Cactus සහ succulent පැළ රැක බලාගන්නෙ කොහොමද? 

Cactus සහ succulent කියන්නෙ වර්තමානයේදී ඉතාම ජනප්‍රිය ගෘහාශ්‍රිත ශාක විදිහට හඳුන්වන්න පුළුවන්. 

විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දකින්න ලැබෙන Cactus සහ succulent ශාකවල ගතිගුණ බොහෝදුරට සමාන නිසා මේ ශාක වර්ග දෙකම එකම වර්ගයකයට අයත් ශාක විදිහට හඳුන්වාදෙන්න පුළුවන්. 

Cactus සහ succulent කියන ශාක වර්ග දෙකම කාන්තාර ප්‍රදේශ වල දේශගුණික සහ කාලගුණික තත්වයන්ට වඩාත් සමීපකමක් දක්වනව කියල මේ ශාක දිහා බලද්දිම අපිට තේරුම් ගන්න පුළුවන්නෙ. 

තද ආලෝකය, හොඳින් ජලය ඉවත්වීම, වැඩි උෂ්ණත්වය සහ අඩු තෙතමනය මේ ශාක වලට වඩා හොඳින් ගැළපෙනව වුනත් schlumbergera වගේ සමහර Cactus සහ succulent විශේෂ වල නිජබිම වෙලා තියන්නෙ වැසි වනාන්තර නිසා ඒවාට අවශ්‍ය පාරිසරික තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කියලත් සඳහන් කරන්න පුළුවන්. 

Cactus සහ succulent ශාක රැකබලා ගැනීම කියන්නෙ ඒවාගේ මුල් පරිසර තත්ව ඒවාට ලබාදෙන්න උත්සහ කිරීම විදිහට හඳුන්වන්න පුළුවන්. 

එහෙනම් අපි බලමු, මේ සියළුම දේවල් සලකා බලා Cactus සහ succulent ශාක රැකබලා ගන්නෙ කොහොමද කියල? 

ආලෝකය සහ උෂ්ණත්වය 

Cactus සහ succulent ශාක කාන්තාර දේශගුණික තත්වයන්ට හැඩගැසුණු ශාක කියල අපි කලින් කතා කරානෙ. 

ඒ නිසා දීප්තිමත් ආලෝක තත්වයන් මේ ශාක වලට අවශ්‍යයි. 

දීප්තිමත් ආලෝකයන් අවශ්‍ය වුනත් ඍජු හිරු එළියට නිරාවරණය වන විදිහට මේ ශාක තැබීමත් නුසුදුසුයි කියල අපි මතක් කරන්නම ඕන. 

මොකද ඍජු හිරු එළියට නිරාවරණය වුනොත් මේ ශාක වල පත්‍ර කහ පැහැයට හැරෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසයි. 

ශීතල සහ උණුසුම් කාළගුණික තත්වයන් වලදී මේ ගැන ඉතාම සැළකිල්ලෙන් ශාක වලට අවශ්‍ය උෂ්ණත්වය ලබාදීම ඉතාම වැදගත්. 

පස

Cactus සහ succulent වල නිජබිම වුන කාන්තාර ප්‍රදේශවල වැලි පසක් දකින්න ලැබෙනව කියල ඔබ දන්නවනේ. 

වැලි පසේ ජලය බැසයාම ඉක්මන් කියල ඔබ දන්නව. ඒ නිසා ජලය රැඳී නොසිටින, ඉක්මණින් ජලය බැසයන තෙතමනය රැදෙන වැලි සහ කොම්පෝස්ට් මිශ්‍ර පසක් වීම ඉතාම වැදගත්. 

ඔබ Cactus සහ succulent මිලදී ගන්න ස්ථානයෙන් ඒ ඒ ශාක වලට ගැළපෙන පස් මිශ්‍රණය ගැන විමසා ඒ පස නඩත්තු කිරීම ඉතාම වැදගත්. 

ජලය සහ අනෙකුත් පෝෂක 

Cactus සහ succulent ශාක ගැන තියන වැරදි මතයක් තමයි ඒවාට අවශ්‍ය වන්නේ ඉතාම කුඩා ජල ප්‍රමාණයක් පමණයි කියන මතය. 

Cactus සහ succulent ශාක වල වතුර ගබඩා කරල තියාගන්න කොටස් පිහිටල තියනව සහ ඒවා වියළි කාළගුණික තත්වයන් වලදී ශාකයට අවශ්‍ය තෙතමනය ලබාදෙන්න උපකාරී වෙනව කියන කාරණාව සත්‍යයක් වුනත් කුඩා ජල ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත් කියන කාරණාව නම් ඒ මොනම හේතුවක් නිසාවත් සත්‍යයක් වෙන්නෙ නෑ. 

වතුර වැඩිපුර දැමීම ශාකයේ වර්ධනයට බාධාවක් වෙනව වගේම අඩුවෙන් වතුර යෙදීම ශාකයේ පත්‍ර වල රැළි ඇතිවී ශාකයේ තෙතමනය සහ ප්‍රාණවත් බව අඩුවීමටත් හේතු වෙන්න පුළුවන්. 

ස්වභාවික ජල උල්පත් වලින් ලබාගන්නා ජලය Cactus සහ succulent ශාක සඳහා වැඩි වශයෙන් සුදුසුයි. මොකද විවිධ රසායන ද්‍රව්‍ය යොදා පිරිසිදු කරගත් වතුර වල අඩංගු සමහර ඛණිජ ද්‍රව්‍ය පසේ සහ ශාකයේ පත්‍ර වල තැම්පත් වෙලා මේ ශාක වලට අපි යොදන පෝෂක උරාගැනීමට බාධා ඇතිකරන්න ඉඩකඩ තියෙන නිසයි. 

වතුර යෙදීම

වතුර දමන විට ශාකයේ පත්‍ර සහ පස් හොඳින් තෙමී යන සේ වතුර යොදන්නවත් වතුර දමන වාරයන් අතරදී පස් මිශ්‍රණය වියළි තත්වයට පත්වෙන සේ වතුර බැස යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමත් අත්‍යාවශ්‍ය කාරණාවක් බව ඔබ මතක තබාගත යුතුමයි. 

නැවත සිටුවීම

සිටුවා ඇති පෝච්චිය ප්‍රමාණවත් නොවන තරමට Cactus සහ succulent පැළ වර්ධනය වෙලා තියෙනව නම් ඒ ඔබේ පැළ නැවත සිටුවීමට සුදුසු කාලය කියල හඳුන්වන්න පුළුවන්. 

පැළයක් වෙනත් බඳුනක බඳුන්ගත කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න ඔබට පුළුවන්. 

මුලින්ම පැළය, පස සහ මුල් හොඳින් තෙමෙන සේ වතුර යොදන්න ඕන. 

ඊළඟට සෙමින් පැළයේ මුල් බුරුල් කරමින් පැළය පෝච්චියෙන් ඉවතට ගන්න ඕන. 

මේ පියවර අනුගමනය කරන්න කලින් පැළය පත්තර කොළ කීපෙකින් ඔතා ගැනීම හෝ අතට තද අත් ආවරණ භාවිත කිරීම නම් අනිවාර්යයෙන්ම කර යුතුයි. එහෙම නැත්තන් ශාකවල කටු නිසා ඔබේ අත් තුවාල වෙන්න පුළුවන්. 

දැන් මේ ඉවතට ගත් පැළයේ මුල් අතරෙ රැඳී තිබෙන පස් ටූත්පික් එකක් මඟින් හෙමීට සූරල ඉවත් කරගන්න ඔබට පුළුවන්. එතකොට මුල් වලට හානිවීමක් සිදුවෙන්නෙ නෑ. 

ඊට පස්සෙ අපි අලුතින් පැළය බඳුන්ගත කරන්න තෝරගන්න පෝච්චියෙන් ⅓ කට පමණ පස් පුරවල පැළය පෝච්චියේ මැදින් තියල ඉතිරි කොටසටත් පස් මිශ්‍රණය පුරව ගන්න පුළුවන්. 

දින දෙකක් පමණ යනතුරු නැවත ජලය යෙදීම අවශ්‍ය වෙන්නෙ නෑ. 

එහෙනම් smart lady අපේ අද ලිපිය Cactus සහ succulent වවන්න ආස කරන ඔබට උදව්වක් වෙයි කියල අපි විශ්වාස කරනව. 

මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles