fbpx

ළපෙති මල් -11

“මං ඉව්වේ නෑ.ලොකු මහත්තයා උදේ කෑමට ඉන්න දවසක් නෙවෙයිනෙ අද..”

මුලුතැන්ගෙයට විත් හට්ටි මුට්ටි හඬ නංවන හිමංගි ජයන්තිගේ හඬ ඇසිණ.

“මෙවන් කන්නේ නැද්ද?”

හිමංගි ඇසුවේ ඔලොක්කුවට ය.

“පුංචි මහත්තයා ඕඩරයක් දාගනී..”

ජයන්ති පවසන්නේ සමච්චලයට ය.මේ ගැහැනිය තමන්ට වෙනස්කම් කර පන්නා ගන්නා බොළඳ උත්සාහයක නිරත වී ඇතැයි සිතූ හිමංගිට පහළ වන්නේ සිනාවකි.

“එහෙනම් ඉතින් කමක් නෑනෙ..ජයන්තිත් මොනවහරි ඕඩර් කර ගන්න..”

හිමංගි පැවසුවේ සිනාවකිනි.බඩගින්න තමන්ට නුපුරුදු යැයි මේ ගැහැනිය සිතා සිටින හැඩ ය.විසි පස් වියැති ජීවිතයේ බඩගින්න උහුලා ගත් දවස් මෙතෙකැයි කියන්නට නොහැකි බව හිමංගි සිතී ය.කිරි අම්මා කුස සහ හිත පිරෙන්නට කන්නට දුන්නේ එහෙමත් දවසක ය.බඩගින්න දරා ගත නොහැකිව අසල්වැසි නිවෙස්වල මුළුතැන්ගෙවල් වලට බලහත්කාරයෙන් රිංගන කුඩා දැරියක හිමංගිගේ දෑස් මත ඇදී මැකී ගියේ ය.

“පුංචි මහත්තයා මොනවහරි ඕඩර් කරගන්න.මං අද ඉව්වේ නෑ..”

කෑම මේසයේ හිඳගත් මෙවන්ට ජයන්ති උජාරුවෙන් කියන හඬ අසා හිමංගිගේ කල්පනාව බිඳී ගියේ ය.

“ඇයි?”

මෙවන් අසන්නේ තදිනි.

“අලුත් මනමාලියො උනාම උයන පිහින වැඩ කරන්න එපැයි මහත්තයා.මං ඒකට ඉඩ ඇරියා..”

ජයන්ති කියන්නේ තමන් මෙහි වැටුප් ලබන සේවිකාව වග අමතකම කර දමා ය.

“ජයන්ති, හිමංගි අක්කා මේ ගෙදර සර්වන්‍ට් නෙවෙයි.එයාගෙ ඉවුම් පිහුම් හැකියාවට මාක්ස් දෙන්න කවුරුත් නෑනෙ.තාත්ති එයාව මැරි කරේ ලයිෆ් එක ශෙයා කරගන්න මිසක් එයාට කියල උයෝගන්න නෙවෙයි.මෙතන උයන්නයි ගෙදර වැඩටයි සැලරි ගෙවන්නේ ඔයාට.ඔයා ඒක කරන්න දන් නැත්නම් තාත්තිට කියල අයින් වෙලා යන්න..”

මෙවන් අතිශය කලකිරීම පිරුණු කටහඬකින් එය පැවසී ය.ඊයේ සිරිමා මහත්මිය පමණක් නොව ලීලා පවා ජයන්තිගේ කල්කිරියාව ගැන අප්‍රසාදයෙන් කතා කළ අන්දම සිහි කරමින් තේජන ඒ කතාවට සවන් දුන්නා ය.

“මං නූඩ්ල්ස් එකක් හදල චිකන් හැදුව මෙවන්.ඔයාලා කන්න.ජයන්ති පොඩ්ඩක් රෙස්ට් කරන්නැතෑ..”

හිමංගි කෑම කාමරයට ආවේ කෑම භාජනයක් ඔසවාගෙන ය.මෙවන්ගේ කලකිරීම නිසාම ජයන්තිට රැකියාව අහිමි වී යාදැයි ඇයට සැක පහළ විණ.
රැකියාවක් අහිමි වී යාම සුළුපටු කාරණාවක් නොවන බව හිමංගි දනියි.අම්මා ආගිය අතක් නැතිව ගිය කාලයේ ජීවත් වීමට කිරි අම්මාත් ඇයත් දැරූ ප්‍රයත්න ගැන සිතන්නටවත් හිමංගි කැමති නැත.

“එයා අසනීපෙකින් නම් කමක් නෑ..මේක වෙන සෙල්ලමක්නෙ.එයා ආච්චම්මා වෙන්න යනවා..”

මෙවන් එසේ කියද්දී හිමංගි හිනැහුණා ය.

“ඕකත් එක විදියක ලෙඩක් තමයි මෙවන්..”

හිමංගි ආපසු කාමරයට ගියේ උදෑසන ආහාර ගත් තරුණයන් නැවත උඩු මහලට ගිය පසු ය.ඔවුන් නෙට්ෆිල්ක්ස් හි ප්‍රියතම ටෙලි කතා මාලාවක් බැලීමට කතිකා කරගන්නා අන්දම ඇය අසා සිටියා ය.අතීතයේ මෙන් මන්දාරාගේ මිතුරිය පමණක් වූවානම් එතැනට එක් වන්නට තිබිණ.නමුත් දැන් තමන් ඔවුන්ගේ සුළු මව ය.

කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් හුන් හිමංගිට රහල්ගේ පුස්තකාල කාමරයට යන්නට සිත් විණ.ඇය නිවසේ තෙවැනි මහලට ගියේ එනිසා ය.
පුස්තකාල කාමරයේ වීදුරු දොර විවර කරද්දී මුල්ම වතාවට මන්දාරා හා එහි පැමිණි අන්දම ඇය සිහි කළා ය.

“පොත්වලට කිසිම ආදරයක් නැති මිනිස්සු මෙතනට එනවට තාත්ති ආස නෑ.ඔයාව බුක් ෂොප් එකකට එක්කන් ගියත් පිස්සුවෙන් දඟලන හැටි මං දැකල තියනවනෙ.ඒකමයි එක්කන් ආවේ..”

මන්දාරා එසේ කියා බීන් බෑගයක් මත ඇද වැටුණු අන්දම හිමංගිට දැන් පවා සිහි කළ හැකි ය.

“මට හීනයක් වගේ මන්දි.අනේ මටත් ආසයි මෙහෙම ලයිබ්‍රි එකක් හදා ගන්න..ඔයා පුංචි කාලේ ඉඳන් පොත් කියවන්න ඇති නේද?”

හිමංගි එදා මෙහි ඒ මේ අත ඇවිද්දේ උමතුවෙනි.

“ඉන්නකො මං ඔයාට අපි පුංචි කාලේ කියවපුව පෙන්නන්න ” මන්දාරා එසේ පවසා රාක්කයකින් පිටතට ගත් ළමා සාහිත්‍ය කෘති දෙස හිමංගි බලා සිටියේ වේදනාවෙනි.ගමේ යමක් කමක් ඇති නිවසක දරුවන් සතු ඇති පොත් කියවීමට ඉල්ලන විට ඔවුන් එය ප්‍රතික්ෂේප කළ අන්දම හිමංගිට අමතක ව නොයේ.

එදා තමන් ලොබ බැන්දේ මේ ජීවිතය තමන්ගේ කර ගන්නට ය.අහිමි වූ අතීතයක වේදනා වර්තමානයෙන් හෝ පියවා ගන්නට සැලසුම් සකස් කරන්නට තමා ක්‍රියා කළ ආකාරය චිත්‍රපටයක් සේ හිමංගිට සිහි කළ හැකිය.

තමන්ගේ ළමාවිය ළමා විය අහිමි වූයේ එක් පිරිසකගෙ වරදිනි.නමුත් එහි දඬුවම මන්දාරාට ය.

හිමංගිට තමන් ගැන අප්‍රසාදයක් හට ගන්නට පටන් ගත්තේ මන්දාරාගේ සුන්දර මිතුරුකම සිහි වෙද්දී ය.

“මට ලෝකෙ තියන හොඳම දේවල් හම්බුණේ තාත්‍තාගෙන්..”

මන්දාරා නිතරෝම කියන්නට පුරුදු වූ වැකිය නොතිබුණානම් මේවා මේ ආකාරයෙන් සිදු නොවන බව හිමංගි සිතුවා ය.ජීවිතය ඇයට අම්මාගේ උණුසුම මඳ කලකට හෝ ලබා දුන්නා ය.නමුත් තාත්තා කියන්නේ නොදන්නා චරිතයකි.

“කෝ කිරියම්මෙ මගෙ තාත්තා.”

ඒ ප්‍රශ්නය අසන්නට අම්මා නැති නිසා ඇය කිරියම්මා විමසුවේ ළදැරියක කාලයේ සිට ය.

“උඹේ අප්පා මොකාද කියල උඹේ අම්ම දන්නෙත් නෑ..”

මැහැල්ල ඉන්පසු අසභ්‍ය වචන මාලාවක් ඇද දමන අන්දම සිහි වද්දී පොත් රාක්කයක ලී මතුපිටෙහි හිස හප්පාගන්නා තරමේ කෝපයක් හිමංගිට මතුව එයි.

“ඒ නාකිච්චි හරියට හිටියනම් අම්මට ඔහොම වෙන් නෑ කෙල්ලෙ..”

කඩේ ගෙදර නැන්දා හිමංගිට එවගක් පැවසුවේ වතාවක් දෙකක් නොවේ.දහස් වාරයකි.ආදරය කියන වචනයේ තේරුමක්වත් නොදන්නා අප්‍රසන්න මැහැල්ල සම්බන්ධයෙන් කෝප ගන්නට හිමංගිට ඒ වචන ද හොඳ ඉන්ධනයක් විණ.

අම්මාගේ ආදරය ද තාත්තාගේ සේයාවක් ද නොදැන උස්මහත් වූ කෙල්ලක මෙවැනි විසල් නිවෙසක අයිතිකාරිය වූ කතාව ලියා තබන්නට වටිනා එකක් බව ඉනික්බිති හිමංගි සිතුවා ය.

ඒ ගමන එද්දී විඳදරා ගත් තාඩන පීඩන අවසානය සැපයෙන් කෙළවර කර ගන්නට ඇය සිතූ බව සත්‍යයකි.නමුත් ආදරය ගැන හැඟීමක්වත් නැතිව හැදී වැඩුණු කෙල්ලකට විවාහයෙන් පසු හෝ ආදරයක් අවශ්‍ය බව ද හිමංගි දනියි.
කාර්යබහුල රහල්ට ලංකා මෙන් තමන්ද මඟ හැරෙන්නට ගතහොත් අම්මා ගිය මඟම යන්නට වේදැයි ඇය සිතුවේ බියෙනි,සැකයෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x