ආකාස මෝස්තර – 11

අඹ කොළ සිලි සිලිය හමමින් තිබිණ. දෙමිතුරියෝ – පාරුල් සහ උමා, ලෑලි බංකුව මත ලංව හිඳ කුටු කුටු ගෑවේ ගඟුල් විජයවීර පිළිබඳව ය. සාමාන්‍යයෙන් ඔවුන් දෙදෙනා අතරේ කවදත් රහසක් තිබුණේ නැත. අනිත් අතට ගඟුල් ගැන තබාගන්නට තරම් රහසක් ද නැත. එබැවින් උදයේ ඔහු පුස්තකාලයට පැමිණි සිදුවීම පාරුල් උමාට අකුරක් නෑර කීවා ය.

“කොල්ල එන්නෙ වත්තෙ මිනිස්සු ගැන ආදරෙංද නැත්තං පාරුල් දෙව්රූ ගැන හිතක් පහළ වෙලාද කියලයි මං මේ හිතන්නෙ”

සියල්ල අසා සිටි උමා උගුරට නො දැනී කියා දැමුවේ අඹ අත්තක කූඩුවක් හදනා කපුටෙකු දෙස බලාගෙනයි.

“ඒ… යි… එන්නෑ හරිද ඕන්නැති ඒව කියන්න”

පාරුල් උමා ගේ ගෙල පාමුලින් අල්වා හෙලවූවා ය. කිති ගැන්වී උමා හඬ නගා සිනහ වූවා ය.

“ඇත්තටම නැත්තං මේ යෝදයට මේ හදිස්සියෙ අපි ගැන ඇති වෙච්ච කැක්කුම මොකද්ද…”

“එයා කොහෙද මාව නටවන්නෙ… මං හොඳ සිහියෙං ඉන්නෙ. මාත් එක්ක සෙල්ලං කරන්න බෑ කියල දැනටමත් එයා තේරුං අරගෙනයි ඇත්තෙ”

“ඔයිට වඩා වැඩ දාපු නංගිලවත් ඔය දේශපාලන අයියල අල්ලෙ නැටෙව්ව කියල හිතෙන්නැද්ද…”

“හැබැයි කොල්ල බය වුණා. ඔයා මට ඔහොම බණිනකොට වටේ ඉන්න අය හිතයි මං ඔයාට ලොකු වරදක් කරලයි කියල කිව්ව විදිහ මාර ස්වීට් අප්ප. හැබැයි කොල්ල වැඩිය තැලිල පොඩිවෙලා නෑ”

උමා පාරුල් දෙස බලා උන්නේ ගිලගත් අඩ සිනහවකිනි. ඇගේ ඒ ඉරියව්ව වෙනසක් ව දැනුණෙන් පාරුල් කතාව නතර කොට මිතුරිය දෙස එක එල්ලේ බලා සිටියා ය. උමා ගේ සිනහව පුපුරා ගියේ එවිටයි.

“පිස්සුද නැත්තං හැටිද…”

“ඒ ගමන මෙයා වචන දහයක් කතාකළොත් පහක්ම ගඟුල් ගැනයි කියල හිතෙන්නෙ මට විතරද…”

“උඹට මම…”

පාරුල් උමාව කිතිගන්වන්නට වූවා ය. උමා සිනහ වෙමින් පාරුල් ගෙන් බේරෙන්නට තැත් දැරුවා ය.

“මොකද මොකද කෙල්ලනේ මේ උඹලගෙ සිරික්කිය… මුං දෙන්න ඇච්චියො කාලෙ ඉඳංම මුල්ලක් අල්ලං කුටු කුටු ගගා කැකිරි පලන එකනෙ කළේ…තාමත් ඉවර නෑ”

රිදී ගේ උදව්වට රෙදි කාමර පැත්තට ගොස් සිටි ජුලී, චන්දුල එන්නට පෙර තේ පිළියෙල කරන්නට ගෙදර එන ගමන් මිදුල මැද නතර වී කීවා ය. කෙල්ලෝ දෙදෙන නැවත ද සිනහ වෙන්නට ගත්හ.

“මේ… වෙන්ඩ මන්ත්‍රී කිව්වෙ නැද්ද ඊයෙ මොකද නැට්ට ගිනිගත්ත හනුමන්තා වගේ දිව්වෙ කියල… හදන්න කියපු තේ එකවත් නොබී…”

“මං අහන්න ගියෙ නෑ. හැබැයි මෙහෙම දෙයක් එයා කිව්ව”

“කොහොම දෙයක්ද…”

“ඔයා ඩොක්ට කෙනෙක් වෙන්න ඉන්න නිසා… ඉස්සර මොන පොරොන්දු දීල හිටියත් ශාරුක් වගේ කෙනෙක්ව බඳින එක ගැලපෙන්නෙ නෑ නේද කියල”

“මුරුගන්! ඒ කියන්නෙ අර ශාරුකා කියන්නැති මිනිහ තමයි ඔයාව බඳින්න ඉන්නෙ කියල”

“හ්ම්. ඒ වගේ”

“ඉතිං පාරු ඒක හරිගැස්සුවෙ නැද්ද…”

“ම්හු”

“ඇයි…”

“එයා කොහොම ඒ ගැන හිතාගත්තත් මට වැඩක් නෑනෙ උමා. මොකෝ මං ශාරුක්ව නොබැන්දයි කියල එයාව බඳින්නයැ. ඔන්න ඔහෙ ඕන දෙයක් හිතාගත්තදෙන්”

“එහෙනං තේ නොබී ගිය එකයි ඕකයි අතරෙ සම්බන්ධයක් තියනවම තමයි. කොල්ලට අපේ දොස්තර නෝන පිළිබඳ හිතක් පහළ වෙලා වගේ”

“දොඩවන්නෙපා බං. උං මේ වත්තෙං රෙදි හෝදන පවුලක කෙල්ලෙක්ව බඳින්නෑ. හැබැයි අපේ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකක් කඩාගන්න එහෙම අදහසක් තියනව කියල පෙන්නන්න වුණත් පුළුවන්. මං ඕවට අහුවෙන්නෑ”

උමා ඊට වැඩිය කිසිත් නො කියා සිටියා ය. පාරුල් කියන්නේ අනාගතය දිවැසින් දැකිය හැකි ඉවක් ඇති කෙල්ලක බව උමා තරම් දන්නා කෙනෙකු නැත.

පාරුල් කී දේවල් ගැන ගඟුල් මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කළේ ය. ඔහු ට තමන් ද අයත් වීමට යන දේශපාලකයන්ගේ කුලකය ගැන අවංක ලැජ්ජාවක් දැනෙන්නට ගති. පාරුල් කියන්නේ රෙදි සෝදන වත්තක ඉපදුණු දැරියකි. වසර සිය ගණනක් තිස්සේ ඇගේ පරම්පරාව මහා සමාජයෙන් කොන් වී හුදෙකලා වී තිබේ. පාලන බලය රැඳී තිබුණේ ඔහු ගේ පියා වන් මිනිසුන් අතේ ය. ඔවුන් බෝ කලක් තිස්සේ මැතිවරණ සමයේ දී ඡන්ද ගොඩ වැඩි කරගන්නට ඒ වත්තට ගොස් තිබේ. නමුත් ඒ ගෙවල් වල තත්වය අන්තිම අබලන් ය. ඔවුන් ගේ රැකියාව කරගෙන යන්නට පහසුකම් ලබා දී නැත. කොටින් ම රජයකින් එවන් ජන සමූහයක් වෙනුවෙන් ඉටු විය යුතු මූලික අවශ්‍යතා ඉටු වී නැති තරම ය. එතැන ජීවත් වන අතිශය බහුතරය අහිංසක නූගත් මිනිසුන් වේ. නමුත් පාරුල් වැනි අතලොස්සක් ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය ගැන මනා අවබෝධයකින් සිටිනු ඇත. ඕනේ නම් ඇය වෙනුවෙන් නිවසක් ලබා දී ඔවුන් ගේ පවුලට ජීවත් වන්නට වඩා හොඳ තැනක් ලබා දෙන්නට යෝජනා කරන්නට පිළිවන. නමුත් පාරුල් යනු එහෙම පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් වත්තේ මිනිසුන් වෙනුවෙන් කතා කළ යුවතියක නොවන බව ගඟුල් ට සහතික ය. තව ටික කලකින් වෛද්‍යවරියක ලෙස පත්වීම ලැබීමෙන් අනතුරුව ඇයට වත්තෙන් අභිනිෂ්ක්‍රමණය කළ හැක. ඒ ගැන සැකයක් නැත. එබැවින් සුවයක් අත් කොට දිය යුත්තේ සමස්ථ වතු ජනතාවටයි. ළමයින්ට පොත් ටිකක් හෝ වැඩිහිටියන්ට සෙවිළි තහඩු ටිකක් ලබා දීමෙන් ඒ ගැටළු විසඳිය නො හැකි බව දැනටමත් ගඟුල් ට වැටහී යමින් තිබේ. ඔවුන්ට අවශ්‍ය වඩා හොඳ ජීවන තත්වයකි. මුලින් ම, ඒ අහිංසක හදවත් වල පරම්පරා ගණනක් තිස්සේ පිළිකාවක් සේ ඔඩුදුවා ඇති හීනමානය දුරු කළ යුතු ව තිබේ. ඔවුන් ද මේ සමාජයේ ම කොටසක් බවට අභිමානයක් ඔවුන් ගේ හිත් වල පැලපදියම් කළ යුතුව තිබේ. පාරුල් ගේ ද අදහස පරිදි එය පහසු කටයුත්තක් නොවේ.

“අඩු ගානෙ කිට්ටුව හදපු ෆ්ලැට් එකේ ගෙවල් මේ වත්තෙ මිනිස්සුන්ට බෙදල දෙන්න පුළුවන්නං… මූලික මිනිස් අවශ්‍යතාවක් වෙන ගෙයක් කියන එකවත් ඒ මිනිස්සුන්ට ලැබෙනවනෙ. දැන් ඔය එක ගේක පවුල් හත අට ඉන්න මිනිස්සුන්ගෙ පවුල් වලට වෙන වෙනම අත පය දිගඇරල ජීවත් වෙන්න වෙන වෙනම ගෙයක් දෙන්න පුළුවන්නං…මං කියන්නෙ ඒකට සුදුසු වැඩපිළිවෙළක් යොදල සුදුසු අයව තෝරල. මට හිතෙන්නෙ මේක වෙන්න ඕන ඡන්දයක් බලාගෙන නෙවෙයි… ඒක රජයක වගකීමක් හැටියට සලකලයි වෙන්න ඕනෙ”

පාරුල් ගේ ඉලක්කයක් සහිත දුරදක්නා වචන ගඟුල් ගේ සවන් තුළ ප්‍රතිරාව නැගේ. ඔහු මේ ගැන සිය පියා වන සුරත් සමගින් කතා කළේ ය.

“පිස්සුද… ඒ ෆ්ලැට් එකේ ගෙවල් දෙන්න දැනටමත් කීදෙනෙක් ඉන්නවද… අපේ පාක්ෂිකයන්ට අපිට උදව් කරන මිනිස්සුන්ට ඕකෙං ගෙවල් දෙන්න අපි පොරොන්දු වෙලයි ඉන්නෙ. හරි ඉතිං ඉලෙක්ශන් කැම්පේන් එකක් විදිහට ගඟුල් ඒ පොරොන්දුව දුන්නට කමක් නෑ. මොකද මේ කැම්පේන් කාලෙ අපි දෙන හැම පොරොන්දුවක්ම ඉෂ්ට කරනව කියලයෑ… ජනතාව දන්නව ඡන්ද පොරොන්දු මළාට ඉෂ්ට කරන්නෑ කියල.  උං ඒව ගැන පස්සෙ අපෙං අහන්න එන්නෑ”

එසේ කියා සුරත් හඬ නගා සිනහ වන්නට වූයේ ය. නො රිස්සුමක් දැනුණ ද ගඟුල් කර බා ගත්තේ ය. රාජ්‍ය පාලනය කියන්නේ දැන් තනිකර ම පැටළුණ නූල් බෝලයක් වූ දෙයකි. නැත්නම් බොර වූ කළල් දියක් වූ දෙයකි. කොනක සිට මේ අවුල් ලිහාගෙන, වැරදි හදාගෙන ගමනක් යන එක පහසු නැත. ඇතැම් විට කරන්නට බැරි ම දෙයක් විය හැක. දේශපාලනය යනු දූෂණයටත් භීෂණයටත් පහසුවෙන් ම පැවතිය හැකි තැන ය. අවංක මිනිසුන් එක්කෙනෙකු දෙදෙනෙකු හිටියා කියා පලක් නැත. බහුතර බලපෑමට යටත් වී පලා යන්නට හෝ අවනත වන්නට ඔවුන් ට සිදු වේ. සටන් කරන්නට පිරිස් බලයක් හෝ තිබිය යුතු ය. ඒ අනුව ලොන්ඩරි වත්ත වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට මානුශීය මෙහෙයුමක් දියත් කිරීම කියන්නේ ම උඩුගං බලා පිහිනීමට උත්සාහ කිරීමක් විය හැක.

“ඒත් කමක් නෑ. පාරුල් වෙනුවෙන් ට්‍රයි කරල බලන්න හරි මං කැමතියි. හැබැයි ඒකට බලය ඕනෙ. බලය ගන්නනං   හොඳ මනාප ගාණක් අරගන්නම ඕනෙ”

 බලවත් අධිෂ්ඨානයකින් යුතුව ගඟුල් තමන්ට ම අවධාරණය කළේ ය.

ප්‍රථම පියවර වශයෙන් ඔහු පාසල් උපකරණ බෙදා දීම සඳහා සූදානම්කොට ගත්තේ ය. ගෙවල් වල ඉන්නා ළමයින් ගේ නම්, වයස් හා ඔවුන් පාසල් වල ඉගෙන ගන්නා පන්ති වල ලයිස්තුවක් පාරුල් විසින් ගඟුල් ට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරනු ලැබුවා ය. ඊට සංඛ්‍යාලේඛණ ලබාගැනීම සඳහා ඇයට උමා සමගින් වත්තේ ගෙයක් ගානේ යන්නට සිදු විය. මීට චන්දුල විරුද්ධත්වය පෑවේ ය.

“තමුසෙ චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑනෙ… ඒක නිසා සමාජ සේවය ඕන නෑ. තමුසෙගෙ පාඩං වැඩක් බලාගන්නව. ඒව අදාල අය කරගනී”

“අදාල අය අපිමනෙ අයියෙ”

පාරුල් විමුක්ති අරගලයක නියමුවරියක වාගේ දීප්තිමත් ඇස් බබලවා කීවා ය.

“මේක අපි ඉපදුණ වත්ත.. අපේ මිනිස්සු ඉපදිල මැරුණ වත්ත.. මේ මිනිස්සුන්ට චූටිහරි විමුක්තියක් උදාකරල දෙන්න අපිටයි ලොකුම ඕනකම තියෙන්න ඕනෙ. අපිත් අපේ මිනිස්සු ගැන හිතන්නැතුව අපි ගැන විතරක් හිතල මෙතනින් එතෙර වෙලා යන්න බලනවනං… පාලකයො අපි ගැන හිතයි අපි ගැන බලයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද …”

චන්දුල ට අකමැත්තෙන් වුව එදා නිහඬ වන්නට සිදු විය. පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයට සමගාමී ව දරුවන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වන්නට ද ගඟුල් සැලසුම් කොට තිබුණේ ය. එය සුවිශේෂ සංග්‍රහයකි. වත්තේ ළමයින්ට නිතර කන්නට නො ලැබෙන හොඳ ම තත්වයේ කෙටි කෑම වර්ග ගණනාවක්, ජංගම රථ තුළ ඒ මොහොතේ ම පිස කැමැත්ත පරිදි ඔවුන්ට කෑමට අවස්ථාව උදා කොට දීම ඔහු ගේ අදහස විය. ළමයින් ව එක් රැස් කෙරුණේ විශාල රෙදි වේලන අවකාශයට ය. ඔවුන්ට කෑම බීම වලින් සංග්‍රහ කොට, නම කියා හඬගසා පාසල් උපකරණ පාර්සලය ලබා දී, විනෝද ක්‍රීඩා කිහිපයක නියැලෙන්නට ද අවස්ථාව සලසා දෙන ලදී.

ඒ හැන්දෑවේ අහස විචිත්‍ර හා වෛවර්ණ බතික් මෝස්තර සළුවක් හැඳ සිටියේ ය. වත්තේ වැඩිහිටියෝ ඈතට වන්නට කාණ්ඩ ගැසී බලා සිටියහ. පාරුල් ද විශ්ව විද්‍යාලයේ සිට හැකි ඉක්මනින් ගෙදර විත් උමා සමගින් රෙදි කාමර පෙළ අසලට වී මේ කදිම මොහොත මත නෙතු දල්වාගෙන සිටියා ය. ඇගේ මුවග නිමක් නැති මඳහසක් පදිංචි වී තිබිණි. සිය ළමා වියෙහි දුෂ්කර මතක කැබලිති නොකඩවා සිත්හි එහෙ මෙහෙ වූයේ ය. මේ වගේ පුංචි සාදයකට ඇගේ ළමා වියෙහි දී ඇය කවදාවත් සහභාගී වී නැත.  වත්තේ මිනිසුන්ට එහෙව් අරුමෝසම් ජීවිත කතා ඇත්තේම නැති තරමි. නමුත් අද මේ දරුවන් හෝරා කිහිපයක් හෝ සතුටෙන් සිටියහ. ඒ ඔවුන් හැම කෙනෙකුට ම සිය කුඩා ජීවිත කාලයෙහි ලැබුණු හොඳ ම මොහොත බවට සැකයක් නැත. රස ම භෝජන සංග්‍රහය බවට ද සැකයක් නැත. හොඳ ම ඇඳුම් හැඳ නො සිටිය ද ඒ මුහුණු වල ඇඳී තිබුණේ ලොකු සිනහවන් ය. වැඩියෙන් ම පාරුල් ගේ සිත් ගත්තේ අන්තිමට ගඟුල් විජයවීර විසින් කරන්නට යෙදුණ කෙටි කතාවයි.

“ඕගොල්ලොන්ට තියන අඩු පහසුකම් වලින්හරි හොඳට ඉගෙනගන්න බලන්න. ඕගොල්ලොන්ගෙ වරදක් නෑ. ඕගොල්ලොන්ට ලස්සන ජීවිතයක් උදා කරල දෙන එක වැඩිහිටි අපේ වගකීමක්!”

පාරුල් ගේ ඇස් වලට තෙතමනයක් දැනිණ. ඇය උමාටවත් නො පෙනෙන්නට ගවුම් උරහිසෙන් ඇස් වල තෙත මාත්තු කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles