චන්දුල වතුර ටැංකියෙන් බැස ගෙදර ආවේ විදුලියක් වාගේ ය.
“පාරෝ”
ඔහු මග සිට ම හඬ නැගුවේ ය. සුරත් විජයවීර ගේ පුතු සමගින් පාරෝ බෝ වෙලාවක් වත්ත කෙළවරක කතා කරමින් සිටි බව කන වැකුණු විට ඔහු ට ගෙදර එන තෙක් ඉවසීමක් වූයේ නැත.
පාරුල් සිටියේ යහනේ වැතිරගෙන විවේක සුවයෙනි. වෛද්‍ය පීඨයේ පාඩම් කටයුතු වෙනුවෙන් අතිවිශාල ලෙස වෙහෙසිය යුතු වේ. වතුරට පැන්නා නම් පිහිනිය යුතු නිසාවෙන් හැම කෙනෙක් ම ඒ දුෂ්කරතා අතික්‍රමණය කොට අරමුණ කරා යාමේ උත්සාහයක් දරති. මෙහෙම විවේක සුවයක් එහෙව් දුෂ්කර ව්‍යායාමයක දී අත්‍යාවශ්‍ය ය.
“පාරෝ…”
දෙවන වතාවටත් සිහිනයකින් සේ ඇසුණ ඒ හඬින් පාරුල් තිගැස්සී අවදි වූවා ය. එතකොට චන්දුල යහන ඉදිරියෙහි දැවැන්තයෙකු සේ හිටගෙන සිටියේ ය. පාරුල් වහ වහා අවදිව යහනෙහි හිඳගත්තා ය.
“මං ගැස්සිලා ඇහැරුණ”
“මොකා එක්කද කතා කර කර හිටියෙ…”
“කවුද…”
නින්දෙන් ඇස් ඇරුණ ගමන් යුවතිය ට චන්දුල කියන්නේ කුමක් ගැනදැයි එකවර සිතාගත හැකි වූයේ නැත.
“අර සුරත් ඇමතියගෙ පුතා ආවද අද…”
“ආ… ඔව්. මායි උමායි රෙදි කාමර පැත්තට ගිහින් එනකොට වාහනේ ඇවිත් නතර කළා. මාව හම්බෙන්නමයි ආවෙ කිව්ව. මොනා වුණත් ගඟුල් තාම දේශපාලන මඩේ එරිල නෑ අයියෙ. වත්තට මොනාම හරි කරන්න ඕන කියන හැඟීමක් එයාට තියනව වගේ. මට දැනුණ විදිහටනං ගඟුල් ශොක් වෙලා ඉන්නෙ මෙහේ මිනිස්සුන්ගෙ ජීවිත දැකල”
චන්දුල සුසුමක් හෙළමින් පාරුල් ට මඳ පරතරයක් ඇතිව යහනේ හිඳගත්තේ ය. ඔහු ගේ මුහුණේ ශෝකාකූල ඉරියව්වක් පාරුල් ට පෙනේ. නංගී ට සිය හදවත ගලවා පෙන්වන්නට තිබුණා නම් චන්දුල එහෙම කරනු ඇත. ගඟුල් එක්ක පාරුල් කතා කරමින් සිටිනවායි කිසිවෙකු කියනු ඇසෙත්දී ඔහු ගේ හදවත හරහා විදුලියක් පැතිර ගියේ ය. නංගී ගැන ඔහු තුළ වන භීතිය අනියත ද කියා ඇතැම් විට චන්දුල ට සිතේ. ප්‍රේමයෙහි ඊ හිසක් පාරුල් ගේ හදෙහි දැන් ම වැදෙන්නේ නැත්නම් ඔහු ට සැනසීමකි. ප්‍රේමයෙන් ප්‍රතික්ශේප වීමක් ඇති කරන්නා වූ ආත්මීය රිදුම වසර ගණනාවකට තුනී ව යන්නේ නැත. ඇතැම් විට සුව නොවෙන රිදුමක් ව එය සදා කල් මරණය තෙක් ම පවතිනු ඇත. නමුත් ඒ අතරේ අසංඛ්‍යය වාර ගණනක් මැරි මැරී උපදින්නට සිදු වේ. ප්‍රේමයේ වියෝගය විසින් ඇති කරන්නා වූ වේදනාව මරණීය ය.
චන්දුල එය අත්විඳ තිබේ. එබැවින් පාරුල් ට ඒ උණුහුමක්වත් වදිනවාට ඔහු කැමති නැත. ඇය පෙම් කළ යුත්තේ හිමිකමක් ඇතිව ය. අහිමි වන්නට පෙම් කොට සදාකාලික තුවාලයක හිමිකාරියක් විය යුතු නොවේ. එබැවින් දොස්තර නෝනා කෙනෙකු වී වත්තෙන් පිටමං වන තුරාවට ඇය පෙම් නොකරනවා නම් හොඳ ය. විශේෂයෙන් ඉහළ පවුල් වල පිරිමියෙකු දැන් ම නංගී ට ලං නොවිය යුතු ය. අම්මා විඳි දුක් කඳ පාරුල් කිසි දා නො විඳිය යුතු ය.
“උං ඕන දෙයක් කරගත්තදෙං. තමුසෙ ඕවට ගෑවෙන්නැතුව ඉන්නව. මොකද තමුසෙ දවසක දේශපාලනේට යන්න නෙවෙයිනෙ”
“මං ගඟුල්ටත් කිව්ව අයියෙ මට පොලිටික්ස් ගැන උනන්දුවක් නෑ කියල. ඒත් වත්තෙ මිනිස්සු වෙනුවෙන් මොනාහරි කරවල දෙන්නවත් පුළුවන්නං ඒක ලොකු දෙයක්”
“ඔය යක්කු එච්චර හොඳ එවුන් නෙවෙයි. ඒක නිසා ඕනවට වැඩිය ආස්සරනං තියාගන්න එපා”
“මෙයා මිනිස්සු දිහා සැකෙං බලන්න පුරුදු වෙලා තියන තරං”
කියමින් පාරුල් චන්දුල ගේ කනක් මිරිකුවා ය. ඔහු බිම බලාගෙන සන්සුන් දැහැනකින් වදන් එකතුකළේ ය.
“අම්මට වෙච්ච දේවත් මට වෙච්ච දේවත් ඔයාට වෙනවට මං කැමති නෑ පාරු. ඔයාට එහෙම වෙන්න ඕනම නෑ. මට ඇත්ත කියන්න. ඔයා කවුරුහරි පිරිමියෙක්ට ආදරේ කරල තියනවද…”
චන්දුල හිස හරවා පාරුල් වෙතට අඩ බැල්මක් හෙළුවේ ය. පාරුල් අයියා ව ඍජු තියුණු බැල්මකින් අල්වා ගත්තා ය.
“ඔව්”
ඇගේ ඒ ඍජු තනි වචනය චන්දුල තුළ ගැස්මක් ඇති නො කළා ම නොවේ.
“නංගි…”
“වෙන කාටවත් නෙවෙයි ඉතිං… ඒ මගෙ සුදු අයියට තමයි”
පාරුල් චන්දුල වෙතට නැඹුරු ව අයියා ගේ දෙඋර වටා දෑත් යවා ඔහු ගේ උර මඬලක හිස තියාගත්තා ය.
“පිස්සි”
සිනහ සරක් අතරින් නැගුණ චන්දුල ගේ ස්වරයෙහි සැහැල්ලුවක් හෝ සැනසීමක් තැවරී තිබිණ.
“මං ඇහුවෙ එහෙම නෙවෙයි”
“අනේ මන්දප්ප ඇයි කියල… මට කැමතියි කියල හරි කියල තියෙන්නෙ අර ශාරුක් විතරයිනෙ අයියෙ. මෙච්චර මෙඩිකල් ෆැකල්ටි එකේ කොල්ලෙක්වත් තාම මට එහෙම කිව්වෙ නෑනෙ… ඇත්තමයි අයියෙ… මට වැඩිය ලස්සන අඩු කෙල්ලන්ටත් කොල්ලො ඉද්දි ඇයි ශාරුක් ඇර වෙන එකෙක්ටවත් මං ගැන එහෙම හිතෙන්නැත්තෙ… ඒ වුණත් මට ශාරුක් ගැන කිසි ෆීලින් එකක් නෑනෙ අප්ප”
චන්දුල හඬ නගා සිනහ වන්නට වූයේ ය. අයියා ගේ හිතේ ඈ ගැන වූ බර ඒ විදිහට තුනී වී යාම ගැන සතුටකිනි පාරුල් ඔහු දෙස බලා සිටියේ. ඒ සිනහවේ කෙළවර ඔහු වචන එකතු කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අයියා කෙනෙකු වාගේ ය.
“දවසක ඔයා නතරවෙන්න ඕන ප්‍රතික්ෂේප වෙන්නැති තැනක පාරු. දවසක ඔයා ආදරේ කරන්න ඕනෙ ජරා කුළ මල බේද නැති ලස්සන රටක ලස්සන මනුස්සයෙක්ට. ඒ දවස එනකල් ඔය ලස්සන හිත පරිස්සං කරං ඉන්න ඕනෙ. හරිද… මං වගේ කැඩිච්ච බිඳිච්ච හිතක් එක්ක අමාරුවෙන් ජීවිතේ ඇදං යන්නෝන්නෑ මගෙ නංගි. තේරුණා ද… “
චන්දුල පාරුල් ගේ හිස පිරිමැදගෙන යහන මතින් නැගී සිටින්නට ගියේ ය. පාරුල් වහා ඔහු ගේ අතකින් ඇද යළිත් යහන මත ම ඔහු හිඳුවාගත්තා ය.
“පව් අයියෙ. උමා බලං ඉන්නව ඔයා වචනයක් දෙනකල්”
බැලුමක් සේ පිම්බී ආ හැඟීමක් ඇසිල්ලකින් හුළං බැසි කලෙක වන් හිස් බවක් චන්දුල තුළ පිරිණි. දෙදණහිස් මත දෙවැළමිට තද කොට ගත් හෙතෙම හිස පහළට හරවා ගත්තේ ය.
“මං මොන වචනයක් දෙන්නද එයාට…”
“එයා ඔයා ගැන බලාපොරොත්තු තියං ඉන්නව කියල අයිය දන්නවනෙ”
“ඒ ළමයට ශිවම්ව බඳින්න කියන්න”
“ඒක අපි කියන්නෝන් නෑනෙ අයිය. එහෙම කරනවනං එයාට ඒක මෙලහකටත් කරන්න තිබුණනෙ. ඔයා ඔය හිරවෙලා ඉන්න තැනිං එළියට එන්න. ජීවිතේ කියන්නෙ හරි ලොකු තැනක් අයිය. එක තැනක හිරවුණොත් අපි හරි පව්. ඒ ජීවිතේ හතර මායිමේ ලස්සන දැකගන්න අපිට චාන්ස් එකක් නැති වෙනව. අපි ලං වෙන්න ඕනෙ අපි ආදරේ කරන අයට නෙවෙයි අයියෙ. අපිට ආදරේ කරන අයට. මොකද එයාලට අපිව හුඟක් වටිනව. ඒ නිසාම මලක් වගේ එයාල අපිව පරිස්සං කරනව. අපේ සතුට අපේ හිනාව එයාලට තරං වෙන කිසි කෙනෙකුට වටින්නෑ. ඒක නිසා අපිව සතුටෙන් තියන්න පුළුවන් ඕන ම දෙයක් එයාල කරයි. අපි වෙනුවෙන් මැ රෙ න් න වුණත් ඉන්නෙ අපිට ආදරේ කරන අය. අපි කොචච්ර ආදරේ කළත් අපිට ආදරේ නැති කෙනෙක්ට පුළුවන් අපිට හෙණගැහිල ගියත් දාල යන්න..උමාට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. ඒ පොඩි කෙල්ලගෙ හිතේ තියෙන ලොකූ ආදරේට ඔහොම වෙනස්කං කරන්නෙපා”
පාරුල් ගේ ඒ වචන ඊයම් බරු සේ චන්දුල ගේ පිරිමි පපුවට කිඳා බැස්සේ ය. ඉන් ඉදිරියට වචනයක් හෝ කතා නොකොට ඔහු යහන මතින් නැගී සිටියේ ය.
සුඛෝපභෝගී නාන කාමරය තුළ දිය නාගෙන, ගඟුල් විජයවීර හිසෙහි තෙත පිසිමින් පිටතට ආවේ ය. කැඩපතින් පෙනෙනා ඔහු කඩවසම් ය. සළුව පසෙකට දැමූ හෙතෙම කණ්ණාඩි මේසය මත වූ මිලාධික විලවුන් බෝතලය ගෙන සිරුර පුරා එ’සුවඳ ඉස ගත්තේ ය. තෙත් කොණ්ඩය අතැඟිලි වලින් පිටුපසට කරමින් දෑස් අඩවන් කොට බැලුවේ ය. තුරුණු පිරිමි පපුවේ රෝම අතරින් අතැඟිලි යවමින් ඔහු දෙස ම බලා සිටියේ ය. පාරුල් දෙව්රූ ඇල්ලගේ දැවැන්ත ප්‍රතිමාවක් සේ ඔහු ගේ මනස ඉදිරියේ නැගී සිටී. එදා සුරත් විජයවීර සමග ලොන්ඩරි වත්තට ගිය වෙලාවේ සිට මේ මනස් රූපය ඔහු ගේ හිතේ හොල්මන් කරයි. ගඟුල් නැවතත් අද එහි ගියේ හදවතේ හඬින් ගැලවිය නො හැකි තැන ය. ඇයත් එක්ක කළ කතා බහෙන් පස්සේ පුදුමාකාර සහකම්පනයක් ඔහු තුළ ගිනි පුපුරු නගයි. මනුෂ්‍යත්වය පිළිබඳ බරපතල අතපසුවීමක් ගැන පසුතැවීමක් උදම් රළක් සේ නැගෙයි. ඔහුගෙන් ඉටුවෙන්නට විශාල යුතුකම් කොටසක් ඇතිවා සේ දැනෙයි. ඒ යුතුකම් කොටස ඉටු වෙනතුරු පාරුල් ගේ රවුම් මූණ නො සැලී ඔහු තුළ හිඳ ඔහු දෙස බලා හිඳිනවා මෙනි.
“මේ මිනිස්සු මෙතන පදිංචියට ඇවිත් තියෙන්නෙ මීට අවුරුදු සීයකට එහාදි කියල ඔප්පු කරන්න සාක්ෂි තියනව”
ඇය එය කියාගත්තේ උගුර යටින් අසීරුවෙනි.
“වත්තෙ පොදු වැසිකිලියක ඒක හදපු දිනේ විදිහට එක්දාස් නවසිය තිස් ගණන් සඳහන් කරල තියනව. ඒ කියන්නෙ මුල් පදිංචිය වෙන්න ඇත්තෙ තිහේ දශකෙ මුල. කටින් කට ඇවිත් වත්තෙ වැඩිහිටි අය කියන විදිහට ඉංග්‍රීසි හමුදාවෙයි ඉංග්‍රීසි පාලනේ තිබුණ කාලෙ හෝටල් වලයි හොස්පිට්ල් වලයි ලොකු පවුල් වල අයගෙයි රෙදි හෝදන්න තමයි මෙතන ඒ රස්සාව කරන පවුල් කීපයක් පදිංචි කරගෙන තියෙන්නෙ. සිංහල අය ගොඩක් දැන් වත්තයි මේ රස්සාවයි අතෑරල ගිහින්. ටැමිල් අය තමයි වැඩිපුර ඉන්නෙ. ඒත් ඒ මිනිස්සු කිළිටි හෝදන්නෙ මොන ජාතියෙ අයගෙද කියල බලන්නැතුවනෙ. මේ මිනිස්සු හරි පව්. එක දිගට වැස්සොත් රස්සාව කරගන්න බැරුව හරි අමාරුවෙන් දවස් ගතකරගන්නෙ. මැෂින් වලින් රෙදි හෝදන අලුත් ලොකු ලොන්ඩ්‍රි ඇතිවෙච්ච එක මේ වගේ රෙදි හෝදන වතු වලට නරක විදිහට බලපෑව. ඔය කොල්ලුපිටියෙයි බේරෙ වැව ළඟයි කොටහේනෙයි එහෙම තව රෙදි හෝදන ගම් තිබුණලු කලින්. ඒත් ලෝකෙ අලුත් වෙලා තාක්ෂණේ දියුණු වෙද්දි ඒ මිනිස්සුන්ගෙ රස්සාවට ඒක බලපාන්න ඇති. කාලෙත් එක්ක ඒව නැතිවෙලා ගිහින් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නෙ මේ ලොන්ඩරි වත්ත විතරයි කියලයි කියන්නෙ”
පාරුල් ගේ සිනහ මුහුණ ගඟුල් ගේ මනස තුළ අනවරත සිතුවම් පෙළක් මවයි. ඇය සිනහ වෙමින් කතා කළ බව ඇත්ත ය. නමුත් ඒ සිනහව යට සරැළි නැගුවේ වචන වලට නැගිය නො හැකි වේදනාවක් යයි ගඟුල් ට සිතේ. ඒ වේදනාව සමනය කරන්නට නම් කුමක් කළ යුතු ද කොතැනකින් පටන් ගත යුතු ද කියා තවමත් ඔහු ට නො තේරේ.
🩵කතාව ගැන ඔබට හිතෙනා දේවල් දැනගන්නට මම මගබලන් ඉමි. ඔබ කතාව කියවූවානම් ඒ බවට සලකුණක් හෝ තබා යන්න!