(අ)හිමි සිහින -161

මේ සෑම දෙයක්ම සිදු වූයේ මා සුදාරකගේ පවුලේ උදවිය ඕනෑවට වඩා විශ්වාස කිරීම නිසා බව ඔබට සිතෙන්නට පුළුවන්.සුධාරක සම්බන්ධයෙන් පමණක් නොවේ.අසංක සහ නලින් සම්බන්ධයෙන් පවා මා සිතුවේ මේ ආකාරයෙන්මයි.විවාහ වූ පසු සැමියාගේ පවුලේ අය මගේ පවුල බවට ද පත්වෙනවා.ඒ නිසා ඔවුන් සමග දුරස්ථභාවයක් පවත්වා ගැනීම හෝ වෙන්ව ජීවත් වීම මට උවමනා වූයේ නැහැ.මා මෙවැනි අත්දැකීම් ලැබූවත් කිසිම බිරිඳකට සැමියාගේ ඥාතීන් දුරස් කළ යුතු බව  මම උපදෙස් දෙන්නේ නැහැ.කෙදිනක හෝ මගේ දියණිය විවාහ වූ දවසට ද මා ඇයට දෙන උපදේශය සැමියාගේ පවුලේ අය සමඟ හොඳ හිත වර්ධනය කරගෙන හොඳින් ජීවත් විය යුතු බවයි.

නැන්දම්මා ලේලි ගැටුම් මොන හේතුවක් නිසා පරම්පරා ගණනාවක්ම ඉදිරියට ගෙන යන්නේ ඇයිදැයි කියන්නටවත් අප සතුව පැහැදිලි පිළිතුරක් නැහැ නේද? නැන්දම්මා කෙනෙකු බෑනාට මොන තරම් ආදරයෙන් සැලකුවත් ලේලියක් පිටු දකින්නට එතරම් පැකිලෙන්නේ නැහැ.සැබෑවට එය එසේ වන්නේ ඇයිදැයි කියන්නටවත් මට පැහැදිලි නෑ.සැබෑවටම මා සුදාරකගේ පවුලේ නීත්‍යානුකූල ලේලිය වන්නේ නැහැ.ඉතින් මම ඔවුන්ට සැලකීම් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වූයේද නැහැ.නමුත් මා ඒවා එසේ කළේ මා ඉතා හොඳ තැනැත්තියක් බව පෙන්වීමට නොව සුදාරක සෑම මොහොතකම සතුටින් තැබීමට මට උවමනා වූ නිසයි.ඒ නිසා මේ සිදු වූ කිසිම දෙයක් ගැන මගේ හිත් පීඩාවක් නැහැ.

“මට මොන තරම් පීඩා එල්ල වුවත් මා මේ සියල්ලම කළේ සුදාරක වෙනුවෙන්”

මම හිත හදා ගත්තේ එසේ සිතමින්.

මේ මොහොතේ සුධාරකගේ පවුලේ අය මා සමඟ වෛරයෙන් පසු වන්නේ ආරාමයේ සිදු කළ පූජාව නිසා වෙන්නටත් පුලුවන්.නැතිනම් නිවස බෙදාගැනීම සම්බන්ධ සිදුවීම් වලට විය හැකියි.ඒ කුමන හේතුවට වුණත් දැන් මේ බිඳීයාම  පිළිසකර කළ නොහැකි බව පමණක් මම තේරුම් ගත්තා.

“අනුරාධා නිසා සුධාරකගේ දරුවන්ට වෙන්නේ අසාධාරණයක්.”

ඔවුන් එසේ පැවසීම ආරම්භ කළේ ඉන් පසුවයි.සුදාරකගේ දරු තිදෙනාට මා නිසා තාත්තා අහිමි වූ බවත් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම තමන්ගේ වගකීම බවත් සුධාරකගේ මුළු පවුලේ ම උදවිය පැවසීම ආරම්භ කර තිබුණා.

නමුත් මා සහ  සුදාරක අතර සම්බන්ධය නැවත ඇරඹුණු ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට දිල්හානි සුදාරකගේ මහ ගෙදරට ගිය බව මම දන්නවා.ඒ මොහොතේ ඔවුන් දිල්හානිගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්තක් දක්වා තිබුණේ නැහැ.ඇය සහ දරුවන් බැණ එළවා ගැනීමට තරම් ඔවුන් කුරිරු වී තිබුණා.ඒ මොහොතේ සුදාරක නීත්‍යානුකූල නොවන බැඳීමක පැටලී සිටීම ඔවුන්ට ගැටලුවක් වූයේ නැහැ.කාලයත් සමඟ අහිමි වූ මා නැවත ලැබීම විශාල ආශිර්වාදයක් ලෙස සලකමින් මා ඉතා ඉහළින් පිළිගන්නට ඔවුන් ක්‍රියා කළා.සුදාරක දිල්හානිව බැහැර කලාටත් වඩා ඉතා නිර්දය ලෙස ඔවුන් දිල්හානිව බැහැර කර තිබුණා.

නමුත් මේ මොහොතේ ඔවුන් නීත්‍යානුකූල නොවන භාර්යාවක් නිසා පීඩාවට පත් නීත්‍යානුකූල භාර්යාව සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නන් බවට හදිසියේ පත්වී තිබුණා. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles