දොලොස්වන නෙත් සේයාව
චත්‍ර තමා පසුපස හඬමින් එන සිහිනිව නොතකමින් පඩිපෙල බැස්සේය. සිහිනිගේ හඬින් අතුකෝරල යුවලද සාලයට පැමිණියහ. චත්‍ර උන්නේ දුර ගමනකට සැරසීගෙන බව පෙනුනේ ඔහුගේ එක් අතකින් එල්ලෙමින් තිබුන ගමන් බෑගය දුටු විටය,
” ඒ පාර මොන නාඩගමක් නටන්නද තමුන් .. යන්තම් අර ඕ අයි සී ගේ සිද්දිය ය කතා කරලා ඉවරයක් කල ගමන් .. අහිංසක කෙල්ලෙක් …..”
අතුකෝරල මහතාගේ හඬ වෙවුලා නැවතූනේය. චත්‍රගේ දෑස් ද විසල්ව ගොස් තිබුණි.
” උඹ ඔය කොහේ යන්නද චත්‍ර …”
“ම ..මම .. සතියකට විතර පොඩි හාමුදුරුවෝ ළැඟට ගිහින් එන්න කියලා අප්පච්චී ….”
චත්‍ර කීවේ අතුකෝරල මහතාගේ වැඩිමහල් සොයුරාගේ බාල පුතා පිළිබඳවය. ඔහු භාවනායෝගී ජීවිතයකට ප්‍රියව, පසුව ලෞකික ජීවිතය අතැර ආරණ්‍යවාසීව සිටින ස්වාමීන් වහන්සේ නමකි. චත්‍ර ට දෑවසරක් වැඩිමහල් ඔහු ගිහිගෙයින් නික්ම දැන් වසර පහකි. සන්ධ්‍යා වහා චත්‍ර අසලට ආවාය. මෙවෙලෙහි චත්‍ර දෑස් මානයෙන් එපිට හිඳීම දරා ගත නොහේය.
” මං පොඩි හාමුදුරුවෝ දීලා තියෙන නම්බර් එකකට කතා කලා අම්මේ…. ගිය සතියේ කන්දෙන් පහලට වැඩලා නෑ .. මේ සතියේ අනිවාර්‍යෙන්ම ඒවි කිව්වා… ලොකු හාමුදුරුවන්ට ඔනෑ බෙහෙත් ගෙනියන්න එනවලු ටවුමට ….”
“අනේ රත්තරං පුතේ .. මෙවෙලේ යන්න ඕනි ගමනක් නෙවෙයි නේද ඔය ..”
චත්‍ර අම්මාගේ හිස සිම්බේය. ඇය මේ පෙන්වන ආදරය මහා බරක් ලෙස දැනෙන්නේය මේ ආදරය යට තමා නමින් ඉපදෙන ලැජ්ජාවක්ද ඇයට දැනෙනවා විය යුතු නොවේදැයි චත්‍රට සිතුණි. චත්‍ර අතුකෝරල මහතා අසලට ගියේ බෑගය පඩිපෙල අසල බිම තබමිනි.
” අප්පච්චී .. මට නොමිනේශන් දෙන්න එපා කියලා අප්පච්චී කිව්වත් මං තරහ වෙන්නේ නෑ.. මට ඒක අයිති නැත්නම්, මට එපා …. මං හෙමින් සැරේ පාරක් හොයන්නම් …. මං ආයේ එද්දී මොක වෙලා තිබුනත්, මං ඒක බාරගන්නවා අප්පච්චී … අවිශ්ක මට ගැහුවා නම්, බැන්නා නම් මං මේ ගමන යන් නෑ අප්පච්චී … ඌ මාව බඳාගත්තම මට දැනුන දේ මට කියාගන්න තේරෙන්නේ නෑ අප්පච්චී ..මට තේරෙන්නේ නෑ අප්පච්චී … මං .. මං .. අයත්මාට ….”
චත්‍රගේ කතාව එතැනින් නවත්වන්නට අතුකෝරල මහතා ඉඟි කලේය. ඔහු චත්‍ර දෙස බැලුවේ කොහොමටවත් නිවුන හැඟීමකින් නොවේය.
” ආයේ ඒ කෙල්ලගේ නම මේ ගෙදර කියන්න තහනම් උඹට .. උබ ඒ අහිංසක කෙල්ලගේ ජීවිතේ අපායක් කලාට පස්සේත් ඒ කෙල්ල ගැන මොකවත් කියන්න උඹට අයිතියක් නෑ… .. ඒ නැතත්, ඒ කෙල්ල තමන්ගේ ජීවිතේට වුන පාඩුව දරාගෙන හංගගෙන ජීවත් වෙන එක තෝරගත්තා නම්, උබ ඒ ගැන ආයේ කොහේදිවත් කියන්න ඕනිම නෑ …”
අතුකෝරල මහතා එලෙස පවසද්දී, චත්‍ර හිස සලුවේය. ඒ පැවසූව අවබෝධයෙන් අවධාරණය කර ගත් වග පෙන්වමින් හිස සැලුවේය. දැන් කිසිවක් නිවැරැදි කරන්නට උත්සාහ කිරීමම පලක් නැති වග ඔහුට වැටහේ. සත්‍ය වශයෙන්ම පැවසූයේ කුමක්දැයි පැහැදිලි කරන්නට උත්සාහ කිරීම අම්මලා දකින්නේ තම බියපත් උමතුවක් ලෙසින් වග ඔහුට වැටහේ.
” කපිල .. කියන තැනකට ඇරලවලා වරෙන් ….”
අතුකෝරල මහතා ඉන් පසුව කීවේය.
” ටව්න් එකෙන් දාන්න .. මම හයිවේ සීට් එකක් බුක් කරගත්තා .. හයේ බස් එකේ …”
සිහිනි චත්‍රගේ අතින් අල්ලා ගත්තාය. ඇයට අයියාගේ අත හැමදාකම දැනුනේ උණුසුම්වය. අයියා හැමදාකම පෙනුනේ මහ ලොකුවටය. එහෙත් අද අයියා සීතලය. ඔහු විසින්ම ඔහු කුඩාවට පෙන්වන්නට උත්සාහ දරමින් හිඳී.
” අයියේ ….”
“මට සමාව දෙන්නෙපා චූටි … දැන් කිසි දෙයක් හදන්න බෑ ….”
තමා අතින් අයත්මාට නපුරක් වුවද, එය සිහිනි සහ අම්මලා සිතා සිටින ආකාරය නොවන වග පැහැදිළි කරන්නට කිසිම ඉඩක් නැති වග යළි සිහි කරගනිමින් චත්‍ර කීවේය. රැය පුරාම එය කියන්නට ගත් සියලු උත්සාහයන් අම්මා සහ නංගී පිළිගත්තේ තම කලබලය සහ කම්පනය නිසා මරු කියවීමක් ගන්නා ලෙසය. එය අදද , හෙටද, අනිද්දාද කියාද වෙනසක් ණැති වග ඔහු දනී. ඔහු යලි යලි ඉන් විස්සෝප වෙමින් උන්නේය.
” කෝල් එකක් දෙන්න අයියේ පොඩි හාමුදුරුවෝ හමු වුනාම .. අඩුම පේරාදෙණියෙන් බැහැලා වත්….”
චත්‍ර හිස සැලුවේය.
” මම අයත්මාව බලන්නම් .. එයා ලඟින්ම ඉන්නම්… “
සිහිනිට හැඬුණි. ඇය අයත්මාට එතරම් කැමති නොවූ බව චත්‍රද දනී. සිහිනි අයත්මාව දැක්කේ ආඩම්බරකාරියක ලෙසින් ය. දැන් ඇයද අයත්මා දෙස බලමින් ඇය රකිනු ඇත. චත්‍ර සිහිනිගේ හිස මත දකුනත තබා හිස සැලුවේය.
” අයියේ …”
” මං ගිහින් එන්නම් චූටි.. අම්මවයි අප්පච්චිවයි බලාගන්න … කපිල එක්කම යන්න එන්න …”
“හ්ම්ම් ..”
චත්‍ර කැබ් රියට නැඟුනේය. ගෙවුන රැයේ අයත්මා ඒ අසුනේ වැතිර හුස්ම අල්ලමින් උන් අයුරු සිහිව චත්‍ර තිගැස්සුනේය. මොහොතක ගැඹුරු හුස්මකින් ඔහු සැහැල්ලු වෙන්නට උත්සාහ කලේය. කපිලට චත්‍රව පේරාදෙණියෙන් බස්සවන්නට අවැසි වුවද චත්‍ර එකඟ නොවූ නිසා කපිල ඔහුට සමුදුන්නේය.
” මං මෙහෙ බලාගන්නම් … පොඩි සර් හිතේ කලබල නිවා ගන්න …. අයත්මා මිස් ගැනත් ඇහැ ගහන් ඉන්නම් … “
” එපා බං .. පුලුවන් නම් නංගීව එක්ක එන්න කාර් එකේම පලයං … කැබ් එක දකින එකත් ඒ කෙල්ලට වදයක් වෙයි …”
කපිල චත්‍ර දෙස නිහඬවම බලා උන්නෙය. තමාට පෙරදා රැයේ චත්‍ර සමඟින් යන්නට හකි වූවානම් යන පසුතැවීම ඉතාම තදින් යලි ඔහුට දැණුනේය.
” උබ මට සහෝදරයෙක් බං … ඒකේ දෙකක් නෑ… මට කියලා තියෙන හැමදේම උබේ අත් දෙක උඩ තියලා මං මෙහෙම යන්නේ ඒ නිසා… උඹ හිතන්නේ ඊයේ රෑ උඹට මා එක්ක ඉන්න බැරි උන එක ගැන නම්, ඒ ගැන උබේ වරදක් නෑ බං …. ඒක මගේ කරුමේ ….”
කපිල තෙත් වූ දෑස් පිස දමා ගත්තේය.
අයත්මා ජංගම දුරකතනය අතට ගත්තාය. මඟ හැරුණු ඇමතුම් සහ පණිවිඩ රැසකි . එහෙත් ගතටද සිතටද වෙහෙඅය. රෝහලේ සිට නිවෙසට පැමිණියාට පසු යම් අස්වැසිල්ලක් දැනෙනවා වුවද, එය සම්පූර්න සැහැල්ලුව නොවේ. ඊයේ රාත්‍රියේ පටන් මේ වනතෙක් සිදුවූ බොහෝ දේ සිහිනයක් සේ සිතා අත් හැරිය හැකිනම් යෙහෙය. එහෙත් ඒ කිසිවක් සිහිනයක් නොවන බව දැන් විශ්වාසය.
අයියා චත්‍ර මුණ ගැසෙන්නට ගොස් ඔහුට ස්තූති කර ආ බව කියද්දී තමා ගැනම දැනුනේ වේදනාවකි. අනුකම්පාවකි. දැන් චත්‍ර සිතනු ඇත්තේ ඔහුට අවැසි පරිදි සියල්ල කර ගත හැකි බවය. අයියාද ඔහුගේ නූලකට ගෙන නැටවිය හැකි බවය.
අයත්මා දෑස් පියා ගත්තාය. හැඬෙන්නේද නැත. හිත ගල්ව ගොස් ඇත. රෝහල් සයනයේදී එක් විනාඩියක්වත් නිදාගන්නට හැකි වූයේ නැත. ඇස් පියවෙද්දීම චත්‍ර ගේ වියරුව සිහි වුනේය. ඔහු තම උඩු ඇඳුම් ඉරා දමමින් තමා මතට ආ යුරු සිහි වුනේය. තම දෑත් දෙපසට කරගෙන ලය මැදට වන්නට උත්සාහ කරමින් කල කුමක්දෝ යමක් සිහි වුනේය.
දැන් කියා වෙනසක් නැත. ඕ වහා දෑස් විවර කලාය. ඔහු තමාට අතවර කලා නොවේද? ඒ බව දැන දැනම දැන් තමාට වී ඇත්තේ, ඔහු කල අසාධාරණය යට ගසා කිසිත් නොවූවා සේ සිටීම නොවේද?
එහෙත් මේ ගැන අයියාට බිඳකින් හෝ ඇඟවුවහොත් වන්නේ කුමක්දැයි අයත්මා දනී. අයියා චත්‍ර හා පැටලෙනු ඇත. අයියා චත්‍රට අපහාස කරනු ඇත. ඔහුගේ දේශපාලන ගමනට මඩ වදිනු ඇත. ඉන් පසුව ඔවුන් අයියාට නිදහසේ සිටින්නට ඉඩ නොදෙනු ඇත. නොඑසේනම්, තමා චත්‍රට විරුද්ධව අනිවාර්‍යෙන්ම ඉදිර්පත් වනවා නොවේදැයි අයත්මා සිතුවාය. අම්මා සහ තාත්තා නැතිව තනි වීම ඇය වටා මහා කලු වලාවක් සේ පැතිරෙන්නටද ගෙන තිබුණි. ඉන් ඕ අඳුරු කුහරයක් තුලටම වැදුනාය.
ඇයට පිළිවෙල සිතුවිලි නැඟෙන්නේ නැත. සියල්ල අපැහැදිලිය.
නාදවන ජංගම දුරකතනය අයත්මා මොහොතකට ආලෝකයකට ඇද ගන්නට උත්සාහ කලේය. එහෙත් ඕ උන් අඳුරේ තිබූ දෑතක් ඕ යලි ඒ අඳුරටම ඇද්දාය.
” හෙලෝ ..”
” ඒයි … මොකෝ ළමයෝ වුනේ … සිහිනි ටීචර් කියපු වෙලේම මම කෝල් කරා ….ආන්සර් කරේ නෑනේ …”
“දැන් හොඳයි …”
“හොඳයි කියන්නේ? .. මොකද වුනේ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තරම් …”
අයත්මා අවිශ්කට පැවසූ මුලාවම කලණටද කීවේය. කලණ මහ හඬින් සිනාසෙද්දී ඇයට සැහැල්ලුවක් දැනිණ.
“හම්මෝ හම්මෝ ….. මාර බය ගුල්ලියෙක්නේ අයත්ම ටීචර්…”
“මන්දා අනේ.. වැස්සත් එක්කනේ .. හිත ගැස්සෙන්න ඇති ..”
” එතකොට කවුද ඔයාව ඇඩ්මිට් කරේ ?…”
” සිහිනි ටීචර්ගේ අයියා … අපේ අයියාගේ යාලුවෙක් .. අයියාව මීට් වෙන්න අපේ ගෙදර ආවම මාව වැටිලා ඉන්නවා දැකලා…”
අයත්මා චත්‍රගේ නම හෝ නොකීවේය.
“ආහ් ..සිහිනි ටීචර් ඒ බවක් කිව්වේ නැ ….”
අයත්මා එයට කිසිත් නොපවසා උන්නාය. කලණ හ දොඬමලු විමේ ප්‍රහර්ෂය ඉක්මවන තිගැස්මට හේතුව චත්‍රගේ හිතුවක්කාර ස්පර්ෂයන් නිසා ගත ඉක්මවමින් සිතට දැනෙන වේදනාව බව ඇය තීරණය කලාය.
” මම ඩ්‍රාමා එකේ වැඩේ බලන්නම් … ඔයා විවේක ගන්න… නැන්දලා එන්න ලෑස්ති වෙනවා ඔයාව බලන්න … මාත් එන්නම් …”
කලණගේ පණිවිඩය දෙස බලමින් අයත්මා හැඬුවේ එතරම් වෙලා තදවෙමින් තිබූ කඳුලු සියල්ල පිට වෙන්නට හරිමින් ය
“| අපේක්ෂා ගුණරත්න |