චාමරට රැකියාවෙන් උසස්වීමක් ලැබුණා. ඒත් චාමර ඒ උසස්වීම පිළිගන්නවද කියන එක ගැන තීරණයක් ගත්තේ නැහැ. සතියක් ඇතුලත ඒ ගැන දැනුම් දෙන්න කියලා චාමරට කාර්‍යාලයේ මානව සම්පත් කලමනාකරණ ප්‍රධානියා ඊමේලයක් යොමු කරලා තිබුණා. චාමර ගෙදර ආවේ මේ ගැන ගෙදර අයට කියනවද නැද්ද කියන විචිකිච්චාවෙන්. තමන්ට වසර දෙකක් මැලේසියාවේ රැකියාව වෙනුවෙන් ලැබුණ මේ අවස්තාව මඟ හැර ගන්න ඕනි නැහැ කියන සිතුවිල්ල ඉතාම තදින් චාමරට දැනුනා. අනෙක් අතට මේ වගේ අවස්තාවක් උපයා ගන්න එක පහසු නැති බවත් චාමර දන්නවා. ඒත් තමාගේ ඉදිරියේ බලෙන්ම පැටවිලා තියෙන වගකීම් නිසා චාමර උන්නේ අසරණ වෙලා.
රෑ කෑම කාලා ඉවර වුනාම චාමර මේ ආරංචිය ගෙදර හැමෝටම කිව්වා. පණීව්ඩය මඟ හැරුනේ එදා මහ ගෙදර ගිහිලා උන්න නිම්නාට. නිම්නා චාමරගේ බිරිඳ. නිම්නාගේ අම්මගේ සැත්කමක් නිසා නිම්නා සතියක්ම උන්නේ අම්මා ළඟ. සැත්කම අවසන් වෙලා නිවෙසට ආවට පස්සේත් නිම්නා සතියක්ම අම්මා ළඟ නැවතෙන්න තීරණය කලා.
චාමර ඒ ගැන හිටියේ හිත සතුටින් නෙවෙයි. ගෙදර වැඩ බලාගන්න නිම්නාගේ නංගියි, මල්ලියි, තාත්තයි ඉන්න නිසා චාමර නිම්නාට ගෙදර එන්න කියලා කිහිප වතාවක්ම කිව්වා. ඒත් නිම්නා කිව්වේ නංගිගේ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවෙන්න සතියක් අම්මගේ වැඩ වලට උදව් වෙලා එන්නම් කියලා. ඒ හිත් නොහොඳකම චාමර එහෙමම තියාගෙන හිටියා . ඒ ආරංචිය නිම්නාට කියන එක හිතා මතාම මඟ ඇරලා දැම්මා.
” අවුරුදු දෙකක් එතකොට ඔයා රටද?..”
ලොකු නංගී ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.
” තමුසේ එහෙම එක පාරටම රට ගියාම මෙහෙ දේවල් බලාගෙන්නේ කවුද ලොකු මල්ලී .. බලනවා එහෙන් තමුසෙලා ගෙයක් හදන්න පටන් අරගෙන.. තමුසේගේ වචනේ විශ්වාසේට අයියාත් ඩුබායි ඉන්න ගමන්ම අපේ ගේ හදන වැඩත් පටන් ගත්තා… එහෙන් චූටි නංගිගේ වැඩ… අප්පච්චිටත් තවම එහෙමට සනීපයක් නෑනේ.. අනෙක නිම්නා කියලත් මොකෝ ගෙදරක ඉන්න එකක් යැ. ඔයා ගියාම එයත් ගිහින් මහ ගෙදර නවතීවි ..”
අක්කා එහෙම කියනකොට චාමරට තමන් ගැන මහ අනුකම්පාවක් දැනුනා. හැමෝම තම තමන්ගේ ජීවිත වල පුරවග්න්න තියෙන හිස් තැන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පාවිච්චි කරනවා නේද කියලා දැනෙනකොට ඒ අනුකම්පාව මහ වේදනාවක් බවට පත් වුනා.
” අනේ ශෝක් අයියේ. ඔයා යන්න..”
තවම පාසැල් යන චූටි නංගි නම් උඩ පැනලා සතුටු වුනා.
” ප්‍රයෝජනයි නම් ඔය ගමන යන්න ලමයෝ..අපිට මෙහෙ දේවල් ඔය කොහොම කොහොම හරි බලගන්න බැරියැ..”
අප්පච්චි එහෙම කිව්වේ විඩාව හංගගෙන. චාමර නිවසින් බැහැරව යෑම තුල සෑහෙන්න වැඩ කටයුතු අඩාල වෙන බව ඔහුත් දන්නවා. ඒත් චාමරගේ අම්මා එක පාරටම ඒ කතාව මැදට කඩාගෙන පැන්නා.
” හරි කෝලමක්නේ මේක… මෙයා එහෙම අවුරුදු දෙකක් තිස්සේ රට රාජ්ජ වල ගියාම මේ ගෙවල් හදන වැඩයි අරවා මේවා කරන්නේ කවුද?.. අනෙක වතු වල වැඩ බලන්න කෙනෙක් නෑ කියලා දැනගත්තම එහෙ උන්ට රජ මඟුල් වෙයි …”
“ඒවා එහෙම වුනාට කොල්ලා ආස දේ කරන්න ඉඩ අහුරලා බෑනේ…”
“අනේ ඔහේ ඔහොම කිව්වට ඔය රස්සාව තිබුනා නැතෑ කියල චාමරට අඩුවක් වෙන්නේ නෑනේ.. වතුපිටි ටික හරියට අතට අරගෙන කරනවා නම් ඔය හොයන ගාන වගේ දහ ගුනයක් හොයාගන්න පුලුවන්.. අනෙක අර සාරංග ළමයා ගේ හදන වැඩ පටන් ගත්තේ මෙයැයි කියපු එක අහලා … ඒ වැඩ මඟ අතෑරලා ගියාම ලොකූ වුනත් කොහොමද ඒ ලමයට මුහුණ දෙන්නේ. “
චාමර කලකිරීමෙන් කාමරේ ඇතුලට ගියා. තමන්ගේ ජීවිතේ ගැන දැනෙන අනුකම්පාව නිසාම චාමරට ඇඬුණා. ඒ අතරේ නිම්නාගෙන් ඇමතුමක් ආවා. නිම්නා එක්ක අමනාපයක් තිබුනත් එවෙලේ චාමරට උරහිසක් ඕනි වුනා. ඇමතුමට පිළිතුරු දුන්නත් චාමර කිසිම දෙයක් කතා කලේ නැහැ. නිසොල්මනේම ඉඳල ඇමතුම විසන්ධි කලා. ඊට පස්සේ ජංගම දුරකතනයම විසන්ධි කරලා දැම්මා. නිම්නා කලබල වුනා. වහාම චූටි නංගීට ඇමතුමක් ගත්තා. චූටි නංගී කීව දේවල් අහලා නිම්නාට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්. චාමර ගෙදර අය වෙනුවෙන් කොයි තරම් නම් වෙහෙසෙනවද කියලා නිම්නා දන්නවා. ඒ වගේම මේ රැකියාව වෙනුවෙන් ඔහු කොයි තරම් නම් ආශාවක් දක්වනවද කියලත් නිම්නා දන්නවා. නිම්නා පහුවෙනිදා උදෙන්ම සූදානම් වෙලා ගෙදර ආවේ අම්මලාටත් විස්තරේ කියන ගමන්.
“අක්කේ චාමර අයියාට යන්න කියනවා … ඌ ඔය ගමනට කොච්චර ට්‍රයි කලාද? . ඔය ගෙවල් හදන වැඩේ අපි ගොඩ දාමු.. බඩු ටික ගෙනල්ලා දාන එකයි දිනපතා තත්වේ බලන එකයි නේ තියෙන්නේ… මම කැම්පස් ඉවර වෙලා ඒ පැත්තෙන් එන්නම් වැඩ ටික ඉවර වෙනකල් ඉතින් …”
” ඔව් ඔව් .. ඒ ළමයා නවත්තන්න ඕනි නෑ .. ගෙවල් දෙකේ වැඩ මට වුනත් බලන්න පුලුවන් .. මොකෝ අපි නොකරපුවා නෙවෙයි නේ…”
මල්ලියි තාත්තයි එහෙම කිව්වම නිම්නා සන්තෝසෙන් බස් එකට නැග්ගේ. සෙනසුරාදා නිසා නිම්නා එනකොටත් චාමර නිදි.
” ආහ් .මෙන්න මෙයා ඇවිල්ලා.. චාමර කිව්වෙ දවස් තුන හතරක් යාවි කියල තව…”
අක්කා නිම්නාව පිලිගත්තා. පුලුවන් ඉක්මනට නිම්නාට කතා කරලා චාමරට යන්න නොදෙන තැනට වැඩ සකස් කරන්න ඕනි කියලත් අක්කා කල්පනා කලා.
” චාමර …”
නිමාගේ හඬ හීනෙන් ඇහෙනවාද කියලා සැකෙන් චාමර ඇස් ඇරලා බැලුවේ.
” ඔයා ආවද?…”
” මං හරියට බය වුනා..මෝඩයෙක් වගේ ෆෝන් එකත් ඕෆ් කරගෙන ..”
චාමර නිම්නාව ඇදලා තමන් ළැඟින් වාඩි කරගත්තා.
” ඇඟ සෝදන් එන්නම් .. බස් එකේ ආවේ තැලිලා…”
” ඔන්න ඔහොම ඉන්නවා… පාලුවෙන් හිටියේ..”
චාමර නෝක්කාඩුවෙන් කිව්වා. නිම්නා එක්ක අමනාප වෙලා උන්නත්, නිම්නා අම්මා ළල නැවතිලා උන්න එකට රණ්ඩු වෙන්න දැන් චාමරට හිතෙන්නේ නැහැ.
” චූටි නංගි කිව්වා ඔයාට ප්‍රමෝශන් ලැබිලා කියලා…”:
“හ්ම්ම්..”
“ඔයා මට කීවේවත් නැහැ…”
” අපි තරහ වෙලානේ හිටියේ ..”
චාමර නිම්නාගේ ඔඩොක්කුවෙන් හිස තියාගන්න ගමන් කිව්වා. නිම්නා දිගටම නෝක්කාඩු කිව්වා.
“ඒ ආරංචියෙන් ඇති වැඩක් නෑ නිම්නා ,… මං ඔෆර් එක ගන්නේ නෑ…”
කලින් දවසේ සිදු වෙලා තිබුන දේවල් එක්ක චාමරගේ තීරනේ ඒක බව නිම්නා දැනගෙනමයි හිටියේ. ඒත් ඒ තීරනේ වෙනස් කරන්න ඕනෑ කරන බර අවි ඔක්කෝම නිම්නා සූදානම් කරගෙනයි උන්නේ.
” ඔයා යන්නෝනි ..”
නිම්නා ඉස්සෙල්ලාම කිව්වා.
” හ්ම් .. දැන් ඒ කතා වැඩක් නෑ … අම්මට කොහොමද?… හවස් වෙලා යමු ආයේ අම්මාව බලලා එන්න …”
චාමර නිම්නාගේ ඇඟිලි තුඩු ඉඹින ගමන් කිව්වා.
” ඔයා යනවා චාමර … අම්මලා ඔය කියන හැමදේම මම බලාගන්නම්.. වතු පිටි වල දේවල් කොහොමටත් දැණට වැඩිපුර බලන්නේ මමනේ.. මට ඒකට හුරු වෙන්න පුලුවන්… අකවුන්ට්ස් චෙක් කරලා, මාසෙකට පාරක් වගේ විසිට් එකක් ගියාම හරිනේ … චූටි නංගිගෙ ස්කූල් වැඩ , ප්‍රැක්ටිස් වැඩත් මට බලන්න පුලුවන් … ඒ ගැනත් පොඩිවත් සැකයක් නෑ …”
නිම්නා එහෙම කියනකොට චාමර නිම්නා දිහා ආදරෙන් බලාගෙන හිටියා.
” මං ඔයාට හරි ආදරෙයි නිම්නා …”
” අනේ යන්න ..බොරු ආදරේ… . ඊළඟ ප්‍රශ්නේ මේ ගෙවල් හැදිල්ල පටන් ගත්ත එකනේ.. අපේ මල්ලියි තාත්තයි ඒ වැඩ ටික බලල දෙන්නම් කිව්වා.. සීනියර් ඉන්ජිනියර් කෙනෙක් ෆලෝ අප් කරන එක අවුලක් නෑනේ….?”
නිම්නා එහෙම කියනකොට නම් චාමර විශ්වාස කරන්න අපහසුයි වගේ බැල්මක් එක්ක බලාගෙන හිටියේ. ඒත් නිම්නා විශ්වාසෙන් හිස සැලුවා.
තමන්ගේම පවුලේ අය තමන්ගේ හීන වලට ඉඩ අහුරකොට ජීවිතේට අලුතින් එකතු වුන මිනිස්සු තමන්ගේ හීන ගැන දරන වගවීම, අවබෝධය ගැන චාමරට හිතා ගන්න බැරිව ගියා. චාමර නිම්නා දිහා බලාගෙනම හිටියා.
” ඔයා ඔෆර් එක කන්ෆර්ම් කරන්න චාමර… මාව විශ්වාස කරන්න .. මම ආදරේ කරන්නේ ඔයාව මගේ ළඟ තියාගෙන වදෙන් පොරෙන් ජීවත් වෙන්න නෙවෙයි . ඔයා ඔයාගේ හීන දිනන්නම ඕනි …”
නිම්නා එහෙම කියනකොට චාමරට තමන් නිම්නාගේ සමහර දේවල් වෙනුවෙන් හැසිරුණ විදිය ගැන ලැජ්ජාවක් දැණුනා.
” අම්මලාට මම කියන්නම් ඔයා යනවා කියලා..”
නිම්නා චාමරව ඉඹලා නැගිට්ටේ දැන් නැගිටින්න කියලා ඇස් වලින් කියන ගමන්ම.
අපේක්ෂා ගුණරත්න.