පොතක් පෙරළාගෙන වැඩක් කරන්නට තැත් කළාට පාරුල් ගේ හිත සන්සුන් ව තිබුණේ නැත. මේ ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. ගඟුල් විජයවීර වූ කලී ඇය දැන හැඳින සිටි පුද්ගලයෙකු නොවේ. දැනුදු දන්නේ නැත. තුන් වතාවක් ඔහු වත්තට පැමිණි විට දුටුවා පමණකි. හරියට කතා කළේ එක් වරකි. ඉතින් මෙහෙම වත්තෙන් පිටතදී තනිව ඔහු හමු වෙනවා කියන්නේ තරමක් අසාමාන්‍ය දෙයකි. ඊටත් වඩා ඒ විදිහට හමු වන්නට තරම් ඔවුන් අතරේ සුහද බවක් පැවතුණේ නැත. ඒ කතාබහ ද අතිශය දේශපාලනික හා මානවවාදී මට්ටමේ එකකි. ඉතින් මේ හදිසි හමුවීමට හේතු කිම? මෙය කවරාකාරයෙන් ඇයට බලපාන්නට ඉඩ තිබේ ද? ගඟුල් යනු සුරත් විජයවීර ගේ පුත්‍රයා ය. තාත්තා කළ දේ පුතා නොකළොත් ඔහු කාගේද පුතා ය කියා කතාවක් තිබේ. සුරත් ගැන නම් පාරුල් තුළ කිසිදු ප්‍රසාදයක් ඇත්තේ නැත. වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ප්රචාරක සමයන්හි වත්ත තුළදී ද දේශපාලන රැස්වීම් වලදී ද ඇය ඔහු දැක තිබේ. ඊට අමතරව රූපවාහිනියේ දේශපාලන වැඩසටහන් වලදී ඔහු ගේ අදහස් අසා දැක තිබේ. මසින් පිරි මහත මුහුණ ද මුහුණ පුරා වැවුණ කළු සුදු රැවුල ද දත් තිස් දෙක ම පෙනෙන සේ නගන කපටි කෛරාටික සිනහව ද ඔහු ගේ ආත්මාර්ථකාමී අදහස් ද ඇයට අප්‍රසන්න ය. ඔවුන් සමග කිසිදු සබඳතාවයක් පවත්වනා අදහසක් කවදාවත් ඈ තුළ වූයේ නැත. මේ සිදුවීම ඉතා අහම්බයෙන් වූවකි. මේ විදිහට ගඟුල් ඇය හඹා එන්නට ඇති හේතුවත් දේශපාලනික විය නො හැකි ද? ඔවුන් කොහොම ඇය ගැන සිතා සිටිනවා විය හැකි ද? එදා වත්තේ මිනිසුන් ඉදිරියේ දී ඇය සුරත් ඇතුළු පිරිසට කළ කතාවෙන් පසු ඔහු ගේ මුහුණේ මස් පිඬු ගැස්සී යනු ඇය බලාගෙන ය. ඒ මුහුණ විකෘති වී ගියේ ඇසිල්ලකිනි. ඔහු ට ඇය සතුටක් නොවූ බව සහතික ය. එසේ වී තිබියදී මේ ආකාරයට ගඟුල් ඇගේ සහාය ඇතිව වත්තට උදව් කරන්නට හිතුවේ ඇයි? ඒ ගැන සුරත් විජයවීර ගේ එකඟතාවයක් වන්නේ ද? නැත්නම් ඔවුන් එක් වී ඇය දේශපාලන ඉත්තෙකු කරගන්නට හදනවා විය නො හැකි ද? පාරුල් විවිධ පැති වලින් සිතුවා ය. ගඟුල් එදා වෛද්‍ය ග්රන්ථ ටිකක් ගෙදරට ගෙනැවිත් දී කහට තේ එකක් ඉල්ලූ වෙලාවේ ඇගේ ගැහැනු හදවතට දැනුණා වූ නුහුරු මිහිර පරයමින් සැකයක් මෝදු වී ගෙන එන්නට විය. දුරකතන තිරය ආලෝකවත් වූයේ ඒ වෙලාවේ ම ය. පාරුල් පොත් පත් ටික එකතු කොටගෙන නැගී සිටියා ය.
“මං ඇවිත් ඉන්නෙ”
ඉක්මනට ඇය ශාලාවෙන් පිටතට එන ගමන් දුරකථනයට පිළිතුරු දෙත්දී ඔහු කීවේ ය. පාරුල් සබකෝලයකින් තොරව ඔහු වෙතට ඇවිද ආවා ය. රියට පිටදීගෙන සිටි ඔහු මුලින් දුටු තුන් වතාවේදීට ම වඩා ඉතිරී යන කඩවසම් බවකින් යුක්ත විය. ඒ මුවග පොපියන සිනහව ආකර්ෂණීය පිරිමි පෞරුෂයක් ඉස්මතු කරයි. ඈත සිට ඔහු වෙත එනතුරු ම පාරුල් ඒ පෞරුෂය විනිවිද දකිමින් ඔහු තුළ කිමිදී සිටියා ය. ඈ ඒ දැහැනින් මිදුණේ ඔහු වෙතට ම පැමිණි පසුයි.
“යං”
එය ඇරයුමක් ද ඉල්ලීමක් ද විධානයක් ද කියා වෙන් කොට හැඳිනගත හැකි වූයේ නැත.
“කොහෙද…”
පාරුල් වහ වහා සිහි එළවාගත්තා ය. ගඟුල් ගේ තැඹිලි පාට තොල් කොනක් දඩබ්බර සිනහවකට ඇද විය.
“කතා කරන්න දේවල් ටිකක් තියනව. වත්තට කරන්න පුළුවන් ඩොනේශන්ස් ගැන. ලයිබ්‍රරි එකේ කතාකරන්න බෑනෙ”
“කැන්ටීන් එකේ පුළුවන්”
පාරුල් කැන්ටිම පැත්තට යන්නට හැරුණා ය. ගඟුල් ගේ සිනහව තව දුරටත් සරැලි නැගුවේ ය.
“ඇයි බයද එළියට යන්න…”
ඔහු දුරස්ථ පාලකයෙන් මෝටර් රථය අගුළු ලූයේ ය.
“බය… නෑ… මොකටද බය වෙන්නෙ… මට තව වැඩ තියනව ලයිබ්‍රරි එකේ ඉඳං කරන්න”
පාරුල් හිස බිමට හරවා දෑස් දෙපසට කරකැව්වා ය. ශ්‍රවණාගාරය ඉදිරියේ කුඩා පොත් සල්පිලක් පැවැත්වෙමින් තිබිණ. කොරිඩෝරයෙහි සිත්තරුන් කිහිප දෙනෙකු චිත්‍ර අඳිමින් සිටියහ. පාරුල් සිය පළපුරුද්ද ද චකිතයක් පෙන්වීමට ඇති අකමැත්ත ද මත පැකිළීමකින් තොරව ආපන ශාලාව දෙසට ඇවිද යන්නට වූවා ය.
“ඔයා නිතර ලයිබ්‍රරි එනවද…”
අඳුරු දුඹුරු පැහැයක් ගැවසීගත් කොරිඩෝරයේ දී ඔහු විමසී ය.
“නිතරමත් නෙවෙයි ඉතිං… ඒත් එනව…”
මුලදී ආරූඪ කරගෙන උන් ඍජු තානය අමතක වී පාරුල් ගේ ස්වරය හුරුපුරුදු මෘදු බව අත්පත් කරගනිමින් තිබිණ. ඒ හුරුබුහුටි, හුරතල්, ඇදෙන සුළු බව ඇගේ කටහඬ ළගන්නා සුළු කරවන්නකි.
පුස්තකාලය සේ ම අවන්හල ද කාලයක් පැරණි බව කියනා දුඹුරු පැහැයකින් යුතු ය. ලෑලි සිවිලිම ගාම්භීර ය. ලොකු හතරැස් මේස අවශ්‍ය පමණට වඩා වපසරියෙන් වැඩි යයි ලෑලි පුටුවක් ඇද අසුන්ගන්නට යත්දී ගඟුල් ට සිතිණ. ඒ සිතිවිල්ල ඔහු ගේ මුහුණට නිහඬ සිනහවක් ගෙනෙන්නට ද සමත් විය. නමුත් මේ අමුතු තරුණිය ඉදිරියේ ඒ වගේ විහිළු වලට ඉඩක් තිබිය නො හැකි බව සිහි වී ඔහු ඒ සිනහව වහා හකුළා ගත්තේ ය. අසුන් ගන්නේ නැතිව පාරුල් කවුන්ටරය වෙත ගියා ය. ඒ දුටු ගඟුල් වහා එතැනට සමීප වෙමින් කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ඇද්දේ ය.
“මං දෙන්නං”
“එපා”
පාරුල් අතින් ද විරෝධය පෑවා ය. ඒ දැඩි බව ඊළඟ මොහොතේ සෞම්‍ය සිනහවකින් විස්ථාපනය විය.
“මං ඉන්න තැනට ආවහම මමනෙ සංග්‍රහ කරන්න ඕනෙ”
එදා ඔහු තේ ඉල්ලූ සිදුවීම සිහි වී පාරුල් ප්ලේන් ටී දෙකක් ඇනවුම් කළා ය. ශෝකේස් එකෙහි තිබෙනු දැක ලැවරියා දෙකක් ද ඕනේ කීවා ය. ගඟුල් පපුවෙහි අත් දෙක බැඳගෙන පසෙකට වී ඇදෙස බලා සිටියේ ය. ඒ තරම් කඩවසම් තරුණයෙකු මේ වගේ තැනකට ගැලපෙන්නේ නැතැයි පාරුල් ට එවෙලේ සිතිණ.
ඒ වෙලාවේ ආපන ශාලාවෙහි ඒ තරම් සෙනගක් සිටියේ නැත. පෙම්වතුන් යුවළක් පුටු දෙක මේස කොනකට ලං කොට හිඳ එක ම පතකින් බත් කති. ඒ සිටි කිහිප දෙනා ගේ ඇස් ද මොහොතකට හෝ ගඟුල් වෙත යොමු විය. ඔහු ට කැපී පෙනෙනා පෙනුමක් වූයේ ය.
ලැවරියා පිඟාන මේසය මතින් තබා පැමිණි පාරුල් අනතුරුව තේ කෝප්ප දෙක රැගෙන ගියා ය. ඒ අතරේ ගඟුල් කල්පනාබරව හෙමිහිට පැමිණ අසුන්ගත වූයේ ය.
“මේකයි පාරුල්”
ඔහු කතාවට ගොඩවෙන්නට තැනක් බැලුවේ ය.
“අපි ළමයින්ට පොත් පෑන් පැන්සල් පොත් බෑග් සපත්තු වගේ දේවල් දෙන තැනිං පටංගමු. මං කියන්නෙ මේ… එච්චරයි කියල නෙවෙයි. ඊළඟට අපි ඔය ටොයිලට් ප්‍රශ්න විසඳන…වතුර ප්‍රශ්න කාණු ප්‍රශ්න විසඳන ඒවට එමු. මං කියන්නෙ ස්ටාට් එකක් විදිහට”
“කමක් නෑ”
පාරුල් ඍජුව ඔහු ගේ මූණ බලා කීවා ය. ඒ බැල්ම දරාගැනීමේ යම් අපහසුවක් ද ගඟුල් ට නො දැනුණා ම නොවේ.
“ළමයින්ට පොත් දෙන්න..බෑග් දෙන්න.. ඕන දෙයක් දෙන්න..හැබැයි ඒ උන්ගෙ ආත්මය පාවා දෙන්නැතුව”
ඇය විදාගත් තියුණු දෑසින් ඔහු දෙස බලාගෙන ම සිටියා ය.
“එ…ඒ කිව්වෙ…”
“ඒ කිව්වෙ මේව දුන්නෙ මං කියල උන්ගෙ පිටේ බෝඩ් එකක් ගහල යවන්නැතුව”
ගඟුල් අඩ සිනහවක් පෑවේ ය. ඇය කියන්නේ කුමක්දැයි සැබවින් ම ඔහු ට වැටහුණේ නැත.
“ඉතින් එහෙම කරන්නෑනෙ”
“පොත් බෑග් එකේ ඉස්සරහ ලොකුවට ඔයාගෙ මූණ ගහන්නැතුව… පොත් වල ඔයාගෙ පරිත්‍යාගයක් කියල ගහන්නැතුව ඒව ඒ අහිංසකයන්ට දෙන්න පුළුවන්නං විතරක් මං ඒ වැඩ වලට උදව් වෙන්නං. ඒ දෙන දේවල් වල ඕගොල්ලොංගෙ මූණු දාගෙන අපි තමයි මේව උඹලට නිකං දුන්නෙ කියන හැඟීම ඒ පොඩි උන්ගෙ හිත් වලට දාල උංගෙ කොඳු කඩල දාන්නැත්තං මං උදව් වෙන්නං. ඕගොල්ලො ඒ මිනිස්සුන්ගෙ ඡන්ද ගද්දි ඒ මිනිස්සු නම් ගහල මූණෙ පින්තූර ගහල ඡන්දෙ දෙනවද කියල හිතන්න..ඕගොල්ලො දන්නෙවත් නෑ අපි පාර්ලිමේන්තු යන්නෙ කාගෙ ඡන්ද වලින්ද කියල..ඒත් ඒ ඡන්ද ටික ගන්න ඕගොල්ලො දෙන පොඩි පොඩි දේවල් වලත් මූණ ප්‍රින්ට් කරගෙන ඒ කරන්නෙ මොන ලැජ්ජනැති වැඩක්ද කියල මටනං තේරෙන්නෑ”
ලී පුටුව පිටින් ම ඔහු ඒ ආපන ශාලාවේ පොළොව පලාගෙන ගිලා බසිනා සෙයක් ගඟුල් ට දැනිණ.
“පින්තූරෙ දාල දුන්නත් නොදා දුන්නත් නිකං සහනාධාර ගන්න පොඩි කාලෙ ඉඳලම ළමයි පුරුදු කරන එක හොඳයි කියල මං හිතන්නෑ. පුරුදු කරන්න ඕනෙ මොනාහරි කරල උපයගෙන තමන්ට උවමනා දේවල් ලබාගන්න ක්‍රමයකට හැඩගැහෙන්න. ඒත් කාලාන්තරයක් තිස්සෙ සිද්ද වෙලා තියන දෙයක් එකපාරට නැති කරල දාන්න බෑනෙ. මං හරිම විරුද්ධයි ඔය සමෘද්ධිය ජනසවිය වගේ කන්සෙප්ට්ස් වලට වුණත්. නිකං කන්න ටිකක් දෙන එක නෙවෙයි රජයකින් කරන්න ඕන…අර්න් කරන්න පුළුවන් මාර්ග හදල දෙන එක. ඒකටයි රටක් දියුණු වෙනව කියන්නෙ. නිකං ඉඳං අත පාල කන හිඟන යායක් බිහිකරන එකෙන් රටක් දියුණු කරන්න බෑ. හැබැයි හැමදාම ඔය පක්ෂ වලට මාරුවෙන් මාරුවට බලේට එන්න පුළුවන් එහෙම වුණාම. මාළු අල්ලගන්න ඇම දානව වගේ මොනාහරි ටිකක් දාන්නයි තියෙන්නෙ. ජනතාව දුර්වල කරල තියන තාක්කල් දේශපාලකයන්ට බලේ තියාගෙන ඉන්න පුළුවන්”
විදුලි පංකාවක් යට සිටිය ද ගඟුල් ට දහදිය දමන්නට වූයේ ය. ඒ පරණ විදුලි පංකාවෙන් සුළං පොදක් එන්නේ නැති බව තහවුරු කරගන්නට ඔහු කිහිප විටක් ඉහළ බැලුවේ ය.
“මේ දවස්වල දෙන්න ඈයො හරියට. සැරෙන් සැරේට එක එක පාට අය එනව වත්තට. ඇවිත් මොනාද අඩුපාඩු කියල අහනව. අනේ ඇත්තට මං අහන්නෙ…වැස්සට කලින් මෙරු මතුවෙනව වගේ ඉලෙක්ශන් කාලෙට විතරනෙ මේ මිනිස්සු දකින්න හම්බෙන්නෙ… එහෙම නැතුව නිකමටවත් වත්ත පැත්තට එනවද…නාකපන වැහි වැහැල කුණු වතුරෙන් වත්ත පිරිල ටොයිලට් ඩ්රනේජ් උතුරද්දිවත් එනවද…වහළවල් හිල් වෙලා ගේ ඇතුළටත් වහිද්දි ඇවිත් අහනවද උඹල තෙමෙනවද කියල… රෙදි වේලගන්න බැරුව අපේ මිනිස්සු හූල්ල හූල්ල බඩගින්නෙ ඉන්නකොට ඇවිත් අහනවද කන්නෙ කොහොමද කියල… ඒව කොලනි. රජයෙන් දීපු ගෙවල්. මිනිස්සු ඒවට බද්දක් හරි කුළියක්හරි ගෙවනව. ඒත් මිනිස්සු. උනුත් ජීවත් වෙන්න ඕනෙ. උන්ටත් ඒකට අයිතියක් තියනව කියල කොයි පාලකයෙක්වත් හිතනවද… මං කියන්නෑ නිකං කන්න දෙන්න ඕනෙ කියල. හැබැයි මේ මිනිස්සුන්ට ඒ රස්සාව කරගෙන ජීවත්වෙන්න පහසුකම් දෙන්න ඕනෙ. ෆ්ලැට් එකක් හැදුව. ඒක මේ මිනිස්සුන්ට දෙන්නෑ. ඇයි ඒ…බලය තියන අය තම තමන්ගෙ අය අතරෙ ඒව බෙදාගනී. මේ මිනිස්සුන්ට බෑ ඉල්ලීම් ඉල්ලන්න. ඒ මිනිස්සු අසරණයි. අහිංසකයි. හුදෙකලා වෙලා. හඬක් නෑ. ඒ ප්‍රශ්න වලට ඕනෙ ස්ථිර විසඳුම් ටිකක් මිස්ට ගඟුල්. නැතුව පැලැස්තරවත් සහනාධාරයක්වත් නෙවෙයි”
එක දිගට කතා කරගෙන ගිය හින්දා පාරුල් ට මඳ හති ගතියක් දැනිණ. ඇය තේ කෝප්පය බොන්නට ගත්තා ය. එය නිවී යමින් තිබිණ. යම් තිගැස්මක් හෝ දෙගිඩියාවක් දැනෙන්නට වී ද ගඟුල් මඳහසක් නගා ගත්තේ ය. ඒ මඳහස පවා හඬන්නට බැරි කමට නගා ගත් එකක් සේ වූයේ ය.
“ඔයා ඔහොම මට බණින්න එපා ඉතිං…මේ වටේ ඉන්න අය හිතයි මං ඔයාට මුකුත් වරදක් කරල කියල”
ඒ ස්වරය ඉතාමත් මන්ද්‍ර වූයේ ය. ඒ වෙලාවෙ පාරුල් ට ඔහු පෙනුණේ පොඩි දරුවෙකු සේ ය.
💙ආකාස මෝස්තර නවකතාවට පසුබිම් වන පරිසරය සැබවින් පවතින එකක් වුණත්, නවකතාවට සම්බන්ධ චරිත හෝ සිදුවීම් සැබෑ ඒවා නෙවෙයි. ඒවා තනිකරම ප්‍රබන්ධ. මගේ මනසින් ගොඩනැගූ චරිත හා සිදුවීම්. ඒ නිසා ඒ ඒ චරිත වලට සැබැවින් ජීවත් වන පුද්ගලයන් ආදේශ කරගන්න එපා.
බලාපොරොත්තු නොවුණ තරම් ප්‍රතිචාර දැන් දැන් කතාවට ලැබෙමින් තියෙනවා. ඒ ගැන කියවන ඔයාල හැමෝටම මගේ ආදරය පිරිනමනවා. ස්තූතියි!