හත් වන නෙත් සේයාව
අයත්මා වහා අසුනෙන් නැගිටින්න උත්සාහ කලාය. එහෙත් වටා උන් සිසුවියන් එයට ඉඩ දුන්නේ නැත. අයත්මා අසනීපව ඇති බවද, ඇය ඇද වැටීමට ගිය බවද ඔවුහු කලණට කියමින් උන්නෙ පැමිණිල්ලක් ලෙසිනි.
“ඇයි අයත්මා ටීචර්?…”
කලණ දුරින් හිඳ ඇය වෙත එබුණේය. සිසුවියන්ට නොපෙනෙන්නට දිලිසුන ඇස් කලණ හැඳින්නේය. එව්වා පිරිමි ඉවට ඉතා පහසුවෙන් හසු වන කොටස් ය. ඇය සිටින්නේ අසනීපයකින් නම් නොවන වග කලණට තිර ය. එහෙත් ඔහු රංගනයෙහි හැකියාවක් නොවූයෙක් නොවේ. ඇය ඇතැම්විට යමෙකු සමඟ වන ඇමතුමක් අවසානයේ වන ප්‍රහර්ෂණීය හැඟීමේ ඉන්නවා විය හැක. ඒ ඇස් වල ඇත්තේ එහෙම කතාවකි.
” මොකද ප්‍රශ්නේ ?… අපි ටීචර් කෙනෙක්ට එන්න කියලා ස්ටාෆ් රූම් යමුද..?.”
අයත්මා අසීරුවෙන් සිනාසුනාය. පැවසිය යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැත. මේ මුලාව ඉතා ඉක්මනින් නැවතුවේ නැති නම් අද දවසම නාස්ති වී අහිමි වෙයි.
තමාට අසනීපයක් නැති වගත්, ළමයින් ගේ කලබලය නිසා මෙය සිදුවූ බවත් පවසා අයත්මා කලණගෙන් සමාව ඉල්ලුවාය. ඒ ඔහුගේ පන්ති කාලච්ඡේදයෙන් වෙලාව නාස්ති විම ගැනද පවසමිනි. කලණ යළි ඇයගෙන් සුව දුක් විමසා පන්ති කාමරයෙන් එළියට බැස්සේ සියල්ලන්ටම පොදු සිනහවක් තබමිනි. ඕ එය තමාගේ කරගෙන ඒ සිනාවේ පැටලුනේ හැල්මේ දිව ගොස් එල්ලෙමිනි.
අයත්මා පන්තිය සන්සුන් කරවා ගත්තාය. තමා පිළිබඳව උනන්දුවෙන්, ආදරයෙන් බලා සිටින දරුවන් පිරිසක් ලැබීම ගැන සතුටු වන වග කීවාය. එහෙත් යම් සිදුවීමක් දෙස , කලබල නොවී කල්පනාවෙන් අවස්තාවන් හසුරවා ගැනීම ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්නටද ඇය අමතක කලේ නැත. එදිනට නියමිතව තිබූ පාඩම අවසන් කරන්නට හැකි වූයේ අඩක් වන තුරු පමණි. ඉන් කම් නැතැයි අයත්මා සිතුවාය. කලණ ගේ සිනහවට යටින් වූ කියවා ගත නොහැකි කතාවට ඉඩක් ලැබුනේ ළමයින් ඔහු කැඳවාගෙන ඒම නිසා බව ඇයට විශ්වාසය.
අයත්මාට හිස් කාලච්ඡ්ද දෙකක් තිබුණි. ඕ ඉන් එක් කාලච්ඡේදයක නාට්‍ය කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකු සමඟ වේදිකා පසුතල නිර්මාණය පිළිබඳව සැලසුමක් සකස් කරන්නට යොදාගෙන තිබුනි. කලණගෙන් උදව්වක් අවැසි වුවද, එසේ ඉල්ලීමෙන් ඔහුට කරදරයක් වේය යන බිය ඇය සිත තුල විය.
අයත්මා සංගීත කාමරය තුල සිටිනු කලණ දුටුවේ අහම්බයෙනි. ඔහු සංගීත කාමරය වෙත එබුණේය.
“කට්ටිය ලෝකේ පෙරලන කුමන්ත්‍රණයක්ද..?”
“අපි මේ ප්‍රොප්ස් හදනවා සර් ….”
ගොලුවූ අයත්මාගේ අඩුව එවෙලෙහි කිසිවෙකුට නොදැණුනි. ඒ කටකාර සිසුවියට ඉදිරිපත්ව පිළිතුරු දුන් නිසාය. එහෙත් වහා සිහි එළවා ගත් අයත්මා සිදුවන්නේ කුමක්දැයි කලණට විස්තර කලාය.
හැකිනම් තමන් සමඟ එක්ව එහි සැකසුම් කටයුතු කරන්නට ආරාධනා කරන්නටද ඇය පැකිලුනේ නැත. කලණ පාවහන් යුගල ගලවා සංගීත කාමරය තුලට ආවේය. අයත්මා නාට්‍ය පිටපත ඔහු අතට දෙන අතරේ, නාට්‍ය පිළිබඳව පැහැදිළි කලාය.
” එතකොට මේක ඉන්ටර් ඉස්කූල් කම්පිටිශන් දානවද?…”
කලණ විමසුවේ එය සෑහෙන තරමේ නිර්මාණාත්මක පිටපතක් වූ නිසාය. එවැන්නකට අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟාවලියේ ස්ථානයක් වෙනුවෙන් ස්තාන ගත වීම අපහසු නැත. කල යුත්තේ මනා පුහුණුවක් සමඟින්, රංග වස්ත්‍රාභරන, පසුතල සහ අනෙකුත් අවශේෂ සකසා ගැනීමය. කලණගේ මතකයේ හැටියට මේ වසරේ අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම අවසානව තිබුනේ නැත.
” එහෙම ප්ලෑන් එකක්ම නෑ … මේ පලවෙනි වතාවනේ..”
“මේ ස්ක්‍රිප්ට් එක මරු .. අපි මෙදා පාර කම්පිටිශන් එකට දාමු …. කල් තියෙනවා තව මගේ මතකේ විදියට .. මේ වැඩේ කරමු .. මාත් ආසයි මේකට…”
අයත්මාගේ හදවත ප්‍රීතියෙන් ඉපිළෙමින් තිබුණි. ඔහු සමඟ එක්ව වැඩ කිරීමට ලැබීමම ප්‍රමාණවත් ය. ඔහුගේ ඇසුරේ වැඩි කාලයක් ගෙවීමට අවස්තාවක් ඉතා සාධාරණ ලෙසින් ලැබී ඇත. ඒ ඔහුගේම මැදිහත්වීමෙනි.
චත්‍ර සියල්ල තීරණය කර් අවසන් විය. එහෙත් කපිල ඔහුගේ සැලසුම් පිළිබඳව අතුකෝරල මහතාට පවසන්නට කටයුතු කල නිසා සියලු උත්සාහයන් ව්‍යර්ථ ව ගියේය. සවස නිවසට ගිය චත්‍ර, පියාගේ ලියාපදිංචි තුවක්කුව සෙවීමට කෙතරම් උත්සාහ කලද ඔහුට එය සොයා ගන්නට හැකි වූයේ නැත. ඒ පිළිබඳව පියාගෙන් විමසන්නටද නොහැකි තැන ඔහු එම උත්සාහය අතැර කාමරය තුලට රිංගා ගත්තේය.
හෙට දිනයේද කලණ අයත්මා මෝටර් සයිකලයේ තබාගෙන පාසැල් යනවාය යන සිතුවිල්ලම චත්‍ර උන්මත්තකභාවයට පත් කරවන තරමේ විය. එහෙත්, චත්‍ර කල්පනා කලේය. මෙවෙලෙහි කලණ මරා දැමීමෙන් තමා අයත්මාට වඩා නරක පුද්ගලයෙකු වීම පමණක් සිදුවේ.
එවිට ඇය කෙලෙසකවත් තමා වෙත පැමිනෙන්න්නේ නැත. එපමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා සඳහාද ඉන් අයහපත් බලපෑමක් ඇති විය හැක. කොහේදෝ සිට පැමිණි පුස් නාම්බෙකු නිසා තමා සියල්ල පටලවා ගත යුත්තේ ඇයි දැයි චත්‍ර කල්පනා කලේය.
සිහියෙන් සිටිය යුතුය. එහෙත් සිහියෙන් සිටියදී දැනෙන වේදනාව වැඩිය. ඒ මදිවාට සිහිවන්නේම කලණ සමීපයෙන් හිඳගෙන උදේ හවස පාසැළ් යන අයත්මාවය. සිහියෙන් උන්නාය කියා මේ ප්‍රශ්නයට විසඳුමක්ද නැත.
සිහිනි චත්‍රගේ කාමරයට එන විට. චත්‍ර කෙටි කලිසමක් සහ ටී ශර්ටයක් දමාගෙන නිවසින් පිට වූයේය. සිහිනි ඔහු නවතා ගන්නට කෙතරම් උත්සාහ කලද ඔහු හැරුනේ නැත. කැබ් රිය පණ ගැන්වුන හඬට කපිල ඉදිරිපස පෝටිකෝවට දිව එන විට චත්‍ර ගේට්ටුවෙන් පිටතට ගොස් හමාරය.
“කොහේද අර ගියේ?…”
අතුකෝරල මහතාගේ හඬින් සිහිනි සහ කපිල දෙදෙනාම තිගැස්සී ගියහ.
“කොහේ ගියාද මන්දා අප්පච්චී … කිව්වේත් නෑ…”
” මේ මිනිහා පුස් ඌරෙක් වගේ එහෙ මෙහෙ දඟලලා වැඩි කල් යන්න කලින් ලොකු කරදරයක් ඇඟේ දාගන්නවා සන්ධ්‍යා … මං නොකීවය කියන්න එපා… අම්මයි, නංගියි එක්කො එකතු වෙලා මූ ආම්බාන් කරගන්න එක හොඳයි … එහෙම නැත්නම් වෙනා දෙයක් පිළිගන්න දෙන්නම ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි …”
කපිල විසින් උදෑසන පවසන ලද චත්‍රගේ සැලසුම් පිළිබඳව තම බිරිඳට සහ දියණියට සඟවමින් අතුකෝරල මහතා අනතුරු ඇඟවීම දැඩිව කලේය. සිහිනි කාමරයට ගියේ චත්‍ර ඇමතුමක් හෝ ගන්නට සිතමිනි. සන්ධ්‍යා නම් එහෙමම පෝටිකෝවේ වු අසුනකට වැටුනාය.
ලොකු පුතා තමාගෙන් දුරස්ව ඇති වග ඇයට දැනෙයි. එක දිගටම ඔහු කරන්නට යෙදුණු හිතුවක්කාර සහ සමාජ විරෝධී ඇතැම් ක්‍රියා නිසා අතුකෝරල මහතා ඔහුට එරෙහි වෙද්දී තමාද ඒ පැත්තේ සිට ගැනීම මේ දුරස් බවට හේතුව විය යුතුයැයි ඕ කල්පනා කලාය.
වහාම චත්‍ර සමඟින් කතා කරන්නාට නිදහස් වේලාවක් සොයාගන්නට සන්ධ්‍යා තීරණය කළාය. දේශපාලනය තුළ ඔහුට දිග ගමනක් ඇති බවට සන්ධ්‍යා ට සැක නැත. ඔහු කිනම් හිතුවක්කාරකම් කලද, ඔහු සමාජය වෙනුවෙන් වගකීම් මඟ නොහරින්නෙකි. මිනිසුන් ඔහුට ආදරේය. ඒ බව තම ඇස් පනාපිටම දැක ඇත.
වහ වහා පන්සලට ගොස් ලොකු හාමුදුරුවන් ලවා චත්‍රගේ කේන්දරය බලා, සෙත් කවියක් සජ්ජායනා කරවා, දින හතක් බෝධි පූජාවක් කරන්නට සන්ධ්‍යා සිතා ගත්තාය. හෙට උදෑසන ගිලන්පස සඳහා අඩුමකුකුමද රැගෙන පන්සලට යා යුතුය.
චත්‍ර ඇති පමණට මත් වූයේය. එහෙත් කපිල නොමැති නිසා කැබ් රිය පදවාගෙන යා යුතු බව අමතක නොකරන්නටද උත්සාහ කලේය. එහෙත් අයත්මාගේ සිනහවට ඇලෙන කලණ චත්‍රගේ මත් බව වැඩි කලේය.
චත්‍ර නිවෙසට එන්නට පිටත් වන විට රාත්‍රී දහයට කිට්ටු වී තිබුණි. එහෙත් කැබ් රිය නිවෙස දෙසට හැරවුනේ නැත. එය අයත්මාගේ නිවස දෙසට ගමන් කරමින් තිබුණි. ඇයව දැකගෙනම නිවසට යමියි ඔහු සිතුවේය. අවිශ්කට පවසන්නේ කුමක්දැයි සිතන්නට ඔහු වෙහෙසුනේ නැත. ඔහුට පිළිතුරු බැඳිය යුතු නොහේය. තමා යන්නේ අයත්මා හමුවීමටය. එපමණය.
චත්‍ර කැබ් රියෙන් බැසගන්නා විට ඔහුට කෙලින් සිට ගැනීමේ යම් අපහසුවක් නොතිබුනා නොවේ. ඇද හැලෙමින් තිබූ මහ වැස්ස නිසා ඒ අපහසුව තවත් වැඩි නොවූවාද නොවේ. එහෙත් ඔහු අඩියෙන් අඩිය නිවස තුලටම ආවේය. පැමිණියේ චත්‍ර වග දන්නා නිසාම අයත්මා කාමරයෙන් පිටතට ආවේ නැත. එහෙත් අයියා නිවසෙන් පිටව ගිය බවත්, නිමලා අම්මා කුඩා පුතු නිදි කරවමින් සිටින වගත් සිහි වූ පසු ඕ ඇඳ උන් සැහැල්ලු ඇඳුමට උඩින් යලි ටී ශර්ටයක් දමාගෙන සාලයට ආවේය. චත්‍ර උන්නේ සාලයෙ සෙටියේ අර්ධ ලෙස වැතිරීගෙනය.
“මේ මොකද මේ?…”
අයත්මාට එලෙස කියවුණි. අයත්මා පැමිනී දසුනින් චත්‍ර කෙලින් වී හිඳ ගත්තේය.
“අයියා ගෙදර නෑ මන්ත්‍රීතුමා.. ඔයා ගිහින් එන්න …”
අයත්මා එක්වරම එලෙස කීවේ කෝපයෙනි. මේ රාත්‍රියේ, මත් පැන් පානය කර ඔහු මෙලෙස පැමිණීම කෙතරමක නම් අශෝබනද?.
|අපේක්ෂා ගුණරත්න |