පෙමාතුර – 19

සතුටත් දුකත් එක පදමට කැලතුන තැන ඇති වෙනා හැඟීම මා තුළ වූයේ ය. එයට ආදරය කියා නම් දෙන්නට මම කැමැත්තෙමි. විසල් මල්වැන්න මා තුළ විසල් කන්දක් තරම් බරක් ව පැටවී ඇති බව දැනිණ. ඒ බරැති හැඟීම ට ආදරය යයි කියන්නට මම කැමැත්තෙමි. එසේ වනයින් ආදරය මා අස වූයේ ය. ආදරය මා තුළ වූයේ ය. ආදරය මා අවට වූයේ ය. 

විසල් අපේ ගෙදර ආවේ ගියේ ය. ඒ නැත ද සඳැල්ලේ දී මම ඔහු දුටිමි. අපේ ඇස් හතර එක මත පතිත වී ගෙවෙනා අති සුන්දර වූ තත්පර තිබිණි. 

මිනිසෙකුට ජීවත් වන්නට ආදරය අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා ආදරය හිමි විය යුතු ම යයි නියමයක් නොවේ. අම්මා පෙම් කළේ ද ඇය ට නො හිමි වස්තුවකට ය. අද ද ඒ ආදරය තරුවක් සේ ඈතක පායා දිලේ. ඒ එළිය දෙස බලා පමණක් සතුටු වන්නට ඇය ට පුළුවන. ඕ දැන් වඩාත් සුන්දර යයි මම සිතමි. නිතර ඇගේ දෙතොල් මත්තේ යෞවන මඳහසක් පොපියයි. ආදරයේ ප්‍රභාශ්වරය ඇගේ මුහුණෙන් විද්‍යමාන වෙයි. හදවත ආදරයෙන් හුස්ම ගනිත්දී කුණු කය වුව සතුටෙන් දෝරෙ ගලයි. ආදරයේ හැටි එහෙම ය.

වෙනත් ස්ත්‍රියක් වෙනුවෙන් දැනටමත් වෙන් වී සිටිනා පුරුෂයෙකු ට පෙම් කිරීමේ  ආදිනව ගැන නො හිතා මම ඒ ප්‍රේමය වෙනුවෙන් පේ වී සිටියෙමි. ලං වෙන්නත් බැරි වෙන් වෙන්නත් බැරි එහෙව් ප්‍රේමයක් කෙතරම් නම් සුන්දර ද?

තාත්තා ගේ තෙවර්ෂ පූර්ණ දානමය පින්කම ආසන්නයට ම පැමිණ තිබුණේ මා ඒ වගේ සිහින අහසක නිදහසේ මගේ තටු සලමින් පියඹමින් සිටියදී ය. අම්මා මේ දින කිහිපය ඒ වෙනුවෙන් ම කැප වී සිටි අතර විසල් උනන්දුවෙන් ඇය ට උදව් කළේ ය. මා සමගින් ලොකු ඇසුරක් පැවැත්වූයේ නැත ද ඔහු අපේ ගෙදර ගැන සියල්ල සොයා බලා කළේ මා වෙනුවෙන් ය යන හැඟීම නිතර ම මට දැනිණ. ඔහු එහෙම දැනෙන සේ හැසිරුණේ ය. 

අම්මා දානය සඳහා කෑම සපයන්නෙකු වෙත ඇණවුම් ලබා දුන්නා ය. ඒ නිසා ආහාර පිසීමේ වගකීමක් අපට නො තිබිණ. නමුත් සාංඝික දානයට පෙර දා රාත්‍රියේ  බණ පිංකමක් ද පැවැත්වෙන්නට නියමිත වූයෙන් වැඩ නම් ඕනෑ තරම් තිබිණි. අයියා කාර්ය බහුල ය කියා පැමිණියේ බණ ට හාමුදුරුවන් වැඩියාටත් පස්සේ ය. ඒ නිසා ගෙදර පුතා ගේ තත්වයට ඉබේ ම පත් ව තිබුණේ විසල් මල්වැන්න ය. හාමුදුරුවන් වැඩැම්මූයේත් දානය ට ධාතු කරඬුව හිස තබා ගෙන වැඩමවූයේ ත් ඔහු ය. අම්මා ද හැම දේට ම අනේ පුතා කියමින් විසල් වෙතට ම හැරෙන්නට නැඹුරු වෙමින් සිටියා ය. විසල් ද ඒ තනතුර කැමැත්තෙන් ම භාර ගෙන ඇති බවක් ද පෙනිණ.

“කවුද ඒ…”

බණ පිංකමින් පසුව ද විසල් ම හාමුදුරුවන් වඩම්මා ගෙන පන්සලට පිටත් වූ ඉක්බිති අයියා ඇසුවේ ය. ඒ වෙලාවේ එතැන මාත් සිටිය ද මම පිළිතුරක් වෙනුවෙන් ඉක්මන් නොවුණෙමි. ඒ නිසා පිළිතුරු දෙන්නට සිදු වූයේ අම්මා ට ය.

“අපේ නේබර්. මිසිස් පෙරේරාගෙ අප් ස්ටෙයා එක රෙන්ට් අවුට් කරං ඉන්න ළමය. පුදුම කොල්ලෙක් ඇත්තමයි. අපේ පවුලෙම වගෙයි. ඒ ළමය හිටිය නිසා මට කිසි අමාරුවක් වුණේ නෑ මේ වැඩ ටික කරගන්න.. හැම දේම හොයල බලල ඒ ළමය කළානෙ”

අම්මා විසල් වෙනුවෙන් විශේෂ හේතු පාඨ ඉදිරිපත් කිරීමකින් යුතු ව හඳුන්වා දීමක් කළා ය. බණ ට මා ආරාධනා කොට තිබි එක ම පුද්ගලයා වන විරංග පැමිණ සිටින බව මා දුටුවෙ ඒ වෙලාවේ ය. ඉතින් මම ඔහු වෙත ගියෙමි.

“මං හිතුව එන්නැති වෙයි කියල”

“අනේ සොරි කිසා. ලේට් වුණා”

“බණ පටං ගන්න කලිනුත් මං බැලුව. ඔයා ඇවිත් තිබුණෙ නෑ”

අප ආසන්න පුටු දෙකක හිඳ ගෙන කතා කරමින් සිටියදී ය විසල් පන්සලට ගොස් යළි පැමිණියේ. බණ අසන්නට පැමිණි අය රාත්‍රී දන් ගනිමින් සිටියහ. විසල් ගේ එක ම බැල්මට, අප දෙදෙනා ම – විරංග හා මා – එක වර හසු වූවා කියා මම සිතමි. ඔහු දෙස ම බලා සිටියා මිස මා විසල් ගෙන් නෙත් මුදා ගත්තේ නැත. මේ අයුරින් මා විරංග සමගින් සමීප කතා බහක හිඳීම විසල් කෙසේ පිළි ගනු ඇත් ද යන ගැස්ම, මේ මොහොතේ මා සම්ප්‍රදායික පෙම්වතියක ගේ තත්වයට පත් කොට තිබිණ.

විසල් ගෙතුලට ගියේ ය. යළි විරංග වෙත යොමු වෙන්නට පෙර මා තත්පර කිහිපයක ගන්ධබ්බ මොහොතක් ගත කළා කියා සිතමි. යළි මා හිස ඔසවා බලත්දී විරංග මදෙස බලා ගෙන ම සිටියේ ය. මම මඳහසක් නගා ගතිමි. ඔහු සුසුමක් හෙළුවා විතර ය.

විසල් ට විරංග හඳුන්වා දීමේ උවමනාවක් මට දැනෙමින් තිබිණ. ඒ කොයි දවසක සිට තිබුණ අදහසක් ද කියා නම් මා දන්නේ නැත. ඇතැම් විට මා විරංග ට බණ හා දානය සඳහා ඇරයුම් කරන්න ට ඇත්තේ ම එවන් යටි අදහසක් ඇති ව වන්නට පුළුවන. එය හිතේ වඋ වරදකාර හැඟීමකින් හෝ බරකින් නිදහස් වීමේ අවශ්‍යතාවයක් ලෙස හැඳින්වූවාට ද වරදක් නැත්තේ ය. 

නමුත් විසල් අප ව දුටු මොහොතේ මට ඒ දේ අමතක ව ගියේ ය. ඔහු ගේ බැල්ම මා තුළ කිසියම් ගැස්මක් ඇති කිරීම ඊට හේතුවයි. මඳකින් ඔහුට විරංග ව මිතුරෙකු ලෙස හඳුන්වා දෙන්නට මම බලා සිටියෙමි. නමුත් ඔහු හිතා මතා ම මා මගහැරි සෙයකි. ඉන්පසු වතාවක් ඔහු ආලින්දය හරහා ගියේ අප දෙස නිකමට හෝ බලන්නේ නැතිව ය. 

“කෑම කන්න විරංග”

විසල් නිසාවෙන් විරංග ව අපහසුවට පත් කළ නො හැකි බව මම දැන සිටියෙමි.  ඔහු පැමිණියේ මගේ ඇරයුම නිසා ය. 

“කිසා…ඔයාගෙ යාළුවටත් කෑම කාල ඉන්න කියන්නකො”

කියා ගෙන එවෙලේ ම සනෝජා පුංචි අප වෙත ආවා ය. 

“මං මේ කිව්ව විතරයි පුංචි”

“මේ ඔයාගෙ පුංචිද…මං හිතුව අක්ක කියල”

විරංග ගේ කතාවට පුංචා හඬ නගා සිනහ වූවා ය.

“නෑ ජෝක් එකකට නෙවෙයි. මං ඇත්තටමයි කිව්වෙ”

“තෑන්ක් යූ අනේ. ඔයාට විතරයි හැබැයි එහෙම පෙනුණෙ. නේ කිසා… ඔයා ඉතිං ස්පෙශල් කෙනෙක්නෙ”

“ඒ මොකෝ මං ස්පෙශල්…”

විරංග ලස්සනට සිනහ වූයේ ය.

“නෑ ඉතිං. අපේ කිසාට යාළුවෙක් කියල එකෙක්වත් ඉන්න එකක් කියලයැ…ඉස්කෝලෙ යද්දි හිටියා ඉස්කෝලෙං අවුට් වෙද්දි ඒ යාළුකං ඉවරයි. කැම්පස් එකේ යාළුවො කැම්පස් එකට විතරයි. ඇඩ්වටයිසින් ෆර්ම් එකේවත් කිසි කෙනෙක්ව යාළුවෙක් කියල අපිට දකින්න ගෙදර එක්කං ඇවිත් නෑනෙ. ඉතිං ඔයා ස්පෙශල් නැද්ද…”

“අනේ පුංචා මේ…”

“ඇත්තට ඔයාට යාළුවො නැද්ද කිසා…”

“කිසා කන්න දෙන්න”

කියා ගෙන පුංචි එතනින් ගියා ය.

සැබවින් මා යහළුවන් ගෙදර ගෙන එන්නට තරම් සමීප ඇසුරක් කිසිවෙකු සමග පැවැත්වූ කෙනෙකු නොවේ. යාළුකම් පැවතුණේ අදාල ආයතනය තුළ දී පමණකි. ඊට හේතුව මා වඩාත් මා තුළට නැඹුරු වූ කෙනෙකු වීම ය කියා සිතමි. ඕනෑ ම කෙනෙකු සුහද ව ඇසුරු කළ හැකි නිදහස් සිතක් වී ද මා ඒ කළේ පරිස්සමෙනි. මිනිසුන් ට වඩා පොත පතට හා සොබා දහමට මා විවෘත වූවා කියා සිතමි. 

විසල් කෑම කෑවා ද කියා සොයා බලන්නට සිතා ගෙන ය මා නැගී සිටියේ. ඔහු සොයා ගෙන විරංග ව ද හදුන්වා දෙමින් දෙදෙනාට එක් ව කෑම කන්නට සැලැස්වීම මගේ අදහස විය. නමුත් අප කෑම ශාලාව වෙත යන විට ඉෂිනි බත් පිඟානක් බෙදා ගෙන, අසුනක ට බර ව නදීරා සමග කතා කරමින් සිටි විසල් වෙත එය පිළිගන්වමින් සිටියා ය. මා හා විරංග දුටු විසල් වහා බත් පත අතට ගත්තේ ය.

මගේ හිත හුළං ගිය බැලුමක් සේ හැකිළ ගියේ ය. මම පිඟානක් ගෙන විරංග වෙත පිළිගැන්වීමි.

“බෙදාගන්න විරංග”

ඔහු කෑම කා නිම වන තෙක් මා ඔහු අසලට වී සිටියේ අසීරුවෙනි. ඔහු ට හොඳ මූණත් විසල් ට තරහ මූණත් ලෙස මුහුණු දෙකක් එක වර පෙන්වීම පහසු නැත. 

“ඉතිං ඔයත් කමුකො”

විරංග කීවේ ය.

“කන්න බෑ මහන්සියි”

මම හෙමිහිට මිමිණුවෙමි.

“කිසා ඔයත් කන්නකො යාළුව එක්කම”

නදීරා ද විසල් අස සිට කෑගෑවා ය. මම හිස සලා නිහඬ වුණෙමි.

“එයාද ඔයා කැමති කෙනා…”

පිටත් වන්නට රියට ද නැගී අවසන විරංග ඒ පැනය නගත්දී නම් කුමක්දෝ ගිලා බැසීමක් මට දැනිණ. ඔහු සියල්ල අවබෝධ කර ගෙන සිටියේ ය. ඔව් කියා කිව යුතු වූයේ නැත. මගේ මුහුණේ වූ අසරණ කම ඔහු ට ඒ හඬ නගා කියා සිටින්නට ඇත. නෑ කියා කීවාට ද පලක් නැති බව දනිමි.  දැනටමත් ඔහු ඒ පසක් කර ගෙන හමාර ය.

“මං යන්නං”

මගේ නිහඬ බව මැද ඔහු රිය පණ ගැන්වී ය. මම බිඳුණු සිතකින් ගෙතුළට පැමිණියෙමි. ඒ වෙත්දී ආරාධිතයන් සියලු දෙනා ම පාහේ නික්ම ගොස් තිබුණෙන් ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් තිදෙන හා ඉෂිනි කෑම කමින් සිටියහ. ආසන්නයේ විසල් අසුන් ගෙන සිටියේ ය.

“කිසා කන්න”

අම්මා කීවා ය. 

“කන්න බෑ අම්ම”

කියා ගෙන මම පියගැට පෙළ දෙස ට හැරුණෙමි.

“කිසා ඒ කොල්ලද ආ…”

එසේ ඇසුවේ ඉෂිනි ය. මම ආපසු හැරී සිනහ වෙමින් ම ඇදෙස බැලුවෙමි. එහිදී වැරදීමකින් හෝ විසල් ගේ ඇස් වලට හසු නොවන්නට ද මම වග බලා ගතිමි.

“අපිට කොහෙන්ද ඉතින් කොල්ලො”

කියමින් මා පිය ගැට පෙළ නැංගේ විසල් ගේ ඇස් මා හඹා එන බව දැන දැන ය.

“ඉතිං කන්නැද්ද ඔය…”

පිටුපසින් පුංචි ගේ හඬ ඇසිණ.

“නිදිමතයි”

හිතා මතා මා එසේ කීවේ මට දැනෙමින් තිබි රිදුම විසල් ට ද දනවන්නට ය.

“ආ..ඒක මාර නිදිමතක්නෙ. උඹ අද නිදියන්නද හිතං ඉන්නෙ…වැඩ තියෙනව එළි වෙනකල් කරන්න”

නදීරා කෑ ගෑවා ය. මම වගකට නැතිව කාමරයට ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...