මියුරු පෙම් වසන්තේ – 40

නදීව ගෙදරින් බස්සා මියුරු ආපහු තමන්ගේ ගෙදර බලා ආවේ පුදුමාකාර සන්තෝසෙනි. මෙච්චර ලස්සනට ගෙවිච්ච වෙන සති අන්තයක් ගැන මෑත කාලීන මතකයක් මියුරුට තිබ්බේම නැත. 

තමන් ඉන්නේ සතුටෙන් බව මියුරු දනී. මියුරුට ඕන නදීවත් සදාකලික ආදරයකිනුත් සදාකාලික සතුටකිනුත් පුරවා තබන්නටය. ආදරේ කරන කෙල්ලව හැමදාම සතුටෙන් තියන්න පුලුවන් ඒක තමයි තමන් ලබන ලොකුම ජයග්‍රහණය කියා මියුරු හිතුවේ ඒ නිසාමය. මියුරු ගෙදර එද්දී ගෙදර උන්නේ ක්ලීටස් පමණකි. ධම්මිකා උන්නේ සුපුරුදු විදියට තමන්ගේ සෝශල් සර්විස් වැඩ වලට කොහෙටදෝ යන්න ගෙදරින් පිටවෙලාය.

ඒ නිසාම ඉතින් හිත අස්සේ තිබෙන සන්තෝසය එලියට පෙන්නන්න බයක් මියුරුට තිබ්බේ නැත. සමහර දේවල් ගැන ඕනවට වඩා හාරවුස්සා බලන්නේ අම්මා මිසක් තාත්තා නොවන බව දන්න නිසා තාත්තා විතරක් ඉන්න ගෙදරක හිතේ හැටියට කොල්ලා වගේ ආතල් එකේ ඉන්න මියුරුට පුලුවන් ය.

සිහිල් දියෙන් ඇඟ සෝදා ගනිද්දීත් මියුරු මතක් කරේ නදීවය. මේ සීතල වතුර ඇඟට වැටෙද්දී දැනෙන සීතල හා සමාන සීතලක් හිතට දැනෙන්නේ ඒ ආදරේ උණුහුම හන්දාය. මියුරු තමන්ගේ කාමරයේ එහෙම ආදරණීය සිසිලසකින් නිවෙමින් ඉද්දී ක්ලීටස් උඩ තට්ටුවේ පුස්තකාල කාමරයට වී උන්නේ ගින්නක දැවෙමිනි.

තමන්ගේ පුතා කෙල්ලෙක් එක්ක රවුම් ගහන එක තාත්තා කෙනෙකුට කලබල වෙන්න කාරණාවක් නොවන බව ක්ලීටස් තරම් හොඳට දන්න වෙන කෙනෙක් නැත. තමන් නැතුව ඔය වගේ දෙයක් ඔන්න ධම්මිකා දැක්කා නම් මෙලහකට ඒ කෙල්ල කවුද කියා හොයා බලන්න කටයුතු කරන බව ක්ලීටස් දනී. තමන්ට මෙතන බයවෙන්න තිගැස්සෙන්න හේතුවක් නැති බව කෙනෙක්ට හිතන්න පුලුවන් උනත් තමන් බය වී ඉන්න තිගැස්සී ඉන්න හේතුව දන්නේ තමන් ය.

මියුරු මොන ජාතියක කෙල්ලෙක් එක්ක යාලු උනත් ඒ කෙල්ලව මියුරුට විශ්වාස නම් ඔහුට උපරිම සහයෝගය දෙන්න ක්ලීටස් හිතාගත්තේ මියුරු ඉපදිච්ච වෙලේය. ඒ අතීතයේ හිතට වේදනා අනන්ත අප්‍රමාණයක් අරගෙන ආ ආදරය අහිමි ජීවිතයක වේදනාබර අත්දැකීම් නිසාවෙනි.

ඉඳහිටක පොතක් කියවන ගමන් රස විඳින්න ගෙනා මත් පැන් බෝතලයෙන් ටිකක් වීදුරුවක අඩක් පිරෙන්න පුරවගෙන ක්ලීටස් උන්නේ වෙනදා ඒ මත් වීමෙන් ලැබෙන සැනසීමක සේයාවක්වත් දකින්නේ නැතුවය. වෙනදාට මත් වූ විට මෙනෙහි කරන්නටත්, රහසේම සුවඳ හිතෙන් අතගා බලන්නටත් පුලුවන්කමක් තිබූ අතීතයකට අයිති මුහුණක් මෙවන් කාලයක, එවන් තැනක, තමන්ගේම පුතා එක්ක දකින්න ලැබීම ක්ලීටස්ගෙන් ඒ සැනසීම ඈතට ගෙනයන්නට හේතුවක් වී තිබුණි.

“මියුරු යාලුවෙලා ඉන්නෙ වසන්තගෙ දරුවෙක් එක්කද?” කියා යටි හිත කොඳුරන හඬ ඇසෙද්දී ක්ලීටස් හිතුවේ ඒ හඬ තව තවත් ඇහෙන එකෙන් වෙන්නේ තමන් පිස්සෙක් වෙන එක පමණකි.

වසන්තාත් ක්ලීටසුත් හමුවුනේ නොහිතපු විදියකට නොහිතපු විලාසයකිනි. ඒ දෙදෙනාම දෙතැනක හිර වී උන් හින්දාය. ආදරය නාමයෙන් විඳවීමක හිර වී උන් හන්දාය. වසන්තා ක්ලීටස්වත් ක්ලීටස් වසන්තාවත් ඒ නිසාම දුටුවේ හිත සනසන්න දෙවියන් විසින් එවන ලද ආදරණීය ආශීර්වාදයක් ලෙසිනි.

“මට ඕන නෑ මගෙ අතින් ඔයාගෙ හස්බන්ඩ් ට වරදක් වෙනවට” කියා ක්ලීටස් කිව්වත් “මට ඕන නෑ මගෙ අතින් ධම්මිකාට වරදක් වෙන්න” කියා වසන්තා කිව්වාත් ලොවක ඇස් දහස් මැද්දේ ආදරය කරන්න බැරි හන්දාම වසන්තාටත් ක්ලීටස්ටත් ආදරය හොයන්නට වුනේ ඒ පෙර කී පොරොන්දු බිඳ දමමිනි.

ධම්මිකාව අතාරින්න ක්ලීටස්වත් විල්සන්ව අතාරින්න වසන්තාවත් හිතාගෙන උන් නැති බව ඇත්තකි. අත්සනක් නිසාවෙන් ජීවිතය ආදරයක සේයාවක්වත් නැති නොහිතපු තැනක නතර වී තිබෙන කතාව ඇත්තක් උනත් වසන්තාත් ක්ලීටස්වත් ආදරයෙන් අන්ධ වෙන්න හිතුවේ නැත. ඒත් එකිනෙකා විඳින දුකත්, හදවතේ සියුම් තැනුත් ආදරයෙන් ස්පර්ශ කරද්දී දැනෙන සැනසුම්දායක හැඟීම අමතක කරන්න දෙදෙනාගෙන් එක් අයෙක්ටවත් පුලුවන් උනේ නැත. එකිනෙකා අතාරින්න බැරි ලෙසින් ආදරය දළුලා වැඩුනේ ඒ ලෙසිනි.

“මට වෙලාවකට හිතෙනවා මේ හැමදේම අතෑරලා ඔයාව අරං කොහෙ හරි යන්න” කියා ක්ලීටස් වසන්තාට කිව්වේ එහෙම ලෝකයක ඇහෙන් මිදුණ තැනක සයනයක තුරුලු වී ඉද්දීය. එහෙත් වසන්තා උන්නේ එහෙම අදහසකට හිස නවන තැනක නොවේ.

“මං ඔයාට කොච්චර ආදරේ කරත් මට ඒක කරන්න බෑ මහත්තයා”

“ඇයි ඒ?”

“ධම්මිකා නෝන මහත්තය බලාපොරොත්තු වෙන ආදරේ නොදෙනව වෙන්න පුලුවන්. ඒ ආදරේ මගෙන් මහත්තයට ලැබෙනවා ඇති. ඒ උනාට තව ගෑණියෙක්ගෙ ලෝකෙ විනාස කරල ලබන්න පුලුවන් සැනසීමක් සන්තෝසයක් මම දකින්නේ නෑ මහත්තයා. අපි දෙන්න මේ දැනට කරන්නෙත් ධම්මිකා නෝනට ලොකු වැරැද්දක්. එහෙම එකේ ඒ වැරැද්ද අපි තව දිග්ගසන්නේ මොකටද?” කියා වසන්තා කිව්වේ ඇත්තටමය.

“ඔයාට හිතෙන් ආදරේ කර කර ශරීරෙන් ධම්මිකා ලඟ රැඳිලා ඉන්න මට තියෙන අමාරුව මම විතරයි දන්නෙ වසන්තා”

“මේ ආත්මෙ එහෙම දෙයක් කරොත් ලබන ආත්මෙත් අපිට ආදරේ හන්ද විඳවන්න වෙයි මහත්තයා.ලබන ආත්මෙ එක්කහු වෙන්න හිතන් අපි මේ ආත්මෙ මේ දුක දරාගමු” කියමින් ක්ලීටස්ගේ නිරුවත් පපුවට තුරුලු වූ වසන්තාගෙන් එදා ක්ලීටස්ට දැනුනේ මෙදා මියුරු විඳිමින් උන් නදීගේ ගතින් විහිදුන සමන්පිච්ච මල් සුවඳමය.

ආදරය එදත් අදත් තිබුනේ ඒ සමන්පිච්ච මල් සුවඳ විහිදුවමින් නොපෑහෙන දෙතැනක පිපී සුවඳ සලමිනි.

ලෝකයේ ඇස්වලින් වහං වෙලා තිබෙනවායි ක්ලීටසුත් වසන්තාත් දෙදෙනාම හිතාගෙන උන් තහනම් ආදරයක සේයාවන් ධම්මිකාගේ ඇස ගැටුණේ එවන් කාල සීමාවකය. රණ්ඩු වී, දබර කරගෙන මේ ප්‍රශ්න විසඳගන්න බැරි බව දැන උන් ධම්මිකා ප්‍රශ්නයට ආවේ නොහිතපු විදියකට හීන් නූලෙනි.

වසන්තා තමන්ගෙන් වෙන්ව ගිය හේතුව ක්ලීටස් අදටත් නොදන්නේ ඒ නිසාය. වසන්තාව හොයන්නට කොපමණ උත්සහ කරත් ක්ලීටස්ට යලි කිසිම දිනක වසන්තාව හමුවුනේ නැත. එහෙත් එක්තරා වැසිබර දිනක නොහිතුව විලාසයකින් තවත් වයසක ගැහැණියකගේ අතේ එල්ලී පාර පනිමින් උන් වසන්තාව දැක වාහනයෙන් බැස දුව යන්නට වූ අවශ්‍යතාවය දෙපා තෙක් දිව නොගියේ ඉන්පසුව දකින්නට ලැබුණ දසුන අනුවය.

වසන්තා ඒ කුසේ දරාගෙන උන්නේ තමන්ගේ දරුවෙක්ද කියා නොහිත ඉන්න පුලුවන්කමක් ක්ලිටස්ට තිබුනේ නැත. ආදරය ගැලුවේ සීමා මායිම් විරහිතවය. තමන්ව අතැර දා ආ දිනත් මේ පෙනෙන වසන්තාගේ ඉදිරියට නෙරා ආ කුසත් අතර ගණන් හදාගන්න දරුවන් දෙදෙනෙකුගේ තාත්තෙකු වූ ක්ලීටස්ට බැරිවුණේ නැත.

ක්ලීටස්ට මේ මත් බවෙන් පවා මුදාගන්නට බැරිවුනේ ඒ බයය. ඒ තිගැස්මය.

“මියුරු යාලුවෙලා ඉන්නෙ වසන්තගෙ දරුවෙක් එක්කද?” කියන ප්‍රශ්නයට වඩා ක්ලීටස්ව බියපත් කලේ “මියුරු යාලුවෙලා ඉන්නෙ තමන්ගෙම සහෝදරී එක්කද?” කියන කාරණාවය. 

“එහෙම දෙයක් උනොත් මියුරුට ඇත්ත කියන්නේ කොහොමද? මං මොකද්ද කියන්නෙ? මං උඹල පොඩිකාලෙ උඹලගෙ අම්මව රවට්ටල වෙන ගෑණියෙක්ට ආදරේ කරා. ඒ ගෑණිට මගෙන් දරුවෙක් ලැබෙන්න හිටියා කියන්නද?

එහෙම දෙයක් කියල ආයෙමත් මම කොහොමද මගෙ දරුවන්ගෙ මූණු බලන්නේ?

වසන්තා මේ ගැන දන්නේ නැද්ද?” 

ඒ වනාහී උත්තර නැති ප්‍රශ්න බව ක්ලීටස් දනී. එහෙත් තමන් විසින් ඇතිකරවන්නට යෙදූ, මෙතුවක් කාලයකට අතීතයට පමණක් උරුමව තිබේ යැයි තමන් හිතා හුන් ප්‍රශ්නාවලියක් නිසාවෙන් තමන්ගේ දරුවන්ගේ සිහින ලෝකයන්, බලාපොරොත්තු බිඳ දමන තාත්තෙකු වී ජීවත් වෙනවාට වඩා සියතින්ම ගෙල සිඳ ගන්න එක හොඳ බව ක්ලීටස් දැන උන්නේය.

“මියුරුගෙන් ඒ කෙල්ලට කරදරයක් වෙලා තිබ්බොත් මම මොකද කරන්නේ?”

මත් බව නිසාම නින්ද යන මොහොත වෙනතුරු ක්ලීටස්ගේ හිත පෙලුවේ ආන් ඒ ප්‍රශ්නයයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles