සීත මාරුතේ -62

 කෙල්ලන් ගේ සිනා හඬ පයිනස් කැලයට අරක් ගත් කුරුල්ලන් කලබල කරවා උන් ගේ කූජන කාලගෝට්ටියක් බවට පත් කරන්නට හේතු විය. අප ඒ නිදහසේ ඇවිදින්නට ආවේ ටික කලකට පස්සේ ය. එක පිට එක පැමිණි ප්‍රශ්න නිසාවෙන් නිදහසකට ඉඩක් අපේ හිත් වල වූයේ නැත. කසුනි පේර කපා මිරිස් කුඩු දමා අච්චාරුවක් ලෙස පිළියෙල කර ගෙන පැමිණ තිබුණා ය. අපි ඒවා කමින් පාර අයිනේ බයිසිකල් නවතා ගෙන ඈතින් පෙනෙනා පහළ මිටියාවත දෙස බලා ගෙන කතා කළෙමු.

“ඒක හොඳයි. දැන් තීරණයක් ගන්න පුළුවන්නෙ දෙන්නගෙන් කාවද තෝර ගන්නෙ කියල”

අප්පච්චි කී තීරණාත්මක කතාවත්, අදීශ් කළ යෝජනාවත් යන දෙක ම ගැන මා ඔවුන් දැනුවත් කළේ ඒ වෙලාවේ ය. සැබවින් අදීශ් ගේ යෝජනාව ගැන ගෑනු ළමයින් ට කියනවාද නැත්ද කියා මම දින කිහිපයක් තිස්සේ ම සිතුවෙමි. ඔවුන් අතරින් වැඩිපුර අදීශ් ගැන උනන්දු වූවා සේ මට දැනුණේ නංගී ය. නංගී ගේ කැමැත්ත කෙසේ වී ද දැන් ඇය අදීශ් ට ලං වීම ගැන මසිත්හි පහන් බවක් වූයේ නැත. කවදාවත් ඔහු මා සමග ප්‍රේමයක් ගැන නොදොඩා සිටියා නම් නංගී අදීශ් ව ප්‍රේමවන්තයා කර ගැනීම ගැන මා තරම් සතුටු වන කෙනෙකු නොවන්නට තිබිණ. නමුත් මට පෙම් කළ සිතින් ඔහු නංගී ට කරනා ප්‍රේමයෙහි පූර්ණ බවක් දකින්නට අක්කා වශයෙන් මට නුපුළුවන. ඇය මගේ නංගී ය. මා සේ ම දිනෙක ඇය ද අඩු නැති පූර්ණ වූ ආදරයක් විඳිත යුතු ය. නංගිගේ කුළුඳුල් පෙම් සිතිවිලි දුර දිග යන්නට පෙර  ඇගේ හීනයට කටුවකින් අනින්නට මා පෙළඹුවේ ඈ කෙරෙහි වන අපමණ ආදරයයි.

“මං ආදරේ කළේ එක පිරිමියෙක්ට විතරයි. කොච්චර කොහොම කිව්වත් අෆෙයා එකක් ඇති කර ගන්න තැන ඉඳල සිද්ද වෙන්නෙ ගනු දෙනුවක් කසූ. අපි විතරක් කෙනෙක්ට ආදරේ කරනවනං හරි…අපිට කෙනෙක් ආදරේ කරනවනං විතරක් හරි…ඒ ගනු දෙනුව සම්පූර්ණ වෙන්නෙ නෑ. එතන තියෙන්නෙ ඒක පාර්ශ්වික ප්‍රේමයක්. ඒක සුන්දර වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීන සම්බන්දයක් කන්ටිනිව් කරන්න එකකෙනෙක්ට විතරක් බෑ. ඒක නිසා …ආදරේ කරන්න කෙනෙක් තෝර ගන්නව කියන්නෙ පරිස්සමට කරන්න ඕන දෙයක්”

“හරි ඉතිං…ඔය කොල්ලො දෙන්නම ඔය කියන විදිහට මෙයාටනෙ ලව් කරන්නෙ”

මට ඕනෑ වූයේ නංගිගේ මනසට යම් පණිවිඩයක් දෙන්නට ය. මට ආදරේ කී මිනිසෙකුට නංගී ට ලං වන්නට හැරීම මතුවට කෙබඳු ප්‍රතිඵල උදා කරාවිදැයි නිශ්චිත නැත. ඔහු කවදාවත් එවන් යෝජනාවක් නො කළ සෙයින් අපට සමු ගෙන යා හැක. නමුත් නංගී අදීශ් ට ලං වීම තුළ ඔහු මතුවට ද රැඳෙන්නේ මගේ නෙත ගැටෙනා මානයේ මගේ පවුල තුළ ම ය. නංගී නො දන්නා රහසක් එදිනට අප දෙදෙනා අතරේ කෙසේවත් ඉතිරි වී පැවතිය යුතු නැත.

“මං තාමත් තීරණයක් ගන්නැතුව බලං ඉන්නව. ඒක හොඳම විදිහට වෙයි කියල හිතං. අපි ඒක අමතක කරල දාල දෙයියනේ කියල ටිකක් නිදහසේ ඇවිදිමු”

අප ඇවිද ආපසු එන විට මුණිවර ගේ සේ ම අදීශ් ගේ රිය ද පාසල් කාර්යාලය ඉදිරියේ නැවතී තිබිණ. 

“ආ..ගෑනු ළමයි පොඩි රස්තියාදුවක ගිහින් වගේ නේ..”

අප දුටු අදීශ් දොරකඩට විත් සිනාසී කීවේ ය. නංගී ඉවත බලා ගන්නවා මම දුටිමි. මුණිවර ඇතුළත සිටියත් පුරුදු ආඩම්බරය පෙන්වමින් ඉවත බලා ගත්තේ ය. අපි අදීශ් සමග වචනයක් දෙකක් කතා කොට සමු ගතිමු.

එදා පමණක් නොව ඉන් පසු නිතර නිතර ඔවුහු ගුරුතලාවට පැමිණියහ. අප කඳුකරයට පැමිණි පසු උදා වන දෙවන ආදි ශිෂ්‍ය සුහද හමුවට ඔවුහු සූදානම් වෙමින් සිටියහ. මා මිස්ට් ෆීල්ඩ් වෙත සම්බන්ධ වූ අලුත, පාසල් භූමියෙහි දී ඔහු මා ප්‍රශ්න කළ අයුරු  සිහි වී මගේ දෙතොල් මත මඳහසක් ඇඳිණි. කාලය ගෙවී යන්නේ අසරු වේගයටත් වැඩි ඉක්මනකිනි. එදා මෙදා තුර අපේ ජීවිත මත සිදු වූ දේවල් ඇසුරෙන් පොතක් ලියන්නට පුළුවන. 

එදා රාත්‍රියේ අප නිදි යහනේ සිටියදී නංගී මිමිනිලි හඬකින් ‘අක්කේ’ කීවා ය. බිත්තිය පැත්තට හැරී මගේ ම වූ කල්පනා ලෝකයක උන් මම පොරෝනාවත් එක්ක ම නංගී දෙසට හැරුණෙමි.

“ම්..”

“මට තේරුං ගන්න අමාරු දේවල් ටිකක් තියනෝ අක්කෙ”

“තේරුං ගන්න අමාරු…”

“හ්ම්…ඔයා අදීශ්ට ආදරේද…”

මගෙන් ලොකු සුසුමක් ගිලිහිණ. නංගී මේ වන විටත් මා චපල කෙල්ලක ලෙස දකිමින් සිටිනා බව මට දැනේ. මේ වයසට මා අවබෝධ කොට ගෙන ඇති ජීවන යථාර්ථය ට තව ම ඇය දුර බව ද මම දනිමි. 

“මං අදීශ්ට ගොඩක් කැමතියි. එයා මට හරි ක්ලෝස් වගේ දැනෙනව. එයාව මට මුණගැහෙනකොට මුණිවරට මතක අමතක වෙලා නො තිබුණානං…අපි අතරෙ මේ විදිහෙ ගැප් එකක් ඇති වෙලා නොතිබුණානං…එයා මට යාළුවෙක් විදිහටවත් නො දැනෙන්න තිබුණා. හිත කියන්නෙ හරි පුදුම දෙයක් නංගි. මං කියන්නෑ මගෙ හිතේ මුණිවර ගැන ඇති වෙච්ච ඒ හැඟීම කවදාවත් අදීශ් ගැන ඇති වෙන්න පුළුවන් කියල. එහෙම ඇති වෙන්නෙත් නෑ. හැබැයි වෙනස් හැඟීමකින් එයා මට ලං වුණා කියන එක පිළිගන්නැතුව ඉන්න තරං මට වංක වෙන්නත් බෑ. හැබැයි මුණිවර තාමත් එදා හැඟීමෙන් ම මගෙ හිතේ ඉන්න නිසා අදීශ් ට බෑ කවදාවත් එතනට ලං වෙන්න. හැබැයි මට කවදාවත් මුණිවර මුණගැහුණෙ නැත්තං මං එයාට ආදරේ වෙයි”

“අනේ..මට බය හිතෙනව ඔහොම කියනකොට”

“ඒ ඔයා තාම අපේ හිත් ගැන හරියට දන්නෙ නැති නිසා. පරමාදර්ශී ආදරයක් ගැන අපි මොන කතා කිව්වත් අපේ හිත් එහෙ මෙහෙ දුවන වෙලාවල් තියනව නංගි. එහෙම දුවන හිත් මෙල්ල කරගන්න පුළුවන් කෙනා තමයි දිනන්නෙ. බුදු හාමුදුරුවොත් කියල තියනවනෙ..හැදුවානම් තම හිත හැදුවාමය කියල”

මට දැනෙනා අයුරින් මගේ අවංක හැඟීම මම නංගී ඉදිරියේ විවර කළෙමි. දෙතොල් අතරට මන්දස්මිතයක් ද ඇවිත් තිබුණේ ය. ඒ මා මට ම අවංක වූ බව හෘදය සාක්ෂිය පිළිගත් නිසා ය.

“ඔයා කියන්නෙ ඔයා අදීශ්ටත් ආදරෙයි කියලද…”

“මුණිවරට මං කොහොම පිස්සු වැටිල හිටියද කියල ඔයා දන්නවනෙ…එහෙම ආදරේ කරන්න මැරෙනකල්ම පුළුවන් වෙන්නෙ එයාට විතරක් වෙන්නැති. නෑ නංගි මං අදීශ්ට ආදරේ නෑ. ඒත් මං එයා කතා කරනවට කැමතියි. එතකොට හිතේ පාළු මැකෙනව වගේ. ඒක නිකං අඩුවක් පිරිමහ ගැනීමක් විතරක් වෙන්නැති. යටි හිතට වුණත් දැනෙනව ඇති මුණිවර ගෙ ආදරේ නැති අඩුව. එහෙමයි කියල මං කවදාවත් එයා එක්ක සම්බන්දයක් ඇති කර ගන්නෙ නෑ. අයි මිස් මුණිවර නංගි…අයි මිස් හිම් ලොට්…”

මගේ ඇස් වල කඳුළක තෙත විය. හදවත පහුරු ගාමින් සොයන්නේ ඒ ආදරය ය. නමුත් ආයේ එය නොලැබෙන බව දැනෙත්දී මා කළේ තව තවත් දැඩි වෙමින් මුණිවර ගෙන් දුරස් වී හිඳීමයි. එක අතකට ඒ මගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් මගේ ම යටි හිත විසින් ගන්නා ලද ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් වන්නට පුළුවන. මුණිවර, මට පෙම් කළ මුණිවර අහිමි වූවාය යන මරණීය වේදනාවෙන් මරණයට පත් වීම වලකාලනු පිණිස මම ඒ දුරස් වීම තෝරා ගතිමි. 

“මුණිවරයියට කවදාවත් මතකය ලැබුණෙ නැත්තං…”

“මං එයාව මැරි කරන්න ලෑස්තියි කියල අප්පච්චි ට කියන්න මං හිත හදං ඉන්නෙ. ඒත් මං දන්නව…ඒකත් හිතන තරං ලේසි දෙයක් නෙවෙයි. ගෑනු හුඟක් වෙලාවට කරන්නෙ එක පිරිමියෙක්ට ආදරේ කරල වෙන පිරිමියෙක් බඳින එක නංගි. ඊට පස්සෙ ඒ ගෑනි ජීවත් වෙන්නෙ ඒ පිරිමි දෙන්නගෙන්ම හිස් වෙච්ච ලෝකෙක තනියම. ලෝකෙට පේන්න හිනා වෙලා…දරුවො හදං..ගෙවල් බලං ඉන්නව…ඒත් හිතේ තියෙන්නෙ කවදාවත් පුරවන්න උත්සාහ කරන්නවත් බැරි හිස්කමක්. වෙන කෙනෙක් බැඳල ඒ හිස්කම විඳිනවට වඩා මං ආදරේ කරපු ඒත් මට ආදරේ කරපු බව මතක නැති මනුස්සයව බැඳල විඳගත්තහම මොකද කියන තැනට දැන් මං ඇවිත් ඉන්නෙ”

“අනේ එහෙමනං කරන්න එපා අක්කෙ. එහෙම කරනවට වැඩිය හොඳයි ඔයා අදීශ්ව බඳින්න”

“එහෙම වුණොත් මට දවසක මුණිවර මතක් කරල දුක කිය කිය අඬන්නවත් බැරි වෙයි නංගි. අපේ යාළුකම ඉතුරු වෙන්න ඇරියොත්…මට එයා ළඟ එහෙම කරන්න හරි පුළුවන්”

“අනේ මන්නං ආදරේ කරන්නෑ අක්කෙ”

නංගී එසේ කීවේ මූණිච්චාවට නොව සැබෑ හැඟීමකිනි. මම ඇගේ අතක් අල්ලා ගෙන සිනහවක් පෑවෙමි.

“පිස්සි. එහෙම හිතන්න එපා. ආදරේ කියන්නෙ විඳින්න ඕන සුන්දර දෙයක්. ඇත්ත ආදරයක් වින්දෙ නැති හිතක් හරි පව්”

නිදි ඉරියව්වට එළඹියද ඉන් පසු බෝ වෙලාවක් යන තුරු නංගී සුසුම් හෙළනු මට ඇසිණ. මේ සත්‍ය ඇය ද දිනෙක පසක් කර ගනු ඇත.  එසේ වන්නට දරුණු ප්‍රහාරයක් හදවතට එල්ල විය යුතු බව ද ඇය දිනෙක වටහා ගනු ඇත.

“මං දන්නව ඔයා මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නෑ කියල. ඒ වගේ යෝජනාවක් කරපු පසුතැවීම දැන් මාත් එක්ක තියනව”

පසු දිනෙක අදීශ් කීවේ ය. මම දෙතොල් තද කොට සිනහ වෙන ගමන් බිම බැලුවෙමි.

“අදීශ් කියන යාළුවව මට ඕන. එයාව නැති කර ගන්න මට ඕන නෑ”

“මටත්”

ඒ වූ කලී ඉතා සංකීර්ණ වූ හැඟීම් පොදියක් එකට තෙරපුණ මොහොතක් කියා සිතමි. නමුත් අප අපට අවංක වීම තුළ හිත් වලට මහත් සැනසිල්ලක් දැනෙන්නට ඇත.

“මන්දාකිණීට මට දෙයක් කියන්න තියනව. අම්..අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද…”

ආසන්න දිනෙක මුණිවර මගේ කුටියට විත් මේසය ඉදිරියේ වන පුටුවක් ඇද එහි හිඳ ගත්තේ ය. පපුවට මොකක්දෝ වෙනවා මට දැනිණ. මේ මුණිවරත් මගේ මුණිවරත් අතරේ පාලමක් තනා ගනු නොහී, මම ඉවුරක හිඳ හදවතින් ඉකි බිඳිමින් සිටියෙමි.

(හෙට සිට දින තුනක් සීත මාරුතේ පළ වනු නැති බව ඔබට කිව යුතුව තියේ. ඉතා ආදරයෙන් ඔබ එය වැළඳ ගෙන සිටියදී, රසවින්දනයට සිදු වන බාධාව ගැන අතිශය කණගාටු වන අතර, අඟහරුවාදා සිට යළිත් පුරුදු සෙනෙහසින් සීත මාරුතේ සමග එක් වන ලෙසට ද ඉල්ලා සිටිමි.)

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles