙට් එකක් නම් දවසක් පාරෙදි විල්සන්ව දැක, එතනින් මාරුවෙද්දී හීන් හඬින් ගෙම්බා කියනවා වගේ ඇහුන බවක් දැනුන හන්දා විල්සන් ඉන්පස්සේ මලාට ඒ පැත්ත පලාතක ගියේ නැත.
එදා මල්කාන්ති එක්ක තිබිච්ච තරහ අද මේ එලියට ආවේ ගොං මිලින්ද හන්දාය.
“උඹ කවුද යකෝ මට ගෙම්බා කියන්න, උඹ මගෙ ගෑණිද?” කියා විල්සන් අහද්දි “මූ මට ගහයිද?” කියන කතාවට කලින් මිලින්දගේ හිතට ආවේ “ගෑණි මොකටද මුට ගෙම්බා කියන්නේ?” කියන කතාවය. ගෑණියෙක්ට තමන්ගේ මිනිහාට ගෙම්බා කියන්න හේතුවක් මිලින්ද කොහෙත්ම හිතාගන්න බැරි ය.
“හරි හරි විල්සන් අයියා, ඕකට ඔච්චර තරහ ගන්නෝන නැනෙ. මං නිකන් විහිලුවක්නෙ කලේ” කියා ශේප් වෙන්න ඇහැක් වෙච්ච හන්දා හොඳය.
“විහිලු කියල නිකන් ඕන නැති කතා නම් දාගෙන එන්න එපා හොඳේ” කියා විල්සන් දබරඇඟිල්ල ඉස්සරහට දමා උනත් සැර බාල කල හඬකින් කිව්වේ හදිසියෙ හරි ඕකා මේ ගමන දමලා ගහලා ගියොතින් තමන්ට කෙලවෙන බව දන්න හන්දාය.
“හරි හරි විල්සන් අයියා මං කිව්වෙ ඉතින් ඔයා මං ප්‍රශ්නෙ අහන්න කලින් මැද්දට පැන්න කියල විතරනෙ, සොරි සොරි වෙරි සොරි”
“මැද්දට පැන්නා කියන්නෙ යකෝ, උඹ ප්‍රශ්න නාහ මගෙන් උත්තරේ ඇහුවම උඹ මොකද්ද මට කරන්න කියන්නෙ? මං කිව්වෙ ඇත්ත නදිය කිව්ව දෙයක් ගැන මං දන්නෙ කොහොමද? ඒකි කිව්ව ඒවයි තේරුම උඹ අහන්න ඕන ඒකිගෙන් නෙ”
“හරි හරි වෙරි සොරි, මටයි වැරදුනේ, හරි මං කිව්වෙ ඊයෙ නදී නංගිට මම කිව්වා වාහනේකට ගොඩවෙන්න ඉස්සර වෙලා ඒ වාහනේ ඉස්සරහටද යන්නෙ පස්සටද යන්නෙ කියල බලල වැඩක් නෑ ඉස්සෙල්ලා වාහනේට නැගල බලන්න ඕනනෙ කියල”
“ඉතින්?”
“ඉතින් නදී නංගියා මට කියනව එයා දැන් වෙන වාහනේකට නැගල ඉන්නෙ, ඒකෙන් තමා එයා ඉස්සරහට යන්නෙ කියල. විල්සන් අයියා දන්නවද නදී ඔය කියන්නෙ කවුරු ගැනද කියල?”
“වස්තුව ගැන වෙන්නැති බං, උගෙ රෝද තුන ඉතින් මං දැකල නම් තියෙන්නෙ ඉස්සරහට යනවා කියල විතරයි”
“ඉතින් හැම වාහනේම ඉස්සරහට නේන්නං යන්නෙ, මං හිතන්නෙ නෑ නදී නංගිය කීයටවත් වස්තු එක්ක යාලුයි කියල” කිව්වට මොකෝ මිලින්දගේ හිතේ දෙගිඩියාවක් නොතිබ්බාත් නොවේ. පහුගිය දවසකත් නදී වස්තු එක්ක කොහෙද ගිහින් ආවා මිලින්ද දුටුවේය. එදා කාවින්දි උන්නත් “ඒකිද තෝල්කය කියල කවුද දන්නේ?” කියාත් මිලින්දට හිතේ.
“නෑ මං දන්න විදියට උන් දෙන්නගෙ එහෙම තරහක් නෑ, අනික ඉතින් උඹ මහ ගොං කතාවක්නෙ බං කියල තියෙන්නෙ. ඉස්සරහට යන්නෙ නැති වාහනේකට නගින්නෙ අහවල් එහෙකටද බං?
උඹ වාහනයක් ගන්නද යන්නෙ මේ බිස්නස් පටන් ගත්තු ගමන්? ගත්තට කමක් නෑ ඉතින් ඉස්සරහට යන එකක් ගනිං” කියා විල්සන් කියද්දී “මූට නං බොන්නත් කලින් වෙරිද කොහෙද?” කියලත් මිලින්දට හිතුනේය. ඔය බොන සීන් එකේ එහෙමකට කියා මිලින්ද නොහිටියාට අද විල්සන්ට කියා තමන්ට ඕන දේ කරගන්න නම් මිනිහ එක්කම සෙට් වෙන්න වෙන බව මිලින්ද දනී. මිලින්ද ආයෙ වතාවක් විල්සන් එක්ක කතාව පටන් ගත්තේ විසප්පු කපිලගේ පොට් එකේ අස්සක වාඩිවෙන ගමන් ය.
“මං මේ විල්සන් අයියව මෙහෙට එක්කරගෙන ආවෙම පොඩි සප් එකක් ඉල්ලන්න” කියා මිලින්ද කතාව පටන්ගත්තේ යාප්පුවෙන් වගේම “ඕන් පුතේ බොන්නත් අරන් දීල උඹ මේ උදව්ව කරන්න බෑ කියන්න නම් එපා” කියා සැර බාල කර තර්ජනයක් දමන ගමන් ය.
“ඔව් මොකද්ද?”
“මං නදී නංගිට ඇත්තටම කැමතියි විල්සන් අයියා, ඒ උනාට නදී නංගි මාව නිකන් චොකා ලෙවල් එකට දාලා තමයි හිතන්නෙ. මට විල්සන් අයියගෙන් සපෝට් එක ඕන නංගියව සෙට් කරගන්න?”
“උඹ හිතන්නෙ මං දැන් කපුකං කරනව කියලද? දාපං පත්තරේ ඇඩ් එකක් මංගල කිංකිණි එකේ”
“ඕකනෙ අයියා අපි සප් එකක් ඉල්ලුවම තමා ඔයාලට මේ ඔක්කොම බැරිකම් මතක් වෙන්නෙ. විල්සන් අයියගෙ දූව සරෙන්ඩර් කරගන්න විල්සන් අයියට බැරි වෙන්න බෑනෙ”
“යකෝ ඒකිව සරෙන්ඩර් කරගන්න මං පොලිසියෙ කියලද උබ හිතං ඉන්නෙ? උඹ ගිහින් ඇහුවම ඒකි බෑ කිව්ව නම් මං කොහොමද බං ඒකිට බලකරන්නෙ උඹ එක්ක යාලුවෙන්න කියල”
“නංගි බෑ කියන්නෙ බොරුවට, මං දන්නවනෙ. අනික මොකද්ද කියන්නකො එහෙම අකමැති වෙන්න මගෙ තියන අවුල ? අපි ආයෙ රැස්පට් එකට ලයිෆ් එක කරගෙන යන මිනිස්සුනෙ”
“උඹ කොණ්ඩෙ කපල බලපංකො” විල්සන් කිව්වේ විසප්පු කපිල පොල් කට්ටකට ගෙනත් දුන් ශොට් එකක් උගුරට හලාගන්න ගමන් ය. දිවට දැනෙන අමාරුව හන්දා මූණ පොඩ්ඩක් නොරොක් උනත් ඒ නොරොක් වීමට විල්සන් ආසය.
“කොණ්ඩෙ කපන්න? අර මොකටද?” කියා මිලින්ද ඇහුවේ තක්බීර් වෙලා එක් අතකින් නලලට වැටෙන කහපාට කොණ්ඩ කෑල්ල පිටිපස්සට දාගන්න ගමන් ය. තමන්ගෙ කොණ්ඩෙයි නදී අතරයි තිබෙන සම්බන්ධෙ කුමක්ද කියා මිලින්දට හිතාගන්න බැරිය.
“අර මොකටද කොණ්ඩෙ කපන්නෙ? අනික මං කොන්ඩෙ කැපුවා කියල නදීට මොකද්ද වෙන්නෙ ඒකෙන්?” කියා මිලින්දගේ කටෙන් වචන විදියට එලියට පැන්නේ ආන් ඒකය. විල්සන් ඒකට උත්තර දෙන්න එච්චර හදිස්සි උනේ නැත. උගුර කාරගෙන යන සැරට පොඩ්ඩක් විතර සමනය වෙන්න ඉඩ දෙන ගමන් විල්සන් එක් බැල්මක් මිලින්ද දිහාවටත් අනිත් බැල්ම අහස දිහාවටත් යොමු කලේය. පොඩ්ඩක් විතර දාර්ශනික ලුක් එකක් මූනට අරගත්තේ මොක උනත් මේ යකා කතාකරන්නේ තමන්ගේ කෙල්ල ගැන හන්දාය. මේ යකාව බෑනා විදියට හිතන්න බැරි උනත් තමන් නිකන් පත බෙබා තාත්තෙක් වෙන්න ඕන නැත.
“උඹේ කොණ්ඩෙ කැතයි බං. ගූ පාටයි”
“මොකක්?”
“ඔව් බං බඩ බුරුල් වෙලා ගූ ගියාම ඔය පාටනෙ. උබ ඕක වෙනස් කරගනිං. නදිය කැමතිවෙයි”