ඔයත් කොරියන්, ජපන්, චීන කෑම වල රසිකයෙක් නම් කිම්චි කියන්නෙ මොනවද කියල අනිවාර්යයෙන්ම දන්නව ඇතිනෙ.
කිම්චි කියල හඳුන්වන්නේ නාපා කියන ගෝවා වර්ගය (napa cabbage) සහ කොරියන් රාබු (korean radish) වැඩි වශයෙන් භාවිත කරල හදන සාම්ප්‍රදායික සහ ජනප්‍රිය කොරියානු කෑමක්.
කිම්චි රස කරන්න ගොචුගරු එහෙමත් නැත්තන් korean chili powder, ලූණු කොළ, සුදුලූණු, ඉඟුරු සහ jeotgal කියල හඳුන්වන ලුණු යෙදූ මුහුදු ආහාර සාම්ප්‍රදායිකව භාවිත කරනව වුනත් ලංකාවේ අපිට මේ වර්ග සොයාගන්න ටිකක් අපහසුයි.
ඒ නිසා අපිට හොයාගන්න පහසු අමුද්‍රව්‍ය භාවිතා කරල කිම්චි හදන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි ඔන්න අද සූදානම් වෙන්නෙ.
එහෙනම්, පුරුදු විදිහටම මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
සෝදාගත් චයීනීස් කැබේජ් / නාපා කැබේජ් 01 kg ක පමණ ගෙඩියක්
සිහින්ව දිගට කපාගත් රාබු 125g
සිහින්ව දිගට කපාගත් කැරට් 100g
අඟල් භාගයක හෝ අඟලක පමණ දිගට කපාගත් ලූණු ගස් 04 ක 05 ක කොළ
සුදුලූණු බික් 06 ක්
අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
ෆිෂ් සෝස්
වතුර කෝප්ප ¾ ක්
පාන් පිටි මේස හැඳි 01 ක්
දුඹුරු සීනි මේස හැඳි 01 ක්
මිරිස් කුඩු කෝප්ප ½ ක් ¾ ක් අතර
ලුණු කුඩු කෝප්ප ¼ ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, ගෝවා ගෙඩිය දිග අතට 04 කට පමණ පලාගන්න.
දැන් එහි යට තද කොටස ඉවත් කර අඟලක පමණ කොටු සිටින සේ කපාගන්න. (කපා නොගෙන සම්පුර්ණ කොළය වුනත් භාවිතා කරන්න පුළුවන්)
කපාගත් ගෝවා කැබලි ටික භාජනයකට දමා එයට ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කර පැය 02 ක් පමණ තබාගන්න.
ඒ අතරතුර වෙනම භාජනයක් ලිපතබා එයට වතුර සහ පාන් පිටි එකතු කර මඳ ගින්නේ හැඳිගාමින් පිටි මිශ්‍රණය තරමක් උකුවන තුරු විනාඩි 03 ක් පමණ හැඳි ගා ගන්න.
විනාඩි 03 කට පසු එයට සීනි එකතු කර සීනි දියවුණු පසු මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්න.
ලිපෙන් ඉවත් කරගත් පාන් පිටි මිශ්‍රණය නිමෙන්නට තබාගන්න.
මේ වෙද්දී (පැය 02 කට පසු) ලුණු උරල වතුර වුණල තියෙන ගෝවා වල වතුර පෙරා ඉවත් කරගෙන ගෝවා ටික හොඳින් සෝදා වතුර බේරෙන්නෙ තබාගන්න.
නිමුණු පාන් පිටි මිශ්‍රණය ගෙන එයට කුඩාවට කපාගත් / අඹරාගත් සුදුළූණු, ඉඟුරු, කෑලි මිරිස් කුඩු, ෆිෂ් සෝස් සහ මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර හීනියට කපාගත් කැරට් සහ රාබු එක්කර හොඳින් කලවම් කරගන්න.
දැන් වතුර බේරී ඇති ගෝවා කැබලිත් මෙයට එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඔබ ගෝවා කොළ පිටින්ම භාවිත කරා නම්, සාදාගත් මිශ්‍රණය ගෝවා කොළ මත තවරා ගන්න ඔබට පුළුවන්.
හොඳින් සෝදා වතුර ඉවත්වන තුරු වේලාගත් වීදුරු බෝතලයකට දමා දැන් අපි සාදාගත් කිම්චි ගබඩා කර තබාගන්න ඔබට පුළුවන්.
කිම්චි ඇසිරීමේදී හැන්ඳක් භාවිත කර ගෝවා කොල තදකරමින් අසුරන්නත්, භාජනයේ කට මට්ටම දක්වා පිරෙන සේ කිම්චි අසුරා නොගන්නත් ඔබ සැළකිලිමත් විය යුතුයි.
පැය 36 ක් පිඟානක් මත සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ අසුරා තබා ඉන්පසු ශීතකරණයේ තබන්න ඔබට පුළුවන්.
ඔන්න එහෙනම්, මේ විදිහට කම්චි හදල බලන්න අමතක කරන්න එපා.
මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා