මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,

කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන් ද විශාල වශයෙන් උත්සාහ කළහ.නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන ලෙසත් ,පුහුණුවීම්වල නිරත වන ලෙසත් ඔවුන් නිතර නිතර හෂාන්ට පැවසමින් ඔහු සමඟ සිටිමින් ඔහුට විශාල සහයෝගයක් ඔවුන් ලබා දුන්හ.නමුත් අප හෂාන් ව පුහුණුවීම් වලට කැඳවාගෙන යාමට උත්සාහ කළත් ඔහු ඒ සඳහා කැමති වූයේ නැත.ඒ ආකාරයෙන් තවත් ටික කලක් ගත වන විට හෂාන් විසින්ම , ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ මනස නැවත යථා තත්වයට පත් කර ගත්තේය.ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලී, තමන්ගේ දක්ෂකම් පෙන්වා නැවතත් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළුවීමට ඔහු අවසානයේ දී තීරණය කළේය.එසේ තීරණය කළ ඔහු නැවත පුහුණුවීම් වල නිරත වීම ආරම්භ කළේය.

හෂාන් නැවතත් පුහුණුවීම් වලට සහභාගී වන සෑම අවස්ථාවකටම මම ද ඔහු සමග ඒවාට සහභාගි වූයෙමි.හෂාන් සමග රැඳී සිටි අනූෂ අයියා ඇතුළු හෂාන්ගේ ගමෙහි මිතුරන් කිහිපදෙනෙකු ද දිගින් දිගටම මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් ඔහු සමඟ රැඳී සිටියහ. මා දරුවන් දෙදෙනා ද සමග තරග පිටියට යන අතර අනූෂ අයියා ඇතුළු හෂාන්ගේ මිතුරන් පන්දු යවන අතර හෂාන් පන්දුවට පහර දෙමින් නැවතත් හොඳින් පුහුණුවීම්වල නිරත වූයේය.හෂාන් පාසල් යන කාලයේ සිටම MCC club එකෙහි සාමාජිකයෙකු වූ අතර අදටත් ඔහු එහි යාවජීව සාමාජිකයෙකි.

හෂාන් නැවතත් ඉතා කැපවීමෙන් වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල නිරත වන අතරතුර ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ විය.එයට සහභාගි වූ හෂාන් ඔහුගේ දක්ෂකම් දක්වමින් ඉතා හොඳින් ක්‍රීඩා කළේය.ඉන්පසු ඔහු එම තරගාවලියේ Best batsman ලෙස ද තේරී පත්විය.හෂාන් නායකත්වය දරමින් MCC club එක විවිධ වූ ජයග්‍රහණ කරා ද ලඟාවිය.ඒ සියල්ල අවසානයේ දී හෂාන් හට නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව හිමි විය. ඔහු එසේ කණ්ඩායමට නැවතත් එකතු වූයේ, ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර, අවුරුදු දෙකක පමණ කාලයකට පසුවය.

ඉන්පසුව දකුණු ඉන්දිය කොදෙව් කණ්ඩායමත් සමග ටෙස්ට් තරග පැවැත්විණි.කුමක් හෝ හේතුවක් නිසා පලවන තරග දෙකේදීම හෂාන් හට ඒ තරම් ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැත.තෙවන තරඟයට හෂාන්ගේ සහභාගි වීම පිළිබඳව අවිනිශ්චිතභාවයක් තිබුණමුත් , එකල නායකත්වය දැරූ සනත් ජයසූරිය විසින් හෂාන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

කෙසේ හෝ එම කාලය තුළ , කුමක් සිදුවේ දැයි සිතා ගත නොහැකිව අප සියලු දෙනාම සිටියේ දැඩි පීඩනයකින් ය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඒ ආසන්න දිනයක දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර එයට සහභාගි වීම සඳහා අප හට ආරාධනා ලැබී තිබුණි.මම සහ හෂාන් එයට සහභාගී වීමට හැඳ පැළඳ සූදානම් වී පිටත් වීමට සූදානම් වූයෙමු.පිටත් වීමට පෙර මා නිකමට මෙන් නැවතත් ආරාධනා පත්‍රය පරික්ෂා කෙරුවෙමි.විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ ඊට පසු දින බව මා දුටුවේ එවිටය.දවස් සහ දින පැටලීමට තරම්ම අප සිත් වල වූ පීඩනය දැඩි විය.

පසුදින හෂාන් තරඟ වලට සහභාගි වූ අතර එදින ඔහු ඉතාම හොඳින් ක්‍රීඩා කළේය.එදින එම තරගය නැරඹීම සඳහා මම දරුවන් දෙදෙනාව ද කැටුව ගියෙමි.එකළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල් වල බොහෝ දෙනා ක්‍රිකට් තරග නැරඹීම සඳහා වැඩිපුරම පැමිණෙන්නේ අප දරුවන්ව බැලීමට සහ ඔවුන්ගේ හුරතල් ක්‍රියාවන් බැලීම සඳහාය.ජනප්‍රිය හින්දි ගීතයක් වූ ” තුම්පාස ආයෙ ” ගීතය දරුවන් දෙදෙනා නිතරම ගායනා කළ අතර එයට බොහෝ දෙනා ආසා කළහ.ගීතයක් ගායනා කරන ලෙස කවුරුන් හෝ පැවසූ විගසම ඔවුන් දෙදෙනා එම ගීතය ගායනා කිරීමට පටන් ගනී.ඊට අමතරව හෂාන් ක්‍රීඩා කරන විට ඔහුව ධෛර්යමත් කිරීම සඳහා ඔවුන් අත්පුඩි ගසමින් කෑගසයි.

කෙසේ හෝ එදින හෂාන් ඔහුගේ උපරිම දස්කම් දක්වමින් ලකුණු සියයක් ලබා ගැනීමට තවත් ලකුණු කිහිපයක් ඉතිරිව තිබියදී සියලු දෙනාම ඔහුව ධෛර්යමත් කිරීමට අත්පොලසන් දෙමින් කෑ ගැසූහ.ඒ අවස්ථාවේදී එම ස්ථානයේ මහේල ජයවර්ධන ගේ පියාගේ මිතුරෙක් සිටි අතර ඔහු ලකුණු සියයක් ලබා ගන්නා ලෙස කෑගසමින් හෂාන් ව ධෛර්යමත් කරමින් ඉතා සතුටෙන් අත්පොළසන් දෙමින් සිටියේය. ඒ අසල සිටි දරුවන් දෙදෙනා වරින් වර ඔහු දෙස හැරී බලමින් සිට ඇත.ඉන්පසුව ඔහු දෙසට නැවත හැරී ඇගිල්ලකුත් දික් කරමින් ,

” මේ.මෝඩයෙක් වගේ කෑගහන්නෙපා.මගේ තාත්තට ලකුණු සීය ගහන්න දෙන්න “

යැයි , අප දරුවන් දෙදෙනා මහේල ජයවර්ධනගේ පියාගේ මිතුරාට තරමක් සැරෙන් පවසා ඇත.ඔවුන් දෙදෙනා සිතා ඇත්තේ අප එසේ හෂාන්ව ධෛර්යමත් කරමින් කෑ ගැසීම ඔහුට බාධාවක් යැයි කියාය. කෙසේ හෝ එම විනෝදජනක සිදුවීම අදටත් හැම දෙනාගේම සිත් වෙලා නොමැකී තිබෙන අතර මහේල ජයවර්ධනගේ දෙමව්පියන් තවමත් එම සිදුවීම සිනාමුසු මුහුණින් යුතුව සිහිපත් කරයි

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles