පතිදම්වැල් 15

“අයෑම් සොරි”

කිසිවක් නොකියාම දුරකථනය තිබීමෙන් අනතුරුව උශාලි එසේ ලියා යැවුවේ සිත අස්සෙන් මතුවන තමන් වැරදි යැයි හැඟවෙන සිතුවිල්ලෙන් මිදෙනු පිණිසය.

සිත අස්සෙන් ඔහුට ඒකපාර්ශ්වීයව ආදරය කරන බව රහසක් නොවේ. ඒත් ඔහු විවාහක පිරිමියෙකි. තම පෙර පාසලේ තම පංතියේ ඉගෙනුම ලබන දරුවෙකුගේ තාත්තා කෙනෙකි. එබව හොඳින්ම දැන සිටිද්දීත් තමා විසින් එවන් වදනක් නොකියා ඉන්නට තිබුණා යැයි, එවන් ඉල්ලීමක් නොකර ඉන්නට තිබුණායැයි සිත මුමුණන ලැජ්ජාවත්, පශ්චත්තාපයත් ඒ වට්සැප් පණිවිඩය ඔහු වෙත යවන්නට හේතුවක් විය.

ඔහු තමාගේ දුරකථන අංකය ඔහුගේ දුරකථනයේ ගබඩා කර නොමැති නිසාවෙන්දෝ ඔහුගේ වට්සැප් ගිණුමේ ජායාරූපය බලන්නට හැකියාවක් නැත.

එය සිත තුල ඇති වූ පශ්චත්තාපයත්, ලැජ්ජාවත් තව තවත් අවුලුවන්නකි. 

“අපරාදෙ මම එහෙම කිව්වේ”

දුරකතනය ඇඳ මතට විසි කර කාමරයේ එහා මෙහා ඇවිදිමින් උශාලි එසේ කියාගත්තාය.

ඒ පසුතැවිල්ලේ වේදනාව තව තවත් අවුලුවන්නට මෙන් “ඒ මනුස්සය මං ගැන මොනව හිතුවද දන්නෙ නෑ” යන සිතුවිල්ල සිත අස්සෙන් එගින්නට දර දිය අදින්නට විය.

තමා ඒකපාර්ශ්වීයව හෝ ආදරය කරන පුද්ගලයාගේ සිත තමාගේ එක් පියවරක් හේතුවෙන් බිඳෙන්නට ඇතැයි යන සිතුවිල්ල වේදනා සයුරකට සිත ඇද දමන ගංගාවකි. ආදරය කොතෙක් අරුමැසි යැයි කීවද ඒ අරුමැසි බව හිරු දුටු පිණි බිංදුවක් මෙන් බිඳෙන්නට එක මොහොතක කාලයක් හොඳටම ප්‍රමාණවත්‍ ය. එක බැල්මක් හොඳටම ප්‍රමාණවත්‍ ය. එක වදනක් හොඳටම ප්‍රමාණවත් ය.

වදනක් කියන්නට පෙර දෙතුන් වරක් සිතිය යුත්තේ මේ නිසාවෙන් යැයි උශාලි තේරුම් ගනිමින් උන්නාය. මේ ජීවිතය ලද පළමු ආදරයයි. සිහිනයෙන්ද සැබවින්ද ජීවිතයේ පළමු වරට ආදරය කරමින් උන්නේ ඔහුටයි. එවන් හැඟීම් සිත තුළ දරාගෙන ඒ ආදරය පිටතට නොපෙන්වා සිටින්නට කොපමණ උත්සහයක් දැරිය යුතුද යන්න ගැනත් උශාලි ඉගෙන ගනිමින් උන්නේ ජීවිතයේ පළමු වරටයි.

ප්‍රථම ප්‍රේමය වලාකුළු අතරින් හිරු එළිය වැටෙන්නාක් මෙනි. එය ඔබේ හදවත පුරා සුන්දරම පුෂ්පයන්ට උපත දෙන රහස් උයනකි. ආදරයෙන් බැඳී හිඳින පුද්ගලයා අසලදී එකී හැඟීම් උතුරායාමට ඇති ඉඩකඩ බොහෝය. කොතෙක් ඒ හැඟීම් සඟවා සිටින්නට උත්සහ කරද වචන, බැල්ම සහ හඬ ඔස්සේ එකී ආදර ගීතයන් අනෙක් පාර්ශ්වය වෙත ගලා යාම වළක්වන්නට ඉතා අපහසුය.

“ටිං”

ඒ දුරකථනයට වට්සැප් පණිවිඩයක් ආ බව හඟවන හඬයි

ඇඳ මත තබා ඇති දුරකථන දීප්තිමත් එළියක් විහිදුවමින් බලා හිඳී. ඒ තමා පැමිණ එකී පණිවිඩය කියවන තුරු කරන බල් හිඳින්නකි. එහෙත් කාමරයේ ෆ්‍රෙන්ච් වින්ඩෝව අසල සිටගෙන සිනිදු තිර අතරින් හිරු මිලින වී ගොස් ඇති සඳ නැග එන්නට නියමිත අඳුරු ආකාසය දෙස බලා හුන් අතරම හැරී දුරකථනය දෙස බලා හිඳිනවා ඇරෙන්නට එහි ගොස් දුරකතනය අතට ගෙන බලන්නට කුකුසක් සිතේ ඇත. 

ඔහු තමාට බැණ වැදී අපහාස කර ඇත්තනම්?

යළිත් ඔහුටත් දුලන්‍යාටත් මුහුණ දෙන්නේ කෙසේද?

දුරකතනය අතට ගද්දී අත වෙව්ලන බවකුත් ඒ හා සමානව සිතද වෙව්ලුම් කන බවකුත් දැනේ. ඒ හැඟීම සිත බියකරන්නකි. උගුරේ විශාල කෙල ගුලියක් සිරවී හුස්ම ගන්නට අපහසු බවක් ඇති කරන්නකි. 

“අයෑම් ද වන් හූ ශුඩ් සේ සොරි”

ඒ බලාපොරොත්තු නොවූ පණිවිඩයකි. සමාව ඉල්ලිය යුත්‍තේ තමා වුවද සමාව ඉල්ලිය යුත්‍තේ තමා යැයි පවසා ඔහු පණිවිඩයක් එවා ඇත්‍තේ ඇයිදැයි උශාලිට සිතාගන්නට අපහසුය.

මේ කතාබහ මෙතනින් නතර කළ යුතු බවත්, තමා සිතෙන් ආදරය කලද ඒ තම පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු යන කාරණාව බවත් මතක් කරමින් මොළයෙන් පණිවිඩ දහස් ගණනක් ආවද සිත කියන්නේ වෙනම කතාවකි.

තහනම් වුවද වලංගු නොවුවද ඔහු හා කතාබහ දික්කරන්න යැයි සිත කරන ඉල්ලීම මග හැරගන්නට හැකියාවක් තිබුණේ නැත.

වෙව්ලන දෑතින් වුවද කිතිකැවෙන සිතින් ඊළඟ කෙටි පණිවිඩය දුරකථන මුහුණත මත සටහන් වූයේ ඇසිල්ලකිනි

“නෑ මම එහෙම නොකිය ඉන්නයි තිබුණේ”

වට්සැප් තිරයේ සටහන් වී ඇති තම කෙටි පණිවිඩය ඔහු කියවූ බවට එයට එහා පසින් සටහන් වී ඇති නිල් පැහැ හරි සලකුණ දෙස් දෙයි. එයින් සිත මත ඉහිරුණේ සතුටක්ද බලාපොරොත්තුවක්ද කිතියක්ද කියා තේරුම්ගන්නට නොහැකි, බෙදා වෙන් කරවාගන්නට නොහැකි හැඟුම් දහරාවකි.

“ඉට්ස් ඕකේ. මම ෆ්‍රයිඩේ එනව පෙයරන්ට්ස් මීටින්ග් එකට. මම ඇවිත් ඔයාටත් කතා කරන්නම් එදාට”

ඒ කතා බහ නවත්තන්නට ඔහු විසින් පෙන් වූ සලකුණක්ද නොඑසේනම් සිකුරාදාට හමුවීම ගැන බලාපොරොත්තු තබාගත යුතු සලකුණක්ද කියා සිතාගන්නට නොහැක.

කතාබහ එතනින් නතර වීම දුකක් වුවද ඒ කුඩා කතා බහේ එල්ලී සිහින රාශියක් දකින්නට දැන් තමාට ඉඩකඩ සැලසී තිබීම සිතට ප්‍රීතියෙන් ඉපිළෙන්නට හේතු පහදා දෙයි.

ඒ සුන්දරම සිහින වලින් පිරුණු රැයකි.

තවමත් ඔහුත් තමාත් උන්නේ ඔරුවක පාවෙමින් කෙලවරක් ගොඩබිමක් නොපෙනෙන මහා ජලාශයක මැද ය. එහෙත් මේ දකිමින් හුන් සිහිනය වෙනස් ය.

මෙතෙක් දිනක් ඒ ජලාශයත් ඔරුවත් වසා ගෙන තිබුණු අන්දකාරය කෙමෙන් පහකරනු ලැබූ කහ පැහැ දෑසට ප්‍රිය ආලෝකයක් තමාට ඉදිරියෙන් ඈතින් විහිදෙම බව උශාලිට පෙනේ. ඒ ආලෝකයට පිටුපා තමා ඉදිරියෙන් වාඩි වී හබලට අත තබාගෙන තමා දෙසම බලා හිඳින ඔහු ඉන්නේ ඉතාම සතුටින් බව උශාලිට පෙනේ. එය තමාටද සතුටකි. ඒ ලා කහ පැහැ රන්මය ආලෝක කිරණ මැද දිලිසෙමින් හුන් ඔහු සෙමෙන් අත ඔසවා ඔරුවේ මෙ කෙලවරේ වාඩි වී හිඳින තමා වෙත දිගු කරයි.

ඒ දෑසේ රැඳී ඇත්තේ මේ අත අල්ලා ගන්නයැයි කියන ඇරයුමකි

ඒ අත අල්ලාගන්නට හිඳගෙන නොහැකිය. ඔහු හෝ ඇය ඇවිදගොස් ඒ අත අල්ලා ගන්නට තරම් තමා සහ ඔහු අතර වන පරතරය වැඩි ය. 

ජලාශයේ දිය පහරේ සෙලවීමට අනුව සෙමෙන් දෙපසට වැනෙන ඔරුව තරණය කර ඔහු වෙත ගොස් ඒ අත අල්ලා ගන්නට උශාලිට බියය. එහෙත් ඔහුගේ අත අල්ලා නොගෙන ඉන්නටද නොහැකිය.

“මට එන්න බයයි. ඔයා එන්නකො”

තමා එසේ පවසද්දී වුව ඔහු උන්නේ ඒ රන්මය කිරණ මැද්දේ හිඳගෙන තමා දෙස බලමින් දැත දිගු කරගෙන සිනාසෙමිනි.තමා කියනා දෙය ඔහුට නෑසෙනවා යැයි සිතා උශාලි නැවත වරක් එයම කියෙව්වාය.

“මට බයයි ඔයා එන්නකො”

“මට එන්න බෑ”

ඔහු එය පවසන්නේද සිනා වීගෙනමය.

“ඇයි?”

“මට එන්න විදියක් නෑ. මම නැගිට්ටොත් ඔරුව හබල් ගාන එක නවතිනව. ඔරුව පෙරලෙන්න පුලුවන්”

“මට බයයි එන්න ඒත්”

“බය වෙන්න එපා, මම ඔයාව අල්ල ගන්නම්, හිමින් එන්නම්, පරිස්සමින් අඩිය තියල එන්න”

ඒ වදන් වලට හිස නවා ඔහු වෙත යන්නට සිත කීවද ඔරුවේ සෙලවීම ගැන දැනෙන්නේ බියකි. ඒ බියත් සමග ඔරුවේ දෙකෙලවර වාඩි වී එකිනෙකාගේ දෑස දෙසම බලා හුන් සිහිනය නිම වූයේ උශාලි ගැස්සී අවදිවීමත් සමගය. 

වේලාව රාත්‍රී දෙක පසුවී විනාඩි දහයක් පමණ ගොසිනි. වේලි තිබුන උගුර කට තෙමාගන්නට බිව් වතුර උගුරු කිහිපය නිසා නින්ද කොහෙදෝ දුර ඈතකට ඇදී ගොසිනි.

නින්දට බර නොවන දෑස විඩාපත් කරනට මෙන් උශාලි දුරකතනය අතට ගත්තේ ඔහු විසින් එවූ පණිවිඩය නැවත් වරක් කියවීමේ බලාපොරොත්තුවෙනි. දුලන්‍යාස් ෆාදර් ලෙස නම් කර තිබූ ඔහුගේ අංකය අනුප කුලරත්න ලෙස නම් කරන්නට තමන්ට සිතුනේ ඇයිදැයි කියා කියන්නට උශාලිට හේතුවක් තිබුනේ නැත. ඒ සිතුවිල්ල ආවේ ඉබේමය. සිතන්නටවත් ඉඩක් නොතබාය.

තමාට ඔහුගේ වට්සැප් ගිණුමේ ජායාරූපය පෙනෙන බව උශාලි දුටුවේ ඒ මොහොතේය.එසේනම් ඔහු තමාගේ අංකයද ඔහුගේ දුරකතනයේ ගබඩා කර ගෙන තිබේ. එය සතුටට හේතුවකි. එහෙත් එය බලාපොරොත්තු තබාගත යුතු හේතුවක්ද කියා සිතාගන්නට නොහැක.

ඔහු පියෙකි. විවාහක සැමියෙකි. එවන් අයෙකු ගැන බලාපොරොත්තු තබාගන්නට තමාට හැකියාවක් නැත. අනෙක් අතට තමාගේ දෙමව්පියන් පවා මේ පිළිබඳව දැනගැනීම ලැජ්ජාවට හේතුවක් නොවේද?

ඔහු වන් විවාහක පිරිමියෙකු ගැන සිතෙන් හෝ ප්‍රේමයක වෙලී හිඳීම ගැන තමා ලැජ්ජාවට පත් විය යුතු නොවේද යන කාරණාව නින්ද තව තවත් අහිමි කරන සිතුවිල්ලකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles