හිමගිරි අරණ -24

හිමගිරක් සේ මිදෙමින් හුන් තරුණ ගැහැනියට නැවත ආදරය කරන්නට හෝ විවාහ වන්නට ඕනෑ වූයේ නැත.රැවටීම දරා ගත්ත ද නික්ම ගිය මිනිසා නැවත නැවතත් තමන්ගේ ජීවිතයට අත පෙවීම දැරිය හැකි සීමාවේ නැතැයි ඇයට සිතිණ.

පිරිමින් එහෙම ය!

ආත්මාර්ථකාමී ය!

ඇය හිත හදා ගන්නට සිතුවේ එහෙම ය.නමුත් අමායා අක්කාට දැඩිව එරෙහි වූවා ය.

“මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි.කවදාවත්ම ආදරේ කරලා නැති ඔයා ආදරේ ගැන දන්න දෙයක් නෑ.ආදරේ කරලා තියනවනම් ඔන්න කලකිරුණට කමක් නැහැ.”

ඒ බරපතලම කතාවකි.හිමාෂා නැගණියව පුදුමයෙන් අසා සිටියා ය.සැබෑවටම තමන් කිසිම දවසක ආදරය නොකළ බව පැවසීම බරපතල කතාවකි.

“ඇයි ඔයා ඉස්කෝලෙ යන කාලෙ නවීන් අයියට අකමැති වුණේ?”

අමායාගේ ප්‍රශ්නය හිමාෂා උඩ ගොස් බිම වට්ටන්නට සමත් විය.පාසල් සමයේ ඇගේ ආදරය පැතූ තරුණයාට ආසක්ත වන්නට ඇයට කිසිම හේතුවක් නොවිණ.ඈ ඒ හන්දාම ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කළා ය.

“එයා ගාව ඇත්තටම ආදරේ ඇති කියලා මට හිතුණේ නෑ.”

හිමාෂාට එදා එසේ සිතන්නට පවා හැකි විණ.එනිසාම නුසුදුසු ජීවන සහකාරයෙකු හමුවේ ජීවිතය පරව යා හැකි බව ඇය විශ්වාස කළා ය.එතරම් දූරදර්ශි වූ තමන් සහන් සමඟ විවාහයට හිත හදාගත්තේ කෙසේදැයි ඇයටම නොතේරේ.

නමුත් එය සිදුව අවසන් ය.

එක්ව ජීවත් වීමට අසිරු යුවළක් වෙන්ව යාමේ වරදක් අමායාට ද නොපෙනේ.නමුත් සහන් කරන්නේ විශාල වරදකි.ඔහු වෙන් වී ගොස් තවමත් ඇය ගැන සෙවිල්ලෙන් පසු වේ.

“එකපාරක් පවුලක් කඩපු ගෑනියෙක්ට ඒක සිම්පල්.සහන් පරිස්සම් කරන්න ඕන නම් මල්මිව.”

අමායා සෝපහාසයට හුරු හඬකින් කියයි.සහන් ගැන කතා බහ නවතා දමන තරමේ උවමනාවකින් හිමාෂා පෙළෙන්නට වූවා ය. ඈ ඒ වෙනුවට පාරමීට සිදු වූ අබග්ගය අක්කා සමඟ බෙදා ගත්තා ය.

“ඒ අයියා හරි “

අමායා කියන්නේ වගකට නැතුව ය.ආදරය කළ කෙනෙකු එසේ දුරස් වන්නැයි පැවසීම හිත හදාගන්නට අමාරු කාරණාවක් බව හිමාෂා නැවතිල්ලේ පැවසුවා ය.ඇයට පාරමී ගැන ඇත්තේ තද දුකකි.

“රවිඳු අයියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හොය හොයා වද දෙන්නනම් එපා.”

අමායා ඒ වෙනුවට අක්කාට උපදෙසක් දුන්නා ය.සෑම කෙනෙකුටම පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව අදහන හිමාෂා ඒවා සොයන්නට යන්නේ නැත.ස්වභාවික ගැහැනුකම මතු වී සමහර දේ විපරම් කරන්නට සිතෙද්දී පවා ඇය ඉවසුවා ය.අනුන්ගේ කතා කොහොමටවත් ඵල නැති බව හිතෙන්නට හේතුව කෙළවරක් නැති ප්‍රශ්න බව ඇය දනියි.මේ වයසේ තරුණ ගැහැනියක ලෙස ඇයට සහන් අහිමි කළ දේ බොහෝ බව හිමාෂා සිතුවේ උදාසීනව ය.

“ඔයා කොහොමටත් දැන ගන්න ඕන දේවල් ඕපදූප විදියට දැන ගන්න උත්සාහ කරන්න එපා.හරි විදියට දැන ගන්න ට්‍රයි කරන්න.”

අමායා එතැනින් නැගිට ගත්තේ එසේ කියන අතරතුර ය.නමුත් හිමාෂාට සිතන්නට බොහෝ දෑ ව්ණ.චතුරි පැවසූ කාරණාව ද නංගි පැවසූ කතාව ද ඇය යළි යළිත් සිහි කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles